කෘතීම බුද්ධියට නතු වීම ආරම්භ වී අවසන්


Artificial Intelligence

AI නිසා අපට, ලෝකයට මොකද වෙන්නේ?

තාක්ෂණය කෙතරම් දියුණු වී තිබේද යන පැනය මා ඔබගෙන් විමසූවොත් ඔබගේ පිළිතුර කුමක්ද? ඇතැම් විට ඔබට සෘජු පිළිතුරක් ලබා දීමට අපහසු වන්නට ඉඩ ඇත. ඇතැමුන් නම් මේ පිළිබඳව දිනෙන් දින යාවත්කාලීන වන අතර ඇතැමුන් එසේ නොවේ. අද අපි කතා කරන්න යන්නේ කෘත්‍රිම බුද්ධිය ගැන එහෙමත් නැත්නම් AI (Artificial Intelligence) ගැනය. කෘත්‍රිම  බුද්ධිය සරලව අර්ථකථනය කළොත් එය යන්ත්‍ර හා සම්බන්ධ බුද්ධිමත්  ක්‍රියාකාරීත්වය ඇති කිරීමේ වැඩසටහනක්  විදිහට අපිට හඳුන්වන්න පුළුවන්, ඒ වගේම මේ සම්බන්ධව තවත් බොහෝ අර්ථකථන තියෙනවා.

වර්තමානය වෙද්දි AI  අපිට ගොඩක් සමීප වෙල තියෙනවා. අපි එදිනෙදා වැඩවලට අපි දැනුවත් ව හෝ නොදැනුවත්ව AI  පාවිච්චි කරනවා. AI  තාක්ෂණයේ වර්තමානය සලකන විට ඉතාමත් දියුණු මට්ටමක පවතින බව තාක්ෂණික ලෝකය පිළිබඳව නිතරම යාවත්කාලීන වන ඔබ සියල්ලන්හට අලු‍ත් කරුණක් නොවනු ඇත. මන්දයත් මේ වන විට පවතින නිපැයුම් සලකන විට ආයතනික හෝ වෙනත් වූ විවිධ මට්ටමේ දත්ත ආරක්ෂා කරගැනීම සඳහා මෙම කෘතිම බුද්ධිය භාවිතයට ගනු ලබයි. මේ සඳහා හොඳම උදාහරණය වනුයේ ෆෙස්බුක්, ට්විටර් වැනි අති විශාල ජන සමුහයක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාල පසුපස ඇති ක්‍රියාකාරී ස්වභාවයයි. එතරම් දත්ත ප්‍රමාණයක් එකවර පාලනය කිරීම ඇතුළු බොහෝ දේ සිදුවන්නේ මෙවැනි කෘත්‍රීම බුද්ධියක් හරහා වේ. එමෙන්ම අන්තර්ජාලය හරහා සිදුවන සයිබර් අපරාධ අවම කිරීම සහ වැළැක්වීම සඳහා ද මෙම AI තාක්ෂණය යොදාගන්නා අතර මෙහි දී Machine Learning වැනි ආකෘතීන් භාවිත කිරීම මේ වන විට සුලභව දක්නට ලැබෙන කරුණකි.


අද වනවිට වර්තමාන තාක්ෂණ ලෝකයේ ව්‍යාපාරික දැවැන්තයන් මෙම AI තාක්ෂණය වැඩි වශයෙන් උපයෝගී කර ගනිමින් තමන්ගේ වෙළෙද භාණ්ඩ සහ සේවා ප්‍රවර්ධනය කරන බවක් ඔබ දැනටමත් දකින්නට ඇති. මයික්‍රොසොෆ්ට්, ඇපල්, ගූගල් වැනි සමාගම් මෙතෙක් මිනිස් ශ්‍රමය යොදවා නිම කළයුතු කාර්යන් බොහෝමයක් මෙම AI තාක්ෂණය යොදා ගනිමින් නිමකරදෙන තත්ත්වයට පත්ව තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබට අවශ්‍ය සියලු‍ම දැනුම, තොරතුරු සහ යම් යම් වාර්තා පවා ඉතාමත් සුලු‍ වේලාවකින්, අතිසාර්ථකව, නිවැරිදිව ඔබ ලබාදෙන එක නියෝගයකින් කරගැනීමේ හැකියාව දැන් ලැබී තිබෙනවා.


