කම්මුල් පහර ගැසූ නළුවාගේ ව්‍යාපාර


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • ප්‍රකෝටිපතියකු වුණේ වයස 20 දී හොලිවුඩ් නළුවකු වීමටත් පෙර
  • නව යොවුන් වියේදී පියාගේ ශීතකරණ වැඩපළේ වැඩ කළ ‘විල්’ නිවෙස්වලට ගොස් ශීතකරණ සවි කිරීමේ වැඩේට පියාට උදව් කළා

ලෝ ප්‍රකට රංග ශිල්පී විල් ස්මිත් ගැන අද මුළු ලෝකයම කතා ​ෙවන්නේ, පසුගියදා පැවැති ඇකඩමි සම්මාන උළෙලේ දී වේදිකාවට පිවිස, නිවේදකයාට එල්ල කළ කම්මුල් පහර නිසාය. ඇකඩමි සම්මාන උළෙල යනු ලෝක සිනමාවේ විශිෂ්ටතම සම්මාන උළෙල ලෙස හැඳින්වෙන අතර මුළු ලෝකයේම අවධානය ඊට නතුවන්නේද එකී හේතුව නිසාමය. සාමාන්‍යයෙන් විල් ස්මිත් යනු බොහෝ දෙනාගේ පිළිගැනීමට අනුව හොඳ මහත්මයෙකි. 


හොඳ චරිත සහතිකයක් දිය හැකි හොලිවුඩ් නළුවෙකි. මීට පෙර දෙවතාවක් ම හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වූ විල් ස්මිත්, 2022 දී හොඳම නළුවා ලෙස සම්මාන ලැබීය. නමුදු ඔහු ලැබූ ඒ සම්මානයට වඩා ලෝකය කතාබහ කරන්නට පටන් ගත්තේ ඔහු ඇකඩමි වේදිකාවේ දී නිවේදකයාට එල්ල කළ කම්මුල් පහර ගැනය. ඒ ගැන කතා කිරීමට පසුවට ඉඩ තබා මේ විල් ස්මිත් කවුද කියා අපි බලමු. ලෝකයේ සිටින නළුවන් අතරින් විල් ස්මිත් යනු වඩාත් බලසම්පන්න චරිතයකි. හොලිවුඩ් සිනමාවේ මෙන්ම ලෝක සිනමාවේ සිටින වඩාත් ධනවත් නළුවෙකි. නළුකම නිසා ලබන මුදල් සම්භාරයට වඩා ඔහු සතු ව්‍යාපාර වෙතින් ලබන ආදායම ද ඉතා ඉහළය. මුළු ලෝකයම විල් ස්මිත් ගැන කතා බහ වෙන මොහොතකදී ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ ලෝ ප්‍රකට මෙම නළුවා ගැන වූ විස්තර සහ ඔහුගේ ව්‍යාපාර සම්බන්ධයෙන් වූ විස්තර අද අපි කියවමු.   


විලර්ඩ් කැරොල් ස්මිත් (II)   


1968 සැප්තැම්බරයේ දී, එනම් සරත් සමයේ දිනෙක හරියටම කිවහොත් 29 වැනිදා උපත ලැබුවේ පෙනිසිල්වේනියාවේ පිලඩෙල්ෆියා නමැති සුවිසල් නගරයේදීය. ඔහුගේ පියා කැරොල් ස්මිත් ඇමරිකානු ගුවන් හමුදාවේ සේවය කළ ප්‍රවීණයෙකි. එමෙන්ම ශීතකරණ අංශයේ ඉංජිනේරුවරයෙකි. මව කැරොලයින්, පෙනිසිල්වේනියා පාසල් මණ්ඩලයේ පරිපාලන අංශයේ සාමාජිකාවකි. ’විලි’ ගේ අක්කාගේ නම පමේලාය. ඊට අමතරව බාල නිවුන් සහෝදරයකු සහ සහෝදරියක විල්ට සිටියි. විල්ගේ මව්පියන් දික්කසාද වූයේ ‘විල්’ අවුරුදු 13 දරුවකුව සිටියදීය. එලෙසින් මව්පියන් දික්කසා ද වී සිටිය ද එම දික්කසාදය ස්ථිරව ප්‍රකාශ වූයේ 2000 වසරේදීය.   


