ගුවන් අනතුරුවලින් මියගොස් යළි ඉපදුණු ගුවන් නියමුවෝ


පෙර භවයේ ප්‍රබල සාක්කි

 

පුනර්භව පර්​ෙ‌ය්ෂණවලට ලක්වූ දරුවන් රැසකගෙන් හෙළි වූයේ පෙරභවයේ මරණයට හේතුව හදිසි අනතුරු නිසා බවය. ඒ අතරින් ගුවන් යානා අනතුරු හෙළි කළ දරුවන් කීප දෙනෙක් සිටිති. ඔවුන් අතරින් ද ගුවන් නියමුවන් ලෙස පියාසර කරමින් සිටිය දී මරණයට පත් වූ බැව් හෙළි කළ දරුවන් තිදෙනෙක් දේශීය සහ විදේශීය පුනර්භව සාධක අතරට ඇතුළත් වී තිබේ. එම දරුවන් තිදෙනා උපත ලැබුවේ ඇ​ෙමරිකාව, බුරුමය සහ ශ්‍රී ලංකාවෙහිය.

 

එම දරුවන් තිදෙනාම ඔවුන් ගුවන් යානා පදවාගෙන යද්දී මරණයට පත් වූ බැව් පැහැදිලිව ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ පෙරභව තොරතුරු නිවැරදිව සනාථ කිරීමට ද හැකි විය. ඇ​ෙමරිකාව සහ බුරුමයෙන් හෙළි වූ පුනර්භව සාධක දෙකක් ගුවන් නියමුවන් මරණයට පත්ව තිබුණේ දෙවැනි ලෝක යුද්ධයේ දී වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවෙක් ලෙස සිටිය දී මියගිය බැව් හෙළි වූ ගුවන් නියමුවා මරණයට පත් වී තිබුණේ පසුගිය දමිළ ත්‍රස්තවාදී යුද්ධයේදීය.  


බුරුමයේ දී උපත ලදුව පෙර භවයේ ගුවන් අනතුර හෙළි කරනු ලැබුවේ දැරියක් වීම ද තවත් විශේෂත්වයකි. එම දැරියගේ උපත සිදුවන විට ඇගේ චර්මයේ වර්ණය අස්වාභාවිකව දක්නට ලැබිණි. ඇගේ රුව හඳුන්වනු ලැබවූවේ ඇල්බයිනෝ යනුවෙන් හැඳින්වෙන චර්ම ලක්ෂණවලට සමානවය. උපතින්ම ඇගේ උදරය ප්‍රදේශයේ පැහැදිලි උපන් ලපයක් ද පිහිටා තිබිණි. මාපා යනුවෙන් නම් ලද එම දැරිය උපත ලැබුවේ 1946 ජනවාරි මාසයේදීය.  


බුරුමයේ කන්ජිනම් ප්‍රදේශයේ දී ගුවන් යානයේ දී වෙඩි වැදුන බවත් කීවාය. ජපන් ප්‍රහාරයකින් සිදු වූ ගුවන් අනතුර නිසා මරණයට පත් වූ එම යානයේ සිටි පුද්ගලයන් භූමදානය කළ ස්ථානය ද එම දැරිය විසින් නිවැරදිව අනාවරණය කළාය. එම ගුවන් යානා අනතුර සිදුවී ඇත්තේ 1943 වසරේදීය. එම දැරිය පැවසුවේ ඇය පෙර භවයේ දී විවාහක දරුවන් තිදෙනෙකුගේ පියෙකු ලෙස ජීවත්ව සිටි බවය. ඇය ඒ වනවිට බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ සේවය කළ බැව් ද හෙළි කළාය.  


