දේපොළ වෙ​ෙළඳාමේ සිට ජනපති පුටුව දක්වා ගිය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාර ජාලය


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • පෞද්ගලික ජෙට් යානා 5ක් තියෙනවා?   
  • බෝයිං 757 සුපිරි යානයට යොදා ඇත්තේ ඔහුගේ නාමයයි. 
  • ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ල මහල් 71කින් සමන්විත අතර රන්වන් පැහැය ගල්වා තිබේ
  • ලොව පුරා විවිධ ස්ථානවල සුපිරි ගොල්ෆ් පිටි සහ ක්‍රීඩා හවුස් 17ක් පමණ තිබේ

 

ඩොනල්ඩ් ට්‍රම්ප් කවුරුදැයි කියා ලංකාවේ අපට විතරක් නොවෙයි ලෝකයේ කාටවත් අමුතුවෙන් හඳුන්වා දීමක් කළ යුතු අයකු නොවෙයි. ලෝකෙට ලොක්කා වන ඇමරිකාවේ හිටපු ජනපතිවරයා වන්නේ ඔහුය. ඔබ බොහෝ විට ඔහු ගැන දන්නේ ඇමරිකාවේ හිටපු ජනපතිවරයා ලෙසය. එහෙත් ව්‍යාපාරික ලෝකයට නම් ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි.   


කෙටියෙන් ඔහු ගැන හැඳින්වීමක් කළොත් ඩොලන්ඩ් ට්‍රම්ප් යනු දේපොළ වෙ​ෙළඳාම් අංශයෙන් ජීවිතය පටන් ගෙන ඉන්පසුව විවිධ ව්‍යාපාර ඔස්සේ ලෝක ධනවතකු වී පසුව ඇමරිකාවේ ජනපති පුටුව දක්වා ගිය පුද්ගලයෙකි. ‘රිපබ්ලිකන්’ පක්ෂයේ හෙවත් ජනරජ දේශපාලන කඳවුර නියෝජනය කළ ට්‍රම්ප් යනු ඇමරිකාවේ 45 වැනි ජනපතිවරයාය. ඔහු ඇමෙරිකාවේ ජනපතිවීම ගැන එදා ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු සතුටට පත්වූ බව කිව හැකිය. එමෙන්ම ඔහු පසුගියදා පරාජයට පත්වීමේදී ද ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනකු දුක්වූ බව කිව හැකිය. ඒ වෙන කිසිවක් නිසා නොවේ දකුණු ආසියානු කලාපයේ බොහෝ දෙනා අතර ඔහු ප්‍රියමනාප චරිතයක් වූ බැවිනි. මෙරට බොහෝ දෙනා එදා ඔහු හැඳින්වුවේ ට්‍රම්ප් අප්පච්චි හෙවත් ට්‍රම්පච්චි යනුවෙනි. එය ආදරණීය අන්වර්ත නාමයකින් වූ හැඳින්වීමක් විය. එනයින් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා අතර ‘ට්‍රම්ප්ච්චි’ වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනපතිවරයා ගැන සහ ඔහුගේ ව්‍යාපාර මොනවාද යන්න ගැනත් ඔහු ගෙවන සුපිරි ජීවන රටාව ගැනත් ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ අද අපි කියවමු.   


ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්   


ඔබ ඔහු හඳුනන්නේ ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ යන නාමයෙනි. ඔහුගේ සම්පූර්ණ නාමය වන්නේ ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්ය. ව්‍යවසායකයෙකි. මාධ්‍ය ක්ෂේත්‍රයේ චරිතයකි. දේශපාලනඥයෙකි. යනුවෙන් ඔහුගේ නාමය ඉදිරියේ අපට සටහන් කළ හැකිය. ට්‍රම්ප් යනු උපන්දා සිට මේ දක්වා සියලු සැප විඳි චරිතයක් ලෙස හැඳින්වීම වඩා සුදුසුය. වත්පොහොසත්කම් ඇති පවුලක උපත ලද ට්‍රම්ප් රන්කිරි කට ගෑවේ රත්තරන් හැන්ඳකිනි. කුඩා කළ සිටම ඇන්ඳේ ඉස්තරම්ම ඇඳුම් පැලඳුම්ය. කෑවේ බීවේ හොඳම දේය. ඒ සියල්ල පෙර පින්ද නැතහොත් ලබා උපන් හැටිද යන්න කිව නොහැකිය. එහෙත් ට්‍රම්ප් යනු සැබෑම වාසනාවන්තයෙකි. ඔහුගේ පියා ​ෆ්‍රෙඩ් ට්‍රම්ප් දේපොළ සංවර්ධන අංශයේ ව්‍යාපාරවල නියැලීය. ට්‍රම්ප්ගේ පියා පාර්ශ්වය පැවත එන්නේ ජර්මනියේ සිටය. ට්‍රම්ප්ගේ සීයා ජර්මනියේ සිට සංක්‍රමණය වූ පුරවැසියෙකි. ට්‍රම්ප්ගේ මව පැවත එන්නේ ස්කොට්ලන්තයේ සිටය. ඇයගේ මව්පියන් ස්කොට්ලන්තයේ සිට ඇමරිකාවට සංක්‍රමණය වී සිටි අය විය.   


ට්‍රම්ප්ගේ මව පියා හොඳ පෙනුමැති අය විය. වෙසෙසින්ම මව මේරී ඈන් මැක්ලෝඩ් ඉතා රූමත් කාන්තාවක වූවාය. ට්‍රම්ප් හට සහෝදර සහෝදරියන් හතර දෙනෙකි. මේරියන්, ෆ්‍රෙඩ් (කණිෂ්ට) එළිසබත් සහ බාල සොහොයුරු රොබට් ඒ සතර දෙනාය. මේ සහෝදර සහෝදරියන් හැදී වැඩුණේ නිව්යෝර්ක් කලාපයට අයත් ක්වීන්ස්හි ජැමෙයිකා එස්ටේට්හිදීය. ක්වීන්ස් යනු නිව්යෝර්ක් නුවර හදවත බඳුවූ ප්‍රදේශයකි. ලංකාවේ බොහෝ දෙනා කොළඹ 7 කුරුඳුවත්තේද උපන්නේ කියා අසන්නේ එය බලපුළුවන්කාරයින්ගේ (මුදල් නිසා) තෝතැන්නක් වන නිසාය. එලෙසින් ට්‍රම්ප් උපන්නේ සහ හැදි වැඩුණේ ඇමරිකාවේ වඩාත් සුඛෝපභෝගී පරිසරයකදීය. හොඳින් ප්‍රාථමික අධ්‍යාපනය කළ ට්‍රම්ප් උසස් අධ්‍යාපනය නිම කළේ ආර්ථික අංශයේ විද්‍යාවේදී උපාධියට හිමිකම් ලබමිනි. පසුව යුද හමුදා ඇකඩමියට (විද්‍යාතනයට) බැඳී කටයුතු කර තිබේ. 


