කොළඹ මහ නගර සභා පුරාණයෙන්


18 වැනි සියවස අවසන් භාගයේ දී බ්‍රිතාන්‍යයන් අප රටේ මුහුදුබඩ පළාත්වල පාලන බලය අල්ලා ගත්හ. පසුව ෆෙඩ්‍රික් නෝත් මෙරට මුල් ම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස පත් විය. ඒ 1798 වසරේ දී ය. එතැන් සිට ගෙවුණු වසර 150ක කාලයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් 29ක් අප රට පාලනය කළේය. එයින් 13 වන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා බවට පත් වුණේ හර්කියුලිස් රොබින්සන් නම් වූවෙකි. 

ඔහු 1865 මැයි 16 වැනිදා සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය. පසුව රොබින්සන් ආණ්ඩුකාරවරයා අප රටට පළාත් පාලන ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ මූලිකත්වයෙන් 1865 ඔක්තෝබර් මාසයේ දී අංක 17 දරන මහනගර සභා ආඥා පනත ඉදිරිපත් විය. එමගින් කොළඹ, මහනුවර සහ ගාල්ල යන නගරවල මහනගර සභා 3ක් ස්ථාපිත කෙරැණි. ඒ අතුරින් මුලින් ම ආරම්භ කළේ කොළඹ මහනගර සභාව යි. ඒ අනුව අප රටේ පැරණිත ම පළාත් පාලන ආයතනය බවට පත්ව තිබෙන්නේත් කොළඹ මහනගර සභාව යි. 

1865 වර්ෂයේ ඔක්තෝබර් මාස අංක 17 දරන මහනගර සභා ආඥා පනත ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළේය. එම යෝජනාව නොවැම්බර් මාසයේ දී දෙවන වර කියවා සම්මත කර ගත්තේය. ඉන් අනතුරුව පිහිටුවීමට යෝජනා වූ කොළඹ, මහනුවර සහ ගාල්ල යන මහනගර සභාවල සීමා නිර්ණය සිදු කළේය. ඒ අනුව කොළඹ මහනගර සභාවේ සීමා නිර්ණය සිදු කරන ලද්දේ 1865 නොවැම්බර් 25 වැනිදා ය. එහි දී කොළඹ මහනගර සභා බල ප්‍රදේශය කොට්ඨාස 9කට බෙදා වෙන් කෙරුණි. කොල්ලු‍පිටිය, කොටුව, පිටකොටුව, කොටහේන, අලු‍ත්කඩේ, ශාන්ත පාවුළු, මරදාන, කොම්පඤ්ඤ වීදිය සහ ශාන්ත බස්තියම එම කොට්ඨාස 9 විය. එසේ සීමා නිර්ණය සිදු කිරීමෙන් පසුව 1866 ජනවාරි 1 වැනිදා කොළඹ මහනගර සභාව ස්ථාපිත කෙරුණි. කොළඹ මහනගර සභාව සඳහා පැවති පළමු මැතිවරණය 1866 ජනවාරි මාසයේ මුල් සතියේ දී පැවැත්විණ. මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම කොළඹ කච්චේරියේ දී සිදු විය. එකල කොළඹ සිටි රජයට බදු ගෙවූ නගරවාසීන්ට මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවිය. එම මැතිවරණය දින 3ක් පුරාවට පැවැත්විණි. එහි දී එක් එක් මහනගර සභා බල ප්‍රදේශය වෙනුවෙන් සාමාජිකයන් තේරී පත් වුණු ආකාරය යි.

1). කොල්ලු‍පිටිය - ඇල්. සී. ෆර්නැන්ඩස්
2). කොටුව - ජේ. ඩබ්ලිව්. වෑන්
3). පිටකොටුව - ජේ. ඩබ්ලිව්. ගයිසල්
4). කොටහේන - සී. ඒ. ලෝරන්ස්
5). අලු‍ත්කඬේ - ජේම්ස් ද අල්විස්
6). කොම්පඤ්ඤ වීදිය - විලිස් ෆෝර්ඩ්
7). මරදාන - ඇම්. සී. ලෝස්
8). ශාන්ත පාවුළු - ඇස්. තම්බයියා
9). ශාන්ත බස්තියම - ඇස්. ජේ. ද සේරම්

කොළඹ මහනගර සභාවේ මංගල රැස්වීම 1866 ජනවාරි 16 වැනිදා පැවැත්විණි. එම රැස්වීමේ දී මහනගර සභාවේ කටයුතු කර ගෙන යාම සඳහා තවත් නිලධාරින් පස් දෙනෙකු නගර සභා නියෝජිත මණ්ඩලයට ඇතුළත් කෙරිණ. එහි දී මහනගර සභාවේ ඉහළ ම තනතුර වුණු සභාපති තනතුර එකල බස්නාහිර පළාත් දිසාපති තනතුර දැරූ චාල්ස් පීටර් ලෙයාර්ඩ්ට හිමි වීම විශේෂත්වයක් විය. 

