කෙසෙල්වත්තේ අවිගත් කල්ලි


පාතාලයේ අලුත් චන්ඩි 

 

කෙසෙල්වත්ත පාතාල කිරුළද පියාගෙන් පුතාට ගිය කිරුළකි. රාජපක්ෂ ආරච්චිගේ නීල් රාජපක්ෂ යනු දේශපාලන සම්බන්ධකම්ද යොදා ගනිමින් කෙසෙල්වත්තේ චණ්ඩියා වී පාතාලය මෙහෙය වූවෙකි. ඒ චණ්ඩිකම් නිසාම ඔහුටද තවත් පාතාලයෙකුගේ අත රැඳි අවියකින් දිවි අහිමි විය. 

නීල් රාජපක්ෂ ඝාතනය වන විට ඔහුගේ පුත් දිනුක හිටියේ පාසල් අවධියේය. ඉගෙන ගනිමින් සිටි දිනුක පියාගේ ඝාතනයේ පලිය ගන්නට කල්පනා කළේ ගහේ කටු උල් කරන්නට අවශ්‍ය නැතැයි පෙන්වා දෙන්නා සේය. එලෙස පාතාලයේ අත්පොත් තැබූ දිනුක රාජපක්ෂ පියාගේ ඝාතනයේ පලිය ගන්නට පියා සමග ආරවුලක් ඇතිකරගෙන සිටි අරුණජිත් සුරම්‍ය රාජපක්ෂ ඝාතනය කළේය. ඒ 2010 වසරේදීය. 
සුරම්‍ය රාජපක්ෂ ඝාතනයේ පලිය ගන්නට ඔහුගේ සොහොයුරු කිත්සිරි රාජපක්ෂ ඉදිරිපත් වුණේය. කිත්සිරි රාජපක්ෂද මාස කීපයක් ඇතුළත දිනුකගේ ඕඩරයකට ඝාතනය කෙරිණ. ඒ රණාලේ සමයං හා රණාලේ චමින්ද දෙදෙනා විසිනි. ඔවුන් මේ සඳහා යොදාගත්තේ මෝල් අසංක විසිනි. 
කොටහේනේ චානා යනු කලක් දිනුකගේ මිතුරෙක් ලෙස සිටි අයෙකි. එහෙත් කිත්සිරි ඝාතනය කිරීමෙන් පසු දිනුක විදෙස්ගතව සැඟවුණු පසු දිනුකගේ තැන ගන්නට චානා උත්සාහ කිරීම නිසා දිනුක ඔහු සමග ගැටුම් ඇති කරගත්තේය. දිනුකගේ කල්ලියෙන් ගැලවුණු චානා වෙනම කණ්ඩායමක් හදාගත්තේය. 


දැන් දෙගොල්ල සිටින්නේ කොයි වෙලාවෙත් ඇවිළෙන්න බලාගෙනය. චානා ඝාතනය කරන්නට දිනුක හැමවිටම සැලසුම් කළේය. වරක් ඔහු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුවිය. එය සිදුකළේ දිනුකගේ ඕඩරයකට මාකිලංගමුවේ සංජීවගේ මෙහෙයවීමෙන් රාගම චූලා වසන්ත විසිනි. එම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූයේ චානා නොව ඔහුගේ සහෝදරයෙක් වූ ඩිලාන් මධුෂංකය. 


එහෙත් ගැටුම අවසන් වූයේ නැත. දිනුක ඩුබායිවලදී අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා මරණයට පත් විය. ඔහුගේ මරණයෙන් පසු ඒ තැන ගන්නට මුලින්ම පැමිණියේ නල්ලපෙරුම තන්ත්‍රිගේ දනුක රොෂාන් නොහොත් කෙසෙල්වත්තේ දනුකය. දනුක සිටියේද ඉන්දියාවේය. ඒ දිනුක සිටි කාලයේ සිදුකළ ඇතැම් අපරාධ නිසා පොලිසියෙන් කට්ටි පැනීමට පලාගොසිනි. ඉන්දියාවට පලාගිය දනුක එහිදී අත්අඩංගුවට පත්වන්නේ වීසා නොමැතිව එරට වාසය කිරීම නිසාය. එසේ අත්අඩංගුවට පත්වන්නන් රඳවා තබන්නේ එළිමහන් කඳවුරකය. මෙරට බොහෝ අපරාධකරුවන් ඉන්දියාවේ මෙම එළිමහන් සිරකඳවුරේ සිටින බව වාර්තාවේ. දනුක සිටින්නේද එහිය. 