වයස 12 දී ‘රැප්’ (RAP) ගායනයට පිවිසීම   


විල් ස්මිත් යනු ඉගෙනීමට වඩා වෙනත් අංශවලට සිත යොමු කළ අයෙකි. වෙසෙසින්ම සංගීත අංශය කෙරෙහි ඔහුට තිබුණේ දැඩි ඇල්මකි. මේ නිසාම වයස අවුරුදු 12 දී ‘රැප්’ ගායනයට එළැඹ සිටියේය. රැප් ගායනයේ දී කුඩා විල් සමහර අවස්ථාවල දී ‘අසභ්‍ය’ වචන භාවිත කරන අයුරු ආච්චි අම්මා දුටුවාය. මගේ පුතේ මේ අහන්න, ඔයා බුද්ධිමත් දරුවෙක්. බුද්ධිමත් මිනිසුන් හට අදහස් ප්‍රකාශ කිරීමට මෙවැනි හරසුන් වචන ඵලක් නැහැ. ඔබ ඉතා දක්ෂ දරුවෙක්. ඒ බව හොඳ වචන ප්‍රකාශනයකින් ලෝකයට පෙන්වන්න. ඔබට එය කර පෙන්විය හැකියි.   


ආච්චි අම්මාගේ උපදෙස් කදිමෙට පිළිපැදි ‘විල්’ ප්‍රාසාංගික වේදිකාවේ දී රැප් ගායන ශෛලියේ දී ඉනික්බිතිව අසැබි වචන භාවිතයෙන් වැළකී සිටීමට පියවර ගත්තේය.   


මුලින් නළුවකු නොවේ රැප් සහ හිප්හොප් ශිල්පියෙක්   


විල් ස්මිත් යනු පොතපතට එතරම් උනන්දු වූවෙකු නොවීය. එහෙත් එසේ නොවුව ද ඔහු බුද්ධිමත් ළමයකු ලෙස ගුරුවරු අතර ප්‍රකටව සිටියේය. රැප් සහ හිප්හොප් ගායන ශෛලියට විල් පිවිසියේ ඔහු සහ ඔහුගේ පාසල් සමයේ මිතුරකු වන ජෙෆ්රි ටවන්ස් සමග ජෑස් ජෙෆ් ඇන්ඩ් ද ෆ්‍රෙෂ් ප්‍රින්ස් යන සංගීත කණ්ඩායම පිහිටුවා ගනිමිනි. විල් සහ ජෙෆ්ගෙන් සමන්විත වූ මෙම ඩී-ජේ’ සංගීත රසය මුලින්ම ඔවුනට බෙදා දීමට හැකිවූයේ අසල්වැසි නිවැසියන්ගේ පාටි උත්සවවල දී පමණක්ය. පසුව මේ දෙදෙනා අතරට තවත් යාළුවකු එකතු කර ගත්තේ ඔවුනගේ රිද්මයට තවත් හැඩයක් ලබාදීමෙ අරමුණ ඇතිවය. ක්ලැරන්ස් හෝම්ස් ඒ ශිල්පියාය. මේ තිදෙනා හට 1986 දී ඔවුනගේ ප්‍රථම ගීත නිර්මාණය එළි දැක්වීමට හැකිවිණි. එතැනින් එහාට බටහිර සංගීත ලෝකයේ සම්මානනීය ගමනක් දක්වා යාමට විල්’ හට හැකි වූ අතර, අන්වර්ත නාමයක් පවා පටබැඳී තිබිණි. ඒ දි ෆ්‍රෙෂ් ප්‍රින්ස් යනුවෙනි. එනම් ‘අලු‍ත් කුමාරයා’ ලෙසිනි. මේ නාමය කොතරම් ප්‍රචලිත වී ද යත්, ඇමරිකානු ටෙලිවිෂන ක්ෂේත්‍රයේ වඩාත් ජනප්‍රිය වූ ටෙලි මාලාවක් ද නිෂ්පාදනය කෙරිණි. එහි නාමය වූයේ දී ෆ්‍රෙෂ් ප්‍රින්ස් ඔෆ් බෙල් එයාර්’ යනුවෙනි. එහි විල් ස්මිත් ප්‍රධාන භූමිකාවකට පණ පෙවීය. ඒ වනවිට සංගීත ක්ෂේත්‍රයේ බොක්ස් ඔෆීස් වාර්තා තැබූ ශිල්පියකු ලෙසත් සම්මාන ගොන්නක් ලැබූ ශිල්පියකු ලෙසත් ඇ​ෙමරිකාවේ අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි චරිතයක් විය. වයස අවුරුදු 16 වනවිට සංගීත ක්ෂේත්‍රයේ වාර්තා තැබූ ශිල්පියකු කීම වඩා හොඳය. ‘විල් ස්මිත්’ මල්ටි මිලියනර් කෙනෙක් හෙවත් ප්‍රකෝටිපතියකු බවට පත් වූයේ වයස 20’ දී පමණ වීම තවත් විශේෂත්වයකි. මෙලෙසින් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට පෙර තාත්තාගේ ශීතකරණ අලු‍ත්වැඩියා වැඩපළේ වැඩට උදවු වෙමින් නිවෙස්වල ශීතකරණ සවි කිරීමේ කටයුත්තට තාත්තා හට උදව් කළේය.   


