ගායිකා ශකීරාගේ ව්‍යාපාර


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • ගීත ලියන්න පටන් ගත්තෙ වයස 4 දී  
  • ලෝක සංගීත කරළියට යද්දී වයස 13 යි  
  • ඇයගේ උපන් නගරය වන කොළොම්බියාවේ බැරැන්කියා නගරයේ ඇයගේ පිළිරුවක් පවා තනා තිබේ. ටොන් හතකට ආසන්න බරකින් යුතු ඒ පිළිරුව මීටර් 5 ක් උසය.  
  • ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි, පෘතුගීසි යන භාෂා ද ඇයට පුළුවන්.  
  • සමාජ සත්කාරය ඇයගේ ප්‍රියතම විනෝදාංශයක්  

කොළොම්බියාව ලෝකයේ වඩාත් ප්‍රකට වීමට හේතුව කුමක්ද? අපට තේ මෙන් එරටට කෝපි යනු ධනය සපයා දෙන වගාවකි. එරට කෝපිවලට ලෝකයේ ඇත්තේ ඉහළ ඉල්ලුමකි. අරේපා යනු ආහාර වර්ගයකි. එනිසාද කොළොම්බියාව සංචාරකයන් අතර වඩා ප්‍රකටය. කොළොම්බියානු සැණකෙළියද ලෝකයේ වඩා ප්‍රකට වූවකි. සලිසා නර්තනයටද වඩා ප්‍රචලිතය. ඕකිඩ් මල් වර්ගයක් නිසා ද ප්‍රකටය. නමුත් එවැනි සියලු දේට වඩා කොළොම්බියාව ලෝකයේ වඩාත් ප්‍රකටව ඇත්තේ ශකිරා නිසාය. කවුද මේ ශකිරා. බටහිර සංගීතයට ගීතයට ලැදි බොහෝ දෙනා හට මේ ශකිරා කවුදැයි අමුතුවෙන් කිවයුතු නොවේ. ලතින් සංගීතයේ ලෝක ගී රැජින ඇයයි. ක්වීන් ඔෆ් ලතින් මියුසික් යනුවෙන් එනිසා ඇයව හැඳින්වේ. කැරැළි ගැසුණු කොණ්ඩය ඇයටම ආවේණික වූ නර්තනය ප්‍රේමාන්විත ගායන රිද්මය සහ ඒ සියල්ලට එහා ගිය සුරූපී පෙනුම නිසා ලොවක් වසඟයට ගත් තාරාකාවක් ලෙස ශකිරා නම් කළ හැකිය. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ අද අපි මේ සුරූපී ශකිරා සහ අැයගේ ව්‍යාපාර ගැන විස්තර කියවමු.  


ශකිරා ඉසබෙල් වෙබරක් රිපෝල්  


මුුළු ලෝකයේම ජනප්‍රිය තාරකාවක වී සිටින ශකිරාගේ සම්පූර්ණ නාමය හැඳින් වෙන්නේ එලෙසිනි. සම්පූර්ණ නාමයට වඩා ඇයට වාසනාව ගෙනාවේ ශකිරා යන තනි නාමය වේ. ශකිරා (ෂකිරා) යනු අරාබි නාමයෙනි. අරාබි භාෂාවේ අරුතට අනුව එහි තේරුම වන්නේ ස්තුතිවන්ත වේවා, කෘතඥවේවා යන අරුතකි. ශකිරා උපත ලැබුවේ කොළොම්බියාවේ බැරැන්කියා (Baranquilla) නගරයේදී 1977 පෙබරවාරි 2 වැනිදාය. ඇය හැදී වැඩුණේ ද එහිදීමය. විලියම් මෙබරක් සහ නීඩියා රිපොලිටෙරාඩෝ යුවළගේ එකම දරුවා වන්නේ සුරූපී ශකිරාය. ඇයගේ පියා විලියම් මෙබරක් කලින් විවාහ වී සිටි අයෙක් වන අතර වයස අවුරුදු 8 කින් වැඩිමල් සහෝදරයකු ශකිරා හට සිටියේය. ශකිරාගේ පියාගේ පරපුර පැවත එන්නේ ලෙබනනයේ සිටය. නමුත් ඔහු උපත ලැබුවේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේදීය. ඔහුට වයස අවුරුදු පහක්ව සිටිය දී මව්පියන් ඇමරිකාවට සංක්‍රමණය වූ බව සඳහන් වේ. ශකිරාගේ මව හට ස්පාඤ්ඤ නාමයන් වන රිපෝල් සහ ටෙරාඩෝ යන නාමයත් අයත් වන්නේ යුරෝපීය සම්භවය ඇති නිසාය. ශකිරාගේ ළමා කාලය ගත වූයේ කතෝලික ආගම දහමට ලැදි පාසල් පරිසරයකදීය. කොහොමත් ඇය කතෝලික ආගමික චරිතයක් වන්නීය.  