ව්‍යාපාර කිරීමට පැමිණීම   


උපාධිය ලබාගැනීමට පෙර සිට ට්‍රම්ප් පියාගේ දේපළ සංවර්ධන සමාගමේ කටයුතුවලට එක්ව සිටි අතර උපාධිය ලබාගැනීමෙන් පසුව 1968දී පියාගේ සමාගමේ කටයුතුවලට සක්‍රීයව දායක විය. ඉන්පසුව 1971දී එම සමාගමේ සභාපති වූයේ වූවේ තුරුණු ට්‍රම්ප්ය. ව්‍යාපාරික ක්ෂේත්‍රයට පැමිණ සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ලෝක ව්‍යවසායක ක්ෂේත්‍රයේ කතාබහ වීමට පටන් ගත්තේ අබලන් තත්ත්වයේ තිබූ කොමදෝරු හෝටල ගොඩනැගිල්ල නව්‍යකරණය කළ නිසාය. ඉන්පසුව එය ග්‍රෑන්ඩ් හයාක් ලෙස විවෘත කිරීම සිදුවිය. එතැනින්ද නොනැවතී ට්‍රම්ප් ගොඩනැගිල්ල නව්‍යකරණය කිරීමටද පෙලඹී ඇති අතර ට්‍රම්ප් ගොඩනැගිල්ල නැතහොත් ට්‍රම්ප් ටවර් ලෙස එය පසුව විවෘත කෙරිණි. මෙලෙසින් දේපළ සංවර්ධන කටයුතුවල නියැලෙමින් ​හෝටල අයිතියද තම ග්‍රහණයට නතු කර ගනිමින් ට්‍රම්ප් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කුලුනක් ලෙස නැගී සිටියේය. ට්‍රම්ප් හෝටෙල්ස් ඇන්ඩ් කැසිනෝ රිසෝට්ස් සතු කැසිනෝ සහ හෝටල වෙතින් ධනය ගලා ආවේ රැළි වෙරළට ඇදී එන්නාක් මෙනි. විටෙක ලැබීම් අතරේ පසු බැසීම් ද නොතිබුණා නොවේ. කෙසේ වෙතත් 2009 දක්වා ඒවායෙහි සභාපති පුටුව හෙබවූයේ ඔහුය. මේ වන විට මාර්-අ-ලාගෝ (Mar-a-lago) වතුයාය, ඔහු මිලදී ගෙන තිබිණි. එය පිහිටියේ ෆ්ලොරිඩාහි ‘ෆාම්බීච්’ ප්‍රදේශයේය. සුවිශාල වූත්, අතිශය මනරම් වූත් එකී භූමි ප්‍රදේශයේ පෞද්ගලික සමාජ ශාලාවක් ඉදිකළ ඔහු සාමාජිකයින් සඳහා පමණක් එතැන සීමා කළේය. Mar-a-lago club ලෙස නම් වූ අතර ට්‍රම්ප් පවුල පදිංචිය සඳහා ද එතැන තෝරා ගෙන තිබුණේ එතරම්ම මනරම් භූමි ප්‍ර​දේශයක් වන නිසාය. මෙලෙසින් ව්‍යාපාර ගැන කියැවෙන අතරේ ට්‍රම්ප්ගේ විවාහ දිවියේ රඟ කෙසේද කියා අපි විපරම් කර බලමු.   


1977 දී විවාහ වීම   


1977 වනවිට 31 හැවිරිදි වියේ පසුවූ ට්‍රම්ප් තරුණයා බෙහෙවින් කඩවසම් චරිතයක් විය. හොලිවුඩ් නළුවකු හා සමාන පෙනුමකින් යුතුවූ ඔහු 1977 දී විවාහ වූයේ චෙකෝස්ලෝවැකියානු නිරූපණ ශිල්පිනියක වන ඉවානා ෂෙලිනිකෝවා සමගය. මුලදී නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කළ සුරූපී ඉවානා පසුව ටෙලි -විෂණයේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේද විලාසිතා නිර්මාණ -කරණයේද චරිතයක් වූවාය. ඊට අමතරව ලේඛිකාවක ලෙසද කටයුතු කළාය. ට්‍රම්ප් සංවිධානයේ උප සභාපතිනිය වූවේද ඇයයි. මේ යුවලට දරුවන් තිදෙනෙකි. 1977 දී උපන් ඩොනල්ඩ් ට්‍රම්ප් (කණිෂ්ට) ඉවැන්කා දියණිය (1981) සහ 1984 දී උපන් එරික් යනු ඉවානා සහ ට්‍රම්ප් යුවළගේ දරුවන්ය.   


