- ජ්‍යෙෂ්ඨ නිවේදක වසන්ත රොහණ -
සුවිශේෂී හඬ පෞරුෂයක් තුළින් ශ්‍රාවක සහ ප්‍රේක්ෂක අවධානය දිනාගැනීමට සමත්වූ නිවේදක වෘත්තිකයෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙෙළඳ සේවයේ ජ්‍යෙෂ්ඨ නිවේදක වසන්ත රෝහණ හැඳින්විය හැක. ගුවන්විදුලි සංස්ථාවේ නිවේදක වෘත්තියට පිවිස වසර 35කට අධික කාලයක් තිස්සේ බස නොනසා නිරවුල් හා අර්ථාන්විත සහ යාවත්කාලීන දැනුමින් සපිරි සම්ප්‍රේෂකයෙකු ලෙස වැඩසටහන් හා ප්‍රාසාංගික ඉසව් තුළින් සිය හැකියාවන් මැනවින් ප්‍රකට කරන ඔහු තව නොබෝ දිනකින් ගුවන්විදුලි සංස්ථාවෙන් විශ්‍රාම ගැනීමට සූදානමින් සිටී.
මේ ජ්‍යෙෂ්ඨ නිවේදක වසන්ත රෝහණයගේ දශක තුන හමාරකට අධික වෘත්තීය දිවිය පිළිබඳව සහ ඉන් ලද පරිචය පිළිබඳව සේම ගෙවුණු කාලය පිළිබඳව ඔහු සමග කළ මතකාවර්ජනයකි.
Q ගුවන්විදුලියේ වසර 35ක සේවාවකින් පසුව විශ්‍රාම ගැනීමට දින ළංවෙලා. මේක කොහොම ද දැනෙන්නේ?
මීට වසර 40කට පමණ පෙර මම උසස් පෙළ කරන අතරේ හා උසස් පෙළින් පසුවත් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ගණිත පන්ති කළා. එසේම ප්‍රසංග නිවේදකයෙකු ලෙසත් කටයුතු කළා. දවසක් මම අසනීප වෙලා ගම්පහ නගරයේ වෛද්‍ය චන්ද්‍රා ප්‍රනාන්දු මහතා විසින් එකල පවත්වා ගෙන ගිය රෝහලට බෙහෙත් ගන්න ගියහම ඔහු තමයි මට කිව්වේ “ඔයාට හොඳ කටහඬක් තියෙනවනෙ. ඔයා නිවේදන වෘත්තියට නෙ හොඳ” කියලා දැන් මොනව ද කරන්නෙ කියලත් ඇහැව්වා.
මම එවිට ඔහුට කිව්වා මම දැනට උසස් පෙළ කරන අතරෙ ටියුෂන් ක්ලාසුත් කරනවා කියලා. එවිට ඔහු කිව්වා “නෑ,නෑ, ඔයා නිවේදන වෘත්තියටයි පිවිසෙන්න ඕනි” කියලා.
ඉන්පස්සේ තමයි උනන්දු වෙලා, හැදෑරීම් කරලා ඊට අවතීර්ණ වුණේ. මේ සඳහා මට මූලික මග පෙන්වීම කළේ මගේ ගුරුවරයෙක් වූ සීලරත්න සෙනරත් මහතායි. එසේම හඩ්සන් සමරසිංහ මහතා මට අතහිත දුන්නා. තිලකා රණසිංහ මහත්මිය තමයි හා හාපුරා කියා මගේ පුහුණුව භාරගත්තේ.
මගේ පූර්ව චරිතයක් බවට පත්වුණේ කේ.ඩී.කේ. ධර්මවර්ධන මහතායි. ඔහුගේ නිවේදන ශෛලියට මම ආසයි. ප්‍රසංග වේදිකා ශෛලියේ දී හඩ්සන් සමරසිංහ හා තිස්ස ජයවර්ධන මහත්වරුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා.