කුඩා කාලයේ සිටම ශකිරා යනු ශූර බුද්ධියක් තිබු තැනැත්තියකි. ඇයගේ සම වයසේ පසුවූ අනෙක් ළමුනට වඩා ඇයගේ සිතීමේ ලිවීමේ කියැවීමේ සහ නිර්මාණශීලිත්වයේ හැකියාව ඉහළ අගයක පැවතිණි. වයස අවුරුදු 4 දැරියකව සිටිය දී ඇයගේ තාත්තා ඇය අරාබි අවන්හලකට එක්කගෙන ගියේය. එතැන ඇයට අමුතු පරිසරයක් වුවද කුමක්දෝ හුරු පුරුදු ගතියක් ද දැණිනි. ඇයගේ ආච්චිගේ පරපුර පැවත එන්නේ මැද පෙරදිග සිට වීම ඊට හේතුවය. අරාබි අහරක රස විඳින අතරේ සංගීතයට සවන්දීමේ අවස්ථාව ද පුංචි ශකිරා හට ලැබිණි. ජීවිතයේ මුල්වතාවට ඇය හට සංගීත භාණ්ඩයක් ස්පර්ශ කිරීමට ද හැකිවිණී. ඩුම්බොක් යනු එම සංගීත භාණ්‍ඩයයි. එය ස්පර්ශ කළ පුංචි ශකිරා නිකම් සිටියේ නැත. මගේ චුටි දුවේ නටලා පෙන්නන්නකෝ යැයි ආච්චි අම්මා කීවේය. අරාබි පදයට සංගීතයට අනුව පුංචි ශකිරා බෙලි නැටුමක් ඉදිරිපත් කර පෙන්නුවාය. ආච්චි අම්මා ඇයට බෙලි ඩාන්ස් තරමකට උගන්වා තිබිණි. එදා ඇයගේ නර්තනය දිහා බලා සිට ‘‘හරි ෂෝක්නෙ, මගෙ පුතේ බෝනික්කි,‘‘ යැයි ආච්චි අම්මා කීවේ ලොකු ආඩම්බරයකිනි. හොඳ ප්‍රාසාංගික ශිල්පිනියක වීමට හැකි වේ යැයි ශකිරා හට අවබෝධ වූයේ එම අවස්ථාවේදීය. සමහර විට ශකිරා මේ දක්ෂතා උපතින්ම ගෙන ආ දේ විය හැකිය. වයස අවුරුදු දෙකක ළදැරියකව සිටිය දී ඇය හට හෝඩියේ සියලු අක්ෂර කියවීමට පුළුවන් විය. එය අනෙක් අයට ගෙන දුන්නෙ විමතියකි.  


කුඩා කාලයේදී සමූහ ගී කණ්‍ඩායමේ (ගීතිකා) සාමාජිකාවක වුව ද ඇය එයින් ඉවත් කළේ‍ අනෙක් සියලුම දෙනාට වඩා ඇයගේ ස්වර උච්ච පරාසයක පැවැති නිසාය.  