ඉවානා සහ ට්‍රම්ප්ගේ විවාහ දිවියට තිත වැටුණ් 1992 වසරේදීය. දික්කසාදයෙන් පසුව ට්‍රම්ප් ඇමරිකානු නිළියක වන මාරියා ඈන් මේපල්ස් සමග සම්බන්ධයක් පවත්වා ගෙන ගියේය. ඒ සම්බන්ධය දුරදිග ගියේ 1993දී ටිෆනි දියණිය ලැබීමත් සමගය. එතෙක් සම්බන්ධයක් පමණක්ව තිබූ ට්‍රම්ප් - මරියා සම්බන්ධය 1993 විවාහ ලියාපදිංචිය සිදු කෙරිණි. දෙදෙනා 1997 දී වෙන්වීමට තීරණය කළ අතර ට්‍රම්ප් ඇයගෙන් දික්කසාද විය. විවාහ දෙකකින් දික්කසාද වී සිටි මේ මහා ධන කුවේරයා නැවත විවාහ වූයේ නිරූපිකාවක සමගය. ඔහුගේ හිත පෙර මෙන් ඇදී ගියේ නිරූපණ ශිල්පිනියක වූ මෙලනියා කැනව්ස් නැමැති ස්ලොවේනියානු ජාතික කාන්තාව කෙරෙහිය. ට්‍රම්ප් - මෙලනියා යුවළගේ දරුවා වන්නේ බැරන් ට්‍රම්ප්ය. බැරන් උපන්නේ 2006 වසරේදීය. ට්‍රම්ප්ගේ වාසනාවන්ත බිරිඳ මේ මෙලනියා ට්‍රම්ප්මය. ට්‍රම්ප් ලෝකෙට ලොක්කා වූ පසු ඒ ලෝක බලවතාගේ බිරිඳ වීමේ භාග්‍යය උදාකර ගත්තේ මෙලනියා ට්‍රම්ප්වීම ඊට හේතුවය. මෙලනියා හට ඇමරිකානු පුරවැසිකම ලැබුණේ 2006 දී යැයි සඳහන් වේ. ඒ වාසනාව ඇයට ගෙන දුන්නේ බැරන් පුතුය.  

 


මත්පැන් සිගරට් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර ට්‍රම්ප්   


ට්‍රම්ප් සතු මහා ධන සාගරය හමුවේ ඔහුට මොනවද කරන්නට බැරි? ලෝකයේ තියෙන ඉස්තරම්ම මිල අධික මත්පැන් පානය කිරීමට පුළුවන. එහෙත් ඔබ විශ්වාස කළා හෝ නොකළා ට්‍රම්ප් යනු සම්පූර්ණයෙන්ම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මෙන්ම දුම්පානයෙන් තොර අයෙකි. එය ඔහු ප්‍රකාශ කරන්නක් වන අතර මම නිදා ගත්නේ පැය පහක් පමණකැයි ද ඔහු කියා සිටී. ගොල්ෆ් ක්‍රීඩා කිරීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වුවද ශාරීරික ව්‍යායාම් සඳහා බොහෝ ගොල්ෆ් ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමේදී ඇවිද යාම සිදු කළද ට්‍රම්ප් ක්‍රීඩා කරන්නේ ගොල්ෆ් රථයේ යන අතරවාරයේදීය. මිනිස් සිරුර කියන්නේ හරියට සම්පූර්ණයෙන් චාජ් කළ බැටරියක් වගෙයි. ඉතින් මොකටද එකේ බලය නැතිකර ගන්නේ. යනු ට්‍රම්ප්ගේ තර්කය වෙයි. ට්‍රම්ප් හොඳ සෞඛ්‍ය සම්පන්න කෙනෙක් යැයි ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා ට්‍රම්ප්ගේ ජනපතිවරණ සටනට පෙර හොඳ සහතිකයක් ලබාදුන්​නේය. මේ දක්වා ජනපති සටනට ආ අපේක්ෂකයින් අතරින් වඩාත් සෞඛ්‍ය සම්පන්න චරිතය ඔහුයි. ට්‍රම්ප්ගේ පෞද්ගලික වෛද්‍යවරයා ලිපියක් ලියමින් කියා සිටියේ එලෙසිනි.   


