තෙල් බලයෙන් ලෝක පොහොසතකු වූ ඇමෙරිකාවේ ’චාල්ස් කෝච් ’


 

  • චාර්ල්ස් කෝච් යනු ආගම් කර තියාගෙන ජීවිතය ගෙන යන අයකු නොවේ.
  • ස්වාභාවික වායු (ගෑස්) සහ තෙල් සම්පත වෙතින් බලවත් රාජ්‍ය වන්නේ රුසියාවය.
  • චාර්ල්ස් කෝච්ගේ ධනවත්කම ඩොලර් බිලියන 60කට ආසන්නය.
  • තෙල් සම්පතක් වුවද ගෝලීය උණුසුම වැඩි කිරීම සහ පරිසර දූෂණය වඩාත් සිදුවන්නේ මේ ඉන්ධන නිෂ්පාදන ක්‍රියාවලිය නිසාය.

 

ඔබ දන්නවාද? ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඉහළ යාම යනු ලෝකයේ සෑම ක්ෂේත්‍රයක, ආර්ථිකයට බලපාන ප්‍රධාන සාධකය වේ. තෙල්, නොඑසේ නම් ඉන්ධන බලයෙහි ඇති ස්වාභාවය එය වී ඇත්තේ සියලු‍ දේ කිරීමේදී ක්‍රියාන්විත සහ නිෂ්පාදන ක්‍රියාවලියට බලපාන ප්‍රධාන සාධකය ඉන්ධන වන බැවිනි. නමුදු අද අප රටේ ඇත්තේ ඉන්ධන බැරලයක මිල වැඩිවීම නිසා වූ ප්‍රශ්නයක් නොවේ. රට බංකොලොත් වී තිබීමය. පෙට්‍රල් ගෙන ඒමට තරම් මුදල් රජය සතු නොවීම නිසාය. මෙනිසා මුළු රටම අක්‍රිය වී තිබෙන සමයකි මේ. ඉන්ධන නොමැතිව කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයකට අප මුහුණදී සිටින මොහොතක, මේ සූදානම ඉන්ධන සහ ඉන්ධන නිෂ්පාදන ලෝකයේ තනි පුද්ගලයකු ලෙස ධනවත් වූ චාර්ල්ස් කෝච් ගැන මෙන්ම ඔහුගේ ඉන්ධන නිෂ්පාදන ගැනත් විස්තර සඳහන් කිරීමටය. චාර්ල්ස් කෝච් ගැන සහ ඔහුගේ ව්‍යාපාරය ගැන විස්තර කරන අතරේ ලෝකයේ ඉන්ධන නිෂ්පාදන ක්‍රියාවලියේ ඔබ නොදන්නා වූ කරුණු කීපයක්ද අප අද ‘ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි’ විශේෂාංගය ඔස්සේ මෙලෙස ඉදිරිපත් කරමු. 

 

තෙල් බලයෙන් ලෝක ධනවතකු වූ මේ චාර්ල්ස් කෝච් කවුද?

චාර්ල්ස් කෝච් යනු ඇමරිකාවේ කෝච් ඉන්ඩස්ට්‍රීස් ඉන්කෝපරේෂන් ආයතනයේ හිමිකරුවාය. එහි ප්‍රධාන විධායකවරයා වන කෝච් 1967 සිට එලෙසින් කටයුතු කරයි. මෙම වසරේදී (2022) බ්ලු‍ම්බර්ග් ව්‍යාපාරික දර්ශකයේ ලෝක ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව ලෝකයේ ප්‍රකෝටිපතියන් අතරින් 18 වැනි ස්ථානයේ සිටින අතර, බලශක්ති සහ ඉන්ධන නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයා ලෙස හැඳින්වෙන්නේ ඔහුගේ නාමයයි. කෝච් උපන්නේ 1935 වසරේදී ෆ්‍රෙඩ් චේස් කෝච් සහ ක්ලෙමන්ටයින් මේරිගේ පුත්‍රයකු ලෙසය. ඒ යුවළට දරුවන් හතර දෙනෙකි. මේ චාර්ල්ස් ඉන් එක් අයෙකි. ‘කෝච්’ පවුලේ පැවැත්ම එන්නේ ලන්දේසි සම්භවය රැගෙනය. එනම් චාර්ල්ස් කෝච්ගේ සීයා ඩච් නොහොත් නෙදර්ලන්තයේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ අයෙක් විය. ටෙක්සාස් පළාත රාජධානිය කරගෙන මේ පවුල කටයුතු කර තිබේ. එවකට කියුනාහි පුවත්පත ආරම්භ කළේ ඔහුගේ මේ සීයා විසිනි. ඇක්මේ සහ පැසිෆික් රේල්වේ හි කොටස් හිමි තැනැත්තකු ද විය. ඔහුගේ මුතුන් මිත්තන්ගේ පරපුර දේශපාලන හා ලේඛන පරපුරකින් පැවැත ආවෝ වූහ.   