AI හි අනාගත දැක්ම සලකන කල්හි අපට එය කොතනින් ආරම්භ වී කොතනින් කෙළවර වන්නේද යන්න තක්සේරු කළ නොහැකිය. ඇතැම් විට මෙම තාක්ෂණය භාවිත කිරීම හා වැඩිදියුණු කිරීම ඔස්සේ ඉදිරියේදී විවිධ වෘත්තීන් බොහෝමයක් ස්වයං පරිගණක පද්ධතියක් බවට පත්වීමට ඉඩ ඇත. නමුත් විවිධ විචාරකයන්ගේ අදහස වන්නේ නම් මේ සඳහා තවත් දශක කිහිපයක් ගතවනු ඇති බවය. මේ වන විටත් ගොඩනැගෙමින් පවතින Humanoid Robots සහ Automated Systems හේතුවෙන් බොහෝ දෙනා අතර AI තාක්ෂණය පිළිබඳව අනිසි බියක් හටගෙන තිබෙන බව නම් පැහැදිලි කරුණක්.


තත්ත්වය මෙහෙම වෙනකොට කෘත්‍රිම බුද්ධියේ තර්ජනය දේශගුණික විපර්යාස වලටත් වඩා හදිසි තත්ත්වයන් ඇති කළ හැකි බවට AI තාක්ෂණයේ පුරෝගාමියෙක් වන Geoffrey Hinton මහතා පසුගිය දා රොයිටර් පුවත් සේවය වෙත පවසා සිටියා. ඒ ඔහු සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදීය.


ජෙෆ්‍රි හින්ටන් හඳුන්වන්නේ AI තාක්ෂණයේ ගෝඩ් ෆාදර්වරයෙකු ලෙසයි. ඔහු වසර දහයක් සේවය කළ ගූගල්  සමාගමෙන් ඉවත්වූ බව මෑතකදී ප්‍රකාශ කළා. ඒ එම ආයතනයට හානියක් නොවී මෙම තාක්ෂණයේ ඇති අවදානම ගැන කතා කිරීමට බව ඔහු Twitter සටහනක් තබමින් පවසා සිටිනවා.


හින්ටන් යනු AI පද්ධති සංවර්ධනය සඳහා ඉතා වටිනා කාර්යභාරයක් කරන ලද පුද්ගලයෙක්. 1986 දී AI තාක්ෂණයේ මූලය වන ස්නායුක ජාල සංවර්ධනය  පිළිබඳව වැදගත් සන්ධිස්ථානයක් වන "Learning representations by back-propagating errors" නම් පත්‍රිකාවේ සම-කර්තෘ ලෙස ඔහු කටයුතු කළා. 2018 දී, ඔහුගේ පර්යේෂණය අගයමින් ඔහුට ටියුරින් සම්මානය ද පිරිනමනු ලැබුවා. නමුත් තාක්ෂණික බල්වතුන් නිපදවන යන්ත්‍ර විසින් මින්සුන්ට වඩා වැඩි බුද්ධියක් ලබා ගෙන ලෝකය පවා පාලනය කිරීමට හැකියාව පවතීද යන්න ගැන ඔහු කනස්සල්ලෙන් පසුවන බව ඔහු ප්‍රකාශ කරනවා.