කෙසේ වුවද 2020 ඔක්තෝබරයේදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට කෝවිඩ් ආසාදනය විය. එනිසා බරපතළ රෝගී තත්ත්වයකට මුහුණදුන් බව වාර්තාවල සඳහන් විය. නැවත ධවල මන්දිරයට පැමිණියේ සම්පූර්ණ සුවය ලබගෙන වුවද පෙර මෙන් ශාරීරිකව ශක්තිවන්තයකු ලෙස නම්​ නොවීය.   


ට්‍රම්ප්ගේ දේශපාලනය   


ට්‍රම්ප්ගේ දේශපාලනය ගැන අපි වැඩි යමක් සඳහන් නොකරන අතර ඔහු අනාගතයේදී ඇමරිකාවේ ජනපති අපේක්ෂ -කත්වය කරා යන බවට ඉඟි පහළ වූයේ 1987 සිට යැයි කිව හැකිය. 2000 වන විට බොහෝ දෙනා එළිපිටම ඒ ගැන කතා කළ බව කිව හැකිය. 2015 දී ස්වකීය අපේක්ෂකත්වය ගැන ඔහු මාධ්‍යය හමුවේ කියා සිටියේය. 2017 ජනවාරි 20 වැනි දින ඇමරිකාවේ 45 වැනි ජනපතිවරයා ලෙස ට්‍රම්ප් පත්වූයේ ඔරිජිනල් ඇමරිකානු පුරවැසියකු ලෙසය. ඒ හැරත් මිලිටරි අත්දැකීමකින් තොරව පත්වූ ජනපතිවරයකු ලෙස සඳහන් කළ හැකිය. දේශපාලන වේදිකාවේදී ඔහු පුවත් මවන්නෙකු බවට පත්වූ චරිතයක් වුණි. කෙසේ වෙතත් ලෝක ආර්ථික අර්බුදය හමුවේ කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇමරිකානු ආර්ථිකය කඩා වැටීමට ඔහු ඉඩ නොදුන්නේය. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලැබූ පරිනත බව ඊට මුල් වන්නට ඇත. යම්කිසි ලෙසකින් එකී කාලයේදී වෙනත් කෙනෙකු එරට ජනපති වී සිටියේ නම් ඇමරිකානු ආර්ථිකය කඩා වැටීමට පවා ඉඩ තිබිණියි සමහර විචාරකයින්ගේ මතය විය. ට්‍රම්ප් දේශපාලනයට ආවේ හම්බ කරන්නට නම් නොවේය. ඊට පෙර ඔහු ජීවිත කාලයටම හරි හම්බ කරගෙන තිබූ ධනය ස්වකීය ව්‍යාපාර වෙතින් ලද ඒවාය. 

 

  

ට්‍රම්ප්ගේ හැඩකාර ජීවිතයේ රිද්මය   


• දේශපාලනයට ඒමට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් පොත් ලිවීමට ප්‍රිය කළ අයෙක් විය. ඔහු මාධ්‍යවේදී ටෝනි ෂුවාර්ට්ස් සමග රචිත ‘දි ආර්ට් ඔෆ් ද ඩීල්’ පොත උණු කැවුම් ලෙස අලෙවි වූ ග්‍රන්ථයකි. එක පොතකින් නතර නොවූ ඔහුගේ පෑන පොත් කීපයක උරුමයට හිමිකම් කීවේය.   


• ටෙලිවිෂණයේ තරුවක් වූයේද ට්‍රම්ප් ජනපතිවීමට පෙරදිය. Howard Stem Show, Trumped, Fox and Friends නිසා ඔහු එලෙසින් ටෙලිවිෂණයේ තරුවක් විය. 