හැබැයි මම ගුවන් විදුලියේ ස්ථිර පත්වීම දෙන්න සම්මුඛ පරීක්ෂණයට ගන්න කොට එහි සේවය කළ ප්‍රධානීන් දෙදෙනෙක් කියලා තිබුණා මෙයාව ගන්න එපා, මෙයා ටියුෂන් කාරයෙක් කියලා. නමුත් එවකට අධ්‍යක්ෂ ජනරාල්ව සිටි ගාමිණී කාරියවසම් මහතා මගේ හැකියාවන් හා සුදුසුකම් පරීක්ෂා කරලා බලලා මට ඒ ස්ථිරත්වය ලබා දුන්නා. මම එතුමාට ගෞරව කරනවා.
එකල අපි ගුවන්විදුලියට සම්බන්ධ වෙලා පොතේ අත්සන් කරනකොට, ඒ පොත පිරිලා තිබුණේ ලංකාවේ කීර්තිමත්, දැවැන්ත, විශිෂ්ට චරිත බවට පත්ව සිටි පිරිසකගේ නම් වලිනුයි. අද ඔහුන් ජීවත්ව නෑ. ඒ පරම්පරාවේ අවසාන පුරුක ලෙස තමයි මම ගුවන්විදුලියෙන් සමුගන්නෙ. මට කලින් සුජීව හරිස්චන්ද්‍ර මහතා (සදාකාලිකව) සහ මයුරී අබේසිංහ මහත්මිය සමුගත්තා. මම තමයි තුන්වෙනි පරපුරේ තුන්වෙනියා ලෙස යන්නේ.
ආපසු හැරිලා බලන කොට අපි සම්ප්‍රදායත් රැකගෙන, නව්‍යත්වයටත් ගරුකරලා, ජ්‍යෙෂ්ඨයන්ට හා ශ්‍රේෂ්ඨයන්ට ගරුකරලා මේ ගමන ආවෙ. ඒකාලෙ අපිටත් තිබුණානෙ යම් අභිලාෂයක්. මම ආවෙ ජනප්‍රිය වෙන්න, නමක් හදාගන්න, කතාවෙන චරිතයක් බවට පත්වෙන්න. නමුත් මාධ්‍ය තුළ ඉන්න කොට ඒ අභිලාෂය වෙනස් වුණා. රටට යමක් කරන්න ඕනි, හරි දේ හරි - වැරදි දේ වැරදි කියලා හෘද සාක්ෂිය එකඟව කතා කරන්න ඕනි, හොඳ පැත්තෙ හිටගන්න ඕනි, මනුස්සකම් එක්ක හුස්ම ගන්න ඕනි ආදී වශයෙන්. මගේ අවුරුදු 35යි මාස 6ක නිවේදක වෘත්තිය තුළ මේ ටික මම කළා කියලා මට හිතෙනවා.
ගුවන්විදුලිය කියන්නෙ මම ආදරය කරපු තැන, හැමදාම පාන්දරම ගිහින් වැඩ කරපු තැන. මට දීපු එක වගකීමවක්වත් මම පැහැර හැරලා නෑ. හැමදාම ඒ කාර්ය ලස්සනට කරලා තියෙනවා. අලුත් පරම්පරාවට මම බොහොම උදව් කරලා, උගන්නලා තියෙනවා.
ඒ වගේම මට මෙතරම් කාලයක් නිදහසේ මගේ නිවේදන වෘත්තීය කරගෙන යාමට විශාල සහායක් ලබාදුන් මගේ බිරිඳ වන රූබි ජයසිංහ සහ දියණිය සිහිපත් කළ යුතුමයි. බිරිඳ ජාතික ප්‍රවාහන විද්‍යායතනයේ වෛද්‍යවරියක්. එසේම මගේ දියණිය මේ වනවන විට සිනමන් හෝටල් පාසලේ ඉගෙන ගන්නවා.
Q අවුරුදු 35ක් තුළ ආයතනයෙන් හා බාහිරින් ලැබුණු ප්‍රතිචාර ගැන තෘප්තිමත් ද?
පුද්ගලයෙකු වුණත් අවුරුදු 35ක් කියන්නෙ ආයුෂ වලින් භාගයක්නෙ. විවිධ ආණ්ඩු ආවා. විවිධ පාලකයෝ පත්වුණා. සමහරු මෘදුයි, සමහර අය දැඩි ලෙස දරදඬුයි. ඒ හැමෝම එක්ක වැඩ කළා. තමන් හරියට කැපවීමෙන් ආයතනයට ගෞරවයක් ලැබෙන විදිහට, තමන්ටත් වටිනාකමක් එක්වන විදිහට තමන්ගේ රාජකාරිය සිදුකරනවා නම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ.