තවදුරටත් අදහස් දැක්වූ Geoffrey Hinton  මහතා මෙසේ පවසනවා,


“මම දේශගුණික විපර්යාස අවතක්සේරු කිරීමට කැමැති නෑ. ඒත් මම කියන්නේ දේශගුණික විපර්යාසය ගැන ඔබ දුක්විය යුතු නෑ. ඒක විශාල තර්ජනයක් තමයි. ඒත් මෙය මීට වඩා වැඩි බලපෑමක් ඇති කරන දෙයක් විය හැකියි.”‍


දේශගුණික විපර්යාසයකදී ඔබ ගත යුතු මීළග පියවර ගැන නිර්දේශ  ඉදිරිපත් කිරීම ඉතා පහසු දෙයක්. උදාහරණයක් ලෙස  කාබන් විමෝචනය අවම කිරීමට මඟක් සොයා ගත්තොත් කාලයාගේ ඇවෑමෙන් සියල්ල යහපත් අතට හැරේවි. මෙම ගැටළුවේදී මීළඟට කුමක්ද කළ යුත්තේ කියන්න තරම් පැහැදිලි විසඳුමක් නෑ.


මයික්‍රොසොෆ්ට් සමාගමේ බලගැන්වීමෙන් OpenAI ආයතනය විසින් පසුගිය නොවැම්බර් මාසයේදී AI තාක්ෂණයේ ආරම්භක වෙඩි මුරය තබමින්, AI බලයෙන් ක්‍රියාත්මක වන චැට්බෝට් එකක් වන ChatGPT සේවය භාවිතයට මහජනතාවට ඉඩ සලසා දුන්නා. මෙතෙක් ඉතිහාසයේ වේගයෙන්ම වර්ධනය වන යෙදුම බවට එය පත් වූ අතර, මාස දෙකකින් මාසික පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 100කට ළඟා වුණා. ‘‘තාක්ෂණික ලොව දැවැන්තයින්ට මේ පිළිබඳව ලොකු අවබෝධයක් තිබෙනවා. පාලකයින්ට මේ සඳහා සොයා බලන්න වෙනවා. එය අප හැමෝටම බලපානවා,ඒ නිසා අපි හැමෝටම ඒ ගැන හිතන්න වෙනවා”‍ හින්ටන් වැඩිදුරටත් පවසා සිටියා.


තත්ත්වය මෙහෙම වෙනකොට ලෝකයේ ප්‍රබල රටවල් G 7 කණ්ඩායම විදියට මේ කෘතිම බුද්ධිය (AI), නිසි ලෙස භාවිත කිරීම සහතික කිරීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කර තිබේ. ඒ, ජී 7 කණ්ඩායමේ ඩිජිටල් සහ තාක්ෂණික අමාත්‍යවරුන් විසින්. ජපානයේ පැවති මෙම හමුවේදී කෘත්‍රිම බුද්ධිය සහ අනෙකුත් දියුණු වෙමින් පවතින තාක්ෂණයන් වැනි නව තාක්ෂණයන් නිසි ලෙස භාවිතා කිරීම සඳහා වන මූලධර්ම පහක් පිළිබඳව කරුණු දක්වා තිබුණා. ඒ අනුව නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්වලට ගරු කිරීම, නියමිත ක්‍රියාවලිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නවෝත්පාදන සඳහා අවස්ථා භාවිත කිරීම ආදී මූලධර්ම 05ක් ගැන කරුණු දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙහිදී කෘතීම බුද්ධි පද්ධති සංවර්ධනය සහ නියාමනය කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. පුද්ගලිකත්වය, ප්‍රකාශන හිමිකම් උල්ලංඝණය කිරීම් සහ තොරතුරු කාන්දු වීමේ අවදානම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.


ඉතින් මේ 2023, AI කියන්නේ මේ වෙනකොට තාක්ෂණ ලෝකේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන ෆිල්ඩ් එකක් වෙලා. ඒ වගේම මේ වෙද්දි මිනිස් ශ්‍රමය මගින් කරන වැඩ ගොඩක් AI මගින් ඉතාම කාර්යක්ශම විදියට කරගන්න පුලු‍වන් වෙලා තියෙනවා. අනාගතයේ කෘත්‍රීම බුද්ධිය මිනිසාගේ වැඩවලින් 80% කට වඩා කරයි කියලා තමයි විද්‍යාඥයන් අනාවැකි පළකරන්නේ. අනාගතයේ AI වල දිශානතිය කොයි පැත්තට ද කියල ඉතින් අපි බලාගෙන ඉමු.

 

■ නේදිත මෙන්ඩිස්