කොළඹ කච්චේරියේ දී පැවති එම මංගල රැස්වීමේ දී මහනගර සභාවේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා නව ගොඩනැඟිල්ලක් අවශ්‍යතාව පිළිබඳ ව සාකච්ඡා විය. ඉන් පසුව එහි නිලධාරින් ඒ සඳහා වඩාත් සුදුසු ගොඩනැඟිල්ලක් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට රජය යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීය. එමනිසා මහනගර සභාව සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජනාවක් සම්මත කරගැනීමට එහි සභිකයන්ට හැකි විය. නව ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා තෝරා ගත්තේ පිටකොටුව ප්‍රදේශය යි. එය ඉදි කිරීමට තෝරා ගත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පී. බර්මන් ඉදිරිපත් කළ සැලසුම යි. එම සැලසුමට අනුව ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා අධික පිරිවැයක් අවශ්‍ය විය. එනිසා ගොඩනැගිල්ල ඉදි කිරීම අත් හැර දැමුණි. ඊට වසර 2කට පසුව මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමේ අවශ්‍යතාව යළි මතු විය. එහි දී ගොඩනැඟිල්ල ස්ථීරව ම ඉදිකිරීමට මහනගර සභාවේ නිලධාරිහු ඒකමතිකව තීරණය කළහ. ඒ සඳහා නව සැලැස්ම බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පි ජේ. පී. ස්මිතර් සකස් කරදුණි.

ඔහුගේ සැලසුමට අනුව ඉදි කළ එම ගොඩනැඟිල්ල මහල් දෙකකින් යුක්ත විය. එහි උඩු මහලේ රැස්වීම් ශාලාවක්, සභා කාර්යාලයක් සහ විශ්‍රාම ශාලාවක් ද, පහළ මාලයේ සුවිසල් ආලින්දයක් සහ නාගරික උසාවිය පිහිටා තිබුණි. එකල කොළඹ මහනගර සභා ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා පවුම් 7000ක මුදලක් වැය වුණු බව පැරණි සටහන්වල ලියැවී තිබේ. වසර 4ක කාලයක දී වැඩ නිමවුණු මෙම ගොඩනැඟිල්ල 1873 දී විවෘත කරන ලද්දේ එකල ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙසින් කටයුතු කළ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි අතිනි.

20 වන සියවස ආරම්භයේදී කොළඹ නගරයේ ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යන්නට පටන් ගැනිණි.  එනිසා 1912 පමණ වන විට විශාලත්වයෙන් වැඩි මහනගර සභා ශාලා ගොඩනැඟිල්ලක අවශ්‍යතාව ඇතිවිය. 1914-1918 කාලයේ පැවති පළමු ලෝක යුද්ධය නිසා නව ගොඩනැඟිල්ල ඉදි කිරීමේ ව්‍යාපෘතිය කල් ගිය අතර එය යළි ක්‍රියාත්මක වුයේ 1920 දශකයේ දී ය. එවර නව මහනගර සභා ගොඩනැඟිල්ලේ සැලසුම සකස් කිරීම භාර වුණේ රැල්ෆ් බූටි සහ සමාගමේ ඇස්.ජේ එඩ්වඩ්ස් හටය.
එහි සියලු‍ ඉදිකිරීම් භාරව කටයුතු කළේ ඒ.ඒ. ගාමන් සහ සමාගම යි. 1924 මැයි 24 වැනිදා ගොඩනැඟිල්ලේ ඉදි කිරීම් ආරම්භ විය. එහි ඉදි කිරීම් කටයුතු 1928 ජූලි මාසයේ දී අවසන් වූ අතර එම වසරේ අගෝස්තු 9 වැනිදා නව මහනගර ශාලාව විවෘත කෙරෙණි. වර්තමානයේ දී කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසල පිහිටා තිබෙන්නේ එම අලංකාර ගොඩනැඟිල්ල යි.