 
• The Apprentice රියැලිට් මාලාවේ සම නිෂ්පාදක දායකත්වය සැපයුවේ ඔහුය.  


• ඔබ ට්‍රම්ප් දායක වූ නිර්මාණ නරඹා තිබේද? එසේ නොමැති නම් ග්‍රීන් ඒකර්ස් නිර්මාණයෙහි ඔහු ගී ගයා ඇති වග දැන ගත හැකිය. එලෙසින් සිනමා නිර්මාණ හා ටෙලිවිෂණ නිර්මාණ අටකට පමණ ඔහු දායකත්වය ලබාදී ඇත.   


• ට්‍රම්ප් ව්‍යාපාර ජාලය සතුව නිව්යෝර්ක්, නිව්ජර්සි, එලිනෝර්, ෆ්ලෝරිඩා, හවායි, නෙවාඩා ඇතුළු ප්‍රධාන නගර කීපයක මිලියන ගණන් වටිනා ගොඩනැගිලි අයත්ය.   


• මොහොමඩ් අලි හට ආසා කරන ට්‍රම්ප් ඔහුට උපහාර වශයෙන් සමරු එකතුවකින් යුතු කලාගාරයක් වැනි ස්ථානයක් පවා තැනීමට මුල්විය.   


• ට්‍රම්ප් යනු රන්වන් පැහැයට වඩාත් ප්‍රිය කරන චරිතයකි. ට්‍රම්ප් ටවර් දෙස විපරම් කර බැලුවොත් ඔබට එය හොඳින් දැකගත හැකිවේවි.   


• බොහෝ විට ඔහු පලඳින්නේද රන්වන් පැහැය ඇති ටයි පට වේ. පියා අනුගමනය කරමින් මෙලනියාගේ පුතු බැරන්ද ටයි පැලදීමට වඩා කැමතිය. 

 
• මෝටර් සයිකල් පැදීමට රිසි ට්‍රම්ප් ඔහුගේම කැමැත්තට අනුව රන්වන් පැහැයෙන් (නියම රන් ආලේපිත) සුපිරි මෝටර් සයිකල් දෙකක් නිර්මාණය කර ගත්තේය.   


• ලොව අධි සුඛෝපභෝගී මෝටර් රථ කීපයක්ම ට්‍රම්ප් සතු යැයි සඳහන් වේ. 1956 දී ගත් රෝල්ස් රොයිස් සිල්වර් රථය, ෂෙවර්ලොට් කැමෙරෝ, රෝල්ස් රොයිස් පැන්ටම්, කැඩිලැක් එක්ස් කැලේඩ්, ටෙස්ලා රෝඩ්ස්ටාර්, මර්සිඩීස් බෙන්ස් මේබැක් S-600, ලැම්බෝගිනි, Diablo -VT සහ තවත් සුපිරි බෙන්ස් රථ කීපයක්ම ඔහුගේ සිත්ගත් මෝටර් රථ යැයි සඳහන් වේ.   


• සුපිරි මෝටර් රථ පමණක් නොවේ. පෞද්ගලික ජෙට් යානා කීපයක්ම ට්‍රම්ප් සතු යැයි වාර්තා පෙන්වා දෙනු ලබයි. එම සුපිරි ජෙට් යානා මෙන්ම සුපිරි මෝටර් රථවල ආසන සහ විවිධ තැන් ඔරිජිනල් රත්තරනින් නිමවා තිබීම විශේෂත්වයකි. ට්‍රම්ප් සතු ගුවන් යානයක ඔහුගේ නම යොදා තිබීමද විශේෂත්වයකි. එය බොයිං 757 වර්ගයේ මිල අධික යානයකි.   


• ගුවන් යානා සහ ජෙට් යානා වලින් සෑහීමකට පත් නොවූ ට්‍රම්ප් හට සුපිරි හෙලිකොප්ටර් යානා 3ක් ඇති වග සඳහන් වේ.   