දැන් කෙසෙල්වත්තේ බලයට සටන පවතින්නේ දිනුකගෙන් පාතාල අත්පොත් තබා පසුව ඔහුගෙන් වෙන්වූ සහ දිනුක මිය යනතෙක්ම ඔහු සමග සිටි ඔහුගේ හොඳම ගෝලයන් අතරය. 
චානා දිනුකගෙන් පසු දනුකගේ කල්ලිය සමගද ගැටුම් ඇතිකරගත්තේය. එහෙත් මේ වන විට ඔහු මැනිං වෙ​ෙළඳපොළේ පලතුරු කඩයක් කරගෙන තරමක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. දැන් ගැටුම තිබෙන්නේ දනුක හා මොහොමඩ් අජිනි කල්ලි දෙක අතරය. අජිනි ඉන්දියාවේ සිට ලංකාවට කේරළ ගංජා ජාවාරමේ යෙදෙන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ඔහු කේරළ ගංජා ළඟ තබාගැනීම නිසා අත්අඩංගුවට පත්ව දැන් සිටින්නේ බන්ධනාගාරයේය. 


බන්ධනාගාරයේ සිට ඔහු තම කල්ලිය මෙහෙයවන්නේය. දනුකගේ කල්ලියට ප්‍රබලම අභියෝගයක් එල්ල කරන්නට ඉතිරිව සිටින ප්‍රධාන කණ්ඩායමක් වන්නේ අජිනිගේ කල්ලියය. ඒ නිසා ඔවුන් අතර නිතරම ආරවුල් මතුවේ. කෙසෙල්වත්ත කොටහේන මට්ටක්කුලිය නිරන්තරයෙන් ගිනිගන්නේ ඔවුන්ගේ ගැටුම් නිසාය. 


අජිනි බන්ධනාගාරයේ නිසා ඔහුගේ ජීවිතය ආරක්ෂිතය. එහෙත් ඔහුගේ ගෝලයන් සිටින්නේ අනතුරේය. අජිනිගේ ගෝලයෙක් දනුකගේ කල්ලිය විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර ගඟට දමන්නේ මේ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙසය. මෙයින් නතර නොවන දනුකගේ කල්ලිය අජිනිගේ හොඳම ගෝලයා ඝාතනය කළේය. ඒ පවාස්ය. මොහොමඩ් පවාස් යනු කුඩා කල සිටම දැඩි පාතාල උණකින් ජීවත් වූ හැමවිටම චණ්ඩි වැඩවලට මුල්තැන දුන් අයෙකි. ඔහුට අවශ්‍ය වූයේ කොතැනක වුවද ‘වැඩ්ඩා තමා’ යැයි පෙන්වීමටය. ඔහු පහර කන්නේ මේ සංකල්පය මත හිඳ වැඩකරන්නට යාමෙනි. 


දිනුකගේ ප්‍රධානම ආදායම් මාර්ගය වූයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමය. ඒ නිසා දනුකද මත්ද්‍රව්‍ය ජාවාරමට එක්විය. එහෙත් ඔහු නැති වූ නිසා ඔහුගේ ගෝලයන් මත්ද්‍රව්‍ය ජාලය පවත්වාගෙන යනවාට වඩා කපා කොටා බිය ගැන්වීමට හා ඝාතනය කිරීමටය. පවාස්ට අවශ්‍ය වූයේ දිනුකත් නැති දනුකත් පෞද්ගලිකව පෙනී සිටින්නේ නැති තැන බලය අජිනිට නොව තමන් අතට ගන්නටය. ඒ නිසා දනුකගේ ගෝලයන් කප්පම් එකතු කරන තැනට ඔහු ගියේය. උඹලට මෙහේ කප්පම් ගැනිල්ල තහනම් යැයි බියගන්වා තර්ජනයකර පලවා හැරියේය. 


මේ ප්‍රශ්න නිසා දිනුකගේ ගෝලයන් සිටියේ පවාස් අහුවුන තැන මරා දැමීමේ බලවත් වෛරයකිනි. ඒ නිසා දනුකගෙන් උපදෙස් ඇතිව ඔහුගේ ගෝලයෝ පවාස් ඝාතනයට සැලසුම් සකස් කළහ. 