ෆ්‍රෙෂ් ප්‍රින්ස් ඔෆ් බෙල් එයාර්   


හාස්‍යෝත්පාදක තේමාවක් රැගත් ෆ්‍රෙෂ් ප්‍රින්ස් ඔෆ් බෙල් එයාර්, නාට්‍ය මාලාවේ රඟපෑමට ලැබීමත් සමඟ තමා රංගනය ගැන යමක් උගත් බව ඔහු සඳහන් කරයි. ඉන්පසුව ‘විල් ස්මිත්’ යන චරිතය හොලිවුඩයේ ජනප්‍රිය වූයේ බෑඩ් බෝයිස් (1993) චිත්‍රපටය සමගය. එතෙක් සංගීතයෙන් මුදල් උපයමින් සිටි විල් ස්මිත්, ටෙලි හා සිනමාව ඔස්සේ ඉනික්බිතිව ඉපැයීමට පටන් ගත්තේ මුදල් මලු‍ වශයෙනි. හොලිවුඩ් සිනමාවේ විජයග්‍රාහී ගමනක් යමින් සිටි කළු ජාතික සම්භවය ඇති විල් ස්මිත් දිනෙන් දින ධනවත්කමේ ඉහළට යන අතරේ ගතිගුණවලින් ද පොහොසත් මිනිසකු බවට පත්විය.   


