චිම්පන්සි විද්‍යාඥවරියගේ සමුගැනීම


ආචාර්ය ජේන් ගුඩෝල් යනු ලොව පුරා ගෞරවයට පාත්‍ර වූ බ්‍රිතාන්‍ය  ප්‍රයිමේට විද්‍යාඥවරියකි. මානව විද්‍යාඥවරියකි. පරිසරවේදිනියක් සහ පරිසරය සුරැකීම වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියකි. ලෝකයේ රටවල් රැසක බහුතරයකගේ ගෞරවයටත් ආදරයටත් පාත්‍ර වූ සම්මානනීය තැනැත්තියකි. 

ජේන් ගුඩෝල්, පසුගිය දා මෙලොවින් සමුගත්තාය. මිය යනවිට ඇගේ වයස අවුරුදු 91 කි. ජේන් ගුඩෝල් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ චිම්පන්සීන් ගැන ඇය කළ හෙළිදරවුව නිසාය. චිම්පන්සීන් යනු මනුෂ්‍ය අපට බෙහෙවින් සමාන මහා වානර පවුලේ සාමාජිකයෙකි. මානව පරිණාමය සිදුවෙද්දී, චිම්පන්සීන්, ගෝරිල්ලන් ද ඇතුළු මහා වානර පවුල සුවිශේෂී තැනක් ගනී. මෙම පවුල ප්‍රිමේටාවන් ලෙස සැලකෙයි. 

තරුණ වියේදී ජේන් ගුඩෝල්, ඇමෙරිකන් ලේඛක එඩ්ගා රයිස් බරෝස් ගේ ටාර්සන් පොත් මාලාවට අතිශය ප්‍රිය කළ තැනැත්තියක වූවාය. එම කතා මාලාවට අනුව, ටාර්සන් ගේ පෙම්වතිය සහ බිරිඳ ගේ නම ජේන් පෝටර් ය. චිම්පන්සීන් සහ වානරයන් සම්බන්ධයෙන් කළ පර්‌යේෂණ හේතුවෙන් ජේන් ගුඩෝල් ප්‍රසිද්ධියට පත් වෙද්දී - ඇය වරක් මාධ්‍ය හමුවේ පවසා තිබුණේ; ටාර්සන් විවාහ කරගත්තේ වැරදි ජේන් බවත්, ටාර්සන් සැබෑ චරිතයක් නම් ඔහුගේ ජේන් තමා වනු ඇති බවත් ය. ජේන් ගුඩෝල් අප්‍රිකාවට ඇලු‍ම් කළේත්, අප්‍රිකාවේ වන සතුන්ට ඇලු‍ම් කළේත් ටාර්සන් ගේ වික්‍රම නිසාය.

ලු‍විස් සීමෝර් බැසට් ලීකි (1903-1972) කෙන්යානු-බ්‍රිතාන්‍ය පාෂාණ මානව විද්‍යාඥයකු සහ පුරාවිද්‍යාඥයෙකි. මිනිසුන් පරිණාමය වූයේ අප්‍රිකාවෙන් බව ලොවට හෙළි කළේ ඔහුය. ඔහුගේ බිරිඳ මේරි ලීකි ද පාෂාණ මානව විද්‍යාඥවරියකි. ලු‍විස් ලීකි නැගෙනහිර අප්‍රිකාවේ පාෂාණ මානව විද්‍යාත්මක පර්‌යේෂණ වැඩසටහනක් ස්ථාපිත කළ අතර, අනාගත පරම්පරා රැසකට මෙම ශාස්ත්‍රීය කාර්යය කරගෙන යාමට පෙළඹවීමක් ලබා දුන්නේය. ලීකි පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක්ම ප්‍රමුඛ පෙළේ විද්වතුන් බවට පත් වූහ. ස්වාභාවික පරිසරයේ, ප්‍රිමේටාවන් අධ්‍යයනය කරමින් උන්ගේ හැසිරීම් අවබෝධ කර ගැනීමේ වැඩසටහනක් ද ලීකි ආරම්භ කළේය. ලීකි සහ බිරිඳ මේ සඳහා තරුණ කාන්තාවෝ තිදෙනෙකු සම්බන්ධ කර ගත්හ. ඩයැන් ෆොසී, බිරුටේ ගැල්ඩිකාස් සහ ජේන් ගුඩෝල් යනු ඔවුන් තිදෙනාය.

