“කොච්චර දුෂ්කර වුණත් ඒක හරිම ලස්සන ගමක් මල්ලි. ගම විතරක් නෙමෙයි ඒ ගමේ මිනිස්සු හිතන පතන විදිහත් හරිම ලස්සනයි. ඒත් ජීවිතේ ගැට ගහගන්න ඒ මිනිස්සු විඳින දුක දැක්කාම, අපිට තියෙන ප්‍රශ්න මොනවද කියල හිතෙනවා. ඒක මෙහෙම වචන වලින් කියලා ඉවර කරන්න පුළුන් දෙයක් නෙමෙයි. වෙලාවක එහෙට ගිහිල්ල ඇස් දෙකෙන්ම බලා ගන්න ඕන දෙයක්.”
මගේ සමීපතම මිතුරකු වන මේනක අයියාගේ මෙම වදන් පෙළ පිළිබඳව මා කොපමණ සිතුවාද කිවහොත් අවසානයේ ඔහු සමග කුන්චුට්ටු කෝරළයේ ගම්මාන දැක බලාගැනීම සඳහා එහි යෑමට මා හටද සිත් විය. මෙම ගමන සඳහා ගතවන කාලය දෙස බැලීමේදී දින 3 කට නොඅඩු කාලයක් ඊට ප්‍රමාණවත් නොවන බව පසක් වීමත් සමගම විඩාබර රාජකාරි දිවියෙන් කෙටි විවේකයක් ගෙන කල් තියාම දින 3 ක නිවාඩුවක් ලබා මම ගමන සඳහා සූදානම් වුණෙමි.
මේ ගමන සඳහා මේනක අයියාත්, මමත් සමග මේනක අයියාගේ පියා වන විජිත මාමා සහ සජන මල්ලිත් එක්වූ අතර, සජන මල්ලිගේ ඩීමෝ බට්ටා ලොරිය අපගේ ප්‍රවාහන රථය විය. මල්ලි රථය පදවා ගෙන ගිය අතර විජිත මාමා ඔහුගේ සහයට ඉදිරි අසුනේ ගමන් ගත්තේය. ඊට හාත්පසින්ම වෙනස් ආකාරයක් අනුගමනය කළ මමත්, මේනක අයියාත් ගමනට එක්වූයේ ලොරි රථය පසුපස කොටසේ බිම එළාගත් මෙට්ටයක් මත දිගා වෙමිනි.
මිනුවන්ගොඩින් පාන්දරම පිටත් වූ අප උදෑසන ආහාරය සඳහා තඹුත්තේගම ප්‍රදේශයේ පොල් අතු බත් කඩයක ලොරි රථය නතර කළ අතර, එතැන් පටන් නැවතත් රථයට ගොඩ වූයේ කුන්චුට්ටු කෝරළය ගැන කතාබහ ආරම්භ කරමිනි. එහිදී මේනක අයියාට මාගෙ පළමු පැනය වූයේ කුන්චුට්ටු කොරළයේ ගැන මෙතරම් උනන්දුවක් දැක්වීමට සහ නැවත වරක් එහි යෑමට හේතුව කුමක්දැයි යන්නය.
“මම මේ කුන්චුට්ටු කෝරළේ යන තුන් වෙනි පාර මල්ලි. මුලින්ම මම එහෙ ගියෙ මගේ විශ්වවිද්‍යාලෙ යාළුවොත් එක්ක, කහටගොල්ලෑව මහ විද්‍යාලය කියන ඉස්කෝලෙට නැටුම් කාමරයක් හදලා දෙන්න. ඒ ගිය වෙලාවෙ තමයි මම දැක්කෙ එහෙ මිනිස්සු විඳින දුක. ජීවිතේ ගැට ගහගන්න අවු කාස්ටකේ මැද ගෙන්දගම් පොළොවත් එක්ක ඔට්ටු වුණාට එයාලට ඕන වුණේ කොහොම හරි දරුවන්ට උගන්නලා හොඳට තැනකට යවන්න.”
