තාත්තේ අම්මා පිච්ච වැල ළඟ ඉන්නවා


අවට පරිසරයේ හැම ඉසියුම් චලනයක්ම ශ්‍රවණේන්ද්‍රිය විසින් උකහා ගනු ලබන්නේ දෙනෙත තදින් පියාගෙන සිටින කල්හිය. අන්ධ මිනිසුන්ගේ ඇසීමේ ශක්තිය තියුණු වී ඇත්තේ එම නිසාය. මේ මොහොතේ දිනේෂි සිටියේත් අන්ධ සෙයියාවකිනි. වැඳගෙන ගාථා මුමුණමින් සිටියත් ඇගේ අවධානය යොමු වී තිබුණේ අවට පරිසරයටය. කෙනෙකු ඉතා සෙමින් වියළි කොළ මතින් දෙපා අදිමින් ඇවිදින්නාක් බඳු හඬක් සවන් වැකුණත් ඇය ඕනෑකමින් සවන් දී සිටියා මිස දෙනෙත් විවර කළේ නැත. මෙවන් අවස්ථාවක ඒ වයසේ යුවතියක නොව හැඩිදැඩි පිරිමියෙකුගේ සිත පවා කැලඹෙන්නට ඉඩ තිබිණි. එහෙත් දිනේෂි සිටියේ එහෙම පිටින්ම සන්සුන්වය. සිතේ අහලකටවත් බිය නම් ආවේ නැත. කුමක් හෝ විශේෂිත යමක් සිදු වෙන්නට ආසන්න බැව් ඇයට දැනෙමින් පැවතිණි.   

“ලොකු දුවේ..” ඒ සියුම් හඬ නැඟු‍ණේ පිච්ච පඳුර දෙසිනි.   
එවර නම් ඇය තිගැස්සුණාය. ඒ බියෙන් නොව උද්වේගයෙනි. සුපුරුදු ආදරණීයම බව හෝ මුදු බව නොවූයේ වී නමුදු එය අම්මාගේ හඬම බවට ඇයට සැකයක් නොවිණි.   
“අම්මා..” ඇය මිමිණුවාය.   
“ඔව්.. අම්මා තමයි.. ලොකු දුව බය වෙන්න එපා.. ඒ වගේම ඇස් අරින්නත් එපා.. ඔහොම වැඳගෙනම මං කියන දේවල් අහගෙන ඉන්න.. මං මෙතන ඉන්නවා කියලා වෙන කාටවත් කියන්නත් එපා..” කටහඬ කීවේය.   
දෙනෙත් විවර කර පිච්ච පඳුර දෙස බැලීමේ ආශාව මැඩ ගත් දිනේෂි වැඳගත් දෑත තදින් ගැහෙන්නට වූ පපුවට සිර කර ගත්තාය.   


“නෑ අම්මා.. මම කියන්නෙ නෑ..”   
ඇය කීවේ අම්මාත් දුවත් අතර සුන්දර රහස් හුවමාරු වූ අතීතය සිහිපත් කරමිනි. ඇයට අම්මාට කියන්නට බැරි දෙයක් තිබුණේ නැත. නංගීටත් මල්ලිලාටත් නොකියන යම්යම් දේවල් අම්මා ලොකු දුවට කීවාය. මෙය ද එවන් අවස්ථාවක්යයි ඇයට සිතෙමින් තිබිණි.   
“ඉඳලාහිටලා මෙහෙම ඇවිත් කතා කරන්න මට පුළුවන්.. ඒත් හුඟක් වෙලා ඉන්නවත්, ඔයාට පේන්න එන්නවත් මට බෑ.. අනිත් අයත් එක්ක කතා කරන්නත් බෑ... මං කියන දේවල් කාටවත් කියන්න එපා කියන්නෙ ඒකයි.. එහෙම කිව්වොත් ඔයාගෙ හිත ගැස්සිලා කියලා තෙල් මතුරන්නයි, නූල් බඳින්නයි, තොවිල් නටන්නයි ලෑස්ති වෙයි.. තේරුණා නේද..?”   
එවර කටහඬට යම් රළු ස්වභාවයක් එක් වී තිබිණි.   
“තේරුණා අම්මා..”   