ශකිරාගේ වයස අවුරුදු දෙකක්ව සිටිය දී ඇයගේ පියාගේ පෙර කසාදයේ දරුවා වූ ශකිරාගේ එකම සහෝදරයා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. එය පුංචි ශකිරා හට ගෙන දුන්නේ අතිශය වේදනාවකි.  
පළමු ගීතය ලියද්දී වයස අවුරුදු 4 කි.  


ශකිරා යනු හොඳ කවිකාරියකි. නිසදැස් කවි ලිවීමේ හැකියාව ඇයට පිහිටා තිබුණේ කුඩා කාලයේ සිටය. වයස අවුරුදු 4 දී ක්‍රිස්ටල් රෝස් හෙවත් ‘පළිගු ​රෝස මල’ නමින් ජීවිතයේ ප්‍රථම වරට ඇය සංකල්පනාවක් ලිව්වාය එකල ඇයගේ තාත්තා කතා ලිවීම කළ අයෙකු විය. ඒවා ලියුවේ පෑනෙන් නොවීය. යතුරු ලියනයෙනි. පුංචි ශකිරා ඒ දෙස බාල සිටියාය. තාත්තා මට නත්තලට තෑග්ගක් අරන් දෙනවද? දිනෙක ඇය තාත්තාගෙන් විමසා සිටියාය. මගේ පුංචි රෝසමලට මොන වගේ තෑග්ගක් ද ඕනෑ. තාත්තා ඇසුවේය.  


ආ අර ටයිප්රයිටරය කියා ඇය කීවාය. තාත්තාගේ ඇස් උඩ ගියේ ඉබේටමය. ඒත් රෝසමලක් මෙන් වූ දියණියගේ ඉල්ලීම පැහැර නොහැරි ඔහු තම ටයිප් රයිටරය ඇයට දුන්නේය. එය ඇයට ලැබෙන විට ඇයගේ වයස අවුරුදු 7 ක් වුණි. මේ පුංචි හැඩකාර කවිකාරිය එතැන් සිට දවස පුරාම වගේ අකුරු කෙටුවේ කවි ලිවීමටය. ලෝකයට නොපෙන්වුවාට ශකිරාගේ පියා බොහෝ විට පසු වූයේ ශෝකයෙනි. ඊට හේතුව පෙර විවාහයෙන් ලද පුතුගේ අකල් වියෝවය. මේ වේදනාව ශකිරා ගීතයකට මුසු කළේ ‘යුවර් ඩාක් ග්ලාසස්’ නමින් (ඔබගේ අඳුරු කණ්ණාඩි) ගීතයක් ලියමිනි. තාත්තා කඳුළු සඟවා ගැනීමට අඳුරු පැහැ උපැස් යුවළක් පැලඳ සිටියේය.  


ශකිරා කියන විදියට එදා ඇයගේ සංගීත ගුරුවරිය ඇයට කියා ඇත්තේ අයියෝ දරුවො ​ඔයා හරියට කෑ ගහන්නෙ එළුවෙක් වගේනෙ. කියාය. එයින් පසුබට නොවූ ඇය පාසලේ සෑම සිකුරාදා දිනයකදීම කලා විශේෂාංගයක දී නැටුමක් ඉදිරිපත් කළාය. අන්න ඒ වගේ අවස්ථා නිසා තමයි මම මගේ අනාගත රිද්මය හඳුනා ගත්තේ යැයි පසු කලෙක ඇය පවසා සිටියාය.  


වයස 13 දී රට වටේ ප්‍රසංගවලට ආරාධනා  


වයස අවුරුදු 13 වෙද්දී ශකිරා එයාගේ නගරයේ බොහෝ දෙනා අතර ජනප්‍රියව සිටියාය. ඒ අැය නර්තනයට දක්ෂ වූ නිසාය. විවිධ ඉසව් සඳහා ඇයට ආරාධනා පිට ආරාධනා ලැබුණි. මොනිකා ඇරිසා නමැති දේශී්‍ය රංග ගුරුවරියට හඳුනා ගැනීමත් සමග ශකිරාගේ ගමන තව තවත් දීප්තිමත් වුණි. තමා උපන් නගරයේ සිට බොහෝ නගරය වෙත ගුවන් යානයකින් ගමන් කරමින් සිටිය දී තම රංග ගුරුවරිය විසින් සෝනි ආයතනයේ විධායකයකු හඳුන්වා දීමත් සමග ශකිරාගේ දක්ෂතා මැන ගීත ඇල්බම තුනක් කිරීමට අවස්ථා ලබා දුන් බව සඳහන් වේ.  


