තවත් කතන්දරයක් අහගන්න විතරක් එපා ඔන්න


 

තමා කී හැම වචනයටම සකුණ නිහඬව ඇහුම්කන් දී සිටීම දිනේෂිට ලොකු සතුටක් විණි. බරැති යමක් සිතේ සිර කරගෙන සිටීම දැඩි පීඩාවකි. එහෙත් ඒ පීඩාව හැම දෙනාටම පෙන්වන්නට පුළුවන්කමක් නැත. එසේ පෙන්වුවහොත් සමහරු වරදවා සිතන්නට ඉඩ තිබේ. එසේත් නැත්නම් එය ආයුධයක් කරගෙන සිත තවත් පීඩාවට පත් කරන්නට ඉඩ තිබේ. ළඟින් ඇසුරු කර පුරුද්දක් නොවූයේ වී නමුදු සකුණ කෙරෙහි විශ්වාසය තබන්නට හැකි බැව් දිනේෂි පසක් කරගෙන සිටියාය. අම්මා විසින් කියන ලද දේවල් සියල්ලම ඔහුට කීවේ එම නිසාය. 

“ඔයා ඔය ගැන වෙන කාටවත් කියන්න එපා.. එහෙම කිව්වොත් අම්මා කිව්වා වගේ ඔයාට නූල් බඳින්නයි, බලිතොවිල් කරන්නයි ආච්චිලා ලෑස්ති වෙයි..” 
“ඊටත් වැඩිය අම්මා ඔතන ඉන්නවා කිව්වොත් මිනිස්සුත් බය වෙයිනෙ අයියෙ..” 
දිනේෂි කියද්දී ඔහුගේ මුව උපහාසාත්මක සිනාවකින් ඇද වූයේය. 


“ඔව්.. ඒක ඇත්ත.. ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට වැඩිය මිනිස්සු බය මැරිච්ච මිනිස්සුන්ටනෙ..” 
“පුදුමෙ කියන්නෙ මට බයක් දැනෙන්නෙ නෑනෙ අයියෙ..” 


“එහෙම බය නැති එක හොඳයි.. ඒත් නංගි.. අම්මට හැම වෙලාවෙම ඔයාව ආරක්ෂා කරන්න, ඔයාගෙ පස්සෙන් ඉන්න පුළුවන්කමක් නෑනෙ.. ඒ හින්දා ඔයා එයා උපදෙස් දෙනකම්ම ඉන්නෙ නැතුව කරන්න තියෙන දේවල් කරන්න.. ඒ වගේම හිත හයිය කරගෙන ඉන්න.. කවුරු මොනවා කිව්වත් දුක් වෙන්නවත් හිතෙන් වැටෙන්නවත් එපා..” 
ඔහු කී සියල්ලට ඇය වුවමනාවෙන් ඇහුම්කන් දුන්නාය. ඒ හැම වචනයකම වටිනාකමක් තිබෙන බැව් ඇයට වැටහිණි. නිසංක දිවගොස් සසංකටත්, අනුෂිටත් එකතු වූ බැවින් සකුණ සමඟ නිදහසේ කතා කරන්නට ඇයට හැකියාව ලැබිණි. අතරමඟදී හමු වුණ කිහිප දෙනෙක්ම විමසිලිමත් ඇස්වලින් ඔවුන් දෙස බැලු‍වත් දිනේෂි තුළ චකිතයක් හට ගත්තේ නැත. 
“අම්මත් කිව්වා අයියෙ, එයා මැරුණේ මං හින්දා කියන එක හිතෙන් අයින් කරන්න කියලා..” ඇය සිහිපත් කළාය. 


“ඒකනෙ.. ආයුෂ ඉවර වුණාම ඕනෑම කෙනෙක් මැරෙනවා.. ඒක කවුරුවත් හින්දා වෙන දෙයක් නෙමෙයි.. ඔයා දැන් හැමදේම අමතක කරලා ගෙදර වගකීම අරන් වැඩ කරන්න.. මං දැක්කා කිත්සිරි මාමා උදේම කොහෙදෝ යනවා..” 
“අම්මා කිව්වා එයාට වැඩට යන්න කියන්න කියලා..” 
එලෙස ඇරඹූ ඇය තාත්තා සමඟ කරන ලද කතාබහ ද පැවසුවාය. 
“ඒක හොඳයි.. දැන් ඔයාලා හැමෝම අලු‍තෙන් ජීවිතේ පටන් ගන්න ඕනනෙ.. ඔහොම ගෙදරට වෙලා ඉන්නකොටත් ඔළුව යකාගෙ කම්මල වාගෙ වෙනවනෙ.. අනිත් එක හොඳට මතක තියා ගන්න නංගි, ඉස්කෝලෙ ළමයි හුඟක් දෙනෙක් දන්නවා ජිනා නැන්දා මැරුණේ ඔයා ලොකු ළමයෙක් වුණ දවසෙමයි කියලා.. එයාලා ඒක අල්ලාගෙන ඔයාට හිත රිදෙන දේවල් කියන්න පුළුවන්.. ඒ වගේ වෙලාවට නෑහුණා වාගෙ මඟෑරලා යන්න.. ” 