ධනවත් පවුලකින් පැවැත ආ අයකු වුවද, චාර්ල්ස් කෝච් හට ළමා කාලය ගෙවීමට සිදු වූයේ රසමසවුළු බුක්ති විඳිමින් මල් යහනා මත නොවේ. “පුතා ඔයා හිතන්න ලෝකයේ දුප්පත්ම ළමයා ඔයා කියලා. ඒ විදියට හිතලා වැඩ කරන්න.” කෝච්ගේ පියා එලෙස කීවා පමණක් නොවීය. ප්‍රායෝගිකව එය කිරීමට තම දරුවා හට ඉඩ කඩ සැලැස්වීය. උසස් පාසල් කීපයකින්ම අධ්‍යාපනය ලැබූ චාර්ල්ස් කෝච්, සාමාන්‍ය ඉංජිනේරු විද්‍යාව, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව, රසායන ඉංජිනේරු විද්‍යාව යන අංශවලින් උපාධිධරයකු වීම ඔහුගේ බුද්ධිමත් බව සසඳා බැලීමට හොඳටෝම ප්‍රමාණවත් වේ. ඉනික්බිතිව ඔහු රැකියාව කිරීම ඇරැඹියේ අන්තර්ජාතික කළමනාකරණ උපදේශන සමාගමක සේවයට එක්වීමෙන්ය. 

 

තෙල් ලෝකයට පැමිණීම

චාර්ල්ස් කෝච්, ඉනික්බිතිව පවුලේ ව්‍යාපාරයට එක්වීම සමග ස්වකීය ව්‍යාපාරික ගමනට මුලපිරුවේ 1961 දී පමණ ඔහුගේ පියාට අයත් රොක් අයිලන්ඩ් ඔයිල් ඇන්ඩ් රිෆයිනින් කම්පැනි හි රැකියාවට එක්වීමෙනි. වත්මනෙහි කෝච් ඉන්ඩස්ට්‍රීස් බවට පත්ව ඇත්තේ එම සමාගමය. කෝච් ඉන්ඩස්ට්‍රීස් ලෙස නම් තැබුවේ ද පියාට ගෞරව කිරීම වෙනුවෙනි. කෝච් ඉන්ඩස්ට්‍රීස් හරියටම පටන්ගෙන ඇත්තේ 1940 වසරේදීය. ඒ වනවිට චාර්ල්ස්ගේ වයස අවුරුදු 5ක් විය. තාත්තා එලෙසින් අරඹා තිබූ සමාගමට මහා බරක් ගෙන දුන් චරිතය වූයේ මේ පුතාය. තාත්තාගේ ව්‍යාපාරික දර්ශනය සහ තමා උගත් දැනුම අපූරුවට මුසු කරමින් පවුලේ ව්‍යාපාරය ගොඩනැගූ චාර්ල්ස් එය විවිධ අංශ ඔස්සේ ව්‍යාප්ත කිරීමට වගබලා ගත්තේය. බලශක්ති, තාර, ඛනිජ, ස්වාභාවික වායු (ගෑස්), පොහොර, තන්තු, පල්ප් සහ කඩදාසි, කෘෂිකර්මාන්තය, ප්ලාස්ටික්, රසායන ද්‍රව්‍යය පමණක් නොව මූල්‍ය අංශයේද කටයුතු කරන සමාගමක් බවට පත් කරවීමට නායකත්වය ලබා දුන්නේය. තෙල් පිරිපහදු කිරීම සහ බෙදාහැරීම යනු කෝච් ඉන්ඩස්ට්‍රීස් හි ප්‍රධාන අංශයකි. 2022 වනවිට කෝච් ඉන්ඩස්ට්‍රීස් හි සේවය කරන පිරිස ලක්ෂයකට වඩා වැඩිය. 2020 දී ඔවුනගේ වත්කම (කෝච් සමාගමේ) ඩොලර් බිලියන 115ක් ලෙස සඳහන් වුණි. කෝච් ඉන්ඩස්ට්‍රීස් ඇමරිකාවේ ව්‍යාප්ත වූ ව්‍යාපාරයක් වුවද රටවල් හැටක පමණ විවිධ ජාතිකයින් එහි සේවය කිරීම විශේෂත්වයකි. පියාව සිටි ෆ්‍රෙඩ් චේස් කෝච් මිය යාමෙන් පසුව පුතුන් සිව්දෙනා අතර සමාගමේ කොටස් බෙදී ගියද අවසන මෙම සමාගමට මහා ශක්තියක් ගෙන දුන්නේ චාර්ල්ස් කෝච් පුතුය. චාර්ල්ස් සහ ඩේවිඩ් කෝච් සහෝදරයින් දෙදෙනා විසින් ෆ්‍රෙඩ්රික් සහ විලියම් කෝච්ගේ කොටස් මිලදීගත් පසු සමාගමේ අයිතිය පැවරුණේ චාර්ල්ස් සහ ඩේවිඩ් කෝච් අතරය. එයින් ද චාර්ල්ස් කෝච් හට 42% ක කොටස් හිමිය. ඩේවිඩ් කෝච් 2019 දී මියගිය පසු ඔහු සතු කොටස් ඔහුගේ යැපෙන්නන් සහ හිමිකරුවන් හට අයිති වී තිබේ. කෝච් සහෝදරයින් හතරදෙනා තම තමන්ගේ ව්‍යාපාරික අරමුණු සඳහා නඩු කියා ගත් බව ද සැල වේ. එහිදී ඉහත කී පරිදි කටයුතු සිදුවිණි.   


