“කුංචුට්ටු කෝරලයට ගිය ගමනක්” ලෙස කොටස් වශයෙන් පළවන මෙම ලිපි මාලාවේ පස්වැනි කොටස මෙසේ දිග හැරෙන අතර, කුංචුට්ටුවේ මිනිසුන්ගේ ප්‍රධානතම ජීවනෝපායක් වූ හේන් ගොවිතැන පිළිබඳව ගවේෂණය කිරීමෙන් ලබාගන්නා ලද තොරතුරු මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නෙමු.
“මේ පැතිවල මිනිස්සුට හැම දේම කඩවලින් අරගෙන කන පුරුද්දක් නෑ මල්ලි. තියෙන පොඩි ඉඩක පවා මොනවා හරි වගා කරගෙන කාලා තමයි එයාලට පුරුදු. වගා කරන්න ඉඩක් නැත්නම් කැලයක් එළි කරගෙන හරි හේනක් කොටලා තමයි ඒ කාලෙ ඉඳලාම මේ මිනිස්සු බඩ කට පුරව ගත්තේ. ඵලදාව නෙළුවාට පස්සෙ තමන්ට කොටහක් තියාගෙන ඉතුරු කොටහ විකුණලා කීයක් හරි හොයා ගන්නවා අනිත් ඕනෑ එපාකම් ටික ගැට ගහගන්න.”
උල්පත් බැලීමට ගොස් නිවෙස බලා එද්දී සමන්ත අයියා මටත්, මේනක අයියාටත් කුංචුට්ටු කෝරලයේ ගොවිතැන පිළිබඳව ඔහු දන්නා තොරතුරු එකින් එක ගෙනහැර පාන්නට විය. ඔහුගේ එම කතාබහ අප තුළ කුංචුට්ටුවටම ආවේණික වූ ගොවිතැන් ක්‍රම පිළිබඳ සොයා යෑමට තරම් උනන්දුවක් ඇති කළේය. ඒ නිසාම කැබිතිගොල්ලෑවේ සිට කහගොල්ලෑව ගම්මානය දක්වා වූ එම ගමන අවසානයේ දිවා ආහාරය ලබාගත් අපි, යළිත් හේන් ගොවියකු සොයා ගමන් ඇරැඹුවෙමු.
“වියළි කලාපෙ මිනිස්සු තමයි වැඩි හරියක් ගොවිතැන් කරන්නේ. ඒකෙනුත් වැඩි හරියක් කරන්නෙ හේන් ගොවිතැන. මඩ ගොවිතැනේදී වගා කරන්නේ වී විතරයිනේ. ඒත් මේ ගොඩ ගොවිතැනේදී එක ජාතියක් කියලා නෑ. අල වර්ග, එළවළු වර්ග, පලා වර්ග, ඇට වර්ග වගේ එක එක ජාති වගා කරනවා. ඒ ඒ කාලවල හැටියට වගා කරන ජාතියත් වෙනස් වෙනවා.” යැයි සමන්ත අයියා පැවැසීය.
හේන් ගොවියන් සොයා ගිය ගමනේදී අපට හමු වූ මුල්ම පුද්ගලයා වූයේ චන්ද්‍රසේකරය. පාරම්පරික හේන් ගොවියකු වූ ඔහුව අපට හඳුන්වා දෙනු ලැබුවේ ද සමන්ත අයියා විසිනි. ඉතාමත් ආචාරශීලි අයුරින් අප පිළිගත් චන්ද්‍රසේකර මහතා, කෙටි පිළිසඳරකින් පසුව කිසිදු පැකිළීමකින් තොරව හේන් ගොවිතැන පිළිබඳව තමා දන්නා තතු අප සමඟ පැවැසීමට ඉදිරිපත් විය.
“මහත්තයාලට කියන්න හේන් ගොවිතැන කියන්නේ අවුරුද්ද පුරා කරන දෙයක් නෙමෙයි. ඒකට නියමිත කාල වකවානු තියෙනවා. යල, මහ කන්න දෙක ගැන මහත්තුරු අහලා ඇතිනේ. මහ කන්නයේ වැස්ස පටන්ගන්නෙ අගෝස්තු, සැප්තැම්බර් මාසවල. යල කන්නයේ වැස්ස පටන්ගන්නෙ අප්‍රේල් මාසෙ. වැස්ස මත තමා හේන් ගොවිතැන තනිකරම රඳාපවතින්නේ. හුළං හමන වේගයෙන්, දිසාවෙන්, වළාකුළුවල පාටින්, විදුලි කොටන විදිහෙන් අපිට වැස්ස වැටෙන විදිහ කියන්න පුළුවන්.”
