ජන අරගලයේ මාර්ගය නිවැරදිද ?


අරගලයේ ඉලක්කය වූ ‘ගෝඨා-ගෝ-හෝම්‘ සම්පූර්ණ වූයේ, ජනතාව විසින් බහුතර බලයකින් මීට වසර තුනකට පමණ පෙර, ජනාධිපති ධුරයට පත් කළ ජනාධිපති එම ජනතාව විසින් ම බලහත්කාරයෙන් ධුරයෙන් නෙරපා දැමීමෙනි. අරගලකරුවෝ බලහත්කාරයෙන් ජනාධිපති මන්දිරයත්,‍ අග්‍රාමාත්‍ය නිලනිවස වූ අරලියගහ මන්දිරයත්, ජනාධිපති ලේකම් කාර්යාලයත් අත්පත් කර ගත්හ. එසේ ම මෙසේ ප්‍රචණ්ඩකාරී ව හැසිරුණු තවත් පිරිසක්, අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසට කඩා වැදී ගිනි තබා විනාශ කළහ.   

ජූලි 9 වැනිදා ජනාධිපතිවරයාට ධුරයෙන් සමුගැනීමට මඟ සකස් කළ සිදුවීම් මාලාව, රුසියානු සහ ප්‍රංශ විප්ලවයටත්, සදාම් හුසේන් බලයෙන් නෙරපා දැමීමේ සිදුවීමටත් සමාන කරමින් බොහෝ දෙනා අදහස් දක්වනු මට අසන්න ලැබුණි. සිදුවුණු එම සිදුවීම් මාලාව සාධාරණීකරණය කළත්, ඒ ගැන සතුට පළ කළත්, බොහෝ දෙනා වටහා නොගත් කරුණ වන්නේ, එසේ අවසන් කරන ලද්දේ දිගු කාලයක් ජනතාව පීඩාවට පත් කළ ඒකාධිපතියකු හෝ ඒකාධිපති පාලනයක් හෝ නොවන බවය.   
ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය ඖෂධ හිඟ වෙද්දී, පාලනයකින් තොරව බඩු මිල ඉහළ යද්දී සහ උද්ධමනය ඉහවහා යද්දී දුක් විඳිමින් සිටි ජනතාවට තවත් එය දරාගත නොහැකි විය. එය එසේ වූයේ එක් රැයකින් නොව, නිදහසෙන් පසු ගතවුණු 74 ක කාලයක් තිස්සේ ගොඩ ගැහුණු අහිතකර සිදුවීම් රැසක ප්‍රතිඵලයක් වශයෙනි. ඒ තත්ත්වයන්, ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය විසින් ක්‍රියාත්මක කළ දුර්වල ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති නිසා ශීඝ්‍රයෙන් තව තවත් උග්‍ර අතට හැරුණේය.   


ඒ අනුව, මේ රටේ ජනතාව ‘ඉවසුවා ඇති’ කියන තත්ත්වයකට පත්විය. ඔවුන් මේ රටේ සමස්ත දේශපාලන පද්ධතියම ප්‍රතික්ෂේප කරන්නට පෙළඹුණේ ඒ නිසාය.   


අප ව්‍යවස්ථාවට අනුව, ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ස්වෛරීත්වය රැඳී ඇත්තේ ජනතාව අතේය. ඒ ගැන විවාදයක් නැත. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය රට පාලනය කළ යුත්තේ ජනතා අරමුණු වෙනුවෙන් සහ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් ය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ක්‍රියාත්මක කළ යුතු වන්නේ ජනතාව විසින් ඒවාට පත් කරනු ලබන ජනතා නියෝජිතයන් හරහාය. ඒ අනුව අපේ ස්වෛරීත්වය ක්‍රියාවට නැංවිය යුතු වන්නේ ද එම නියෝජිතයන් සහ ඔවුන් විසින් පාලනය කරනු ලබන ආයතන මගිනි.   