මෙම කෝච් පවුල නොඑසේ නම් කෝච් නාමය ඇමරිකාවේ ප්‍රකටව ඇත්තේ ඔවුන් ධනවතුන් වූ නිසාම නොවේ. ව්‍යාපාරවලට අමතරව ඔවුනගේ දේශපාලන ක්‍රියාකාරකම් සහ සමාජ ක්‍රියාකාරකම් නිසාය. චාර්ල්ස් කෝච් පරමාදර්ශී චරිතයක් ලෙස බොහෝ දෙනා අතර ප්‍රචලිතය. විවිධ පුණ්‍යාධාර සහ දානපතියකු ලෙස විවිධ දේ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීම නිසා එසේ ඔහු ඇමරිකානු සමාජයේ ගෞරවය දිනා සිටී. දේශපාලන කඳවුරේදී කෝච් යනු දැඩි ලිබරල්වාදියෙකි.   
ඒ කෙසේ වුවද ඇමරිකානු සමාජයේදී දඩ ගෙවීම් හා දඬුවම් යනු තරාතිරම නොබලා ලැබෙන දෙයකි. කෝච් ඉන්ඩස්ට්‍රීස් පරිසර දූෂණය වෙනුවෙන් වසර පහක කාලයකදී දඩ ලෙස ඩොලර් මිලියන 400කට වඩා ගෙවා ඇති බව වාර්තාවල සඳහන් වේ.   


