කුංචුට්ටු කෝරළේට ගිය ගමනක් මහ කැළෑ යෑම පළමු කොටස


කුංචුට්ටු කෝරළේට ගිය ගමනක් ලෙසින් පසුගිය ඉරිදා පළවූ ලිපියේ දෙවැනි කොටස මෙසේ දිග හැරෙන අතර, පුරාතනයේ සිටම කුංචුට්ටුවේ මිනිසුන්ගේ ජීවනෝපායේ ප්‍රධාන අංගයක් වූ ’මහ කැළෑ යෑම’ පිළිබඳව ගවේශනය කිරීමෙන් ලබාගන්නා ලද තොරතුරු රාශියක් මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නෙමි.

“මල්ලිලාට කියන්න මහ කැළෑ යනවා කියන්නෙ හිතන තරම් ලේසි පහසු වැඩක් නෙමෙයි. එක අතකට ඒක ජීවිතයයි, මරණයයි අතර සටනක් වගේ. කැළේ ඇතුළට ගියාට පස්සෙ ආපසු ගෙදර එනකං අපේ ජීවිත භාර වන්නි දෙයියන්ට. ඒ කාලේ නම් ඉතිං මහ කැළෑ යනවා කියන එක අපේ මුතුන් මිත්තන් ගෙ ජීවිතේම කොටහක්. ඒත් දැන්නම් ඒ කාරිය කරන්නෙ මී කොටන්න විතරයි.”

කුංචුට්ටු කෝරළයට අයත් කහටගොල්ලෑව ගම්මානයේ පිහිටි සමන්ත අයියා ගේ නි‍වසේදී අප සමග දොඩමලු වීම සඳහා පැමිණි අනුරුද්ධ අයියා මහ කැළෑ යෑම පිළිබඳව එසේ පවසද්දී මමත්,මේනක අයියාත් ඉතා උනන්දුවෙන් ඊට ඇහුම්කන් දුන්නේ වැඩිදුරටත් ඒ සම්බන්ධව අධ්‍යයනයක නිරත වීමේ අරමුණ ඇතිවය. ඒ සමගම වඩියක් දෙකක් මදුවිතින් සප්පායම් වෙද්දී කතා බහ තව තවත් රසවත් විය. “කවුද අයියෙ වන්නි දෙයියො කියන්නෙ” යැයි මා ඇසූ පැනයෙන් එතැන සිට සියල්ලෝම වික්ෂිප්ත වූහ. කාටත් කලින් ඊට පිළිතුරු දීමට ඉදිරිපත් වූ සමන්ත අයියා, වනයට අධිපති දෙවියන් වන්නි‍ දෙවියන් ලෙස හඳුන්වන බව කියා සිටියේ, එම ප්‍රදේශවල මිනිසුන් අදටත් වන්නි දෙවියන් අදහන බැවින් එවැනි දේ අසා කට වරද්දා නොගන්නා ලෙස මා හට තරවටු කරමිනි.

“කැළේ යනව කියන එක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනික ඒක තනි පංගලමේ යන්න පුළුවන් ගමනකුත් නෙමෙයි. ග‍මේ පවුල් 10 ක් තියෙනව නම් ඒකෙන් පවුල් 5 ක පිරිමි එකතු වෙලා තමයි කැළේ යන්නේ. ඒ අය ගිහින් එනකං එයාලගෙ පවුල්වල අඩු පාඩු හොයලා බලලා ඒවා සම්පූර්ණ කරන එක තමයි අනිත් පවුල්වල වගකීම වෙන්නෙ. ”  

“ඒක දිග කතාවක් මල්ලි. ඒත් වන්නි දෙයියො ගැන කියන්නෙ නැතුව ඔයාලව හෙට කැළේ ඇතුළට එක්ක යන්න බෑ. ඒ හින්දා මං ඒ කතාව කෙටියෙන් කියන්නම්. මොකද කැළේ ඇතුළට යන අයව කැළෙන් එළියට එනකන්ම සතාසීපාව ගෙන් වගේම වෙන වෙන අනතුරු වලින් ආරක්ෂා කරන්නෙ වන්නි දෙයියො කියලයි මිනිස්සු අදටත් විශ්වාස කරන්නෙ.” යැයි පවසමින් සමන්ත අයියා වන්නි දෙවියන් පිළිබඳව පුරාණ කතා පුවත අප හමුවේ මෙසේ දිග හැරියේය.