වැව් ඉස්මත්තේ ඔරු තොටක්
“ඒකට පොඩි හරි රුකුලක් දෙන්න ගමට ගිය අපිව ඒ මිනිස්සු මහ ඉහළින් පිළි අරගෙන පුළුවන් උපරිම හොඳට අපිට සැලකුවා. අපි දවස් කීපයක් ඒ ගමේ නතර වෙලා ඉඳලා නැටුම් කාමරේ වැඩ අවසන් කරලා, ඉස්කෝලෙට භාර දීලා එනකොට අපිට දැනුණෙ අපිත් ඒ ගමේම අය වගේ කියලා. ඒ තරමටම ඒ මිනිස්සු අපිට ළෙන්ගතු වුණා. කොයිම වෙලාවකවත් අපි පිට අය කියල අපිට දැනෙන්න ඉඩක් තිබ්බෙ නෑ.”
මේනක අයියා එහෙම කියා ගෙන යද්දි මට මතක් වුණේ මාත් එක්ක කුන්චුට්ටු කෝරළයට යන්නෙ තුන් වෙනි වතාවට නම් දෙවෙනි වතාවෙදි ඔහු එහෙ ගියෙ ඇයි කියන එක. ඒත් මම ඒ ගැන අහන්නත් කලින්ම ඔහු නැවතත් කතාව පටන් ගත්තෙ මේ විදියට.
“නැටුම් කාමරේ හදල දීලා එහෙන් එනකොට ඒ ඉස්කෝලෙ මුර කරපු සමන්ත අයිය අපිත් එක්ක හුඟක් හිතවත් වෙලා උන්නෙ. එයා ඉඳල හිටල දුක සැප බෙදාගන්න මට දුරකථනයෙන් කතා කළා. ඒ දුරකථන ඇමතුම් අතරේ මමත්, සමන්ත අයියත් හුඟක් සංවේදි වුණ ඇමතුමකුත් තිබුණා. ඒත් ඒ දුකකට නෙමෙයි, සතුට වැඩි කමට. එදා එයා මට කිව්වෙ අපි හදලා දුන් නැටුම් කාමරේ පුහුණුවීම් කරපු ළමයි වගයක් සමස්ත ලංකා නැටුම් තරගෙකින් දෙවැනි තැනට තේරිලා කියලා.”
උතුරින් මැද වච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, නැගෙනහිරින් මුලතිව් ඝන වනාන්තරයටත්, දකුණින් හොරොව්පතාන ප්‍රාදේශීය කොට්ඨාසයටත්, බටහිරින් වව්නියාව දක්වා දිවෙන කුන්චුට්ටු ඝන වනාන්තරයටත් මැදිව මෙම කුන්චුට්ටු කෝරළය පිහිටා ඇත.
“අපේ සතුට වෙනුවෙන් අපි මොන දේ කළත් ඒ හැම දෙයක්ම යටයි මල්ලි, වෙන කෙනෙකුගෙ සතුටක් වෙනුවෙන් අපි දෙයක් කරලා, ඒකෙන් එයා සතුටු වෙන විදිය දකින කොට. ඇත්තටම එදා මට අපි කරපු වැඩේ ගැන ලොකු සතුටක් ඇති වුණා. ඒ වගේම එදා මට හිතුණා මේ අසරණ ළමයි වෙනුවෙන් තව මොනවා හරි දෙයක් කරන්න ඕන කියලා. මොකද ළමයෙක් ඉගෙන ගෙන හොඳ තැනකට යනවා දකින තරම් දෙයක් ගුරුවරයෙකුට තවත් නෑ.”