චාර්ල්ස් කෝච් විවාහ වූයේ 1972 දී ලීස් සමගය. ඒ දෙපළට දරුවන් දෙදෙනෙකි. පුතාගේ නම චාර්ල්ස් චේස් කෝච් වන අතර කෝච් ඉන්ඩස්ට්‍රීස් හි සම ප්‍රධාන විධායකවරයා වන්නේය. දියණිය එළිසබත් රොබින්සන් කෝච් හට ප්‍රකාශන ආයතනයක් හිමි අතර ඇය ලේඛිකාවක ද වන්නීය.   
ලෝකයේ තෙල් සපයා ඒ ආශ්‍රිත කර්මාන්තය නිසා ප්‍රබල චරිතයක් වී සිටින චාර්ල්ස් කෝච් යනු ආගම කරේ තබාගෙන යන ආගම්වාදියකු නම් නොවේ. එක්තරා විදියක දැඩි ආගම් විරෝධියෙකි. මෙනිසාම ලෝකයේ සෑම ජාතියක්ම ඔහු හට මිනිසකු වීම හැර අන්‍යාගමිකයකු හෝ ජාතිවාදියකු නොවේය. කෝච් මේ තරමටම ජනතාව අතර ආදරය දිනා ගැනීමට හේතුව එයම විය හැකිය. කෙතරම් ධනය, බලය තිබුණද ඕනෑම මිනිසකු හට ලෙඩ රෝග වැලඳේ. චාර්ල්ස් කෝච් සහ ඔහුගේ අනෙක් සහෝදරයින් තිදෙනාම පුරස්ථි ග්‍රන්ථි පිළිකාවෙන් පීඩා විඳි බව සඳහන් වේ. මූල්‍යමය වශයෙන් ගතානුගතික දේශපාලන ව්‍යාපාරයක් වන ලිබරල් පක්ෂයට සම්බන්ධ ‘ටී පාටි’ (Tea Party) සංවිධානයට කෝච් පවුල උදව් උපකාර කරන අතර නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයකට ලැදියාවක් දක්වයි. මොන දේ කළද මොන විදියට ක්‍රියා කළද චාර්ල්ස් කෝච් යනු නිතර මාධ්‍ය හමුවේ පෙනී සිටින අයකු නම් නොවේ. ඔහුගෙන් මාධ්‍ය සාකච්ඡාවක් ලබා ගැනීම ඉතා අසීරු දෙයකි. මෙලෙසින් ජීවිතය ගෙවන චාර්ල්ස් කෝච් වෙසෙන්නේ කැන්සාස් හි විචිතා ප්‍රදේශයේය. කැලිෆෝර්නියාවේ ඉන්ඩියන් වෙල්ස් නගරයේද මන්දිරයක් ඔහු සතුය. ඊට අමතරව කොලරාඩෝහි අස්පෙන්හි ඇති නිවසද ඔහුගේ නිවාඩුව ගත කරන තැනෙකි.   
ඉන්ධන නිසා ගෝලීය පරිසරයට සිදුවන හානිය ගැන දන්නේ නම් ඔබ මෝටර් රථයක් කිසිදා භාවිත නොකරනු ඇත   


තෙල් නිසා බලවත් වූ ධනවත් වූ ‘චාර්ල්ස් කෝච්’ගේ කතාව සැකෙවින් කියැවූ ඔබ හට, මීළඟට අප සඳහන් කරන්නේ, තෙල් සම්පත ගැන සහ වෙනත් පුද්ගලයින් ගැන ඔබ නොදන්නා කරුණු කීපයකි.   
ලෝකය වඩාත් පාරිසරික දූෂණය සිදු වන්නේ ‘ඉන්ධන’ නිසාය. එනම් තෙල් කර්මාන්තය නිසාය. තෙල් පිරිපහදුවලින් පිටවන දුම නිසා ගෝලීය පරිසරය විශාල ලෙස දූෂණය වේ. එය කෙතරම් නම් මහා පරිමාණ පාරිසරික දූෂණයක්ද යත් අපේ ඉන්ධන අපට එපා අපි පයින් යන එක ඊට වඩා හොඳය කියා ලෝකයට ආදරය කරන ඔබ විශ්වාස කරාවි. පෙට්‍රෝලියම් (පෙට්‍රල්) නැතහොත් ඉන්ධන පිරිපහදු කිරීමේදී නයිට්‍රස් ඔක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් මිශ්‍ර වී ඇතිවන සංයුතිය නිසා ගෝලීය උණුසුම වැඩි කරවීමට එය ඍජුවම බලපාන දෙයකි. විසිවන සියවසෙන් පසුව ගෝලීය උණුසුම වඩාත් ඉහළ ගියේ මෙම ඉන්ධන පිරිපහදු ක්‍රියාවලිය නිසා යැයි පාරිසරික විද්‍යාඥයෝ ප්‍රකාශ කරන්නකි.   