ඇගේ උදරයේ දක්නට ඇති උපන් ලපය පිහිටි ස්ථානය වෙඩි වැදුන තුවාල කැලල බවද ඇයට මතක තිබිණි. ඇය ගුවන් යානයේ සිටියදී එහි රඳවා තබාගෙන තිබූ තුවක්කුව ද ගුවන් අනතුර අවස්ථාවේ ක්‍රියාත්මක වූ බව ද ඇය කීවාය. ඇගේ පවුලේ පිරිමි දරුවන් තිදෙනෙක් සිටි බව ද මතකයෙන් හෙළි කළ දැරිය බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ලෙස සිටි බව ද එම නිවසේ සිටිය දී ඉතා ශීත දේශගුණයක් තිබූ නිසා උෂ්ණත්වය රැඳවීම සඳහා වෙනම උපකරණ තිබූ බවත් හෙළි කළාය.  


මෙම දැරිය පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදු කළ පුනර්භව පර්​ෙ‌ය්ෂණ සඳහා බුරුමයේ පුනර්භව පර්යේෂකයෙකු ද සහභාගි විය. මෙම දැරියගේ පුනර්භව කතා පුවතේ ප්‍රබල සාක්කිය බවට පත්වූයේ ගුවන් අනතුරෙන් මරණයට පත්වූවන්ගේ සිරුරු භූමදානය කළ ස්ථානය නිවැරදිව පෙන්වා දීමය. ඇය කුඩා කළදී වයස අවුරුදු තුනේදී පමණ එම සිරුරු භූමදානය කළ සුසාන භූමිය පසුකර යනවිට දී නොනවත්වා හැඬීමද සිරිත වූවාය.  


ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවෙක් ලෙස සිටියදී මරණයට පත්වූ බැව් ප්‍රකාශ කළ දරුවා උපත ලැබුවේ කොළඹ කාසල් රෝහ​ලේදීය. පසිඳු නම් එම දරුවා බහතෝරණ වියේ දී ගුවන් යානාවක් පියාසර කරන හඬක් ඇසුන විගස ‘‘කොපර ප්ලේන් කොපර ප්ලේන්’’ යනුවෙන් පැවසීම සිරිත වී තිබිණි. දෙමාපියන්ට පසිඳුගේ මෙම වදන තේරුම් ගැනීම අසීරු විය. ඉන් අනතුරුව මම එහෙදී කොපර ප්ලේන් එක එලවගෙන ගියා යැයි ද කීවේය.  
සිය පුත්‍රයා කිසියම් පෙර භවයක් හෝ අනාවරණය කරන්නේ ද යන්න මව සැක කළාය. මේ නිසා දරුවාගේ ප්‍රකාශ පිළිබඳව ඇය දැඩි අවධානයක් යොමු කළාය. කොපර ප්ලේන් යනුවෙන් පවසමින් සිටි පසිඳු ‘‘හෙලිකොප්ටර්’’ යනුවෙන් පවසන්නට විය. මේ වනවිට හෙලිකොප්ටර් යානයක් හෝ ගුවන් යානයක් සමීපයට හෝ ගොස් නොසිටි ඔහු හෙලිකොප්ටර් එකට දොරවල් දෙකක් තිබෙන බැව් ද කීවේය.  


මෙම දරුවා පිළිබඳව පූර්ණ පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබිණි. එහිදී ඔහුගෙන් තොරතුරු විමසීමේ දී ඔහුගෙන් අසන ලද ප්‍රශ්නත් ඔහු දුන් පිළිතුරුත් පටිගත වී ඇති අයුරින්ම මෙහි දැක්විය හැකිය.  

 

• ඔයා එහෙදී මොකද කළේ?  
ඉගෙන ගත්තා  


• ඉගෙන ගත්තේ කොහේද?  
හමුදා ඉස්කෝලෙ  


• හමුදා ඉස්කෝලෙදී ඉගෙන ගත්තෙ මොනව ද?  
හෙළිකොප්ටර් එළවන්න  


• හෙළිකොප්ටර් එළවන්නෙ කොහොම ද?  
කන්වලට දමාගෙන කතා කර කර ඉස්සරහ මයික් එකක් තියෙනවා.  


