කැඩුණු ප්ලාස්ටික් පුටුවට දෙනවා අපි බේසම් ’’


අබිලි ද්‍රව්‍ය එකතු කරන ස්ථානයක්

‘කැඩුණු ප්ලාස්ටික් පුටුවලට අපි දෙනවා බේසම්’ බට්ටා ලොරිවලින් මෙසේ කියමින් පැමිණ ගෙදර ඇති අබිලි ද්‍රව්‍ය ගෙන යනවිට ඔබට සතුටකි. ඒ ජීවිතවලට එබී බැලූවිට ඒ ජීවිත කතාවල සුන්දරතා නැතැයි සිතේ. එවන් එක් ගම්මානයක අද එහි වසන්නන්ගෙන් කොටසකට ජීවත් වීමට අවැසි මූලික අයිතීන්වත් නැති සෙයකි. ගමේ සියයට 90ක් මුහුණ දෙන්නේ ජල ගැටලු‍වටය. නිවාස හා වැසිකිළි ප්‍රශ්නය එයින් කොටසකට උග්‍රය. කටුමැටි ගැසූ, සාරිවලින් වටකරගත් නිවෙස් හා කැලෑවැදි වැසිකිළි යන කතා එහි බොහෝය. 

“දිරාපු යකඩ, දිරාපු තහඩු, පරණ පෙට්ටි, පරණ මුට්ටි, පරණ හට්ටි, පරණ කේතල්, පරණ බෝතල් 


මේ ගම මානාවය. අපේ කතානායකයෝ මානාවේය. ඇත්තේ කුලියාපිටියේය. මානව උප සංස්කෘතික ගමකි. මානාවේ පැරැන්නන් දක්ෂ, සුපතල කට්ටඬියන් හා වෙදැදුරන්ය. වර්තමානයේ සිටින්නන්ගෙන් බහුතරයක් අබිලි දෑ එකතු කරති. ඒ අයගේ ජීවිතත් අබලි වෙලා සේය. මේ ලංකාවේ වැඩිම බට්ටා ලොරි ඇති ගමය. එය සියයක් පමණ ලෙසින් වාර්ෂිකව දෝලනය වන්නකි. වසරකට එකක් දෙකක් අලු‍තින් එක්වුවද කිහිපයක් ෆිනෑන්ස් හෝ ලීසිං ප්‍රශ්න මත හෝ විකිණීම නිසා ඉවත් වේ. 


ගමේ ඇති නැති සියල්ලන්ගේ උග්‍රම ප්‍රශ්නය ජලයයි. ගමටම ඇත්තේ ළිං දෙක තුනකි. එවන් ළිඳකින් පවුල් 10ත් 15ක්වත් ජල අවශ්‍යතාව සපුරා ගනිති. රාජ්‍ය නොවන සංවිධානයකින් වසර තුන හතරකට පෙර ලැබුණු ළිං දෙකක් එහි ​ෙවන අතර එකක් වැඩ නැත. පවුල් දහයක් පමණ වැඩ කරන නළ ළිඳෙන් ජලපහසුව ලබා ගත්තද සෙසු පවුල්වලට එම වාසනාව හිමි නැත. ළිං ඇති ඇතැම් පිරිස් ළිං ඉක්මනින් සිඳේවිය යන කල්පිතය මත සලාක ක්‍රමයට වතුර ලබා දෙති. බොහෝ පවුල්වලට වැසි දිනකට ලැබෙන්නේ කළගෙඩි දෙකක වතුරකි. පායනා කාලෙට ජල ප්‍රශ්නය උග්‍රය. 


ජල ව්‍යාපෘතියේ ජල ටැංකිය ගම මැදය. ඒ අසලම වෙසෙන්නෝ ඒ දෙස බලා හූල්ලමින් කළගෙඩි රැගෙන වතුර ඇති නිවෙස් කරා යති. 
ගමෙහි නිවාස 30කට වැසිකිළි නැත. ඇතැමෙක් නිවසින් මීටර දෙතුන් සියයක් දුරින් වැසිකිළි ඇති නිවසකට ‘අවසර පිට’ යති. ඒ හැර වැසිකිළි නැති බොහෝ දෙනා අහළ පහළ ඇති කැලෑ රොදකට යයි. පවුල් පහ හයකම පොදු වැසිකිළි වූ ඇතැම් ඒවා “පිරී” ඇත. එසේ වූ ඒවා කීපයක්ම දැන් අතැර දමාය. රජයෙන් දුන් ඇතැම් නිවාසවල වැසිකිළි කාමර ඇතත් වළක් නැත. 


වැසි දිනවල, රාත්‍රියේදි මෙන්ම දැරියන් මල්වර වූ පසු තත්ත්වය පැහැදිලි කළ යුතු නැත. වැව ආසන්නයේ සිටින අය වැව් පිටියටය. එයින්ම ස්නානය කරන්නන්ද ගමේ එමටය. මිලට නොගන්නා අබලි දෑද දමන්නේ වැව අසලටය. එහි වතුර දැඩි කළු පැහැතිය. 