තෙල් හෙවත් මේ ඉන්ධන යනු ස්වාභාවික සම්පතකි. එය සැමදාටම ලෝකයේ පවතින දෙයක් නොවන වග විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. 2018 දී ප්‍රකාශ වූවේ වසරකදී පමණක් ඉන්ධන ටොන් බිලියන 11ක් පමණ ලෝකය භාවිත කළ බවය. කේම්බ්‍රිජ් බලශක්ති සම්පත් වාර්තාවට අනුව ට්‍රිලියන 3.74ක ප්‍රමාණයක් දහනය වීම (ගිනි ගැනීම) සිදුවන බව කියයි.   


බ්‍රිතාන්‍යයේ ස්ථාපිත තෙල් හා ගෑස් නිෂ්පාදන සමාගමක් සතු තෙල් (ඉන්ධන) ප්‍රවාහන නෞකාවක් මෙක්සිකානු මුහුදු කලාපයේදී පුපුරා ගියේ 2010 වසරේදීය. එනිසා මුහුදේදී ගිනිගෙන දැවී ගිය තෙල් ගැලු‍ම් ප්‍රමාණය බිලියන 210 ලෙස වාර්තාවල සඳහන් වුණි. මෙම තෙල් හා ගෑස් සමාගම හැඳින් වෙන්නේ 'BP' යනුවෙනි. මෙතෙක් ලෝක ඉතිහාසයේ ඉන්ධන නිසා ඇති වූ ලොකුම පාරිසරික ව්‍යසනය එය යැයි හැඳින්වේ.   
සෞදි රාජ්‍යයේ ‘ඇරම්කෝ’ (Aramco) යනු ලෝකයේ ඉන්ධන නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින තෙල් සමාගම් අතරින් වඩාත් ලාභ ලබන සමාගම වේ. ට්‍රිලියන දෙකකට එහා දළ වත්කම් ඒ නිසා ඔවුන් සතුය.   
සමහර වාර්තාවල දැක්වෙන්නේ ලෝකයේ තෙල් සහ ගෑස් (ස්වාභාවික) ඒ වාසනාවට හිමිකම් කියන්නේ රුසියාව යනුවෙනි. ව්ලැදිමීර් පුටින් හට එහිදී සුවිශේෂී ස්ථානයක් හිමි බව ද සඳහන් වේ.   


ඔබ දන්නේද සින්තටික් ෆැබ්රික් සහ නයිලෝන් පොලියස්ටර් නිෂ්පාදනය කෙරෙන්නේ පෙට්‍රල්වලින් යැයි කියා?   


‘බොර තෙල්’ නිෂ්පාදන ක්‍රියාවලියේදී සහ ‘පෙට්‍රල්’ නිෂ්පාදනයේදී ලෝකයේ ඉහළින්ම වැජඹෙන රට වන්නේ ඇමරිකාවය.   
වැඩියෙන්ම ඉන්ධන භාවිත කරන රටවල් අතරින් ඇමරිකාව, චීනය, ජපානය සහ ඉන්දියාව සඳහන් කළ හැකිය.   


බලශක්ති හා ඉන්ධන නිෂ්පාදන ක්ෂේත්‍රයේදී ඉහළම වැටුප් ලබන්නේ ‘ඔයිල් රිග්’ (Oil Rig) (තෙල් කැණීම් කරන) අංශයේ නිරත සේවකයන්ය.   


මෙලෙසින් බලවත් වූ තෙල් සම්පත ලෝකයට අහිමිව ගියහොත් ඊළඟට ලෝකය පණ ගැන්වෙන්නේ කොහොමද? බයෝ ෆුවල් (Bio Fuel) නැතහොත් ජීව වායු නිෂ්පාදන ක්‍රියාවලිය ඒ වෙනුවෙන් ආදේශ කිරීමට ලෝකය සූදානමින් සිටී. ජීව වායු නිෂ්පාදන ක්‍රියාවලිය ලෝකයට අමුතු දෙයක් නොවේය. ‘හෙන්රි ෆෝඩ්’ මෙම ක්‍රියාවලියට පිවිසියේ වසර සියයකට පෙරදී යැයි සඳහන් වේ. එසේ නම් පරිසරයට, ගෝලීය උෂ්ණත්වයට මෙතරම් හානි කරවන ඉන්ධන වෙනුවට ජීව වායු (Bio Fuel) නුදුරේදීම ලෝකය භාවිත කරනු ඇත.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ  
[email protected]