වයස 13 දී ගායන තරුවක් වීම  


13 නපුරු යැයි සමහරුන්ගේ මතය වේ. එහෙත් ශකිරා ගායනයෙන් ලෝකය ස්පර්ශ කිරීමට පටන් ගත්තේ වයස අවුරුදු 13 දීය. කොළම්බියාවේ සෝනි මියුසික් ආයතනය නිසා Magia නමින් ඇයගේ ප්‍රථම ගීත ඇල්බමය නිකුත් කෙරිණි. එම ගීත ඇල්බමයට එතරම් ප්‍රතිචාර නොලැබූ අතර දෙවැන්න peligro නමින් ඇය නිකුත් කළාය. මෙලෙසින් අසාර්ථක කඩඉම් පසු කරමින් සෑහෙන කාලයක් ඇයට කටයුතු කිරීමට සිදුවිය. ස්වර්ණමය කාලය එළැඹීයේ අනුව දශකයේ අග භාගයේ සිටය. යම්කිසි ලෙසකින් ඇය ගීත පිටපත් ගැයුවේ නම් ඇයට ස්ථාවර වීමට ඉඩ නොතිබිණි. නර්තනය සහ ගීත රචනය යන කාරණා සියල්ලම ඇය සතුවීම නිසා ඇයගේ ගමන කාටවත් වට්ටන්නට බැරි විය.  

 

ලෝකයේ ඉහළටම ඒම  


ඇයටම ආවේණික වූ නැටුම ගැයුම සමග ප්‍රසාංගික වේදිකාව කුල්මත් කළ ශකිරා 2008 වන විට ලෝක සංගීත කරළියේ මුදුනටම පැමිණියේ සංගීත ක්ෂේත්‍රයේ ඉහළින්ම ආදායම් උපයන සිව්වැනි ස්ථානයේ පසුවූ තරුව ලෙස වාර්තා ළබමිනි. She wolf ගීත ඇල්බමය සමග ලෝක සංගීත ප්‍රේක්ෂකාගාරයේ තරුණයන් පිස්සු වැට්ටූ ශකිරා බොහෝ තරුණයන්ගේ උමතුවක් බවට පත්විණි. මේ තාරුණ්‍යයේ උන්මාදය පිටාර ගලා ගියේ 2010 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී සමාරම්භක උළෙලේදී ඇය ගැහූ වක්කා වක්කා (Waka-Waka) දිස් ටයිම් ෆෝ ඇෆ්‍රිකා යන ගීතය සමගය. ඊට පෙර හිප්ස් ඩෝන්ට්ලයි ගීතය නිසා ලෝක සංගීත රසික තරුණ්‍යයේ ඇය සම්පූර්ණයෙන් තම වසඟයට ගෙන සිටියාය.  


මෙලෙසින් ලෝකයේ සුපිරි තරුවක වීමට පෙර අතීතයේ දී ඇය ගුවන් සංචාරයක නිරතව සිටිය දී ගීත රචනා සියල්ල සමග අැයගේ ගමන් බෑගය නැති විය. මේ ගීත රචනා සමග ඇය ගියේ නව ගීත ඇල්බමයක් වෙනුවෙන් රෙකෝඩ් කටයුතු වෙනුවෙනි. අන්තිමට ඇයට නැවතත් ඒ ගීත ලියන්නට සිදු වූ අතර කෙටි සටහනක් විදියට ඒ සියල්ල නැවත ඇය ලියුවේ කාලය ඉතා සීමිත වූ බැවිනි. ඉතා නුවණක්කාර ශකිරා හට තම මව් රටේ භාෂාව හැර ස්පාඤ්ඤ ප්‍රංශ ඉතාලි පෘතුග්‍රීසි ඉංග්‍රීසි භාෂා ඉතා හොඳින් කතා කිරීමට පුළුවන.  