මගේ තර්කය සරල මූලික නිදර්ශනයකින් පැහැදිලි කළොත්, මේ රටේ පුරවැසියකුට බැංකුවක් කොල්ල කා, ව්‍යවස්ථාවේ සඳහන් ස්වෛරීත්වයට අනුව තමන් එසේ කළා යැයි සතුටු වීමට ඉඩක් නැත. ස්වෛරීත්වය තුළින් පුරවැසියකුට නීතිවිරෝධී ක්‍රියාවක් කිරීම සඳහා මුක්තියක් හිමි වන්නේ නැත.   
මම ව්‍යවස්ථා විශාරදයකු නොවෙමි. කෙසේ වෙතත්, මගේ පුද්ගලික මතයට අනුව නම්, නිල නිවස අත්පත් කර ගනිමින්, රටේ රාජ්‍ය නායකයා ධුර කාලය අවසන් වීමට පෙර, බලහත්කාරයෙන් ධුරයෙන් නෙරපා, ඔහුට රටින් ද පලා යෑමට ඉඩ සැලැස්වීම නීත්‍යානුකූල හෝ ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවකි. එය 1948 වසරෙන් පසු අපගේ ප්‍රජාතන්ත්‍රවා දී පාලන ක්‍රමවේදය අස්ථාවර කිරීමකි.   


2022 ජූලි 9 වැනි දා සිදුවූයේ ජනතා ජයග්‍රහණයක් යැයි පවසමින් එය සමරන බොහෝ දෙනා මොහොතක් නැවැතී සිදුවුණු සිදුවීම් මාලාවේ දිගු කාලීන ආර්ථික සහ සමාජයීය බලපෑම ගැන සිතා බැලිය යුතු වෙයි. ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පුනපුනා පවසා ඇත්තේ සාකච්ඡා කිරීමට පෙර රටේ දේශපාලන අර්බුදය අවසන් කර ස්ථාවරත්වයක් ඇති කර ගත යුතු බවය. නිරීක්ෂණය තුළින් පෙනී ගිය කරුණක් නම්, වෙනසක් ඉල්ලමින් ගොඩ නැගුණු පොදු ජන මතය හෝ ‘සිස්ටම් චේන්ජ්‘ කිරීමට ගත් උත්සාහය ගැන හෝ බොහෝ දෙනකුට හරිහැටි අවබෝධයක් නොතිබුණු බවය.   


හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන්, ගෝල්ෆෙස් අරගල භූමියේ සාමකාමී අයුරින් පැවැති විරෝධතාකරුවන්ට පහර දුන්නේ මැයි 9 වැනිදාය. එදා ඉන්පසු සිදු වූ සිදුවීම් සියල්ලම එම සිදුවීමේ ප්‍රතිඵලයක් විය. එය ජනතා නැගී සිටීමේ සන්ධිස්ථානයකි. එය ප‍්‍රථමයෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක්‍රමයේ මායිම් තුළ සිටින තවත් සටන්කාමී කොටස්වලට අරගලයට රිංගා ගැනීමටත් පසුව මහජන ව්‍යාපාරය පාලනය කර ගැනීමටත් ඉඩ සැලසීය.   


ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද එවැන්නකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය යනු ජනතා විමුක්ති පෙරමුණ තම විප්ලවවා දී මාවතෙන් ඉවතට ගිය බව පෙන්වා දෙමින්, ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය කණ්ඩායමය. ඔවුන් තමන් හඳුනා ගන්නේ කොමියුනිස්ට්වාදය, මාක්ස්වාදය, ලෙනින්වාදය, අධිරාජ්‍ය විරෝධය සහ විප්ලවවාදී සමාජවාදය මත පදනම් වූ අන්ත වාමාංශික නැඹුරුවක් සහිත සංවිධානයක් ලෙසය. මෙම මතවාදයන් බොහොමයක් වසර ගණනාවකට පෙර සංකල්පගත කර පුරෝගාමී වූ රටවල ජනතාව පවා අද වන විට ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.   
ගුණරත්නම්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවක දී ඔහු පෙන්වා දුන්නේ ලැබූ ජයග්‍රහණය තමන් ප්‍රකාශ කළ අක්‍රීය හා ජනතා විරෝධී ව්‍යවස්ථා රාමුවෙන් ඔබ්බට ස්වෛරී අයිතීන් දිගුකරමින් ජනතාව තම අයිතීන් ක්‍රියාත්මක කිරීමෙන් ලබාගත් ජයග්‍රහණ බවය.   