අඩි හතරක් පමණ උස තුඹසක්

“ඉස්සර මේ පළාත්වල හිටපු මිනිස්සු කැළේ මුල් කරගෙන තමයි එයාලගෙ ඕන එපාකං ඉටු කරගෙන තියෙන්නෙ. ඉතින් කෑම බීම ටිකක් එකතු කරගෙන එන්න කියලා දවසක් සහෝදරයො හත් දෙනෙක් කැළේට ගිහින් තියෙනවා. ඒත් කැළේ ඇතුළෙදි එක සහෝදරයෙකුගෙ ඇහේ කටුවක් ඇනිලා ඇහැ අන්ධ වෙලා තියෙනවා. ඒ වෙලාවෙ අනිත් සහෝදරයෝ එයාට කියලා තියෙනවා උඹ දැන් අන්ද නිසා අහපවු ගමට ගියොත් පවුලෙ අය උබව පිළිගන්න එකක් නෑ, ඒ හින්දා උඹ මේ කැළේටම වෙලා හිටපං කියලා.”

“ඊට පස්සෙ අනිත් ස‍හෝදරයො හය දෙනාම ආපහු ගමට එද්දි, ඇහැ අන්ධ වුණු සහෝදරයා විතරක් කැ‍ළේ ආරක්ෂා කර ගෙන කැළේටම වෙලා ඉඳලා තියෙනවා. පස්සෙ කාලෙක ගම්මු එයාව වන්නි දෙ‍යියො කියලා අදහන්න පටන් අරන් තියෙනවා. එහෙම තමයි වන්නි දෙයියො ගැන අපිත් අහලා තියෙන්නෙ අපේ මුතුන් මිත්තන්ගෙන්. අදටත් කැළේ යද්දි වන්නෙ දෙයියන්ගේ බැල්ම ආරක්ෂාව තියෙනවා මේ ගම්වල මිනිස්සුන්ට.” යැයි පවසමින් සමන්ත අයියා කතාව නිමා කළේය.

සමන්ත අයියාගේ පුරෝකථනය අවසන් වනවාත් සමගම යළිත් හඬ අවදි කළ අනුරුද්ධ අයියා අප සමග කියා සිටියේ සිය මුතුන් මිත්තන් සතුන් දඩයම් කිරීම, මී වද කැඩීම, අං ඇහිලීම සහ මී හරක් ඇල්ලීම වැනි කාරණා සඳහා මහ කැළෑ ගොස් ඇති නමුත් - තමන් ඇතුළු වත්මන් පරම්පරාවේ මිනිසුන් බහුතරයක් මහ කැළෑ යන්නේ මී වද කැඩීම සඳහා පමණක් බවය.

අප මෙම ලිපි මාලාව ඔස්සේ කතා කරන කුංචුට්ටු කෝරළයට අයත් මහ කැළෑව පදවියට සීමා වී තිබේ. වවුනියා, මුලතිව් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක දක්වා පදවිය මහ කැළෑව ව්‍යාපත්ත වී තිබූ අතර පදවි වැවද නටඹුන් වී තිබුණි. තද පෑවිල්ල ඇති කාලය මහ කැ‍ළෑ යෑමට හොඳම කාලගුණික තත්ත්වය‍ ලෙස පැරැන්නන් සලකා තිබේ. 