ශකිරාගේ ආදර කතා  


ශකිරා ජීවිතයේ අනෙක් අයට වඩා වෙනස් විදියට හිතන චරිතයකි. විවාහ ජීවිතයක් ගත කිරීමට කඩදාසියක අත්සන් තැබීම යටතේ ප්‍රමාණවත් නොවන බව ඇය කියන්නීය. මුලින්ම ඇය පෙමින් වෙළී සිටියේ ආර්ජන්ටිනාවේ නීතිඥවරයෙකු වන අන්තෝනියෝ ඩිලාරු සමගය. එය කඩදාසියක් මත අත්සන් තබා වූ විවාහයක් නම් නොවුණි. ඒත් දස වසරකින් දෙදෙනා විවාහ යුවළක් මෙන් බැඳී වෙලී සිටියෝය. මෙය සමහර විට තාවකාලික වෙන්ව සිටීමක් වේවි. ශකිරා එසේ කීවාය. එහෙත් 2013 දී පමණ ඩොලර් මිලියන 100 ක් ඉල්ලා ඩිලාරු ශකිරාට එරෙහිව නඩු මගට බැස්සේ ව්‍යාපාරික හවුල්කාරිත්වය වෙනුවෙන් වූ තමාගේ මුදල ඉල්ලමිනි. නමුත් ඒ නඩුව ප්‍රතික්ෂේප විණි. ඉනික්බිතිව සුරූපී ශකිරාගේ හිත ගියේ ස්පාඤ්ඤ ජාතික පාපන්දු කණ්ඩායමේ තරුවක් වන ජෙරාඩ් පිකේ වෙතය. 2010 ශීත සෘතුවේ දී වක්කා වක්කා ගීතයේ රූපගත කිරීමකට සහභාගි වෙමින් සිටිය දී ජෙරාඩ්ගේ ආදරණීය සුසුම ශකිරාගේ ගත උණුසුම් කළේය. එය ප්‍රේමාන්විත බැඳීමක් විය. දෙදෙනාට දෙදෙනා නොමැති වූ තරමට පෙමින් වෙලී සිටි යුවළ හට 2013 දී කළුඳුල් දරුවා ලැබුණි. ඔහු මිලාන්ය. ශකිරා ජෙරාඩ් සහ මිලාන් බැසිලෝනියාවේ නිවසේ ප්‍රීතිමත් ජීවිතයක් ඇරඹූහ. 2015 දීත් නිවසට තවත් අමුත්තෙකු ආවේය. ඒ ශකිරාගේ දෙවැනි පුතු සශාය. 2015 දී ෆෝබ්ස් සඟරාව වාර්තා කළේ ලෝකයේ වඩාත් බල සම්පන්න යුවළ අතරට මේ ශකිරා සහ පික්ද අයත් වන බවය. මේ දක්වා මේ යුවළ දරු දෙදෙනෙකුගේ මව්පියන් වී ජීවිතය සතුටින් ගත කළද තවම කඩදාසියක අත්සන් තබා විවාහ වී නම් නැත. මේ සියල්ල අතරේ ශකිරා තවමත් උනන්දු වන බව පෙනී යයි.  


මම ඉතිහාසය ඉපැරණි දර්ශනය ගැන පාඨමාලාවක් හැදෑරීමට සුදානමින් ඉන්නෙ. පෙනිසිල්වේනියා සරසවිය ඊට සුදුසු කදිම තැනයි. එය මගේ හුදු විනෝදාංශයක් වේවි යැයි ශකිරා 2020 දී කියා සිටියාය.  