චන්ද්‍රසේකර කතාවට ප්‍රවේශයක් ගත්තේ එලෙසිනි. පලු සහ වීර ගස්වල යහමින් මල් සහ ගෙඩි හට ගැනීම අඩු වර්ෂාපතනයක ලක්ෂණ බවත්, දිවුල්, කටුකෑලිය, එරමිණිය, දඹ සහ මොර ගස්වල අධික ලෙස ඵල හට ගැනීම දුර්වල මෝසම් වැස්සක ලක්ෂණ බවත් පැවැසූ ඔහු, අවිච්චියා කුඹුරු සහ දියකඩිති අතර හඬ තලයි නම් එය නියඟයක ලක්ෂණයක් ලෙස ගොවියන් විශ්වාස කරන බව ද වැඩිදුටත් කියා සිටියේය.
උකුස්සා සහ වැහිලිහිණියා හඬ නගමින් අහසේ පියාසර කිරීම, වියළි ඉරිතලා ගිය වැව් පොළොව මත කක්කුට්ටන් වළවල් හෑරීම, කුහුඹුන් ගුල්වලින් එළියට පොකුරු වශයෙන් පැමිණ සිටීම ද වැසි ලැබීමට පෙර දැකිය හැකි ලක්ෂණ බව කී චන්ද්‍රසේකර මහතා, දිගු නියඟයකින් පසුව ඇදහැළෙන වැස්ස හේන් ගොවියන් ‘අක් වැස්ස’ නමින් හඳුන්වන බව ද කීවේය.
“කිසිම ගොවියෙක් එකම හේනක එක දිගට වගා කරන්නේ නෑ. කන්න කිහිපයක් වගා කළාට පස්සෙ ඒ ඉඩම ටික කාලෙකට අත ඇරලා දානවා. ඒකට අපි කියන්නේ පුරන් කරනවා කියලා. වල් ගස් වැවිලා පස සාරවත් වෙලා ආයෙමත් ඒ බිම තිබුණු තත්වෙටම පත් වෙන්න ඉඩ අරින එක තමා එතැනදී කරන්නේ. ඒ හේන ආයෙමත් වගා කරන්න සුදුසු මට්ටමකට එනකං වගා කරන්න වෙන තැනක් ගොවියා හොයා ගන්නවා.”
නවදැලි හේන
“හේන් ගත්තාමත් එකක් කියලා නෑ. වර්ග කිහිපයක්ම තියෙනවා. නවදැළි හේන, අත්දඬුවා හේන, හේන් කනත්ත, මූකලන් හේන, හියර හේන කියන්නෙ එකට එකක් වෙනස් හේන් වර්ග. නවදැලි හේන තමයි ඔතැනින් ප්‍රධානම එක. ඒ කියන්නේ, අලුතින් කැලෑ කපලා, ගිනි තියලා කුලුඳුලේ වගා කරන හේන. කලින් වගා කරලා නැති භූමියක් තමයි ඒකට යොදා ගන්නේ. නවදැලි හේනෙ එක දිගට කන්න කිහිපයක් වගා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඵලදාවත් සරුයි.” යැයි චන්ද්‍රසේකර පැවැසීය.
නවදැළි යන්නෙහි සරල අර්ථය, නැවුම් දැල්ල යන්න බවත්, මිනිස් ස්පර්ශයක් නොමැති වූ කැලෑ ප්‍රදේශයක් එළි පෙහෙළි කර ගිනි තබා වගා කරන මෙම භූමිය නොඉඳුල් පරිසර පද්ධතියක් බැවින් එය ඉහළ අස්වැන්නක් ලබා දෙන බවත් එහිදී අපට දැනගත හැකි විය. මෙම නවදැළි හේන සඳහා භූමියක් තෝරා ගැනීමේදී ගොවින්, පැරැණි චාරිත්‍ර සහ විශ්වාසයන් අනුගමනය කර ඇති බවට ද එහිදී තොරතුරු අනාවරණය විය.
අත්දඬුවා හේන
නවදැළි හේන කන්න කිහිපයක් වපුරා අහවර වීමෙන් අනතුරුව එය පුරන් වීමට අතහැර දමන බවත්, එසේ අතහැර දැමීමට පසුව කල්ගත වීමේදී එහි මිනිසකුගේ අත්දඬු තරමට ගස් වැවෙන බවත් පැවැසූ චන්ද්‍රසේකර, එවැනි භූමියක් ගස් කපා, ගිනි තබා හේනක් කෙටීම සඳහා භාවිත කරන්නේ නම් එය අත්දඬුවා හේන නමින් හඳුන්වන බව අප සමඟ කියා සිටියේය. කන්න කිහිපයක් ඇවෑමෙන් එය නිසරු වන බවත්, එවිට එම හේන අතහැර දමන බවත් එහිදී ඔහු වැඩි දුරටත් කීය.