සකුණ උපදෙස් දුන්නේය. 
“හා අයියා..” එසේ කීවත් ඇගේ වත මලානික වූයේය. 
අම්මාගේ මරණය වෙනුවෙන් ඇය මේ වන විටත් බොහෝ සිත්පීඩා විඳ තිබිණි. ඇය යාන්තමින් හිත හදා ගත්තේ සිය මරණයට ඇය වගකිව යුතු නැතැයි අම්මා ගේ ආත්මය පැවසුවාට පසුවය. එහෙත් පිටස්තරයෙක් එය සිහිපත් කර ඇනුම් පදයක් හෝ කිවහොත් සකුණ කියන්නාක් මෙන් නිහඬව සිටින්නට හැකි වනු ඇද්දැයි ඇය කල්පනා කළාය. 


“ළමයි හැමදාම එකම දේවල් කියන්නෙ නෑ.. ඉක්මනට එයාලට හැමදේම අමතක වෙයි.. එතකම් ඉවසාගෙන ඉන්න එක තමයි කරන්න ඕන.. මහන්සි වෙලා වැඩ කරලා පාඩම් ටික අල්ලා ගන්න.. ඉස්සර වාගෙම සෙල්ලම් කරන්න.. යාළුවොත් එක්ක හිනා වෙලා ඉන්න.. එතකොට ඔයාට දුක දැනෙන එක අඩු වෙයි..” 
සැබැවින්ම දිනේෂි අසා සිටියේ මවිතයෙනි. අල්ලපු ගෙදර සිටියත් එකම පාසැලේ සිටියත් ඔවුනතර මෙතෙක් සමීප ඇසුරක් තිබුණේ නැත. එම නිසාම ඔහු තුළ මෙවන් වැඩිහිටි අදහස් ඇති බැව් දැන ගන්නට ඉඩක් නොවිණි. 


“මම බයිසිකලේ එන්නෙත් නැතුව පයින් ආවේ ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන හින්දමයි.. ඔයාලා හෙමින් එන්න නංගී.. අන්න තිමිර එනවා.. මම එයාගෙ බයිසිකලේ යන්නම්..” 
කියූ ඔහු හරස් පාරකින් ආ බයිසිකලය වෙත දිව ගියේය. දිනේෂි ගේ සිතට පාළුවක් බඳු හැඟීමක් දැනිණි. එහෙත් ඔහුගේ වදන් විසින් ඇය තුළ මහා ශක්තියක් ජනිත කරනු ලැබ තිබිණි. ඕනෑම දෙයකට මුහුණ දෙන්නට තමාට හැකි වනු ඇතැයි ඇය විශ්වාස කළාය. 
“මොනවද සකුණ අයියා එක්ක ඔච්චර දෙඩෙව්වෙ..?” 


ඇය ඉක්මන් ගමනින් ගොස් සොයුරන්ට එකතු වූ විට සසංක නොරිස්සුම් හඬින් විමසුවේය. දිනේෂි තිගැස්සී ගියාය. ලොකු මල්ලී කිසිම දිනෙක මෙවන් ස්වරයෙකින් කතා කර නොතිබිණි. අනුෂි ද ඔහු දෙස බැලු‍වේ බියෙන් මෙනි. 
“එයා කිව්වෙ.. එයා කිව්වෙ..” දිනේෂි මඳක් ගොත ගැසුවාය. 