ශකිරා ශකිරා  


ශකිරා හට පිස්සු වැටුණු ලෝකයේ සමහර තරුණ රසිකයින් ඇය ආමන්ත්‍රණය කරන්නේ ශකිරා ශකිරා යනුවෙනි. ඇයගේ සමීපතමයින් ඇයව ආමන්ත්‍රණය කරන්නේ ශකී යනුවෙනි. හැමෝගෙම ආදරය දිනා ගත්ත ශකිරා හට පැරඩයිස් පේපර්ස් පැන්ඩෝරා පේපර්ස් නම් ආදරය කළේ නැත. ඇය බදු මුදල් වංචා කරන බව සහ ව්‍යාපාරික කටයුතුවල දී ඇය සතු ධනය හෙළි නොකරන බවට එම පැරඩයිස් සහ පැන්ඩෝරා පේපර්ස් මගින් ප්‍රකාශ විණි. නමුත් ශකිරාගේ නීතිඥයන් ඒ සියල්ල අසත්‍යයි ප්‍රකාශ කර සිටි අතර ශකිරා සම්බන්ධනේ නඩු දැමීමට ප්‍රමාණවත් සාක්ෂි නැතැයි අධිකරණයේ මතය විය.  


ශකිරාගේ පරාර්ථකාමීත්වය 

 
ශකිරා උකුල එහෙට මෙහෙට පද්දවා නර්තනයේ යෙදෙමින් ගී ගයමින් ලෝක ප්‍රසංග වේදිකාව දෙදර වුවද ඒ සියල්ල සීමා වන්නේ ප්‍රසංග වේදිකාවට පමණකි. ඇය සමාන්‍ය ජීවිතයේ දී හොඳ මවකි. තමුන්ගේ දරු දෙදෙනාට මෙන්ම කො​ෙළාම්බියාවේ අසරණ වූ දරුවන්ට ද ආදරය කරන මවකි. දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ගේ අනාගතය නංවාලීම උදෙසා ඇය 1997 දී පදනමක් ස්ථාපිත කළාය. ඒ වෙනුවෙන් ලෝකයේ බොහෝ ආයතන සහ චරිත සමග එක්වී පදනම ශක්තිමත් කළේ ළමා අනාගතය උදෙසාමය. පාසල් පහක දරුවන් 4000 ක් සඳහා ආහාර වේල් ලබා දීම පවා ඒ මගින් සිදු කෙරිණී. මෙවැනි සමාජ සත්කාර වෙනුවෙන් ඇය හට ලෝක බැංකුවේ සහ යුනිසෙෆ් හි ආධාර උපකාර ද ලැබේ. ශකිරා යුනිසෙෆ්හි කීර්තිමත් සන්නාම තානාපතිනියක වන්නීය. ඒ ගෞරවය ඇයට ලැබුණේ සමාජ සත්කාරවලට ඇය දක්වන දායකත්වය නිසාමය.  


ශකිරාගේ ව්‍යාපාර  


ලතින් ගී රැජින ආදායම් උපයන්නේ ප්‍රාසාංගික වේදිකාව දෙවනත් කරමින් පමණක්ම නොවේ.

කොළොම්බියානු ටෙලි මාලාවක රඟපෑම නිසා (El-oasis) විශාල මුදලක් ඉපයීමට හැකිවිණි. එහි ඇය රඟපෑවේ ලුසියා මරියා නම් වූ චරිතයයි. සුරූපී ශකිරා හට ඇයගේම රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් තිබේ. එහි නම S By ශකිරාය. (Aby Shakira) එය 2010 දී ආරම්භ කළ ස්පාඤ්ඤ විලාසිතා සහ විලවුන් සමාගම හා අනුබද්ධ ආයතනයකි. Sby shakira Florara යන මල් සුවඳින් යුතු ඇයගේ විලවුන් සන්නාමයට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. විලවුන් කාණ්ඩයට බොඩි ස්ප්‍රේ, බොඩි ලෝෂන් ඇතුළු වර්ග 30 ක් පමණ නිෂ්පාදන අයත් වේ. ඩිස්නි චිත්‍රපට ආයතනයේ සජීවී ත්‍රිමාණකරණ චිත්‍රපටයක් වන zootopia හි චරිතයක් රඟපෑමටච ද (ඇයගේ රුව) ගිවිස ගත්තාය. එහි ට්‍රයි එව්රිතින්ගේ ගීතය ගයන්නේ ද ඇයයි. මෙම නිර්මාණය බිලියන ගණනින් ආදායම් වාර්තා තැබූවකි. මෙලෙසින් ශකිරා​ තම තවත් වෙළෙඳ ගිවිස ගැනීම් සහ විවිධ ව්‍යාපාරික ගිවිසුම් වෙතින් ආදායම් උපයන්නීය.  