විවාහය   


ලෝක සිනමාව ආක්‍රමණය කළ විල් ස්මිත්, පළමුව විවාහ වූයේ ෂෙරී ෂැම්පිනෝ සමග 1992 දීය. විලාර්ඩ් කැරොල් ට්‍රේ ස්මිත් පුතා ඒ දෙපළගේ දරුවාය. මෙම දීගය පැවැතියේ වසර තුනක් පමණකි. විල් ෂෙරීගෙන් දික්කසාද විය. විල් ට්‍රේ සමග එක්ව 1998 දී ‘ජස්ට් ද ටූ ඔෆ් අස්’ ගීතය එළි දැක්වීමට කටයුතු කළේය. කොහොමටත් ගැයුම සහ රංගනය ඔස්සේ පුතා ද තාත්තාගේ අඩිපාරේ යන බව කිව හැකිය. දික්කසාද වී වසර කීපයක් හුදෙකලාව සිටි ‘විලි’ දෙවැනි විවාහය සිදු කර ගත්තේ ජේඩා කොරේන් පින්කෙට් සමග 1997 දීය.   
ඇය රංගන ශිල්පිනියක වන අතර මුල් කාලයේදී ද ෆ්‍රෙෂ් ප්‍රින්ස් ඔෆ් බෙල් එයාර් නාට්‍ය මාලාවේ පෙම්වතිය ලෙස විල් සමග රඟපා තිබේ. ජේඩා සහ විල් හට ජේඩ්න් ක්‍රිස්ටෝෆර් සයර් ස්මිත් සහ විලෝවි කැමිලේ රින් ස්මිත් යන පුතු සහ දියණියක සිටී. විශේෂත්වය වන්නේ ජේඩ්න් සහ කැමිලේ ද තාත්තාගේ අඩි පාරේ යන දරුවන් වීමය. ‘ස්මිත්’ පවුල ගැයුමට-රැඟු‍මට උපන් පවුලක් ලෙස හැඳින්වීම කළ හැකිය. පුද්ගලික ජීවිතයේ දී ‘විල් ස්මිත්’ නිතරම මහත්මයකු ලෙස සිටීමට කටයුතු කළේ හැඟීම්වලට වඩා බුද්ධියට ඉඩ දෙමිනි. ලෝ ප්‍රකට හොලිවුඩ් නිළියක ව හැලී බෙරී සමඟ ඔහුට පෙමින් බැඳී සිටීමට සිත් ඇති වුව ද එය ඉල්ලා අස්කර ගත්තේ එය වැරැදි පූර්වාදර්ශයක් වේ යැයි යන සිතිවිල්ල නිසාය. හැලී බෙරීට අමතරව බැලේ නර්තන ශිල්පිනියක වන මිස්ටි කෝප්ලෑන්ඩ් සමග ද අනියම් සම්බන්ධයක් අවශ්‍ය වූ නමුත් එය ද ඔහු අත්හැර දැමුවේ පවුලට වඩා ප්‍රිය කළ නිසාය. ඒ විල්ගේ හැටිය. නමුත් බිරිඳ ජේඩා නම් පවසන්නේ සිරගත වූ බැඳීමකට වඩා ඒකාකාරී නොවීමට ජීවිතයට වෙනසක් අවශ්‍ය බවය. 2020 දී පුවත් අනාවරණය වූයේ ජේඩා පින්කෙට් හට ගායක ඇල්සිනා සමග අනියම් සම්බන්ධයක් ඇති බවටය. මට ඒකට ‘විල්’ අවසර දුන්නා යැයි මාධ්‍ය ප්‍රශ්න කිරීම් හමුවේ ඇල්සිනා ප්‍රකාශ කළ බව සඳහන් වේ.   


ඇකඩමි සම්මාන උළෙලේදී ඇයි විල්ස්මිත්, ක්‍රිස් රොක් හට කම්මුලට ගැසුවේ?   