වෘත්තියෙන් ගුරුවරයකු වන මේනක අයියා මෙවර කුන්චුට්ටු බලා යන්නේ ඔහුගේ ශාස්ත්‍රපති උපාධියේ පර්‌යේෂණ නිබන්ධනයට තොරතුරු රැස්කිරීම සඳහා බව මම කල් තියාම දැන සිටියෙමි. එම කාර්යයේදී ඔහුට සහාය වීමට අමතරව පදවියේ මිනිසුන්ගේ ග්‍රාමීය දිවි පෙවෙත අධ්‍යයනය කිරීමත්, නොයෙක් ගම් ප්‍රදේශ වල සැරිසරමින් වන සතුන් සහ සොබාව සෞන්දර්ය රසය විඳීමත් මාගේ අරමුණු විය.
වගාවකට හානි කිරීමට ගම්වදින වන අලියෙක්
අපගේ නවාතැන් පොළ වූ සමන්ත අයියාගේ නිවස පිහිටි ඇත්තේ කුන්චුට්ටු වට අයත් කහටගොල්ලෑව ගම්මානයේය. අනුරාධපුර නගරයෙන් වවුනියාව දෙසට හැරී කැබිතිගොල්ලෑව දක්වා ගමන් කළ අප කැබිතිගොල්ලෑව ටවුමෙන් බැස අවශ්‍ය අඩුම කුඩුම සියල්ල මිලදී ගත්තේ කහටගොල්ලෑවට පෙර ඇති අවසන් නගරය කැබිතිගොල්ලෑව වීම හේතුවෙනි. එතැන් පටන් කහටගොල්ලෑව කිලෝ මීටර් 30 කට ආසන්න දුරක් විය.
ගමනේ අවසන් භාගයේදී මා මේනක අයියාගෙන් අසා සිටියේ කුන්චුට්ටු කෝරළය යනු කුමක් ද යන්න සහ ශ්‍රී ලංකා සිතියමට අනුව එහි පිහිටීම කෙසේ දැයි යන්නය. ඊට පිළිතුරු දෙමින් ඔහු මෙසේ අදහස් දැක්වීය.
“කුන්චුට්ටු කෝරළය හැදිලා තියෙන්නේ ගම්මාන කිහිපයක එකතුවකින්. ඒකට නම ලැබිලා තියෙන්නේ මේ ගම්වල තියෙන කුඩා ජල උල්පත් 22 ක එකතුවක් නිසා. සිංහයා උල්පත, ගෝනමැරියාව උල්පත, කැබිතිගෝල්ලෑව උල්පත, දඹගහ උල්පත, කණුගහ උල්පත වගේ නම් තියෙන උල්පත් 22 ක් තියෙනවා ඔය කුන්චුට්ටු කෝරළය කියන භූමි ප්‍රදේශයෙ. අපිට මේ ගමනෙදි ඒවයින් එකක් දෙකක් බලන්නත් යන්න පුළුවන් වේවි.”
උතුරින් මැද වච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, නැගෙනහිරින් මුලතිව් ඝන වනාන්තරයටත්, දකුණින් හොරොව්පතාන ප්‍රාදේශීය කොට්ඨාසයටත්, බටහිරින් වව්නියාව දක්වා දිවෙන කුන්චුට්ටු ඝන වනාන්තරයටත් මැදිව මෙම කුන්චුට්ටු කෝරළය පිහිටා ඇති බවද එහිදී මේනක අයියා වැඩි දුරටත් කියා සිටියේ, ඔහු ඒ පිළිබඳව පූර්ව අධ්‍යයනයකින් පසුව මෙම ගමන පැමිණි බව සනාථ කරමිනි.
මේනක අයියා කුන්චුට්ටු කෝරළේ ගැන කියාගෙන යද්දි දන්නෙම නැතුව අපි කහටගොල්ලෑවෙ වාහල්කඩ ජලාශය පාරෙ පිහිටි සමන්ත අයියලාගෙ නිවස වෙත ළඟා වුනෙමු. අව්‍යාජ සිනහවකින් අප පිළිගත් සමන්ත අයියා සහ ඔහුගේ පවුලේ උදවිය, නිවසට ඇතුළු වූ වහාම අප හට ආගන්තුක සත්කාර වලින් කිසිදු අඩුවක් නොකළහ. මඳ වේලාවක් ගිමන් නිවා දිවා ආහාරයද ලබාගත් අප ඉන් අනතුරුව වාහල්කඩ වැවේ සොරොව්ව වෙත ගියේ නිබන්ධනයට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා එහි ධීවර සමිතියේ සභාපතිවරයා මුණගැනීමට ය.