කොළඹ මහ නගර සභාව සඳහා මුල් ම වරට නගරාධිපතිවරයකු පත් කළේ 1937 දී යි. එහි දී නගරාධිපති තනතුරට පත් වුණේ රත්නජෝති සරවනමුත්තු යි. එතැන් සිට ගෙවුණු වසර 86ක කාලය තුළ ඉතාමත් ප්‍රසිද්ධ දේශපාලන චරිත රැසක් කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරයේ කටයුතු කළේය. ආචාර්ය ඇන්.ඇම් පෙරේරා, ඒ. ඊ. ගුණසිංහ, ජෝර්ජ් ආර් ද සිල්වා, වී. ඒ සුගතදාස, එම්. එච්. මොහොමඩ්, ඒ.එච්.එම් ෆවුසි, වින්සන්ට් පෙරේරා, සිරිසේන කුරේ, කරූ ජයසූරිය, රෝසි සේනානායක එම ලැයිස්තුවට ඇතුළත් වූහ.

ඒ අතුරින් වැඩි ම කාලයක් කොළඹ මහනගර සභාවේ නගරාධිපති තනතුර දැරුවේ සිරිසේන කුරේ නම් දේශපාලනඥයා යි. ඔහු 1979-1989 කාලයේ එම තනතුරේ කටයුතු කළේය. කොළඹ නගරාධිපති පුටුව එසේ මෙසේ පුටුවක් නොවේය. රාජ්‍ය නායකයන්, කතානායකවරුන් පවා බිහිකළ පුටුවකි. නගරාධිපති පුටුවෙන් දේශපාලනය අරම්භ කර පාර්ලිමේන්තුව දක්වා ගිය අය මෙන්ම පාර්ලිමේන්තුවෙන් ඉවත් වී නගරාධිපති පුටුවට පැමිණී අයද සිටිති. 

මේ දිනවල කාගේත් අවධානය කොළඹ මහ නගර සභාව වෙත යොමු වී තිබෙන්නේ නව පුරපතිනියක් පත් වූ නිසාවෙනි. ඇය මෙරට කොළඹ මහනගර සභා ඉතිහාසයේ පත් වූ දෙවන පුරපතිනියයි. වැඩි ම කාලයක් කොළඹ මහ නගර සභාවේ බලය හෙබවූයේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂයට කොළඹ මහ නගර සභාව අහිමි වූ එක් අවස්ථාවක් වූයේ 1954 දී ය.

එවර ලංකා සමසමාජ පක්ෂය එහි බලය හිමි කර ගත්තේය. එසේ ලංකා සමසමාජ පක්ෂයට කොළඹ මහනගර සභාවේ බලය හිමි වුණු අවස්ථාවේ නගරාධිපති තනතුරට පත් වූයේ ඇන්.ඇම්. පෙරේරා ය. 

අනෙක් අවස්ථව වූයේ 2006 දී පැවති පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමයි. එහිදී ස්වාධීන කණ්ඩායමක් බලය දිනා ගත්තේය. තෙවන වරටත් එක්සත් ජාතික පක්ෂයේ බලය ගිලිහෙමින් වාමාංශික පක්ෂයක් වෙත කොළඹ නගර සභාවේ බලය ලැබුණේ වසර 71 කට පසුවය. 
 
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා ගැනීමට පැවති රහස් ඡන්දයෙන් ව්‍රායි කැලී බල්තසාර් ඡන්ද 61ක් දිනා ගනිමින් නගරාධිපති ධූරයට පත්විය. කොළඹ මහ නගර සභාවට තරග කළ කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලයක් හිමි කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් ජූනි 16 වනදා පැවති මංගල සභා වාරයේදී ඉදිරිපත් වූ නාම යෝජනා අතරින් වැඩි ඡන්ද ගණනක් ලබා ගෙන කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය බවට පත් වීමට ඇයට හැකි විය.
පැවති පුරපති සටන අවසන් කරමින් ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක් වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය යි. නගරාධිපති ධූරය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තිඹිරිගස්යාය කොට්ථාසය ජය ගත් ව්‍රායි කැලී බල්තසාර්ගේ නම යෝජනා වූ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් රිසා සාරුක්ගේ යෝජනා විය. 
 