• එහෙදී මොකද වුණේ?  
හෙලිකොප්ටරය කඩා වැටුණා.  


• කොහෙට ද කඩා වැටුණේ?  
මුහුදට  


• හෙලිකොප්ටරයෙ හිටියෙ කව්ද?  
හතර දෙනෙක් හිටියා  


• හෙලිකොප්ටරය පැදෙව්වේ කව්ද?  
මම  


• හෙලිකොප්ටරය කඩා වැටුනෙ කොහේදිද?  
මතක නෑ  


• හෙලිකොප්ටරයේ ගෙන ගියේ මොනවාද?  
තුවක්කු

 

මේ අයුරින් සිය පෙර භවයේ තොරතුරු අනාවරණය කළ පසිඳුගේ පෙරභව කරුණු අනුව හමුදා හෙලිකොප්ටර් යානයක ගමන් ගනිමින් සිටියදී පසුගිය දමිළ ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මරණයට පත්වූ ගුවන් නියමු අජිත්ගේ පියා සහ සොහොයුරියන් හමුවීමට එම දරුවාට අවස්ථාව ලැබිණි.  

කොළඹ නාලන්දා විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වූ අජිත් 1959 වසරේදී උපත ලැබීය. 1984 වනවිට ඔහු ගුවන් නියමුවෙකු බවට පත්වී සිටියේය. ඔහු තවත් හමුදා නිලධාරීන් සිව් දෙනෙකු සමග ගමන් ගත් හෙලිකොප්ටර් යානය මගින් ත්‍රස්තවාදීන් නිරීක්ෂණය කරමින් සිටිය දී අනතුරට පත්වූයේ පලාලි ගුවන් තොටුපළේ සිට ගුරුනගර් බලා යන අතරදීය. එදා 1984 නොවැම්බර් 30 වැනිදා මරණයට පත්වූ අජිත් ඒ වනවිට විසිපස් වැනි වියේ පසුවිය.  


මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයේ දී පෙරභවයේ පියාව නිවැරදිව හඳුනා ගැනීමට එදා කුඩා පසිඳුට හැකිවිය. ගුවන් නියමුවෙකු ලෙස සිටිය දී මියගිය බැව් සනාථ වූ ශ්‍රී ලංකාවෙන් අනාවරණය වූ පුනර්භව සාධකය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජපානයේ මහාචාර්යවරියක්ද මීට වසර කීපයකට උඩදී ශ්‍රී ලංකාවට පැමිණියාය. ගුවන් නියමුවෙකු ලෙස සිටියදී මරණයට පත්වූ බැව් හෙළි කළ අනෙක් දරුවා උපත ලැබුවේ ඇමෙරිකාවේදීය. ඇමෙරිකාවේ ලුසියානා ප්‍රදේශයේදී 1998 අප්‍රේල් මාසයේදී උපත ලැබූ එම දරුවාට ජේම්ස් යනුවෙන් නම් තබා තිබිණි.  


ජේම්ස් දරුවාගේ දෙවැනි උපන් දිනය පසුවී දින කීපයක් ගතවිය. දිනක් නිදි යහනේ සිටි කුඩා ජේම්ස් දරුවා නින්දෙන් කෑගසන හඬ දෙමාපියන්ට ඇසුනි. ඔහු හඬ නගා ප්‍රකාශ කළේ (AIR PLANE CRASH PLANE ON FIRE) ගුවන් යානය ගිනි ගන්නවා යනුවෙනි. ඔහු දැඩි ලෙස බිය පත්වී අවදිවිය. නිතර නිතර ඔහු නින්දෙන් මේ අයුරින් ප්‍රකාශ කරමින් බියපත්ව කෑ ගැසීම සිරිත විය.  