 

වැකන්ද ආරම්භයේ අබිලි දැමු තැන


පාසල පිටුපස ඇති ඉඩම වසර තුන හතරකට පෙර ඒ අවට වසන්නන්ගේ ප්‍රධාන වැසිකිළි තිප්පොලව තිබුණි. පාසලේ දෛනික කටයුතු කරගැනීමටවත් නොහැකි තරමට දුර දිග යන තත්ත්වයක තිබූ බැවින් එවකට සිටි විදුහල්පතිවරයාගේ නොමද කැපකිරීම් නිසා එම තත්ත්වය කෙටිකලකින් නැවතී ඇත. 


 මානාවේ ඉතා හොඳින් සැදුනු නිවාස මෙන්ම කටුමැටි ගැසූ පැල්පත් ද ළඟ ළඟය. පැල්පත් සමහරක කටුමැටි බෝල ගැලවිලාය. ලොකු කුහරැති තැන්වලට ඉටිරෙදි හෝ සාරි කෑලි ඇදලාය. එක්කෝ පරණ තහඩු කෑලිය. වහල පොල්අතුය. නැත්නම් දිරාගිය තහඩු පතුරුය. මේවායේ බිම උල්දිය දමලාය. අඩි දහයක්වත් දිග පළල් නැති උල්දිය දැමූ මේවා බොහෝවිට තනි කාමර ගෙවල්ය. ඉවීම පිසීම හා නිදියෑම සියල්ල සිදුවෙයි. අව්වට වැස්සට යම්තම් නොතෙමී සිටිය හැකි එබඳු නිවාස 40ක් 50ක් පමණ එහි වේ. ගමෙහි අන්ත අසරණම මිනිසුන් සිටිනුයේ ඒවායෙහිය. ඔවුහු රජයෙන් දුන් නිවාස නොලැබීම ගැන නෝක්කඩු කියති. 


“කවුරුත් එනවා. ඇවිත් බලල යනවා. එච්චර තමා... පයින් පාරක් ගැහුවොත් බිත්ති වැටෙනවා. වැස්සට තෙමෙනවා. ළමිස්සියක් ඉන්නේ මට...මේ අවලෑදිය නැගුවේ ලසන්ති සඳමාලි තරුණ මවය. 


දෙදරු මවක වූ ස්වර්ණා මල්කාන්තිගේ පුංචි පැල්කොටය අවුරුදු 25කට වඩා පරණය. වැඩිමලා වූ දුව විවාහකය. බාලයාට විස්සකි. සැමියාත් පුතාත් දෙදෙනාම රැකියා නැති නිසා මුදලාලිලාගේ ලොරිවලින් දවස් පඩියට යකඩ බිස්නස්ය. ඔවුන්ගේ ජීවිත වටා බැඳුනු අඳුරු බලපෑම් ඇගේම වදනින් මෙසේය. 

 


“එයාලත් වැඩට යනවා.. එනවා. ණය වෙනවා. කාලෙන් කාලෙට කවුරුහරි ඇවිල්ලා ෆෝම් කොළ පුරවනව, අරක මේක අහන් යනවා. අපි හැමදාම එකම තැන. අර ගෙවල් දෙද්දිවත් අපි ගැන බැලු‍වේ නැහැ. ගෙදර බඩුවක් මුට්ටුවක්වත් තියා ගන්න නැහැ කුඩුකාරයෝ හැමතැනම. 


 මේ ගමේහි පවුල් 196කි. නිවාස 190කි. එහි රජයෙන් සෑදු නිවාස 40 කි. ඉන් 35 ක මිනිසුන් පදිංචිය. නිවාස 05ක වැඩ අවසන්ව නැත. නිවාස 05ක වැසියන් ණය වී වහලය ගසාගෙනය. ව්‍යාපෘතිය මග ඇණහිටලාය. 


අවසන්ව නැති නිවාසවල වැසියන් අසරණකම නිසාම අධික පීඩාවෙනි. ඉකුත් තුන් වසරක් තිස්සේම උළුවසු අව්වට වැස්සට නිරාවරණය. එතුළ මිනිස් උසට කැලෙත් වැවිලාය. මේ ඒ ජීවිත වටා දුක තැවරී ඇති අන්දමය. 


‘දැන් සල්ලි නැහැ කියනවා. අපිට ගේ හදාගන්න විදියක් නෑ. හිටපු ගේත් කැඩුවා. දැන් අවුරුදු තුනක්. තව කීයක් හරි ඇති. ඒක ගන්න විදියක් දන්නේ නැහැ. මහත්තයත් අසනීපකාරයෙක්. එයා ටවුමේ සපත්තු කුඩ මහනවා. ඒ සිවුදරු මවක් වූ කේ. දයාවතීගේ හඬයි. 