එහිදී ඔහු කියා සිටි කරුණු අතරින් සූවිශේෂීම කරුණ වූයේ වාහල්කඩ වැවේ සොරොව්වේ ඇති පෞරාණික වටිනාකමකින් යුත් නයි පෙන 7 ක් සහිත නාග රූපයයි. කුන්චුට්ටු කෝරළයේ විශාලතම වැව වන වාහල්කඩ වැවේ ජල ධාරිතාව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය දක්වා පැතිර යන බවත්, මෙය සිංහල රජ සමයේ ඉදිකර ඇති වැවක් බැවින් නාග රූප සහිත ගල්පුවරුව එහි සොරොව්වට යොදා ඇති බවත් ඔහු පැවසීය.
"දවස තිස්සෙ ජීවිතේ ගැට ගහගන්න දුක් විඳලා ඇඟේ පතේ අමාරුවට රෑට නිදාගන්න ඇඳට එන මනුස්සයටත් නිදා ගන්න වෙලා තියෙන්නෙ බයේ ගැහි ගැනී. මීට සති දෙකකට විතර උඩදි අපේ මිදුලටත් අලි ඇවිල්ලා තිබුණා. වෙලාවට ගේ ඇතුළෙ වී තිබුණෙ නෑ. තිබුණ නම් අද අපි ජීවතුන් අතර නැහැ. ,”
“මේ වැවට වාහල්කඩ කියන නම ලැබිලා තියෙන්නෙ දොරටුව කියන තේරුම එන්න කියලා කොටසක් විශ්වාස කරනවා. තවත් කොටසක් විශ්වාස කරන්නෙ වාහල්කඩ කියන නමේ තේරුම දෙවියන් අරක්ගත් ස්ථානය කියන එකයි. තේරුම ඒ දෙකෙන් කෝක වුණත් දහස් ගණනකට ඔවුන්ගේ ජීවනෝපායන් සරි කරගන්න මේ වැව නොයෙක් ආකාරයෙන් ඉවහල් වෙනවා කියන එක නම් මට කියන්න පුළුවන්.” සභාපතිවරයා කියා සිටියේය.
ඔහුගේ කතාබහ අවසන් වෙමින් යද්දී මාගේ නෙතු යොමු වූයේ වැව් ඉස්මත්තෙන් ඉර බැස යන අලංකාර දසුන දෙසය. සීතල හුළං රැල්ලක් ගතේ ගෑවී නොගැවී යද්දී වැව් ඉස්මත්ත දිගේ ඉර කෙමෙන් නොපෙනී ගියේ තවත් දවසක නිමාව සනිටුහන් කරන්‍නාක් ලෙසිනි. ඉර බැස යෑමත් සමග වැව අවට පරිසරය තරමක් පාළු ස්වභාවයක් ගත්තේ අපට එහි රැඳී සිටීම අවදානම් සහගත බවද කියා පාමිනි. ඒ සමග සමන්ත අයියාගේ හඬ අවදි වූ අතර, ඔහු නැවත නිවෙස බලා යෑම ඉක්මන් කළේ අනතුරු දායක බව තවදුරටත් තහවුරු කරමිනි.