ඔහු සමඟ කරන ලද කතාබහ හෙළිදරව් කරන්නට නම් අම්මා ගැනත් කියන්නට වෙන්නේය. එහෙත් එය ඔවුන් තුළ කුමන හැඟීමක් ඇති කරනු ඇද්දැයි ඇයට අනුමාන කළ නොහැකි වූයේය. සකුණ කියන්නාක් මෙන් හැම දෙනාම ජීවත් වෙන මිනිසුන්ට වඩා බිය වන්නේ මියගිය මිනිසුන්ටය. අම්මා මොන තරම් ආදරණීය චරිතයක් වුවත් ඇය හොල්මනක් වී සිටින්නේ යයි පිළිගන්නට ඔවුන් කැමති නොවන බැව් සහතිකය. 
“එයා මොන රෙද්දක් කිව්වත් මට කමක් නෑ.. තවත් කතාන්දරයක් අහ ගන්න විතරක් එපා ඔන්න..” 
අමිහිරි හඬින් කී සසංක පාර අද්දර වූ බැබිල පඳුරක කොළ කැඩී විසිරෙන ලෙස කෝටු පහරක් එල්ල කළේය. දිනේෂි හිටිවනම නැවතුණේ ඔහු භාවිතා කළ වචනවල නුහුරු රළු ස්වභාවය දරා ගත නොහැකි වූ නිසාය. අනුෂිත් නිසංකත් ඇගේ දෑතේ එල්ලු‍ණේ ඔවුන්ටත් එලෙසින්ම දැනුණ නිසා විය යුතුය. 
“ලොකු මල්ලී.. කොහෙන්ද ඔයා ඔය වාගෙ කැත වචන කතා කරන්න ඉගෙන ගත්තෙ..?” 
ඇය ඇසුවේ පපුවේ දැවිල්ලක් බඳු ස්වභාවයක් ඇතිවය. වචනයක්වත් නොකී සංසක පඳුරුවලට කෝටු පහර දෙමින්ම වේගයෙන් ඉදිරියට ගියේය. 
“ඇයි අක්කෙ.. අයියට එච්චර කේන්ති ගිහින්..? අපිටත් කෝටුවෙන් ගහයි කියලා මට බය හිතුණා..” අනුෂි මිමිණුවාය. 


“එයාට පිස්සු.. එන්න අපි යමු.. පරක්කු වෙයි..” 
නොසතුටින් මෙන් එසේ කීවේ වී නමුත් මහා ව්‍යසනයක පෙරනිමිති අත ළඟයයි ඇගේ සිත කියන්නට පටන් ගත්තේය. සකුණ සමඟ කතා කළේනම් මල්ලී ගේ වෙනසට හේතුව ඔහු පැහැදිලි කරන්නට ඉඩ තිබිණි. 
“තවත් කතාන්දරයක් අහ ගන්න එපා..” 


ඔහුගේ එවදන් ඇගේ සිත තුළ දෝංකාර දෙමින් තිබිණි. ඇය නිසා අම්මා මියගිය බවට ගමේ පැතිර තිබූ කතන්දරය ඔහු බොහෝ බරපතළ ආකාරයට සිතට ගෙන ඇතුවා නිසැකය. එයින් ඔහු කෝපයට පත් වී ද, කනගාටුවට පත් වීදැයි දැන ගන්නට ඇයට හැකියාවක් නොවිණි. එහෙත් අල්ලපු ගෙදර වාසය කරන සකුණ සමඟ කතාබහ කිරීම කතාන්දරයකට මුලක් වන්නේ කෙසේදැයි ඇය දිගින්දිගටම කල්පනා කළාය. ඔහු සමඟ කතාබහෙන් පසුව සිතට දැනුණ පහන් හැඟීම එහෙම පිටින්ම අතුරුදන් වී ගොස් ඇති බවක් ඇයට දැනෙන්නට වූයේය. 


ඇය පාසැල් බිමට පය තැබුවේ මුල්ම වතාවට තැනකට යද්දී ඇති වන පසුබෑම හා බියමුසු හැඟීම සිත දරාගෙනය. ලොකු මල්ලී ගේට්ටුව ආසන්නයේ නැවතී ඔවුන් එන තුරු බලා සිටියේය. ඒ මොහොතේ ඔහු අතේ කෝටුව තිබුණේ නැත. මුහුණේ වූ නොරිස්සුම් ස්වභාවයත් සෑහෙන තරමකට අඩු වී තිබිණි. 
“අම්මෝ ඇති.. මං හිතුවෙ අර කෝටුව ඉස්කෝලෙටත් අරන් යයි කියලා..” අනුෂි කෙඳිරුවාය. 


෴ ලබන සතියට ෴