 

“කැළේ යනව කියන එක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනික ඒක තනි පංගලමේ යන්න පුළුවන් ගමනකුත් නෙමෙයි. ග‍මේ පවුල් 10 ක් තියෙනව නම් ඒකෙන් පවුල් 5 ක පිරිමි එකතු වෙලා තමයි කැළේ යන්නේ. ඒ අය ගිහින් එනකං එයාලගෙ පවුල්වල අඩු පාඩු හොයලා බලලා ඒවා සම්පූර්ණ කරන එක තමයි අනිත් පවුල්වල වගකීම වෙන්නෙ. ඒ වගේම තමයි කැළේ යන කට්ටිය ගිහින් ආවට පස්සෙ එයාලා අරන් එන දේවල් සමාන කොටස්වලට බෙදලා ඒ පවුල් 10 අතරේ බෙදා ගන්නවා. කලින් වතාවෙ නොගිය පවුල්වල පිරිමි ටික තමයි ඊළඟ වතාවෙ කැළේ යන්නෙ.”  අනුරුද්ධ අයියා කියා ගෙන ගියේය.

මහ කැ‍ළෑ යෑමේදී පුහුණු කරන ලද දඩ බල්ලන් සහ බෙහෙත් කොටන තුවක්කු ද සමග විවිධ ආහාර වර්ග ද රැගෙන යන නමුත් කිසි විටෙක තෙල් හෝ පොල් රැගෙන නොයන බවද, තෙල් මිශ්‍ර ආහාර සහ කිරි මිශ්‍ර ආහාර කැළය තුළ දී අනුභව නොකරන බව ද අනුරුද්ධ අයියාගේ කතා‍‍බහේ දී අපට දැනගන්නට ලැබිණ. එපමණක් නොව දින 5 කට හෝ 6 කට සීමා වන මෙම කැළේ ගමන දැඩි ආරක්ෂක විධි විධාන යටතේ ක්‍රියාත්මක වන බවද එහිදී ඔහු වැඩි දුරටත් පැවසීය.

රූස්ස තෙලඹු ගසක් අබියස

අප මෙම ලිපි මාලාව ඔස්සේ කතා කරන කුංචුට්ටු කෝරළයට අයත් මහ කැළෑව පදවියට සීමා වී තිබේ. වවුනියා, මුලතිව් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක දක්වා පදවිය මහ කැළෑව ව්‍යාපත්ත වී තිබූ අතර පදවි වැවද නටඹුන් වී තිබුණි. තද පෑවිල්ල ඇති කාලය මහ කැ‍ළෑ යෑමට හොඳම කාලගුණික තත්ත්වය‍ ලෙස පැරැන්නන් සලකා තිබේ. ඊට හේතු ලෙස සඳහන් වන්නේ පෑවිල්ලත් සමග වන සතුන් ජලය සොයා සිය වාසස්ථාන වලින් පිටතට පැමිණීමත්, එවිට ඔවුන් දඩයම් කිරීමට පහසු වීමත්ය. 

මහ කැළෑ යෑමට පෙර එකල මිනිසුන් සිය ආරක්ෂකයා ලෙස සලකනු ලැබූ වන්නි දෙවියන්ට වන සතුන් ගෙන් සහ විවිධ අතුරු ආන්තරා වලින් තම ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටි බවටද, ඒ සඳහා ඔවුන් පොල් ගෙඩියක් ඉහළ ස්ථානයක එල්ලා කොළ අතු කඩා ’පොල් ගෙඩිය උඩතැබීම’ නමින් භාරයක් වීමට හුරු වී සිටි බව ද අනුරුද්ධ අයියාගේ කතාවේ දී කරුණු අනාවරණය විය. නිවසින් පිටත්ව යෑමට පෙර දිනයේ දී ඔවුන් මධුවිත පානය කරමින් විවිධ විනෝදාත්මක දේ සිදුකරන නමුත්, කැලයට ඇතුළු වී වාඩිය සකස් කර ගෙන එහි පහනක් දැල්වූ පසු නැවත කැලයෙන් පිටවන තුරු එවැනි සියලු‍ම දේ නතර කරන බවද අපට දැනගන්නට ලැබිණ.

(මහ කැළෑ යාම දෙවැනි කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න.)

ශානුක අරවින්ද

 

කැළය තුළට පිවිසෙන මාර්ගය

දිය කඩිත්තක් තරණය කරමින්

ගස් බෙනයක ඇති මී වදයක් කඩමින්