තම පුත්‍රයා කිසියම් පෙර භවයක් පිළිබඳව හෙළි කරන්නේද යන්න දෙමාපියන්ට සැක පහළවී තිබිණි. මේ නිසා ඔහු පිළිබඳව දෙමාපියෝ දැඩි අවධානයක් යොමු කළහ. චිත්‍ර ඇඳීමට ද මහත් දක්ෂ බවක් පෙන්වූ ජේම්ස් නිතර ගුවන් යානාවල චිත්‍ර ඇන්දේය. ඒ සමගම බෝම්බ සහ වෙඩි උණ්ඩවල චිත්‍ර ද ඒ අතර විය.  
ඔහුගේ මිතුරෙකුගේ නමක්ද හෙළි කළ ජේම්ස් දරුවා ඔහු පදවාගෙන ගිය ගුවන් යානයේ නමක්ද අනාවරණය කළේය. ඔහු ප්‍රකාශ කළ මිතුරාගේ නම ජැක් යනුවෙනි. ජේම්ස් විසින් චිත්‍රයට නගන ලද ගුවන් යානා පසුගිය ලෝක යුද්ධයේ දී භාවිතා කළ ගුවන් යානාවල හැඩය විදහා දැක්වීය. ගුවන් යානය අනතුරට පත්වූ ස්ථානය පිළිබඳවද ඔහු පැහැදිලිව හෙළි කළේය.  


තම පුත්‍රයාගේ පෙරභව තොරතුරු විමර්ශනය කිරීමට පියා උත්සාහ කළේය. ඒ අනුව ජේම්ස් දරුවා අනාවරණය කළ ගුවන් අනතුර සිදුවූ ස්ථානය සොයා ගැනීමටත් එම අනතුර පිළිබඳව සියලු වාර්තා ලබා ගැනීමටත් පියාට හැකිවිය. ජේම්ස් දරුවා හෙළි කළ පෙර භව තොරතුරු සනාථ කරමින් ඔහු හෙළි කළ මිතුරන්ද සොයා ගැනීමට පියාට හැකිවිය. ජැක්සන් නම් ඔහුගේ මිතුරා ලෝක යුද සමයේදී ගුවන් යානා පැදවූ ගුවන් නියමුවෙක් විය.  


පෙර භවයේදීද මෙම දරුවා නම් ලබා තිබුණේ ​ජේම්ස් යනුවෙන් වීමද විශේෂත්වයක් විය. මෙම දරුවා පුනර්භව පර්​ෙ‌ය්ෂණයේදී ඔහුගේ පෙරභව සොහොයුරියක් සොයා ගැනීමටද පියාට අවස්ථාව ලැබිණි. ඒ වනවිට ඇය අසූ හතර වැනි වියේ පසුවූවාය. තම සොහොයුරා ගුවන් අනතුරෙන් මරණයට පත්වූයේ 1945 මාර්තු 3 වැනිදා ලෙස ඇය මතකයෙන් හෙළි කළාය.  


මෙම දරුවාගේ පෙරභව තොරතුරු විමර්ශනය කිරීම සඳහා ඔහුගේ පියා දැඩි පරිශ්‍රමයක් දැරීය. ඒ සඳහා තොරතුරු සෙවීමට ඔහු ගුවන් යානා පිළිබඳව පැරණි ලිපි ලේඛන සොයා යුද කෞතුගාගාරවලට ද ගියේය. ඒ අනුව වසර පනහකටත් වැඩි අතීත තොරතුරු හෙළි කළ දරුවෙකුගේ පුනර්භව සාධකයන් ලෙස ජේම්ස්ගේ පුනර්භව සාධකය පර්​ෙ‌ය්ෂණ වාර්තාවලට ඇතුළත්වී තිබේ.  


තම දරුවාගේ පුනර්භව පර්​ෙ‌ය්ෂණ ඇතුළත්කර දෙමාපියන් විසින් වෙනම ග්‍රන්ථයක්ද ප්‍රකාශයට පත් කළේය. SOUL SURVIVOR යනුවෙන් එම ග්‍රන්ථය නම් කර තිබේ.

 

 

තිස්ස ජයවර්ධන