‘දැන් හදාපු ගෙදර වහලේ හදාගන්න තියා මේ වෙලාවේ කන්නවත් නැතිව ඉන්නේ. ඒකයි ඇත්තම කතාව. ඒ අතදරුවකුගේ මවක වූ මනෝරි ඒකනායකගේ හඬය. 
නිමේෂිකා ජයලත්ටද නව නිවසක් ලැබිලාය. වහලයට මුදල් නොලැබුණද ක්ෂුද්‍රමූල්‍ය ණයක් ගෙන වහලය ගසා ඇත. පවුල් 05ක් පමණ එලෙසින් වහලය ගසාගෙන ඇත. 
මේ ගමද ක්ෂුද්‍ර මූල්‍ය ගැටලු‍වේ වින්දිතයන් බව පල්ලියේ සේන සංජීව පියතුමා පවසයි. 


‘‘ගමේ බහුතරයක් ඩේලිකලෙක්ෂන් ලෝන් අරන් ඉන්නේ. දවසේ පඩියට වැඩ කරන අය ගමේ වැඩි. ඒ හොයන සතේ පහුවදාට ලෝන්වලට ගෙව්වාම ගෙදර වියදමට මදි වෙනවා. 
නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ එන්.කේ.බී.එස්. නරසිංහ මෙහි ඉදිකිරීම් ප්‍රමාදය ගැන කීවේ මෙවැන්නකි. 


 අපි නිවාස ගම්මාන වැඩසටහනක් කළ නිසා ළඟ ළඟ ගෙවල් තිබූ 40ක් තෝරගෙන ආධාරයක් ලෙස රුපියල් ලක්ෂ 05 බැගින් ලබා දුන්නා. 2018 ඔක්තෝබර් මුල දී අපි පටන් ගත්තේ මාස 06 කින් අවසන් වෙන ලෙසින්. උනන්දුව තිබුණ අය ඉක්මනින් වැඩ ඉවර කරගත්තා. පහුවෙලා වැඩ පටන් ගත් අය 2019 අග දක්වාම ඒවාගේ වැඩ ඉවර කළේ නැහැ. දැන් ප්‍රශ්නය තියෙන්නේ එවන් අය දහ දෙනෙකුට පමණ. ඒ අය නිසි වේලාවට කටයුතු නොකළ නිසා ඉතිරි මුදල් ආපසු ගියා. නැවත ලැබුණේ නැහැ. ඒ වගේ ගම්මාන ඉදිකිරීම් තාවකාලිකව නතර වුණා. 


කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් ඩී.පී.එස්. කුමාර මෙසේ කීවේය. 


“බාලවයස්කාර විවාහ නිසා මව්පියන්ට විවාහ සහතික නැහැ. ඇතැම් දරුවන්ට උප්පැන්නත් නැහැ. අඩු වයසින් පාසල් හැරයන පිරිස්, ළමා මව්වරුන් වැඩිවීම් වැනි ගැටලු‍ තියෙනවා. ඔබ මේ විමසන අවස්ථාවෙත් අපේ කණ්ඩායමක් නොවිධිමත් අධ්‍යාපන කාර්යාලය හා එක්ව ගමට ගිහින් ලියාපදිංචිකිරීම් ඇතුළු වැඩසටහනක් කරනවා. අපට යොමුවන හෝ අපේ නිලධාරීන් දැනගන්න ගැටලු‍ ගැන අපි මැදිහත්වීම් වෙනවා” ඒ මහතා කීවේය.


අබිලි එකතු කරන ව්‍යාපාරයට පියා වෙනුවට යෞවනයකු දිනක් ගියහොත් ඔහු පාසල් නොගොස් ඒවාට දිගටම යන්නේය. මෙය කලෙක පටන් පවතින ගැටලු‍වකි. 2017 දී සිසුන් 19ක් පාසල අතරමගදී හැරගොස් ඇත. දැන් එය අඩුවුවද තවමත් නතරවී නැත. මෙම ගමෙන් සරසවිය දක්වා සුදුසුකම් ලබා ඇත්තේ එක් අයෙකු පමණක් වීම අධ්‍යාපන අතරමග නැවතීමේ ගැටලුවට මනා උදාහරණයකි. ගමේ බොහෝ මව්පියවරුන්ගේ අධ්‍යාපන හැකියාව පහළය. එය රැකියා මට්ටම් අනුවද පෙනීයන්නකි. රජයේ නිලධාරීන් සිටියද ඒවා සුළු රැකියාවලට ලැබුණු දේශපාලන පත්වීම්ය. එම අයගෙනුත් ඇතැමුන්ට පෙර කී නිවාස, වැසිකිළි, ජල ප්‍රශ්න පොදුය. 


දැරියන්ගේ ළමා විවාහ, යොවුන් දරුවන් පාසල් යෑමට මැලි වීම, පවුල් සංස්ථා බිඳවැටීම්, සිරගත වීම් යනාදිය බොහෝමයකට මත්ද්‍රව්‍ය ගැටලු‍ව බලපා ඇත. මේ ගැන රජයේ නිලධාරීන් පැවසුවද එය මාධ්‍යයක පළ කරනවාට කැමති නැත. නිවාස ඉදිකිරීමේදී නිවෙස්ලාභීන්ට සල්ලි පාලනය නොදී ඇත්තේද එනිසාය. නමුත් ඒ බව එළිපිට කීමට කිසිවෙක් නැත.

 

 

 සටහන :
පුෂ්පා වීරසේකර