2020 දී ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රට පාලනය කිරීම සඳහා ජනතාව ලබා දුන් ජනවරම ජුලි 9 වැනිදා සිට බල රහිත බව ප්‍රකාශ කළ ගුණරත්නම් වැඩි දුරටත් ප්‍රකාශ කළේ, මෙතෙක් පිහිටුවා ගත් කිසිදු දේශපාලන පක්ෂයකට ඓතිහාසිකව අනුගමනය කළ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බවය.   


ගුණරත්නම්ගේ ඉහළ අභිලාෂයෙන් යුත් ප්‍රකාශ අවංක බවට සැකයක් නැත. කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රකාශයත් සමඟ ප්‍රශ්න දෙකක් ඉස්මතු වෙයි.   


1. ඔහු සඳහන් කරන ආකාරයට අරගලයේ තමන් විසින්ම පත්වූ නායකයන් කවුරුන් ද?   
2. මේ වෙනස් කිරීම් සඳහා බලපෑම් කරන්නට ඔවුන් භාවිත කරන්නේ කාගේ අයිතිවාසිකම් ද?   


ජනාධිපති නිල නිවස, අග්‍රාමාත්‍ය නිල නිවස සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගත් ප්‍රධාන කණ්ඩායම වූයේ අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය හෙවත් අන්තරේ සාමාජික සාමාජිකාවන්ය. අන්තරේ කඳවුම්කරු විසින් පැවැත් වූ තවත් මාධ්‍ය හමුවක දී අරගලයේ නායකයෙකු ලෙස තමා හඳුන්වා ගන්නා පුද්ගලයෙකු පැවැසුවේ, ඔවුන්ගේ වර්තමාන ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාරයක් ජූලි 13 වන විට ලැබිය යුතු බවය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් පාර්ලිමේන්තුව වැනි අනෙකුත් ආයතනවල දොරටු මහජන ප්‍රදර්ශනයට විවෘත කරනවා යැයි ඔහු අනතුරු ඇඟවීය.   


රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ගොස් ජුලි 9 වැනි දින යම් කිසි දෙයක් ලබා ගත්තේ නම්, එම ජයග්‍රහණ අනිවාර්යයෙන්ම නීති විරෝධී හෝ විවාදාපන්න විය හැකි දෙයක් ලෙස සැලකිය යුතුය. එය රටේ නීති සම්මත කරන ආයතනය වූ ව්‍යවස්ථාදායකය මගින් සම්මත විය යුතුය. එසේ සම්මත වන නීති අධිකරණය මගින් රටේ ආරක්ෂාව හා පැවැත්ම සඳහා භාවිත කෙරේ.   


එසේ නොවුවහොත් අප කරන්නේ අරාජිකත්වයට දොරටු විවර කර ‘ජන බලය‘ වේශයෙන් අස්ථාවර සහ පාලනය කළ නොහැකි රටක් නිර්මාණය කිරීමට මග සැලසීමයි. අරගලයට සහාය දුන් කිසිවකු එහි ප්‍රතිඵලයක් ලෙස එවැන්නක් සිදුවේවායි ප්‍රාර්ථනා කළ බව හෝ බලාපොරොත්තු වූ බව හෝ මම විශ්වාස නොකරමි.   