ශකිගේ විදිය  


ශකිරාගේ උස අඩි 4 යි, අඟල් 11 යැයි සඳහන් වුව ද ඇයගේ සැබෑ උස අඩි 5 යි අඟල් 2 කි.  


මුදු පැලඳීමට ශකිරා වඩා ප්‍රිය කරයි. හැබැයි විශාල පෙනුමෙන් යුතු ඒවා පමණකි. විශාල ප්‍රමාණයේ මුදු 200 ක පමණ එකතුවක් ඈ සතුය.  


ශකිරා උදෙන්ම අවදිවන්නේ නැත. ඇය අවදිවන්නේ මධ්‍යානයට ඔන්න මෙන්න කියා තිබියදීය. උදෑසන 11 ට මම අවදිවෙන්නෙ. ඇය එසේ කියන්නේ නින්දට යනනේ පාන්දර 3 ට වීම නිසාය.  


ඇය නිදන විදිය ද හරි අපූරුය. දණහිස් පාද පපුවේ ඔබාගෙන සිටින ඉරියව්වෙන් නිදා ගැනීම අැයගේ විදියයි.  

ලතින් ගී රැජින වුවද ඇය බ්‍රසීල සංගීතයට සහ ගීයට බෙහෙවින් ප්‍රිය කරන්නීය  


ක්ලේ හෙවත් මැටි වැඩ කිරීම සෙල්ලම් කිරීම ඇයගේ ප්‍රියතම විනෝදාංශයකි.  


චිත්‍රවලට වඩාත් ප්‍රිය කරන්නීය. බිත්තර බැද තිබෙන අපූරු සිත්තම් කිරීමට ඇය වඩා කැමැතිය.  
ඇයගේ ප්‍රියතම ආහාර වන්නේ මත්ස්‍ය ආහාරය. චොක්ලට් කෑමට ද වඩා රුචිය.  
ගොල්ෆ්, ටෙනිස්, බාස්කට් බෝල් සහ පිහිනුම් ක්‍රීඩා කිරීමට ඇය වඩා කැමතිය.  

 


ඇයට බලු ආදරවන්තයන් තිදෙනෙකි. කොකිටෝ, චාන් සහ හොර්ඩිටා යනු ඒ බලු සුරතලුන්ය.  
සන්ෆ්ලවර්, සූරියකාන්ත සහ ඩේසි මල් ඇයගේ ආසම මල් අතර වේ.   


අැයගේ ප්‍රියතම වර්ණය කළු පැහැයයි.  


ශකිරා කිසි විටෙකත් මධ්‍යසාර හෝ දුම්පානය කරන්නේ නැත.   


මේ දක්වා ලෝක සම්මාන ඇතුළු සම්මාන 500 ක් පමණ ඇය දිනා ඇත.  


ශකිරා ගැන තව තවත් ලස්සන දේ ලිවීමට කීමට පුළුවන. එහෙත් මේ ඉඩ ඊට ප්‍රමාණවත් නොවේ. මතුපිටින් ශකිරා දෙස බලා තීන්දු තීරණ ගත් බොහෝ දෙනා ශකිරා කවු ද යන්න අප මේ කී විස්තර මගින් හරියටම ඔබට දැන ගත හැකිය. ලතින් ගී රැජින මතට ලොල් නොවීම අප දකින ඇයගේ ඉහළම චර්යාවයි. ඔබ කොහොමද ඇය ගැන සිතන්නේ.

 

 

පරිවර්තන සටහන  
සඳුන් ගමගේ  
[email protected]