දිනේෂි මඳක් පුදුමයෙන් පිළිතුරු දුන්නාය. අම්මා මෙවන් රළු කතා ඇත්තියක නොවිණි. එහෙත් මළවුන් සහ නොමළවුන් අතර ඇති වෙනසම කටහඬවලත් තිබිය හැකියයි ඇගේ සිත කීවේය.   
“ඉස්සර වෙලාම මං මැරුණේ ඔයා හින්දා කියලා හිතන එක නවත්තන්න.. ඒක එහෙම පිටින්ම බොරු කතාවක්.. මට ඔයාලා දාලා එන්න සිද්ධ වුණේ මගේ ආයුෂ ඉවර හින්දා.. දැන් ඔයාලා මාව එහෙම පිටින්ම අමතක කරලා දාලා ආපහු සාමාන්‍ය ජීවිතේට එන්න ඕන.. මං වෙනුවෙන් අඬඅඬා හිටියා කියලා ඔයාලට ලැබෙන කිසිම දෙයක් නෑ..” කටහඬ අවධාරණය කළේය.   
“ඒත් ඒක කරන්නෙ කොහොමද අම්මා..? මේ හැම තැනම අම්මා ඉන්නවා වගේ මට පේනවා.. ඔයා කරපු විදියට ගෙදර කිසිම දෙයක් කර ගන්න අපිට තේරෙන්නෙ නෑ..” ඇයට ඉකි බිඳිණි.   
“ඔයාට තේරෙනවනෙ මට ආපහු එන්න බෑ කියලා.. ඒ හින්දා හැමදේම තනියෙන් කර ගන්න පුරුදු වෙන්න.. ටික කාලයක් යනකොට මං හිටිය කාලෙ වගේම එහෙම නැත්නම් ඊටත් වැඩිය හොඳට ගෙදර වැඩ ටික කර ගන්න ඔයාලට පුළුවන් වෙයි..”   
“ඒත් අම්මා..”   


දිනේෂි කතා කරන්නට වූයේ ජීවතුන් අතර සිටි අම්මා සමඟ කතා කළ ස්වරයෙන්මය. එහෙත් ඇයට දිගටම කතා කරන්නට කටහඬ ඉඩ දුන්නේ නැත.   
“ඔයාලා සති දෙකක් විතර ඉස්කෝලෙ ගියෙ නෑ.. සඳුදා ඉඳලා නංගියි, මල්ලිලයි එක්ක ඉස්කෝලේ යන්න ඕන.. ඒ වගේම තාත්තා රස්සාවට යවන්නත් ඕන.. ඒක ඔයාගෙ වගකීම.. දැන් මට යන්න වෙලාව හරි.. ඔය වැන්දා ඇති.. ඔයත් දැන් යන්න..”   


කලබලයෙන් අණ කළ කටහඬ නෑසී ගියේය. දිනේෂි වහා දෙනෙත විවර කර පිච්ච පඳුර දෙස බැලු‍වාය. සුළඟක් නැතත් පඳුර සෙලවෙමින් තිබිණි. මෙතෙක් නොදැනුණ බියකින් ඇගේ සිත සැලෙන්නට පටන් ගත්තේ අම්මා එතැනින් පිට වී ගොස් ඇතැයි සිතුණ නිසාය. ඇය වහා ගෙට දිව ගියාය. හාන්සි පුටුවේ දිගෑදී සිටි කිත්සිරි උදාසීන ලෙස හිස හරවා බැලු‍වේය. සැබැවින්ම මේ වන විට ඔහු සිටියේ තමා අවට සිදු වන කිසිම දෙයක් ගැන, කිසිදු අවබෝධයක් නැත්තෙකු මෙනි. ලොකු දුව ප්‍රවේසම් කර ගන්නා ලෙසත්, ඇයට තනිපංගලමේ එහෙමෙහ යන්නට ඉඩ නොදෙන ලෙසත් හීන් නෝනා ගෙදරට එන හැම විටෙකම ඔහුට කියන්නේය. එහෙත් එය කළ යුත්තේ කුමනාකාරයටදැයි ඔහු දැන සිටියේ නැත. ජිනාදරී සිටියේ නම් එය හේතුසාධක ඇතිව පැහැදිලි කර දෙනවා නියතය.   
“තාත්තා.. අපි සඳුදා ඉඳන් ඉස්කෝලේ යන්න ඕන..”   