• ට්‍රම්ප් එකල තුරුණු වියේදී බාල සොහොයුරු එරික් සමග එක්වී කැලෑවේ දඩයමට ගිය බවද වාර්තාවල සඳහන් වේ.   


• ලෝකය වටේ ට්‍රම්ප් සතු සුපිරි ගොල්ෆ් පිටි සහ ක්‍රීඩා සමාජ 17ක් පමණ යැයි කියැවේ. ගොල්ෆ් ක්‍රීඩා කිරීමට එන්නේ ධන කුවේරයින් වග ඔබට අප අමුතුවෙන් කිවයුතු නොවේ. 

 
• ට්‍රම්ප් සමූහය සතු සුපිරි ගොඩනැගිලි අතරින් ඉහත සඳහන් කළ ට්‍රම්ප් ටවර් මහල් 71 කින් සමන්විතය. 

 
• ට්‍රම්ප් සතු තවත් දේ අතරින් විශේෂිත ස්ථානයක් වන්නේ වර්ජිනියාහි ඇති වයින් වතු යාය වේ. ට්‍රම්ප් වයින් නිෂ්පාදනය කෙරන්නේ එහිදීය. මෙම මිදි වතු යාය සතු ගොඩනැගිල්ලේ සහ ඔහු සතු වෙනත් ගොල්ෆ් පිටිවලට අයත් ගොඩනැගිලි ස්ථානයන්හි ඉහළ ධනවතුන්ගේ මංගල උත්සව ප්‍රිය සම්භාෂණ පැවැත්වේ. ට්‍රම්ප් තමා මත්පැන් නොබොන්නෙකු යැයි පැවසුවද ඔහුගේ නාමය යටතේ නිෂ්පාදනය කෙරෙන ට්‍රම්ප් වයින් පානය කරනවාද කියා නම් අප දන්නේ නැත.   


• ට්‍රම්ප් යනු සුන්දර මිනිසෙක් යැයි සමහරු ප්‍රකාශ කරන දෙයකි. එසේ වූ ට්‍රම්පච්චි දරුවන් පස් දෙනා අතරින් වඩා ආදරේ මුල් විවාහයේ දියණිය ඉවැංකා ට්‍රම්ප් හට යැයි සඳහන් වේ. එහෙත් පෙනෙන විදිහට ට්‍රම්ප් දරුවන් ඔක්කොටම ආදරේ ඇති පියෙකි.   


• අපේ රටේ ව්‍යාපාර හෝ සූදු ක්‍රීඩා අංශයේ ව්‍යාපාරවල නියැලී සිටින කෙනෙක් ජනපති අපේක්ෂකයා වූයේ නම් මොන වගේ විවේචන ඇතිවෙයිද කියා අමුතුවෙන් ඔබට කිව යුතු නොවේ. නමුත් ඇමරිකාවේදී ට්‍රම්ප් හට කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම ජනපති පුටුවට යාමට ප්‍රශ්නයක් වූයේ නැත. ඊට හේතුව එරට ජනතාව හොඳින් දනී. එනම් ට්‍රම්ප් ආවේ ඇමරිකාව විකුණා හොරකම් කිරීමට නොවේය. එහෙත් දකුණු ආසියාවේ සමහර දේශපාලකයින් එන්නේ මල්වට්ටි අරගෙනය. යනකොට යන්නේ මොන විදියට දැයි කියා යළි අමුතුවෙන් කිවයුතු නොවේ. ට්‍රම්ප් හෝ ඇමරිකාවේ බලයට එන බොහෝ නායකයින් කරන්නේ එරට න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීමය. දකුණු ආසියානු කලාපයේ රටවල බොහෝ දේශපාලකයින් කරන්නේ න්‍යාය පත්‍ර හදාගෙන රට පාලනය කිරීමය. ඇමරිකාව සහ අපි අහසට පොළව මෙන් වෙනස් වන්නේද එනිසාමය.

 

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ
[email protected]