1985 වසරේ අප්‍රේල් මස 10 වන දා උපන් ව්‍රායි කැලී බල්තසාර් කොල්ලු‍පිටිය මෙතෝදිස්ත විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබේ. උසස් පෙළ අවසන් කිරීමෙන් අනතරුව ඇය විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් මෝස්තර නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධියක් ලබා ගෙන ඇත. එමෙන් ම ඇය කාන්තාව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ, පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරිනියක ද වෙයි. 
 
ඇය තවදුරටත් එම විෂය යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියක් ද හදාරමින් සිටී. දෙදරු මවක වන ඇය වසර දහයකට වැඩි කාලක් රූපවාහිනී ඉංග්‍රීසි භාෂා නිවේදිකාවක ලෙස කටයුතු කර තිබේ. තව ද නගර සංවර්ධනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කම්කරු අයිවාසිකම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධව පර්‌යේෂිකාවක ලෙසත් ව්‍රායි කැලී බල්තසාර් කටයුතු කර ඇත. 
 
2018 වසරේ සිට විවිධ සංවිධාන සමග එක්වී කාන්තාවන් සහ ළමුන් පිළිබඳව සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කර ඇති ව්‍රායි කැලී බල්තසාර් 2021 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයෙන් ක්‍රියාකාරී පක්ෂ දේශපාලනයට එක්වූවා ය.
 
2023 වසරේ ජාතික ජන බලවේගයේ කොළඹ කණ්ඩායම් නායිකාව ලෙස පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වූ ඇය 2024 වසරේ පැවති මහ මැතිවරණයට ද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළා ය. එහිදී නැගෙනහිර කොළඹ නියෝජනය කරමින් ඡන්ද 44,663ක් ලබා ගත් නමුත් ඇයට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම් අහිමි විය. පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ලැබෙන බලතල, වැටුප් සහ දීමනා අනතුරුව 2025 වසරේ පැවති පළාත් පාලන ඡන්ද විමසීමට ජාතික ජන බලවේගයේ කොළඹ කණ්ඩායම් නායිකාව ලෙස, කොළඹ මහ නගර සභාවේ තිඹිරිගස්යාය කොට්ඨාසය නියෝජනය කරමින් ඡන්ද 2,094ක් ලබා ගෙන ජය ගත් ඇය අවසානයේ කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය වීමේ වරම් ලබා ගත්තා ය.
 
නම
ධූරකාලය
ව්‍රායි කැලී බල්තසාර් 2025 ජුනි 16
රෝසි සේනානායක 2018 - 2023
ඒ. ජේ. එම්. මුසම්මිල් 2011 - 2016
මොහොමඩ් ඉමිතියාස් 2006 - 2011
ප්‍රසන්න ගුණවර්ධන 2002 - 2006
ඔමාර් කාමිල් 1999 - 2002
කරු ජයසූරිය 1997 - 1999
කේ. ගණේෂලිංගම් 1996 - 1997
රත්නසිරි රාජපක්ෂ 1991 - 1994
හුසේන් මොහොමඩ් 1989 - 1991
බී. සිරිසේන කුරේ 1979 - 1989
ඒ. එච්. එම්. ෆවුසි 1974 - 1977
ජබීර් ඒ. කාදර් 1966 - 1969
එම්. වින්සන්ට් පෙරේරා 1965 - 1966,1970 - 1973
එම්. එච්. මොහොමඩ් 1960 - 1962
වී. ඒ. සුගතදාස 1956 - 1957,1963 - 1965
එන්. එම්. පෙරේරා 1954 - 1956
ටී. රුද්‍රා 1953 - 1954
සී. ටී. ග්‍රේරො 1952 - 1953
එස්. සෙල්ලමුත්තු 1951
කුමරන් රත්නම් 1950
ආර්. එස්. එෆ්. දි මැල් 1945, 1947 - 1948
ආර්. ඒ. දි මැල් 1944 - 1946
ජෝර්ජ් ආර්. දි සිල්වා 1943
ඒ. ඊ. ගුණසිංහ 1940
වී. ආර්. ෂොක්මන් 1938 - 1939
සර් රත්නසෝති සරවනමුත්තු (පළමු නගරාධිපති) 1937,1941 - 1942

ශෂිකා අබේරත්න