“දැන් නම් අපි ඉක්මන් කළොත් හොඳයි නේද මල්ලිලා. ඇඳිරි වැටීගෙන එද්දි මහ එවුන් එළිබහිනවා. එහෙම වුණොත් අපිට ගෙදර ටිකක් අමාරු වෙයි. මේ ළඟදිත් හේනට ගිය කෙනෙකුට අලියා ගහලා තිබුණා. දැන් ගියත් සමහර විට පාර දෙපැත්තෙ ඉන්න පුළුවන් රංචු පිටින්ම. රංචු වගේ නෙමේ හැබැයි තනියා හම්බුණොත් තමයි භයානකම.” යැයි සමන්ත අයියා කියාගෙන ගියේ අපිට අලුත් කුතුහලයක් ලබා දෙමිනි.
සිංහයා උල්පත
සමන්ත අයියාගේ පෙරැත්තය මත වැව් ඉස්මත්තේ සිට නැවත ඔහුගේ නිවස බලා ගමන් ඇරඹූ අපිට වැඩි දුරක් පැමිණීමටත් මත්තෙන් බලාපොරොත්තු නොවූ අත්දැකීමකට මුහුණදීමට සිදුවිය. සජන මල්ලි පදවාගෙන ආ ලොරි රථය මාර්ගය මැද එකවර නතර වූ අතර, යළිත් එසැණින් එය පණ ගන්වා ගත් ඔහු අධික වේගයකින් ඉදිරියට ගමන් කළ ආකාරයද අපට දැනිණි. සමන්ත අයියාගේ නිවස අසලට පැමිණ රථයෙන් බැසගත් මමත්, මේනක අයියාත් සිදුවූයේ කුමක් දැයි අසා සිටියදී, සජන මල්ලීගේ පිළිතුර වූයේ මාර්ගය අසල සිටි අලි රංචුවක් නෙත ගැටීමෙන් ඔහු තරමක් තිගැස්සුණු බවත්, ඒ සමගම රථයේ එන්ජිම කියා විරහිත වූ බවත්ය.
“මීට කලින් මම වාහනයක් එළවද්දි එච්චර ලඟට අලි රංචුවක් දැකලම නෑ අයියෙ. එවෙලෙ මට කරන්නේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි වුණා. වෙලාවට සමන්ත අයියා ඉස්සරහ සීට් එකේ හිටියේ. එයා ඉක්මන් නොකර නම් මම තාමත් වාහනේ ස්ටාර්ට් කරනවා. එතැනින් එන්න තව ටිකක් පරක්කු වුණා නම් අපිට ලොකු අනතුරක් වෙන්නත් ඉඩ තිබුණා.” යැයි සජන මල්ලි එක දිගට කියාගෙන ගියේ තවමත් ඔහුගේ සිතින් බිය තුරන් වී නොමැති බව පසක් කරවමිනි.
අප සමග වැව් ඉස්මත්තට ගිය සමන්ත අයියාගේ බාල පුත් ආලෝක නිවසට පැමිණීමෙන් අනතුරුව කියා සිටියේ ඔවුන්ට මෙවැනි සිදුවීම් ඉතා සුලබ බවය. ගම් වැසියන් කොතෙකුත් අලිගෙන් සිදුවන කරදර වලින් පීඩාවට පත්වන බවත්, ඊට නිසි විසඳම් ලබාදීමට කිසිදු බලධාරියෙකුට තවමත් නොහැකි වී ඇති බවත්ය. කටගොල්ලෑව මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඉහළින් සාමාන්‍ය පෙළ සමත් වී ඇති ආලෝක, අනුරාධපුර මහ විද්‍යාලයේ ජීව විද්‍යාව හදාරමින් සිටි දක්ෂ සිසුවෙකි.