පවාස් අවුස්සා තමන් වෙත ගෙන්වා ගැනීමටද දිනුකගේ ගෝලයෝ උත්සාහ කළහ. දිනුකලා වරක් පවාස්ගේ ගෝලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කර ගඟේ දැමූහ. එයින්ද පවාස් තමන්ට අවශ්‍ය ලෙස ඇවිස්සී ආවේ නැත. එහෙත් තමන්ගේ කණ්ඩායම ටික ටික අඩුවීම සම්බන්ධයෙන් ඔහු තැතිගැන්මක සිටියේය. පිරිස් බලය අඩුවීම යනු පාතාලයේ රැඳී සිටින්නට අවශ්‍ය ප්‍රධානම සාධකයක් අහිමි වීම වැනිය. ඒ නිසා පවාස් ඒ ගැන නිතරම කල්පනා කළේය. එහෙත් ඔහුගේ කිපුණු ගතිය අඩුවුණේ නැත. තම බලය ගිලිහෙන විට ඔහු කිපුණේය. ඒ නිසා විටින් විට දනුකගේ පහළ මට්ටමේ ගෝලයන්ට පහර දී තමන් තවමත් ශක්තිමත් යැයි පෙන්වීමට උත්සාහ කළේය. 


 දනුකගේ ගෝලයෙක් පැහැරගෙන ගොස් සපුගස්කන්දේ ගල්වල ප්‍රදේශයේදී මන්නා පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් එහි පලිය ගැනීමේ දැඩි අවශ්‍යතාවයක දනුක සිටියේය. පවාස් ඝාතනයට පිඹුරුපත් සකස් වන්නේ ඔහුගේ මේ පලිගැනීමේ ක්‍රියාව හා නාහෙට නාහන ගතිය නිසාමය. 


ඒ අනුව දිනක් පවාස් පරණ යොන් වීදියේ කිසියම් කටයුත්තක නියැළී සිටියදී හදිසියේම එතනට වාහනයක් කඩාපාත් විය. එහි තිරිංග තද කළ ආකාරයෙන්ම ලෙඩක් වැටෙන්න යන්නේ යැයි හැඟීමක් පවාස්ට ඇති විය. එහෙත් ගැලවෙන මගක් ගැන හිතන්නටවත් කාලයක් පවාස්ට ඉතිරි වූයේ නැත. මාරයා ආවේෂ වූවා සේ ඔහු වෙත කඩාපැන්න මැරයෝ මහ දවාලේ කවුරුත් බලා සිටියදීම ඔහු කපාකොටා ඝාතනය කළහ. ඒ පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදාය. මොහොමඩ් කමීල් මොහොමඩ් පවාස්ගේ ජීවිතයේ ඉරණම එසේ තීරණය විය. 


ජූඩ් බෙස්ට් යනු දිනුකගේ තවත් ගෝලයෙකි. ඔහු දැන් සිටින්නේ මාලදිවයිනේය. ඔහුගේ ප්‍රධානම ආදායම් මාර්ගය වූයේ මත්ද්‍රව්‍ය ජාවාරමය. මාලදිවයිනේ සිට ඔහු ලංකාවට මත්කුඩු බෙදාහැරීමේ ජාලය මෙහෙයවූයේය. එය දනුකගේ මත්ද්‍රව්‍ය ජාලයට බාධාවක් විය. ඒ නිසා දනුක දැන් සිටින්නේ ජූඩ්ගේ කල්ලිය සමගද ගැටුමකය. 
මේ ගැටුම් නිසා අද කෙසෙල්වත්ත, කොටහේන හා මට්ටක්කුලිය ප්‍රදේශ හිටි හැටියේ ගිනිගන්නේය. හිටි හැටියේ ලේ විලක් බවට පත් වන්නේය. එකම කල්ලියක සිටි එකම මිතුරු කණ්ඩායමක් අද තම තමන්ට බලය ලබාගැනීම වෙනුවෙන් මෙලෙස උනුන් මරා ගැනීමේ සටනක යෙදී සිටිති. 


කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් කොළඹින් පාතාලය තුරන් කිරීමේ ආරක්ෂක වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වේ.

 

 

සටහන
මුදිතා දයානන්ද