හැබැයි මමත් හුදකලා වෙච්චි තැන් තියෙනවා. සමහර වෙලාවට හේතු නැතුව චෝදනා, දඬුවම් ලැබෙන අවස්ථා අපේ වෘත්තිය තුළ තිබෙනවා. ඒ අවස්ථාවේදී එය දරාගෙන, ආයතනයේ කොරිඩෝව දිගේ ඇවිද ගෙන යද්දි කොරිඩෝවට කියමින් යනවා. හුඟක් වෙලාවට අපි රැකියාවට එන්නේ හිමිදිරි පාන්දර, රැකියාව අවසන් වෙලා යන්නේ මහ රෑ. ඒ වෙලාවට එළියෙ කවුරුත් නැති නිසා හිතේ තියෙන සියලු පීඩන කොරිඩෝවේ බිත්තිවලට කියමින් යනවා මිස කිසි වෙලාවක ගෙදරට නම් අරගෙන යන්නෙ නෑ. එහෙම සිද්ධි, හැලහැප්පිලි නැතුවා නෙවෙයි.
හැබැයි කවුරුහරි කියනවා නම් ගුවන් විදුලියේ අවස්ථාවන් දෙන්නේ නෑ, උඩට එන්න දෙන්නෙ නෑ කියලා ඒක සත්‍යයක් නෙවෙයි. මොකද අපියි අවස්ථාවන් නිර්මාණය කර ගන්න ඕනි. මම හිතන විදිහට අභියෝග වලින් අවස්ථාවන් නිර්මාණය කරගන්න ඕනි. තමන් තමන්ගේ ස්වාධීන රටාවක්, ක්‍රමයක්, විදිහක්, පැවැත්මක් හදා ගන්න ඕනි. අපි කිසිවෙකු විය යුතු නෑ. හැබැයි පූර්වාචාර්යවරුන් ගෙන්, පුරෝගාමීන් ගෙන් අර්ථකථන ගත්තට කමක් නෑ. කවදාවත් කෙනෙකුට තවත් කෙනෙක් වෙන්න බෑ. මම ප්‍රේමකීර්ති විදිහට කතා කරනවා, කේ.ඩී.කේ. විදිහට කතා කරනවා, බණ්ඩාර කේ. වෙනවා කියලා හිතනවා නම් ඒක විහිළුවක්.
අනික මේ ක්ෂේත්‍රය තුළ කරන්න ගොඩක් දේවල් තියෙනවා. කෙනෙක් වෙෙළඳ දැන්වීම් නිවේදකයෙක්, තවත් කෙනෙක් ප්‍රවෘත්ති නිවේදකයෙක්, තව කෙනෙක් වාර්තා, විචිත්‍රාංග, සජීවී විස්තර ප්‍රචාර, රාජ්‍ය උත්සව, ප්‍රාසාංගික වැඩ සටහන්, උගන්නන්න දක්ෂ නම් අභ්‍යාස ආයතනය ආදී විවිධ අවස්ථා තියෙනවා. මම රාජ්‍ය උත්සව හා ප්‍රසාංගික පැත්තට තමයි වැඩිවශයෙන් යොමු වුනේ. ඒ හරහා මම මගේ අනන්‍යතාවක් ගොඩ නඟා ගත්තා. ඒ කාල සීමාව තුළ සිදු කළ දේ ගැන පිළිබඳව සතුටක් තියෙනවා. නමුත් ඒ කරපු කැප කිරීමට මට ගුවන්විදුලියෙන් නිසි පිළිගැනීමක් ලැබුණද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා.
Q පිළිගැනීමක් නැති තැන නොසිට ඔය කාලය තුළ ආරම්භ කළ පෞද්ගලික නාලිකාවලට සම්බන්ධ වෙන්න තිබුණා නේද?