හේන් කනත්ත
අත්දඬුවා හේන අතහැරීමෙන් පසුව යළිත් එම ප්‍රදේශය වනගත භූමි බවට පත්වන බවත්, පසු කලෙක එහි ඇති කුඩා ලඳු, පඳුරු, කැලෑ බිම් පිරිපහදු කර හේන් වගාවකට යොදා ගන්නේ නම් එය හේන් කනත්තක් ලෙස හඳුන්වන බවත් අපට දැනගත හැකි විය. එවැනි හේන් වපුරනු ලබන්නේ රෝගී පුද්ගලයන් හෝ වයස්ගත වූවන් විසින් බව පැවැසූ චන්ද්‍රසේකර, තල හෝ ඉරිඟු වගා කෙරෙන මෙවැනි හේන් කනත්තකින් දිවි ගැටගසාගැනීමට තරම් ප්‍රමාණවත් මද අස්වැන්නක් පමණක් ලැබෙන බව ද සඳහන් කළේය.
මූකලන් හේන
මූකලන් හේන් යනු, තරමක් වෙනස් වගාවක් බවත්, විශාල ගස් සහිත භූමියක එම ගස්වලට හානි නොවන අයුරින් පහතින් ඇති අතු කපා ඉවත් කර ඉඩ ලබාගෙන කරනු ලබන හේන් මූකලන් හේන් ලෙස හඳුන්වන බවත් චන්ද්‍රසේකර පැවැසීය. ඉතා සරු අස්වැන්නක් ලබාගත හැකි මෙම මූකලන් හේන්වල කපු, කුරක්කන්, මිරිස් සහ බටු වැනි භෝග වර්ග මිශ්‍රව වගා කරන බව ද, මෙවැනි මූකලන් හේන් කුංචුට්ටු කෝරළයට අමතරව හම්බන්තොට, දිගාමඬුල්ල වැනි ප්‍රදේශවල ද දැකිය හැකි බව ද එහිදී අපට දැනගත හැකි විය.
හියර හේන
වසරකට දෙවරක් ධාන්‍ය වර්ග වගා කරන හේන හියර හේන ලෙස හඳුන්වන බව කී චන්ද්‍රසේකර, අප්‍රේල් සහ මැයි මාසවල ලැබෙන වැස්ස ඇසුරින් තල සහ මෙනේරි වැනි කෙටි කාලීන භෝග වර්ග එහි වගා කරන බව ද අප සමඟ කියා සිටියේය. අස්වැන්න නෙළා ගැනීමෙන් අනතුරුව නැවතත් එම ඉඩම් ශුද්ධ කර සැප්තැම්බර් මාසයේදී ලැබෙන වැස්සෙන් කුරහන් වැනි ධාන්‍ය වර්ග වපුරන බවටත්, වසරකට දෙවරක් පමණක් වගා කරන නිසා මෙම හේනට හියර හේන යන නම ලැබී ඇති බවටත් එහිදී කරුණු අනාවරණය විය.
“පොදුවේ ගත්තාම මහත්තයෝ, ඔය කොයි හේන කොටන්නත් එක එක කාලවලදී ගොවියෝ කරන වැඩ කටයුතු කොටහක් තියෙනවා. සාමාන්‍යයෙන් ජුලි, අගෝස්තු මාසවල මුල් සතියේ වගේ තමයි කැලෑ එළි කරන්නේ. ඊට පස්සෙ අගෝස්තු අන්තිම සතිය වගේ වෙනකොට එළි කරපු කැලෑවලට ගිනි තියනවා. සැප්තැම්බර් මුල් සතිය වෙනකොට හේන වට කරලා වැටක් එහෙම බැඳලා, සැප්තැම්බර් මැද වගේ වෙනකොට පොළොව කොටලා බිම සකසනවා.”
“ඊට පස්සේ ඔක්තෝබර් මාසෙ දිහාට බීජ වපුරලා, ජනවාරි මාසෙ ඉඳන් මාර්තු මාසෙ වෙනකන්ම අස්වැන්න නෙළාගන්නවා. ඕන්න ඔහොමයි මේ හේන් ගොවිතැන සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙමේ, හේනක් වගා කරන විදිහෙනුත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමා ‘මුල්කැටා හේන’. අනික ‘ඉරි විඩි හේන’. මුල් කැටා හේනෙදි වෙන්නේ හේනෙ හරි මැද පැලක් අටවගෙන ඒක වටේට රවුමක හැඩේට එළි කරලා, කොටස් බෙදා ගෙන වගා කරන එක. එතකොට කිහිප දෙනෙක් එකතු වෙලා හේන කොටන හින්දා එකම කෙනාට එක දිගට හැම රෑම පැල් රකින්න වෙන්නෙත් නෑ.”