අරලියගහ මන්දිරය අල්ලා ගෙන සිටි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස 10 දෙනෙකු රෝහල් ගත කර කෙරුණි. දැඩි ලෙස පොදු දේපළක් වන ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය ඒවාට ඇතුළු වූවන් විසින් විනාශ කර ඇති බවට ද වාර්තා පළ විණි. ගෝඨාගෝගම ප්‍රහාරය විශාල වශයෙන් සාමකාමී නමුත් රජය කෙරෙහි මහජන අතෘප්තිය විදහා දැක්වීමක් වූ බැවින්, ජාතියක් වශයෙන් අපට මෙම ඉරණමට මුහුණ දීමට සිදුවනු ඇතැයි මම සැමවිටම බිය වෙමි.   


කිසිදු ආකාරයක ප්‍රචණ්ඩත්වයකට නොගොස් ඔවුන් විසින් කලක් ගෞරවාන්විත සහ බලගතු මහින්ද රාජපක්ෂ මහතා සමග මුළු කැබිනට් මණ්ඩලයම බලයෙන් නෙරපා හැරීම, රටක පුරවැසියෙකුට සාමකාමී නමුත් නොනවතින සිවිල් ක්‍රියාමාර්ගයකින් අත්කර ගත හැකි දේ පිළිබඳ සාක්ෂියකි. කෙසේ වෙතත්, වර්තමාන තත්ත්වය වඩාත් සංකීර්ණ සහ අවුල් සහගත එකක් වන අතර, පෙරටුගාමීන් සහ විශ්විද්‍යාල අන්තරේ දැක්වන කාරණා සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් කිරීමට උත්සාහ නොකර, මෙතැන් සිට අවම වශයෙන් මාස හයේ සිට වසරක කාලසීමාවක් තුළ පාලනය සහ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හැර කිසිදු දේශපාලන විසඳුමක් කරා ඉදිරියට යාම පහසු කාර්යයක් නොවනු ඇත.   


ජූලි 9 වෙනිදා ඇති වූ කැලඹිලි තත්ත්වයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ නිහඬව සිටියේය. ඒ වනවිට ඔවුන් ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර නැත. කෙසේ වෙතත්, ඔවුන් ද මේ වන විට අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන් ම ශ්‍රී ලංකාව අත්විඳින දුක්ඛිත තත්ත්වයෙන් මිදීම සඳහා පැහැදිලි සහ නිශ්චිත සැලැස්මක් හෝ මාර්ග සිතියමක් නොපෙන්වා අද අපේ ආර්ථිකය වැටී ඇති අර්බුදකාරී තත්ත්වය නැමැති තුවාලයට පැලැස්තර දැමීම පමණි.   


පෙරටුගාමීන් හා අන්තරේ විසින් නායකත්වය දෙනු ලැබුවේ යැයි පැවැසෙන අරගලය නිසැකවම ආර්ථික දුෂ්කරතාවලින් මිදීමට හොඳම මාර්ගය යැයි බොහෝ දෙනා විශ්වාස කළ පාලන වෙනස ඇති කර ඇත.   
බොහොමයක් දේ සිදුවී හමාරය. කඩිනමින් අවශ්‍ය වන ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සමඟ ගමන් මඟ පැහැදිලි කර ගනිමින් ඉදිරියට යෑමට නම් නීතියේ ආධිපත්‍යය දැන් ක්‍රියාත්මක කර පවත්වාගෙන යා යුතුය. කෙසේ වෙතත්, ප්‍රාර්ථනාව ඉටු කර ගැනීම සඳහා බහිරවයා බෝතලයෙන් එළියට දැමූ පසු, එය නැවත බෝතලයට ගැනීම පහසු කාර්යයක් නොවිය හැකිය.   


ඊසොප්ගේ ප්‍රබන්ධවලින් කියමනක් මගේ මතකයට නැගෙයි. ‘ඔබ යමක් ප්‍රාර්ථනා කරන්නේ නම්, ඒ ගැන කල්පනාකාරී විය යුතුයි. එය ඉෂ්ට වීම නොසතුටට හේතුවක් වෙන්නත් පුළුවන‘   

 

 

 

දිනේෂ් විජේසිංහ