ඔය නාළිකා හැම එකක්ම පටන් ගනිද්දි මුලින්ම ගුවන්විදුලි සංස්ථාවේ අයට තමයි කථා කළේ. අපේ විශාල පිරිසක් පෞද්ගලික නාලිකාවලට සම්බන්ධ වුණා. හැබැයි එහෙම ගියපු සමහර අය වසර කිහිපයකට පස්සේ යළිත් අපිත් එක්ක සම්බන්ධ වුණා. එවායේ රැඳුණ අය එක් කෙනෙක්වත් අද ඉන්නෙ මුලින් ගිය තැන නෙවෙයි. විවිධ විවිධ නාළිකා වලට මාරු වෙමින් තමයි ඉන්නෙ. හරියට මෙඩි රෙෆ්ලා, එහෙමත් නැත්නම් ලීසිං නියෝජිතයෝ වගේ අලුතෙන් එන ආයතනවලට මාරු වෙමින් සිටිනවා.
මටත් ඉහළ වැටුප් හා දීමනා සහිතව පෞද්ගලික නාළිකා සඳහා ආරාධනා ලැබුණා. නමුත් මම ඒ රටාවට හුරු කෙනෙක් නෙවෙයි. මට ටයි එකක් දාගෙන ඔෆිස් එක ඇතුළට වෙලා වැඩකරන එක පුරුදු නෑ. මම හරි ජංගම පොරක්. කන්නෙ බොන්නෙ, මිතුරු ඇසුර, වැඩසටහන් සැලසුම් කරන්නෙ මගදී යි.
කවුරුවත් විශ්වාස කරයි ද මන්දා ගුවන්විදුලියේ ගෙවුණු අවුරුදු 35යි මාස 6 තුළ කාර්යාලය ඇතුළෙ මට කවදාවත් පුටුවක් තිබිලා නෑ. අපේ සහායකයටත් පුටුවක් තිබුණට මට කවදාවත් එහෙම පුටුවක් දීලා නෑ. මට තිබෙන එකම පුටුව තමයි නිවේදක පුටුව.
Q ඔය කියන විදිහට ආයතනය ඇතුළෙ ඔබට ලොකු ගැටලුවක් තිබිලා තියෙනවා නේද?
ඒක මට වැඩිය හොඳට මෙක කියවන පාඨක ජනතාවට දැනෙනවා ඇති. ගුවන්විදුලියේ අතීතයේ හැමදාම පාලන අංශය සහ වැඩසටහන් හා නිවේදන අංශය අතරේ ගැටුමක් තිබුණා. පාලන අංශයේ දෙතුන් දෙනෙක් හිතා ගෙන ඉන්නවා ඔවුන් තමයි ලොක්කෝ කියලා. මෙතනදි අවධාරණයෙන් කිවයුතු දෙයක් තමයි පාලන අංශයේ ඔය කියන දෙතුන් දෙනා හැරුණු විට සෙසු පිරිස ඉතා හොඳින් වැඩසටහන් හා නිවේදක අංශය සමග සුහදව කටයුතු කරනවාය යන්න.
පාලන අංශයේ දෙතුන් දෙනෙක් එන එන පාලකයන්ට කත් අදිනවා. වැරදි තොරතුරු ලබා දෙනවා. මේ දෙතුන් දෙනා පාලකයන්ට ලබා දෙන වැරදි තොරතුරු නිසා නිර්මාණශීලී කාර්යක යෙදෙන නිවේදක නිවේදිකාවන් දැඩි පීඩනයකට ලක්වෙනවා. මේක හරි වැරදියි. මේ පීඩනය පහුගිය දවසක පුපුරා ගිහින් නව පාලනයත් එක්ක අපි සාකච්ඡා කළා. ඒ අනුව අමාත්‍යතුමන් මැදිහත් වෙලා හොඳ පාලකයන් පිරිසක් අපට ලබා දීලා තිබෙනවා. මම හිතනවා අමාත්‍යතුමා, නව සභාපතිතුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ පාලන අංශයේ නව ප්‍රධානීතුමා යන ප්‍රධානීන් සිවුදෙනා ගොඩනැගිල්ලක පාදමේ කණු හතර වගේ එක්ව නැගී සිට අවතාර වගේ හැම යුගයේම ගුවන්විදුලිය විනාශ කරන මැක්කෝ ටික පන්නලා මේ ආයතනය රැකගනියි කියලා.
