නයි පොළොඟුන්ටත් බෙහෙත් කරන ආබාධිත රණවිරුවාගේ “සත්ව රෝහල”


මිනිස් ක්‍රියාකාරකම්  හේතුවෙන් තුවාල ලබන, ආබාධිත වන සහ රෝගාතුර වන නාගයින්, පොළඟු‍න්, පිඹුරන් ඇතුළු සර්පයින්ට මෙන්ම විවිධ පක්ෂීන්ට සහ සතුන්ට ප්‍රතිකාර කරන සත්ව රෝහලක් හොරණ, බටගොඩ, ගල්පාත ප්‍රදේශයේ පිහිටා ඇත.

මෙම සත්ව රෝහල පවත්වාගෙන යනු ලබන්නේ සත්ව ගවේෂකයකු වන හර්ෂ පතිරණගේ විසිනි. ඔහු 2006 වසරේදී ත්‍රිකුණාමලයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමඟ පැවැති වෙඩි හුවමාරුවකදී ආබාධිත තත්ත්වයට පත් වූ නාවික හමුදා රණවිරුවෙකි. විශ්‍රාම ගන්නා විට ඔහු බලනැවි නිලයේ රාජකාරී කළේය.

තම නිවසේ වසර හතඅටක කාලයක සිට පවත්වාගෙන යන මෙම සත්ව රෝහල හරහා, ආබාධිත වූ සහ රෝගාතුර වූ විෂඝෝර සර්පයන් මෙන්ම උකුස්සන්, බස්සන්, උණහපුළුවන්, කැබැල්ලෑවන්, මුගටියන්, හෝතඹුවන්, ඉත්තෑවන් සහ මීමින්නන් වැනි සතුන් සිය ගණනක් සුවපත් කර වනාන්තරවලට මුදා හැරීමට හර්ෂ සමත්ව ඇත.

පශු සහ ආයුර්වේද වෛද්‍ය නිර්දේශ මත සාත්තු සප්පායම්

රෝගී සහ ආබාධිත සතුන්ට ප්‍රතිකාර කිරීම, ඖෂධ ලබා දීම මෙන්ම ආහාර පාන සපයා දීම සිදුවන්නේ පශු වෛද්‍යවරුන්ගේ සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ නිර්දේශ සහ උපදෙස් මතය. ඒ සඳහා බටහිර මෙන්ම පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර ද යොදා ගැනේ.

මේ වන විටත් මෙම නිවසේ නාගයින් තිදෙනකු ඇතුළු සත්ව විශේෂ කිහිපයක් ප්‍රතිකාර ලබති. ඒ අතර අඩි පහමාරක් දිග, දෑස් නොපෙනෙන නාගයකු ද සිටී. උගේ පෙනීම නැවත ලබා දිය නොහැකි බව පශු වෛද්‍යවරුන් තහවුරු කර ඇති බැවින්, ඌ මිය යන තෙක් සුරක්ෂිතව රැකබලා ගැනීමේ වගකීම හර්ෂ භාරගෙන ඇත.

දෑස් නොපෙනෙන එම නාගයා මුදාගත් ආකාරය පිළිබඳව හර්ෂ මෙසේ පැවසීය:

“හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ නිවසකදී පොලු‍ පහරකට ලක්වූ නාගයකු සිටින බව දැනගැනීමට ලැබුණු සැණින් මම එතැනට ගියා. නාගයාගේ පෙණගොබයට වැදුණු පොලු‍ පහරින් ඌ අඩපණ වෙලා හිටියේ. මම ආරක්ෂිතව ඌව නිවසට අරගෙන ආවා.

මම සතුන්ට ප්‍රතිකාර කරද්දී ගුරුහරුකම් ලබා ගන්නේ අත්තිඩිය වනජීවී කාර්යාලයේ ප්‍රධාන පශු වෛද්‍ය දේවසුරේන්ද්‍රගෙන්. වෛද්‍යවරයා පරීක්ෂා කර බලා කිව්වේ පෙණගොබයට වැදුණු පහරින් ස්නායු තැළිලා ඇස් දෙකම අන්ධ වෙලා තියෙන බවත්, නැවත පෙනීම ලබා දිය නොහැකි බවත්. එම පහර නිසා නාගයාට තනිව ආහාර ගැනීමේ හැකියාවත් අහිමි වී තිබුණා.

