නාගයන් දෙදෙනකුගේ රැකවරණ ලබන ටැම්පිට දේවාලය


යාකරවත්ත පුරාණ සිද්ධ පත්තිනි දේවාලය

දේවාලය යට ඇති තුඹස

 

කුලියාපිටිය - යාකරවත්ත පුරාණ ටැම්පිට සිද්ධ පත්තිනි දේවාලයේ නානුමුර මංගල්‍යය සමග දෙවොල් මඩු මංගල්‍යය ජුලි මස 09 වැනි දිනට යෙදී ඇත. 

දෙවි දේවතාවුන් කෙරෙහි අපේ රටේ ජනතාවගේ ඇත්තේ විශාල වූ භක්තියකි. ආගමානුකූලව ජීවත්වන්නවුන් හට දෙවියන්ගේ පිහිට ලැබේ. පත්තිනි දේවිය ශ්‍රී ලාංකික ජනයා මහත් භක්ත්‍යාදරයෙන් යුතුව අදහන දෙවියෙකු ලෙස පිළිගැනෙන්නේ නොයෙකුත් බෝවන රෝග දුරු කර දරුවන්ගේ ආරක්ෂාව සැලසීම සහ නිසි කලට වැසි පල ලබා දී රට සක්‍රීය කරවීමට පිහිට ලබා දෙන හෙයිනි.   


සත්කෝරලයේ පිහිටා ඇති පුරාණතම හා ඓතිහාසික වටිනාකමකින් යුත් දේවාල අතරින් කුලියාපිටිය - යාකරවත්ත පුරාණ ටැම්පිට සිද්ධ පත්තිනි දේවාලයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රා​දේශීය ලේකම් කොට්ඨාසයට අයත් යාකරවත්ත ග්‍රාම නිලධාරි වසමේ මෙම පුරාණ දේවාලය පිහිටා ඇත. කුලියාපිටියේ සිට නාරම්මල මාර්ගයේ කි.මී. 04ක් පමණ පැමිණ නාරංගල්ල මංසන්ධියෙන් වමට හැරී මීටර් 500ක් පමණ ගිය තැන දේවාලය හමුවේ.   


වසර දහසකට වඩා අතීතයකට උරුමකම් කියන මෙම දේවාලය ශක්තිමත් ගල් කණු හයක් මත දැව කඳන් තබා ඒ මත මැටියෙන් තනා තිබේ. අතීතයේ පොල් අතු සෙවිලි කර තිබූ අතර මෑතක දී ඒ වෙනුවට ටකරන් සෙවිලිකර ඇත. එවකට මෙම ප්‍රදේශය වන සතුන් සැරි සරන ලද ලඳු කැලෑවලින් ගහණව තිබී ඇත. එය එසේ පැවති බවට හේතු සාධක ඕනෑ තරම් අද ද ඉතිරිව ඇත. දේවාලය පිටතට නොපෙනෙන සේ වටකරගත් මනරම් වන රොදකි. එදා විශාල වනාන්තරයකට උරුමකම් කීව ද අද ඉතිරිව ඇත්තේ අක්කර කාලකටත් අඩු වන රොදකි.   

 

දේවාලයේ සිටිනා නාගයන්

 

එදවස, යක්ෂ බැල්ම නිසා මෙම ප්‍රදේශවල දරුවන් හදා වඩා ගැනීමට නොහැකිවීමත්, නොයෙකුත් බෝ​ෙවන රෝගවලට ප්‍රදේශවාසීන් නිතර ලක්වීමත් නිසා මෙයින් ආරක්ෂාවීමට පත්තිනි මාතාවගේ දෙවොලක් ඉදිකිරීමට ප්‍රදේශවාසින් සාකච්ඡා කර තිබේ. අනතුරුව නවගමුව මහා දේවාලයට ගොස් පත්තිනි දේව මාතාවගේ රන් සලඹකුත් රන් අඹයකුත් වැඩම කරවාගෙන පැමිණ වනාන්තරය මැද තිබූ කැබැල්ල කණුවක් මත තැන්පත් කර පුද පූජා පවත්වා ඇත. පසුව එම කැබැල්ල කණුව වටකර ගල්කණු හයක් මත දැව කඳන් දමා ඒවා මත දේවාලය ඉදිකර තිබේ.   


දේවාලයේ දැව කණු යට එදා මෙන්ම අදත් විශාල තුඹසක් දක්නට ලැබේ. ඉහත කී කැබැල්ල කණුව වටකර මෙම තුඹස බැඳ ඇති බවත් එය කිසි දිනෙක විශාල හෝ කුඩා ​ෙවන්නේ නැති බවත් පැරැන්නෝ පවසති. එදවස සිටම මෙම දේවාලය ආරක්ෂා කරනුයේ සුදු පැහැති විශාල නාගයෙකු විසිනි. වර්තමානය ​ෙවන විට තවත් කළු පැහැති නාගයෙකු ද එක්වී ඇත. ඇතැම් අවස්ථාවල මේ දෙදෙනාම දකින්නට ලැබෙයි.   
හැට නව පරම්පරාවක සිට පැවත එන මෙම දේවාලයේ භාරකාරීත්වය දරන්නේ සුබසිංහ පරම්පරාවේ පිරිමි පාර්ශවයේ උදවියයි. මෙම දේවාලය පිළිබඳව ලිඛිත සාක්ෂි කිසිවක් මෙතෙක් සොයාගෙන නොමැති වුවත් මුඛ පරම්පරාවෙන් පැවත එන තොරතුරු බොහොමයකි.   