ලු‍වී ලීකි සහ කණ්ඩායම ද සමග 1960 දී ජේන් ගුඩෝල් ට ටැන්සානියාවේ ගොම්බේ වනාන්තරයට යෑමට සිදුවිය. ඇය අවිවාහක බ්‍රිතාන්‍ය කාන්තාවකි. වනාන්තරය ඇයට අනතුරුදායක තැනක් විය. බොහෝ දෙනා කීවේ එය මෝඩ ගමනක් වනු ඇතැයි කියාය. කෙසේ නමුත් වන සතුන්ට ඇති ආදරය නිසා ගොම්බේ වනාන්තරයට යෑමට ඇය තීරණය කළාය. තරුණ කාන්තාවකට තනිව අප්‍රිකානු වනාන්තරයක ජීවත් වීම නුසුදුසු තැනක් විය. එහෙත් ඇයට ඇගේ මව වෑන් ගුඩෝල් ගෙන් ඊට පූර්ණ සහාය සහ ධෛර්යය හිමිවිය. තරුණ දියණිය සමග ගොම්බේ වනාන්තරයට ගොස් කටුක ජීවිතයක් ගත කිරීමට වෑන් ගුඩෝල් ද තීරණය කළාය.

ජේන් ගුඩෝල් ටැන්සානියාවට ගියේ කිසිදු විද්‍යාත්මක පුහුණුවක් නොමැතිවය. ඇයට පර්යේෂණයක් කිරීම සම්බන්ධයෙන් විධිමත් විශ්වවිද්‍යාල දැනුමක් තිබුණේ ද නැත. ඇය සතුව තිබුණේ කුතුහලය සහ ධෛර්යය පමණි. ලු‍වී ලීකි ඇය තෝරා ගත්තේ ද එබැවිනි. “ඉගෙන ගන්නා විද්‍යාත්මක දැනුමින් තොරව, නව ඇසකින් බැලීමට ජේන් දක්ෂ නිසා මා ඇය තෝරා ගත්තා. ඇය චිම්පන්සීන් අධ්‍යයනය කළේ වෙනස් විදියකට. සම්මත විද්‍යා දැනුමට කොටු වෙලා නොවෙයි. ඇයට තිබුණේ විවෘත මනසක්” යැයි ලු‍වී ලීකි පසුව පවසා තිබේ.

ගුඩෝල් ගේ සුවිශේෂීම කාර්යය ආරම්භ වූයේ 1960 දී, එවකට ටැන්සානියාවේ (එදා මෙය ටැංගානිකා විය.) ගොම්බේ ස්ට්‍රීම් ජාතික වනෝද්‍යානයෙනි. ඇය වසර ගණනාවක් චිම්පන්සීන් ගේ ස්වාභාවික වාසස්ථානවල ජීවත් වෙමින්, ඔවුන්ගේ සමාජ හැසිරීම් සහ සංස්කෘතිය ඉතා සමීපව නිරීක්ෂණය කළාය. විද්‍යාත්මක ලෝකයේ සම්ප්‍රදායන් කඩ කරමින්, ඇය චිම්පන්සීන්ට කේත අංක වෙනුවට නම් තැබුවාය. එසේ ඇය විසින් නම් තැබූ එක් චිම්පන්සියකු වන්නේ ’ඩේවිඩ් ග්‍රේ බියර්ඩ්’ ය. විද්‍යාත්මක ලෝකය එකල සතුන් හැඳින්වීමට අංක භාවිත කළ අතර, ගුඩෝල් විසින් ඩේවිඩ් ග්‍රේ බියර්ඩ්, ෆ්ලෝ සහ ෆිෆි වැනි චිම්පන්සීන්ට නම් තබා ඔවුන්ගේ සුවිශේෂී පෞරුෂයන් විස්තර කිරීම ඇතමුන් ගේ විවේචනයට පවා හේතුවක් විය. 