“හැබැයි ඉරි විඩි හේනෙදි වෙන්නෙ කිහිප දෙනෙක් එකතු වෙලා හතරැස් භූමියක් එළි පෙහෙළි කරලා, ඒක තවත් කුඩා කොටස් කිහිපයකට බෙදා ගන්න එක. එතකොට හේන් කිහිපයක් එකට එකක් යාබදව එක ළඟ තමයි පිහිටලා තියෙන්නේ. ඒවායේ තක්කාලි, මිරිස්, බටු වගේ එකට එකක් වෙනස් භෝග වර්ග වගා කරන්න පුළුවන්. හැබැයි දවසකට එක් කෙනකුට නෙමෙයි, කිහිප දෙනකුට පැල් රකින්න වෙනවා මේ වගේ හේනක් සත්තුන්ගෙන් ආරස්සා කරගන්න.” යැයි චන්ද්‍රසේකර දිගින් දිගටම කියාගෙන ගියේය.
ඔහු එසේ කියාගෙන යද්දී එක වරම ඔහුගේ කතාවට බාධා කළ මේනක අයියා විමසා සිටියේ, හේන් ගොවිතැනේදී ගොවින් මුහුණපාන ගැටලු සහ දුක් කම්කටොලු මෙනවා ද යන්න පිළිබඳවය. සිය කතාව මඳකට නවතා දිගු සුසුමක් හෙළුෑ චන්ද්‍රසේකර, “ඒ ගැන කියන්න ගියොත් නම් මහත්තයෝ අද මේ කතාව ඉවර කරන්න වෙන්නේ නෑ.” යනුවෙන් පවසමින් යළිත් කතාබහ ආරම්භ කළේය.
“අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මහත්තයෝ, හේනකට අලි කඩාවදින එක. ශරීරයෙන් විශාල නොවුණාට කෘමි සත්තු වගාවට කරන හානියත් ඉතින් සුළුපටු නෑ. ඒ විතරක් නෙමෙයි, ඉතින් කලට වේලාවට වැස්ස වැටුණේ නැත්නම් ඒකත් විශාල ගැටලුවක්. හේන් කොටන්න කැලෑ එළි පෙහෙළි කරනකොට සත්තු සර්පයින්ට අහුවෙන වේලාවලුත් නැතුවම නෙමෙයි ඉතින්. ඔය මොන ප්‍රශ්න ගැටලු තිබුණත් අපිට ජීවිත ගැට ගහගන්න නම් මේ ගෙන්දගම් පොළොවත් එක්ක ඔට්ටු වෙන්නම වෙනවා මහත්තයෝ.”
“මහත්තයලාට හරිම සරලයි වගේ පෙනුණාට ඔය ටික කොරන්න ඉතින් අපි අපා දුක් විඳිනවා. රෑ තිස්සෙ නිදි වරාගෙන, සතා සිවුපාවාගෙන් ආරස්සා වෙලා, හේනත් ආරස්සා කරගෙන සුළුපටු කාරියක් නෙවෙයි නොවැ අපි මේ කරන්නේ. ඒත් ඉතින් අපිම වගා කරපු වස විස නැති අලයක්, කොළයක්, එළවළුවක් දරුවන්ට කන්න දෙනකොට ඒ සේරම ප්‍රශ්න අමතක වෙලා යනවා. ඒක තමයි අවසානෙට අපිට තියෙන එකම සැනසීම.” යැයි පවසමින් චන්ද්‍රසේකර සිය කතාව නිමා කළේය.
ඔහු සමග කළ කතාබහ අවසන් වීමෙන් අනතුරුව කරුවල වැටෙන්නට පෙර යළිත් සමන්ත අයියලාගේ නිවෙස කරා පැමිණීමට අප උත්සුක වූයේ කහටගොල්ලෑවට පැමිණි මුල් දිනයේදී මුහුණ දුන් වන අලි සිදුවීමට, එහි ගත කළ තෙවැනි දිනයේදී ද මුහුණ දීමට තිබූ අකැමැත්ත හේතුවෙනි. ඒ අතරවාරයේ කුංචුට්ටු කෝරලයට ගිය ගමන නිමා කිරීමට තවත් එක් දිනක් ඉතිරිව තිබූ බැවින් සිවු වැනි දිනයේදී කුංචුට්ටුවේ ධීවර ගම්මානය වෙත යෑමට අපි කතිකා කරගතිමු. එම ගමන පිළිබඳ තොරතුරු ලබන සතියේ බලාපොරොත්තු වන්න.
ශානුක අරවින්ද