දේවාලයට මදක් දුරකින් පිහිටි භික්ෂු ආරණ්‍යයක නටබුන් ඇති ‘‘ලේපොලව’’ නැමැති පර්වතය සහ ප්‍රදේශය පාලනය කළ සේරසිංහ රාළ නම් අයෙකුට සම්බන්ධ යාකරවත්ත පුරාණ ශ්‍රී හෛළගිරි මුනින්දාරාම රජ මහ විහාරස්ථානය ද පුරාණ රජ සමයට නෑකම් කියයි. වත්මන් පත්තිනි දේවාලය පිහිටි ස්ථානයට මදක් නුදුරින් වනය මැද තවත් පැරණි දේවාලයක නටබුන් තිබේ. ගල් කණු මත පැරණි උළු ගඩොල් ඉතිරිව ඇති මෙය බණ්ඩාර දෙවි කට්ටුවකට අයත් දේවාලයක් බව ගම්වාසීන්ගේ පිළිගැනීමයි.  


යාකරවත්ත පත්තිනි දේවාලයට සම්බන්ධ කතා රැසක් ද වෙයි. සොලීන් වයඹ දෙස ගමන් කරන අවස්ථාවක ඔවුන්ට අයිති ඇතෙකු නැති වී ඇත. එක් දේවාලයකට ගොස් ඇතා සොයා දෙන ලෙස කීවත් එය ඉෂ්ඨ වූ නැති කෝපය මත ඔවුන් දේවාලය විනාශ කරමින් එන අතරතුර මෙම දේවාලයට ද පැමිණ තිබේ. දේවාලයේ තිබූ රන් ආභරණ පැහැර ගැනීමට තැත් කළ අවස්ථාවේ දී සලඹක් ඇතුළු ආභරණ ගිනි ගෙන පොළව යටට කිදා බැසීම දුටු පාහරයන් බිය වී පලා ගිය බව කියැවේ.  


පුරාණයේ පටන්ම පැවත එන නානුමුර මංගල්‍යය සාම්ප්‍රදානුකූලව අදත් එලෙසම වාර්ෂිකව පවත්වාගෙන ඒම මෙම දේවාලයේ සුවිශේෂී සිද්ධියකි. සෑම වර්ෂයකම ජූලි මාසයේ ඇසළ පොහොයට ප්‍රථම සෙනසුරාදා මංගල්‍යය පැවැත්වේ. පැරණි දේව ආභරණ එළියට වඩම්මවා නානුමුර කිරීමත් සමගම මංගල්‍යයේ කටයුතු ඇරඹේ. මෙම අවස්ථාව දැකබලා ගැනීමටත් සහ එදින දේව ආශිර්වාද ලබා ගැනීමටත් දිවයිනේ නන් දෙසින් දහස් ගණනින් ජනතාව පැමිණේ. මෙම වර්ෂයේ නානුමුර මංගල්‍යය සමග දෙවොල් මඩු මංගල්‍යය ජූලි මස 09 වැනි සෙනසුරාදා දවස පුරා පැවැත්වේ. එහිදී පන්දම දොළහ පිදීම, තෙල්මේ නැටීම, පන්දම් සාලිය, කාල පන්දම් ගහ, වාහන සමගින් ගිනි පෑගීම, පත්තිනි ශාන්තිය ඇතුළු පුරාණ සංස්කෘතික අංග රාශියක් පැවැත්වේ.  


කෙම්මුර දවස් වන සෙනසුරාදා සහ බදාදා දිනවල දී භාරහාරවීම ඇතුලු සෙත් ශාන්ති සිදු කරනු ලබයි. කපු මහතා විසින් පත්තිනි මාතාවගේ ජීවන කතාව ඇසුරෙන් දේව යාතිකාව සිදුකරනු ලබයි. වාණිජ පරමාර්ථ සඳහා මුදල් ඉපැයීම අරමුණු කරගත් සමාජයක ඉන් බැහැර වූ පිළිවෙතක් අනුගමනය කරන මෙම දේවාලයට පැමිණ තමන්ගේ දුක්ගැනවිලි දෙවියන්ට පවසා භාර හාරවීමට හැකි වීම මෙම දේවාල​යේ ඇති සුවිශේෂත්වයකි. මේ නිසා ජනතාව විශ්වාසයෙන් යුතුව මෙම දෙවොලට පැමිණෙති.  


පරාක්‍රම සුබසිංහ විසිනි