මෙවලම් නැතිනම් ආම්පන්න භාවිතය කළ එකම තැනැත්තා මිනිසා ලෙස පොදු පිළිගැනීමක් පැවැතිණි. කෙසේ නමුත් දිගු කාලයක් තිස්සේ චිම්පන්සීන් නිරීක්ෂණය කිරීමෙන් පසු, ගුඩෝල් ලොවට අනාවරණය කළේ චිම්පන්සීන් ද මෙවලම් භාවිතයට ගන්නා බවය. චිම්පන්සීන් පත්‍ර ඉවත් කළ අතු, වේයන් සහ කූඹුවන් අල්ලාගැනීමට කූරු ලෙස භාවිත කරන බව ගුඩෝල් අනාවරණය කළාය. මෙය ලු‍වී ලීකි පවා මවිත කළ සොයා ගැනීමක් විය. ඊට අමතරව අපට මෙන්ම චිම්පන්සීන්ට ද පෞරුෂයන් ඇති බවත්,  ඔවුන්ට දුක, සතුට සහ කෝපය යන සිතුවිලි ඇති බවත් ගුඩෝල් පෙන්වා දුන්නාය. චිම්පන්සීන්ට තාර්කිකව සිතන්න හැකි බව ද ගුඩෝල් පැහැදිලි කළාය. ගුඩෝල් ගේ අධ්‍යයනවලදී චිම්පන්සීන් ගැන අප නොදැන සිටි බොහෝ දේ හෙළි විය. චිම්පන්සීන් ද මනුෂ්‍යයන් මෙන්ම ආක්‍රමණශීලී සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන බව අනාවරණය විය. චිම්පන්සීන් කණ්ඩායම් දෙකක් ගැන වසර 4 ක් ගුඩෝල් අධ්‍යයනය කරද්දී, එක් කණ්ඩායමක් විසින් අනෙක් කණ්ඩායමේ පිරිමි සතුන් ක්‍රමානුකූලව මරා දමන බව ඇය වටහා ගත්තාය. චිම්පන්සීන් ද මනුෂ්‍ය අප මෙන් සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය සහ දැඩි භෞමික හැසිරීම් ඇති බව ගුඩෝල් තහවුරු කළාය. ප්‍රචලිත මතය චිම්පන්සීන් සම්පූර්ණයෙන්ම නිර්මාංශික බවය. එහෙත් ගුඩෝල් ඇගේ නිරීක්ෂණ අනුව ලොවට හෙළි කළේ චිම්පන්සීන් කුඩා සතුන් (විශේෂයෙන් වඳුරන්) සංවිධානාත්මකව දඩයම් කර මස් අනුභව කරන බවය. මෙම සොයා ගැනීම ඔවුන්ගේ ආහාර පුරුදු පිළිබඳ පැරණි මතය බිඳදැමීමට සමත් විය.

ගුඩෝල් ගේ අධ්‍යයනවල ඇති සුවිශේෂීත්වය නිසා පසුව ඇය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ දී ආචාර්ය උපාධිය සඳහා ඇතුළත් වූවාය. 1966 දී ඇය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේ විද්‍යාවේදී විධිමත් පුහුණුවක් නොමැතිව ප්‍රයිමේට විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබූ දුර්ලභ පුද්ගලයන් ගෙන් කෙනෙක් ලෙසය. මෙය ඇයගේ කැපවීමට සහ දත්තවල ගුණාත්මකභාවයට සාක්ෂියකි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් හැදෑරීමට ඇයට අවස්ථාව උදාකර දුන්නේ ද ලු‍වී ලීකි ය. 1980 දශකයෙන් පසු ගුඩෝල් සිය පර්යේෂණ කටයුතු සංරක්ෂණ ක්‍රියාකාරීත්වය දක්වා පුළුල් කළාය. චිම්පන්සීන් වඳවීමේ තර්ජනයට මුහුණ දෙන බව තේරුම් ගත් ඇය 1977 දී ඇය විසින් පිහිටුවනු ලැබූ ‘ජේන් ගුඩෝල් ආයතනය’ හරහා චිම්පන්සීන් රැක ගැනීමට වැඩසටහන් ආරම්භ කළාය. ඇය ලොව පුරා සංචාරය කරමින් පරිසරය ආරක්ෂා කිරීම, සත්ත්ව අයිතිවාසිකම් සහ තිරසාර ජීවන රටාවන් පිළිබඳව දේශන පැවැත්වීම ආරම්භ කළාය. 1980 අගභාගයේ සිට ගුඩෝල් වසරකට දින 300 ක් පමණ ලොව පුරා සංචාරය කරමින් පරිසරය සහ සතුන් වෙනුවෙන් හඬ නඟන්නට වූවාය.

පසුගිය ඔක්තෝබර් පළමු වැනිදා ජේන් ගුඩෝල් සිටියේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේය. ඇය දේශන මාලාවක් පවත්වමින් සිටියාය. ඔක්තෝබර් පළමු වැනිදා රාත්‍රියේ නිදි යහනේදීම ඇය අවසන් සුසුම් හෙළු‍වාය. ජේන් ගුඩෝල් දෙවරක් විවාහ වූ තැනැත්තියකි. ඇයට එක් පුතකු සිටී. එමෙන්ම ඇය මිත්තණියක ද වූවාය. ජේන් ගුඩෝල් සතුන් සහ මිනිසුන් අතර ඇති සම්බන්ධය වෙනස් කළ පරිසරය වෙනුවෙන් කටහඬක් වූ ජීවමාන පුරාවෘත්තයක් ලෙස ලෝකය පුරා ගෞරවාදරයට පාත්‍ර වී සිටින අමරණීය චරිතයකි. 

ලු‍සිත ජයමාන්න

බීබීසී ඇසුරිනි