මම මේ ආයතනයෙන් ඉවත් ගියත් එළියේ සිට හරි බලලා සතුටුවෙන්න පුළුවන්, අපි බලාපොරොත්තු වෙච්චි තැනට මේ ආයතනය රැගෙන ඇවිත් කියලා. ජාතියේ නාමයෙන්, අනාගතයේ නාමයෙන් මම බලාපොරොත්තුවෙන් සිටිනවා එය එසේ සිදුවේවි කියලා.
ගුවන්විදුලියේ ගෙවුණු වසර 35 තුළ මට ගොඩක් ලොකු අසාධාරණකම් සිදුවෙලා තිබෙනවා. මම කිසිම තනතුරක් ඉල්ල ගෙන ගිහින් නෑ. අනුප්‍රාප්තිකව යම් දේකට මාව පත්කරනවානම් මම භාරගන්නවා.
මයුරි අබේසිංහ මහත්මිය ඉවත්වුණාට පස්සෙ මට යම් තනතුරක් දෙන්න තිබුණා. නමුත් මට එය ලැබුණෙ නෑ. සභාපති හා අධ්‍යෂක මණ්ඩලය මට එය දෙන්න කියලා කිව්වත් පාලන අංශය කිව්ව දේ තමයි මම අදාළ වැටුප් පරිමාණයට ඇවිත් නැති නිසා මට ඒ තනතුර දෙන්න බෑ කියලා. මම හිතන විදිහට වැටුප් පරිමාණයට ඇවිත් නෑ කියන එක මගේ ප්‍රශ්නයක් නොව පාලන අංයේ ප්‍රශ්නයක්.
හැබැයි ගුවන්විදුලියේ ඉතිහාසය තුළ ඔය කියන වැටුප් තල අදාළ නොවී මම බෙහෙවින් ගරු කරන හඩ්සන් සමරසිංහ, ලලිත් එස්. මෛත්‍රීපාල, විජය කොරයා, එරික් ෆනෑන්ඩු, ඒරානන්ද හෙට්ටිආරච්චි, රෝහණ දේව පෙරේරා, ටී.ඩී.කේ., ජයන්ත, ජගත් වික්‍රමසිංහ මහත්වරුන් හා මයුරී අබේසිංහ මහත්මිය ඉහළ තනතුරුවල වාඩි වුණා නම් මොකක්ද මගේ තියෙන නුසුදුසුකම. ඒවා හරි පුදුමාකාර ප්‍රශ්න. ඒ දේවල් ගැන කල්පනා කරනකොට ඇතිවෙන්නේ දුකක් නොව විශාල වේදනාවක් සහ කලකිරීමක්.
Q කලකිරීම හිතේ තියාගෙන නේද විශ්‍රාම යන්න වෙලා තියෙන්නෙ?
ඇත්තටම කලකිරීමක් තියෙනවා. පත්තර කන්තෝරුවක් ගත්තොත් අප මුලින්ම අහන්නේ කර්තෘ කවුද, ලියන අය කවුද, ඡායාරූප ශිල්පීන් කවුද කියලනේ. පත්තරේ ඇඩ්වටයිසින් කරන අය, ප්‍රින්ට් කරන අයත් වැදගත් තමයි, නමුත් මුලින්ම අහන්නෙ ඔවුන් ගැන නෙවෙයිනෙ. රෝහලක් කිව්ව ගමන් මතක් වෙන්නෙ වෛද්‍යවරු. චිත්‍රපට සංස්ථාව කිව්ව ගමන් මතක් වෙන්නෙ නළු නිළියො. අධිකරණය ගැන කිව්වම මතක් වෙන්නෙ ගරු විනිසුරුතුමන්ලා හා නීතිඥවරුන්. ඒ වගේම තමයි ගුවන් විදුලියක් කිව්වම මුලින්ම බලන්නේ මේකේ නිවේදක නිවේදිකාවො කවුද කියලනෙ. ඔය සත්‍ය පිළිගන්න ඕනිනෙ. ගුවන් විදුලි සංස්ථාව කියන්නෙ වානේ සංස්ථාව, පිටි සංස්ථාව හෝ තුනී ලෑලී සංස්ථාව නොව සෞන්දර්යාත්මක ආයතනයක්.