මෙලෙසින් සිදුවූ මේ සිදුවීම පිටුපස සැඟවුණු කතාවක් තිබේ. එනම් ජේඩා මෙම ඇකඩමි උළෙලේ නිවේදකයා ලෙස කටයුතු කළ නළු ක්‍රිස් රොක් සමග ඇතැයි කියන අනියම් සම්බන්ධය නිසා වූවක් විය හැකිය යන්නය. මෙම ජේඩාගේ නම ඉදිරියේ අනියම් සබඳතා කීපයක් ගැන කලින් කලට රාව පැතිර ගිය අතර දික්කසාදවීමට පවා කටයුතු යෙදී තිබිණැයි සමහර මාධ්‍යවල පළවී තිබිණි. එකී සියල්ල අතරේ ‘විල් ස්මිත්’ හට අවශ්‍ය වූයේ පවුල රැකගෙන, පවුල අල්ලාගෙන ජීවත්වීමට විය හැකිය. එදා ඇකඩමි සම්මාන වේදිකාවේ දී, පුපුරා ගියේ අළු යට තිබූ ඒ ගිනි පුපුරු විය හැකිය. තමා මෙලෙසින් ක්‍රිස් හට කම්මුල් පහරක් එල්ල කිරීම ගැන විල් පසුව ඇකඩමි සම්මානය අතැතිව කඳුළු සලමින් සම්භාවනීය තරු පිරිවර ඉදිරියේ සමාව අයැද සිටියේය. විල්ගේ බිරිඳ හට හිසෙහි රෝගයක් වැළඳී තිබේ. ඒ නිසා ඇයගේ හිසකෙස් ගැලවී යාම සිදුවේ. දැන් ඇයට ඇත්තේ කෙස් නැති හිසකි. එදා ‘ක්‍රිස්’ මේ තට්ට හිස ගැන යමක් කී නිසා තමා උරණ වී කම්මුල් පහර එල්ල කළ බව කීව ද සැබැවින්ම ඒ කම්මුල් පහර විල්-ක්‍රිස් හට එල්ල කරන්නට ඇත්තේ ‘පවුල් කඩන්න එපා මිනිහෝ’ යන යටි අරමුණ ඇතිව බව කිව හැකිය. පළමු විවාහයෙන් දික්කසාද වී සිටින ‘විල්’ දෙවැනි වරටත් දික්කසාද වීමට අකමැතිවීම ඊට හේතුව විය හැකිය. කෙසේ වෙතත් හෙට දවසේ තමාගේ අනියම් පෙම්වතාට කළ මේ ලජ්ජා සහගත සිදුවීම හමුවේ ‘ජේඩා’ ගේ ප්‍රතිචාරය කුමක්ද යන්න ඕපාදූප රස හොයන බටහිර මාධ්‍ය නොඉවසිල්ලෙන් බලා සිටී. ජේඩා විල්ගෙන් දික්කසාද වේ යන්න පුවත් ඇතිවුවහොත්, එය අරුමයක්ම නොවනු ඇත්තේ මේ කතාව පිටුපස ඇති මෙකී සිදුවීම් නිසාය. කොණ්ඩය නැතත්, තට්ට හිසක් ඇති බිරිඳට ආදරය කරන ‘විල් ස්මිත්’ එදා ලෝකයට කියා පෑවේ මොන දේ වුවද තමා බිරිඳ අත් නොහරින වග යැයි අනුමාන කළ හැකිය. කෙසේ වෙතත් ඕනෑම ගැටුමක මුල දෙස බලන විට ඊට මුල් වී ඇත්තේ කාන්තාවකි. එනයින් ‘විල්’ ක්‍රිස් හට ගැසූ කණේ පහරට මුල්වූ සිදුවීම පිටුපස සිටින්නේද කාන්තාවකි.   


විල් ස්මිත්ගේ ව්‍යාපාර   


විල්ස්මිත්, ඕවර්බෲක් එන්ටර්ටේන්මන්ට් සහ වෙස්ට්බෲක් ඉන්කෝපරේෂන් යන සමාගම් බිහි කළේ බිරිඳ ‘ජේඩා’ සමග එක්වය. එනිසා මේ දෙදෙනා නිකම්ම අඹු සැමි යුවළකට වඩා ව්‍යාපාර ක්ෂේත්‍රයේ අඹුසැමි යුවළක් ලෙස හැඳින්වේ. ඕවර්බෲක් යනු චිත්‍රපට නිෂ්පාදන සමාගමකි. වෙස්ට්බෲක් යනු විනෝදාස්වාදය මෙන්ම ප්‍රචාරණ මාධ්‍ය ක්ෂේත්‍රයට සේවා සපයන සමාගමකි. සැබැවින්ම මෙම සමාගම් ‘විල්’ බිහි කළේ බිරිඳ සතුටු කිරීමට මෙන්ම ඇයට එයින් මුදල් හරි හම්බ කර ගැනීමේ චේතනාව අරමුණු කරගෙනය. ඊට අමතරව විල්’ එයාගේ සහෝදරයා වන ‘හැරී’ සමග එක්ව ට්‍රේ බෝල් ඩිවලොප්මන්ට් ඉන්කෝපරේෂන් නමින් සමාගමක් පවත්වාගෙන යයි. මේවාට අමතරව විවිධ සමාගම් විසිපහකට ආසන්න සංඛ්‍යාවකට ‘විල්’ මුදල් ආයෝජනය කර ඇති වග සඳහන් වේ. විල් ස්මිත් ඇතුළු පවුලේ උදවිය ජීවත් වන්නේ ලොස් ඇන්ජලිස්හි මාලිබුහි ඇති අක්කර සියයකින් සමන්විත වතුයායක පිහිටි මාළිගාවේය.   