අටු වෙස් බස්සා

ආහාර නොමැතිව ඌ බඩගින්නේ මියයන බව පැවසූ නිසා, මියයන තෙක් උට රැකවරණය දීමට මම තීරණය කළා. දැන් මාස හතරක සිට ඌ මගේ භාරයේ ඉන්නවා. නාගයකුගේ ආයු කාලය අවුරුදු 15-20ක් විතර වෙනවා. මේ නාගයාගේ වයස අවුරුදු 7ක් විතර ඇති. කටට බටයක් දමා බිත්තර සාරු සහ කුකුළු මස් කැබලි කැවීමෙන් දැන් ඌ නිරෝගීව ඉන්නවා. දින තුනකට වරක් මෙසේ ආහාර දීම ඉවසීමෙන් කළ යුතු අසීරු කාර්යයක්.”‍

තුවාල ලැබූ සර්පයන්ට සුව සෙත

මීට අමතරව, නිවසකට රිංගූ අවස්ථාවක පොලු‍ පහර වැදී කශේරුකාව කැඩුණු අඩි තුනක් පමණ දිග නාගයකුට ද හර්ෂ ප්‍රතිකාර කරයි. සිංහල වෙද මහතෙකු ලබා දුන් තෙල් ගාමින් සහ බටහිර ප්‍රතිකාර ලබා දෙමින් මාස දෙකක් තිස්සේ කරන සාත්තු නිසා එම නාගයා දැන් සෑහෙන්න සුවපත්ව සිටී. තවත් මාස දෙක තුනකින් ඌ සම්පූර්ණයෙන් සුවපත් කළ හැකි බව හර්ෂ විශ්වාස කරයි.

තවත් අඩි තුනක් පමණ දිග නාගයකු බෝතලයකට ඇතුළු කිරීමට ගිය අවස්ථාවක පොල්ලකින් තද කිරීම නිසා පෙණගොබයේ සිට කොටසක් අප්‍රාණික වී තිබූ අතර, තෙල් සාත්තු කිරීමෙන් පසු ඌ ද මේ වන විට සුව අතට හැරෙමින් පවතී. සුනඛයකු සපා කෑමෙන් ස්ථාන දෙකකින් තුවාල වූ නාගයකුට මැහුම් දමා ප්‍රතිකාර කිරීම ද සිදුවිය. දෑස් අන්ධ නාගයා හැර සසුන් සුවපත් වූ පසු වනාන්තර වෙත මුදාහැරීමට නියමිතය.

මීට පෙර, දොඹවිල යුද හමුදා කඳවුරු භූමියේදී තණකොළ කපන යන්ත්‍රයකට අසුවී බරපතළ තුවාල ලැබූ නාගයකුට ද මාස කිහිපයක් බටයකින් ආහාර ලබා දෙමින් පශු වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර කර රක්ෂිතයකට මුදා හැරීමට හර්ෂ කටයුතු කර තිබිණි.

විපතට පත් වනසතුන් මුදා ගැනීමේ මෙහෙයුම්

තමන් මුහුණ දුන් තවත් සිදුවීම් කිහිපයක් හර්ෂ මතක් කළේය:

“ගෝනපොළ ප්‍රදේශයේ ගෙවත්තක අතහැර දමා තිබූ වැසිකිළි වලකට ලොකු තිත් පොළඟෙකු වැටී සිටිද්දී මම ගොඩගත්තා. මේ පොළඟා පැටව් දැමීමට සිටින ගැහැනු සතෙක් බව මට පෙනී ගියා. මාසයක විතර කාලයක් මේ තිත් පොළඟා වැසිකිළි වළේ ඉඳලා තියෙනවා. මම ගොඩගන්නා විට ඉතාම දුර්වල අඩියක මරණාසන්නවයි සිටියේ. මගේ ගෙදරට අරගෙන ඇවිත් ප්‍රතිකාර කරමින් සාත්තු සප්පායම් කළා. සතියක් විතර යනකොට මේ පොළඟා පැටව් 40ක් විතර දැම්මා. මාසයක විතර කාලයක් මගේ ළඟ තියාගෙන ඉඳලා වනාන්තරයකට මේ සියලු‍ම පොළොංගුන් හැරියා.

ගම්පහ ප්‍රදේශයේ අඩි 30ක් විතර ගැඹුරු ළිඳක දැවැන්ත නාගයෙක් සහ ලොකු ගැරඬියෙක් වැටී සිටින බවට ඒ ගෙදර අය මට දැනුම් දුන්නා. මම බස් එකේ නැගලා හොරණ ඉඳලා ගම්පහට ගියා. ළිඳට බැහැලා නාගයාව සහ ගැරඬියාව ගොඩට අරගෙන ආරක්ෂිතව ගෙදර අරගෙන ආවා. ටික දවසක් ප්‍රතිකාර කරලා ඒ සත්තු දෙන්නවත් කැලෑවකට මුදා හැරියා.