“සර්ලට නම් මේවා අලුත් දේවල් වුණාට මේ ගම්වල මිනිස්සුන්ට මේවා හොඳට හුරු පුරුදුයි. පාරවල් වලට විතරක් නෙමෙයි මේ පැතිවල රෑ වෙනකොට ගෙවල්වලටත් අලි කඩා වදිනවා. දවස තිස්සෙ ජීවිතේ ගැට ගහගන්න දුක් විඳලා ඇගේ පතේ අමාරුවට රෑට නිදාගන්න ඇදට එන මනුස්සයටත් නිදා ගන්න වෙලා තියෙන්නෙ බයේ ගැහි ගැහි. මීට සති දෙකකට විතර උඩදි අපේ මිදුලටත් අලි ඇවිල්ලා තිබුණා. අපි දන්නෙත් පහුවදා උදේ මිදුලෙ තිබුණු අඩි දැක්කට පස්සෙ. වෙලාවට ගේ ඇතුළෙ වී තිබුණෙ නෑ. තිබුණ නම් එහෙම එදා උන් යන්නෙ අපේ ගේත් බිඳලා.” ආලෝක හඬ අවදි කළේය.
ඔහුගේ එම ප්‍රකාශයේ බැරෑරුම් බව කොතෙක්ද කිවහොත් මමත්, මේනක අයියාත් නිරුත්තර වී මඳ වේලාවක් මුහුණට මුහුණ බලා සිටියේ ඔවුන්ගේ අසරණකම මැනවින් තේරුම් ගනිමිනි. පසුව අප දෙදෙනාගේ කතාවට බඳුන් වූයේ ජීව විද්‍යාව වැනි අසීරු විෂය ධාරාවක් හදාරන සිසුවකුට මෙවැනි අතිශය කටුක පරිසරයක ඔහුගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා ඇති අවකාශය කෙබඳු දැයි යන්නය. කෙසේ වුවත් පෙර සිටම සමන්ත අයියා අප හට කියා තිබුණේ ආලෝක, නිවසේ වැඩ කටයුතුවලට මෙන්ම අධ්‍යාපනයටද එකසේ දායකත්වය ලබාදෙන බවය.
සමන්ත අයියාගේ ගජ මිතුරකු වන අනුරුද්ධ අයියා, අප සමග දොඩමලු වීම සඳහා එම ප්‍රදේශයටම ආවේණික වූ කටගැස්මක්ද රැගෙන සමන්ත අයියාගේ නිවෙස වෙත පැමිණියේ ඒ අතරවාරයේය. කහටගොල්ලෑවට තරමක් දුරින් පිහිටි තවත් කුන්චුට්ටු කෝරළයටම අයත් ගම්මානයක් වූ කණුගහ වැව ගමේ පදිංචිකරුවකු වූ අනුරුද්ධ අයියාද වෘත්තියෙන් පාසල් මුරකරුවෙකි. එපමණක් නොව ඔහු දක්ෂ මී වද කඩන්නෙකු, කිරි ගොවියෙකු මෙන්ම දඩයක්කාර පරම්පරාවකින් පැවත එන්නෙකි.
කහටගොල්ලෑවේ ගත කළ පළමු රැයෙන් භාගයක්ම අප පහන් කළේ අනුරුද්ධ අයියාගේ ඉතිහාස කතාවලට සවන් දෙමිනි. එම කතා අතරින් මාගේත්, මේනක අයියාගේත් වැඩි අවධානයකට ලක්වූයේ අනුරුද්ධ අයියාගේ පරම්පරාවේ උදවිය ’මහ කෑළෑ යෑම’ සංස්කෘතිකාංගයක් ලෙස සිදුකළ ආකාරයයි. මී වද කැඩීම, දඩයම් කිරීම, අං ඇහිලීම සහ කුළුහරක් ඇල්ලීම වැනි අංග මහ කැළෑ යෑමට අයත් බව හෙෙතම අප සමග පැවසීය. කුන්චුට්ටු කෝරළයේ මුතුන් මිත්තන් ජීවනාලිය සරිකර ගැනීම සඳහා මහ කැළෑ ගිය අයුරු එම අත්දැකීම විඳීමට අපටද අවස්ථාව සලසා දෙමින් අනුරුද්ධ අයියා විස්සර කළ ආකාරය මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න.
ශානුක අරවින්ද