‘විල්’ගේ පොලිටික්ස්   


ධනය, බලය, නිලය හමුවේ බොහෝ දෙනා හට දේශපාලන සබඳතා ඇතිවේ. විල් 2008 දි බැරැක් ඔබාමාගේ ජනපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 4.6ක් පමණ ලබාදුන් බව සඳහන් වේ.   


විල්ගේ රිද්මය   


බැප්ටිස්ට් පවුලකට අයත්ව උපන් විල් ස්මිත්, රෝමානු කතෝලික පාසලක ඉගෙනුම ලැබුවේය. 2018 දී ඔහු ගැන කියැවුණේ ‘හින්දු’ චාරිත්‍ර සහ ඇදැහිලිවලට වඩාත් සමීප අයෙකු බවටය. ශිව දෙවියන්ට වඩාත් නැඹුරුවක් ඇති ඔහු සමහර හින්දු ඇදැහිලි සහ ජෝතිෂ්‍යය තදින්ම විශ්වාස කරන බව සඳහන් වේ.   
විල් ළමා කතා පොතක් ලියා ඇත. Just the two of us එහි නාමය වේ.   


විල් හට කාර් උමතුවක් ඇත්තේ හොලිවුඞ් සිනමාවේ දී පමණක් නොවේය. සැබෑ ජීවිතයේදීත් විවිධ වර්ගයේ මෝටර් රථ එකතුවක් ඔහු සතුය.   
මාධ්‍ය ක්ෂේත්‍රයේදී බොහෝ දෙනා ‘විල්’ හට කතා කරන්නේ මිස්ටර් ජුලයි (Mr July) යනුවෙනි. ඔහු රඟපෑ චිත්‍රපට බොහෝ විට තිරගතවීම් ඇරැඹියේ ‘ජුලි’ මාසයේ දී වීම ඊට හේතුවය.   


විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා නැතත් විල් යනු ගණිතයට උපන් හපනෙක් යැයි සඳහන් වේ. ‘ෂූ‘ හෙවත් ඔහුගේ බුද්ධි ඵලයේ පරාසය 110ක් යැයි කලකට පෙර සඳහන් විණි.   
රූබික් කැටය ගැන ඔබ දන්නවා නේද? එහි සියලු‍ පැති සම වර්ණයට කොපමණ වේලාවකින් ඔබට ගලපාගත හැකිද? සමහර විටෙක දවසම ඒ වෙනුවෙන් ගත කළත් ඔබට එය නොහැකි වනු ඇත. එහෙත් ‘විල්’ හට රූබික් කැටය නිසි ලෙස ගලපා ගැනීම ලොකු කජ්ජක් නොවේය. වාර්තාවල සඳහන් වී ඇත්තේ විනාඩියකටත් වඩා අඩු කාලයකින් ඔහු එය සාදා නිම කරන බවය. විල් නළුවකු නොවුවා නම් නිසැක වශයෙන්ම ඉංජිනේරුවකු වීමට ඉඩ තිබූ බව ප්‍රකාශ කරයි.

 

 

 

පරිවර්තන සටහන  
සඳුන් ගමගේ  
[email protected]