දෑස් නොපෙනෙන නාගයාට බටයකින් බිත්තර සාරු පොවන හර්ෂ

සතුන් දඩයම් කරන්න මිනිස්සු අටවා තිබෙන උගුල්වලට හසු වී සිටි කබරයින්, ඉත්තෑවන් සහ මීමින්නන් වගේ සත්තු මම මුදාගෙන තුවාලවලට ප්‍රතිකාර කර කැලෑවලට මුදා හැර තිබෙනවා. පාසල්වලට විතරක් නෙවෙයි මොන්ටිසෝරිවලට පවා දැවැන්ත නාගයන් රිංගාගෙන සිටිද්දී මට දැනුම් දුන්නාම ගිහින් නිරුපද්‍රිතව මුදවාගෙන, පසුව ආරක්ෂිතව කැලෑවලට මුදා හැර තිබෙනවා.”‍

දුර්ලභ රතු උණහපුළුවා ඇතුළු දුර්ලභ සතුන්

ශ්‍රී ලංකාවට ආවේණික, රතු දත්ත පොතට ඇතුළත්, වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ඉතා දුර්ලභ රතු උණහපුළු පැටවකු හොරණ මිල්ලනිය ප්‍රදේශයේ රබර් වත්තක වැටී සිටියදී පසුගිය සතියේ සොයා ගැනිණි. ප්‍රදේශයේ තරුණයකු කළ දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ හර්ෂ, උගේ සිරුරේ තිබූ තුවාලයට අත්තිඩිය වනජීවී කාර්යාලයේ වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර කර, වනජීවී නිලධාරීන්ගේ උපදෙස් පරිදි ඌ සොයාගත් පරිසරයටම මුදා හැරියේය.

මෙම රතු උණහපුළුවා පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් භාර වනසත්ව අඩවි ආරක්ෂක පී.ජී. සංජීව දැක්වූයේ මෙවන් අදහසකි:

“ශ්‍රී ලංකාවට ආවේණික රතු උණහපුළුවා (Red Slim Loris) නිරිතදිග සහ මධ්‍යම කඳුකරයේ තෙත් කලාපීය වැසි වනාන්තරවල ජීවත් වන, රාත්‍රී කාලයේදී පමණක් සක්‍රීය වන අතිශය දුර්ලභ සතෙක්. උන්ගේ ඇස් පිටුපස ඇති ‘'Tapetum lucidum ‘ නමැති පරාවර්තක ස්තරය නිසා රාත්‍රියට ඉතා හොඳින් පෙනීම ලැබෙනවා.”‍

මීට අමතරව, හොරණ පොකුණුවිට ප්‍රදේශයේ නිවාස අසල වැටී සිටි දුර්ලභ සර්ප රාජාලියකු සහ අටු හිස් බස්සකු (කූඩ බස්සා) සොයාගෙන, උන්ගේ තුවාලවලට පශු වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර කර නැවත වනාන්තරයට මුදා හැරීමට ද හර්ෂ කටයුතු කර ඇත.

“සර්පයන්ට භූමිතෙල් ගහන්න එපා”‍ - හර්ෂගෙන් ඉල්ලීමක්

සමාජයට විශේෂ ඉල්ලීමක් කරමින් හර්ෂ මෙසේ පවසයි:

”‍කවමදාකවත් සර්පයන් පන්නන්න කියලා උන්ට භූමිතෙල් ගහන්න එපා. භූමිතෙල් ගැහුවාම උන් පුදුම වේදනාවක් විඳින්නේ. භූමිතෙල් සිරුරට කිඳා බැසලා ටිකින් ටික ඇඟ සහ ඇස් කුණු වෙලා, පණුවෝ හැදිලා තැවෙමින් මැරෙන්නේ. ඒක මහා පව්කාරකමක්.

භූමිතෙල් ගසා දින දෙකතුනක් ඇතුළත හම්බවුණොත් කෝමාරිකා සහ කහ කොටා සාරය මුළු ඇඟේම ගල්වමින් සති ගණනක් තිස්සේ බොහොම අමාරුවෙන් සුවපත් කරන්න පුළුවන්. නමුත් සතියකට විතර පස්සේ හම්බවුණොත් සුව කරන්නම බැහැ. ඒ නිසා මොනම හේතුවකටවත් සර්පයන්ට භූමිතෙල් ගහන්න එපා.”‍

ආපදාවට හෝ ජීවිත තර්ජනයට ලක්ව සිටින සර්පයන් සහ වනසතුන් මුදා ගැනීමට අවශ්‍ය නම් 077 9505267 අංකය ඔස්සේ හර්ෂ පතිරණගේ සම්බන්ධ කර ගත හැක.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

රතු දත්ත පොතට ඇතුළත් කර සිටින අතිශය දුර්ලභ සත්ව විශේෂයක් වන රතු උණහපුළුවා