Q දැන් ඔබට හිතෙන් නැද්ද පෞද්ගලික නාලිකා වලින් ලැබුණු ඇරයුම පිළිගත්තා නම් හොඳයි කියලා?
ඇත්තටම ඒ ඇරයුම් පිළිගත්තා නම් මම අද හොඳ තැනක ඉන්නවා. මම කඳුරට සේවයේ වැඩ කළා, යාපනය සේවයේ වැඩ කළා. ඒවගේම මට ආරධානයක් ලැබුණා ඩුබායි හි ’ට්‍රයිකෝ රේඩියොවෙන්’. කේ.ඩී.කේ. ධර්මවර්ධන මහතාගේ අභාවයෙන් පස්සේ මාව ඔවුන් වැඩසටහන් කළමනාකරු ලෙස බඳවා ගත්තා. ඔවුන් මට ඉහළ වැටුපක් හා වරප්‍රසාද රැසක් ලබාදුන්නා. මම වසර 3ක් පමණ එහි සේවය කළා. ජයන්ත කන්නන්ගර හා ගාමිණී කන්නන්ගර මහත්වරුන්ට ඒ සම්බන්ධව මගේ ස්තුතිය පිරිනමන්න ඕනි.
හැබැයි ඔය වරප්‍රසාද මට ගුවන්විදුලියෙන් ලැබුණේ නෑ. මම අරන් තිබෙන්නේ වැටුප පමණයි. ඕ.ටී. කියලා දෙයක් අපට නෑ. දීමනා මම අරගෙන නෑ. අවුරුදු 25ක් විතර තිස්සේ ප්‍රවාහන දීමනාව වත් අරගෙන නෑ. මම යන්නෙ එන්නෙ මගේ පෞද්ගලික වාහනෙන්. ඒත් එක පෙට්‍රල් ලීටරයක්වත් මම ගුවන්විදුලියෙන් අරන් නෑ. නමුත් ඇතැම් ලොක්කෝ හිටියා විද්‍යුත් මෝටර් රථ සඳහාත් ඉන්ධන දීමනා ගත්ත. කොරෝනා කාලේ ගෙදර ඉඳගෙන ප්‍රවාහන දීමනා ගත්ත අය හිටියා. තවත් සමහරු හිටියා බස් එකෙත් හොරෙන් ඇවිත් ප්‍රවාහන දීමනා ගත්තු.
මේවා වෙනස් විය යුතුයි. ඒ සඳහා තමයි මේ රජය බලයට පත්වෙලා තියෙන්නෙ. ඒ නිසා ජනාධිපතිතුමාගෙන්, මාධ්‍ය ඇමතිතුමා ගෙන්, නියෝජ්‍ය ඇමතිතුමාගෙන්, අමාත්‍යංශ ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ක්‍රමවේද වෙනස් කරන්න කියලා. එවිට තමයි මේක ‘ක්ලීන්’ වෙන්නෙ.
Q ආයතනය ඇතුළෙ තත්ත්වය එසේ වෙද්දි බාහිර ශ්‍රාවකයන් ගෙනුත් ඔබේ ආයතනය ගිලිහෙමින් යන බව රේටින් අනුව පැහැදිලි වෙනවා නේද?
රේටින් ගැන නම් මම විශ්වාස කරන්නෙ නෑ. නමුත් අපට තරගයක් තිබෙනවා. අපි ඒ තරගයට මුහුණ දෙන්න ඕනි. මේ විදිහට නම් අපිට ඒ තරගයට මුහුණ දෙන්න බෑ.
මම හිතන විදිහට අපේ ප්‍රවර්ධනය, අලෙවි අංශය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනි. අපේ වැඩසටහන්, අපේ එනවුන්සින් පවා වෙනස් වෙන්න ඕනි. මේ දේවල් වලට අපිත් වග කියන්න ඕනි. සාම්ප්‍රදායිකව, ගතානුගතිකව අපට යන්න බෑ. නව්‍යත්වය අවශ්‍යයි. එහෙමවුණැයි කියලා පිස්සු කෙළින්න ඕනිත් නෑ.