දිනේෂි ඔහු අසළ නැවතී කියද්දීත් ඔහුගේ ඉරියව්වල කිසිම වෙනසක් ඇති වූයේ නැත. ඔහු සුසුමක් හෙළීය. මේ වන විට ඔහුට හැම සරල දෙයක්ම මහා බරක් ලෙස දැනෙමින් තිබිණි. ඇය සුපුරුදු ලෙස තාත්තාගේ උකුළේ වාඩි නොවූයේ එසේ නොකරන ලෙස ආච්චි, සඳසීලී නැන්දා ඇතුළු වැඩිහිටි කාන්තාවන් අවවාද කර තිබූ නිසාම නොවේ. මේ බැරෑරුම් පෙනුමැති තාත්තා ආගන්තුකයෙකු ලෙස දැනුණ බැවිනි.   
“මන්දා.. මට කිසිම දෙයක් හිතා ගන්න බෑ ලොකු දුව.. අම්මා ඉන්නකොට හැමදේම එයා මටත් එක්කම හිතුවා.. මට කරන්න තිබ්බෙ හම්බ කරන එකයි, ඔයාලා හුරතල් කරන එකයි විතරයි.. දැන් මට හිතෙන්නෙ ඒ ඔක්කොම සිද්ධ වුණේ සංසාරේ ඈතම කාලෙක කියලා.. මට ආයෙම මුල ඉඳලා ජීවිතේ පටන් ගන්න අමාරුයි පුතේ.. ඒ හින්දම ඔයාලටත් මගෙන් හුඟක් අසාධාරණකම් සිද්ධ වෙයි..” ඔහු හීල්ලු‍වේය.   
ඔහුගේ ඇස්වල පිරුණ කඳුළු විදුලි පහන් එළියෙන් දිදුලනු දිනේෂිට පෙනිණි. ඔහු ඒවා දියණියට නොපෙනෙන්නට මෙන් ඉවත බලා ගත්තේය. ඇගේ පපුව හෝස් ගා ඇවිලී ගියේය. අම්මා යනු හුදු පුද්ගලයෙකු නොව ඔහුගේ ජීවිතයේ වටිනාම කොටස බැව් ඇගේ පුංචි හිතට තේරුම් යමින් තිබිණි. ඒ කොටස අහිමි වූවාට පසුව ජීවිතයට පැවැත්මක් හෝ ශක්තියක් නොමැත.   


“තාත්තෙ අම්මා පිච්ච වැල ළඟ ඉන්නවා.. මේ දැනුත් අපි දිහාවෙ බලාගෙන මෙතන ඉන්නව ද දන්නෙ නෑ..”   
කියන්නට ඇගේ මුව නලියෑවේය.   


එහෙත් අම්මාගේ වචන ඇගේ සිතත් මුවත් අතරේ වැටක් බැඳ තිබිණි. ඇය ගැන කියන්නට ගොස් තමන්ගේ හිත ගැස්සී ඇතැයි අනුමාන කර නූල් බඳින්නට, තෙල් මතුරන්නට අනෙක් අය ඉදිරිපත් වෙනවාටත් වඩා ඇය බිය වූයේ අම්මා අවතාරයක් වී සැරිසරනවා ඇතැයි ඔවුන් සිතනවාටය. ඇය තවමත් ගෙය අවට ගැවසෙන බවට හැඟීම තමාට ශක්තියක් වූවාට අනෙක් අයට බියජනක අත්දැකීමක් වෙනවා ඇතැයි ඇය කල්පනා කළාය.   


“නෑ තාත්තා.. අපිට හැමදාම මෙහෙම ඉන්න බෑනෙ.. අපිට අම්මා ගිය දිහාවට යන්නත් බෑ.. ඒ හින්දා එයා නැතුව ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕන.. අපි සඳුදා ඉඳලා ඉස්කෝලේ යනවා.. තාත්තත් ඉස්සර වගේ වැඩට යන්න..”   


ඇය අවධාරණාත්මකව කියද්දී මොන තරම් පුදුමයට පත් වී ද යත් කිත්සිරි උඩු කය ඍජු කරගෙන දියණිය දෙස බැලීය. ඊයේ පෙරේදා වන තුරුම අම්මා ගැන කියමින් හූල්ලමින් සිටි ඇය මෙතරම් ඉක්මනට අලු‍ත් කෙනෙකු වී ඉපදුණේ කෙසේදැයි ඔහුට සිතා ගත නොහැකි වූයේය.   
“මම වැඩට යන්න..?”   


ඔහුගේ මුවින් භග්න ස්වරයෙන් එවදන් පිට විණි.   


෴ ලබන සතියට ෴