වෙනත් නාළිකා අලුත් අලුත් දේවල් බලලා ඒ අනුව කටයුතු කරමින් ආදායම් උපයනවා. අපි එන ටික ඔහේ කට ඇරගෙන බලාගෙන ඉඳලා අර ගන්නවා විතරයි. ඒ ආදායම කොහොමත් අපට ලැබෙනවා. ඊට වඩා අපි ඔප දැමිය යුතුයි. හැඩ විය යුතුයි. නමුත් එලෙස හැඩවිය යුත්තේ දුහුල් සළු ඇඳගෙන නොව කසීසළු ඇඳගෙනයි.
මම හිතන විදිහට ගුවන්විදුලිය ඉදිරියට යන්න නම් ’රේඩියෝ සිලෝන්’‘ කියන නාමය නව්‍යත්වයෙන් ඉදිරියට ගෙන ආ යුතුයි. සිලෝන් ටී ලෝකයේම ජනප්‍රියයි. ඒ විදිහට ගුවන්විදුලියටත් ’රේඩියෝ සිලෝන්’ නාමය යටතේ අලුත් ගමනක් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
Q වසන්ත රෝහණ කියන ප්‍රසංග නිවේදකයාට මොකද වෙන්නෙ?
මට තියෙනවා රැකියා හතරක්. එකක් මම නිවේදකයෙක්. අනික මම ගුරුවරයෙක්. අනික් අතට මම සංචාරක කර්මාන්තයට සහ තේ වගාවට හුඟක් සම්බන්ධ කෙනෙක්. එසේම හෝටල් කර්මාන්තයටත් සම්බන්ධ කෙනෙක්.
ඒ වගේම මා සතු මගේ මාධ්‍යකරණය පිළිබඳ දැනුම භාවිතා කර කිසිම ඇකඩමියක් පටන් අරන් නෑ. නමුත් මම ආයතන කිහිපයක උගන්වනවා. මම ආසයි මම ඉගෙනගත්ත දේ, දන්න දේ උගන්වන්න.
හැබැයි මම ප්‍රසංග කලාවෙන් ඈත් වෙන්නෙ නම් නෑ. පෙරහරේ කරඬුව ගෙනයන ඇත් රාජයා සළු පිළිවලින් සැරසිලා කරඬුව ගෙනයන විටත් මිනිස්සු වඳිනවා, ඒ වගේම ඇත් රාජයා පාරේ යන කොටත් වඳිනවා. මම අර පාරේ එන කෙනා වගේ. මට ඒ ආදරය, ගෞරවය හැමදාම තියෙනවා. ඒනිසා මැරෙනකම් මාධ්‍යයෙන් අයින් වෙන්නේ නෑ.
මම මෙතනදි ගරු කළ යුතු චරිත කිහිපයත් සිටිනවා. විශේෂයෙන් ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ ‘ස’ ප්‍රසංගය නිසා තමයි ප්‍රසාංගික පැත්තෙන් ඉදිරියට එන්න පුළුවන් වුණේ. ඒ පිළිබඳව ආචාර්ය වික්ටර් රත්නායකයන්ට වගේම වගේම වික්ටර් රත්නායකයන්ගේ බිරිඳ වන හසිනි රත්නායක මහත්මියට, සරත් තිලකරත්න සහෘදයාට, මනෝජ පීරිස් සහෘදයාට, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න, කසුන් කල්හාර දක්වා කුලකයේ සියලු දෙනාට මගේ ප්‍රණාමය පිරිනැමිය යුතුයි. ඔවුන් එක්ක තමයි මම ප්‍රසාංගික පැත්තෙ ගමන ඉදිරියට ආවෙ.
Q ඔබ තුළ සිටින ගීත රචකයාට මොකද වෙන්නෙ?
මම මේ වන විට ගීත 70ක් පමණ රචනා කරලා තියෙනවා. මගේ සමුගැන්ම දිනයේ දී ඉන් ගීත 10ක් පමණ මගේ මිතුරන් අතරේ බෙදා දීමට අදහස් කරගෙන සිටිනවා. එසේම ඉදිරියේ දී ගුවන් විදුලි කලාවේ මා ලැබූ අත්දැකීම් කෘතියක් ලෙස එළි දක්වන්නත් අදහස් කරගෙන සිටිනවා.
නිරෝෂාන් ප්‍රේමරත්න
ඡායා - සුමුඳු හේවාපතිරණ