කටාර් පාපන්දු පිටියේ සුපිරි තරු


 

  • ලයනල් මෙසී ලොව පතළ සුපිරි පාපන්දු තරුවකි. ලෝක ප්‍රකට දියේගෝ මැරඩෝනාගෙන් පසුව ආජන්ටිනාවේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයා ඔහුයි.
  • රොනාල්ඩෝ සිය වෘත්තීය පාපන්දු ජීවිතය දැනට ගත කරන්නේ එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙනි. මෙවර ලෝක පාපන්දු කුසලාන තරගාවලි‍යේ දී ඝානා රාජ්‍ය පිලට එරෙහිව රොනාල්ඩෝ වාර්තා කළ ගෝලයත් සමඟ ඔහු ලෝක වාර්තාවක් පිහිටුවීය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් වසර හතරකට වරක් පවත්වනු ලබන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය දැන් කටාර් රාජ්‍යයේ දී නගර පහක සත්කාරකත්වය ඇතිව ක්‍රීඩාංගණ 8ක දී පාපන්දු ලෝලීන්ට දැකගන්නට පුළුවන. මෙම තරගාවලිය මැදපෙරදිග රටක පැවැත්වෙන්නේ පළමුවැනි වතාවටය. නොවැම්බර් 20 වැනිදා ඇරඹි මේ තරගාවලිය දෙසැම්බර් 16 වැනිදා දක්වා පැවැත්වෙයි. මේ සඳහා සකසා ඇති ක්‍රීඩාංගණවලට මැද‍ පෙරදිග ඇති අධික උෂ්ණත්වය සමනය ෙවන ආකාරයට විශේෂ වායුසමීකරණ පද්ධතියක් ද යොදා ඇත. ස්ටේඩියම් 974 නමින් බහාලු‍ම් 974ක් භාවිත කොට තැනූ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ක්‍රීඩාංගණයක් ද මේ ක්‍රීඩාංගණ අතර ඇත.   

 

මෙම තරග පැවැත්වෙන්නේ රවුන්ඩ් රොබින් ක්‍රමයටය. එනම් පිළිමලු‍න් පිටුදැකීමේ ක්‍රමයටය. ඒ අනුව කාණ්ඩ හයක් යටතේ කණ්ඩායම් 32ක් තරග වදිති. පැවැත්වෙන මුළු තරග ගණන 64කි. අවසාන වටය පැවත්වෙන්නේ කණ්ඩායම් 16ක් අතරය. මේ තරග නරඹන්නට ලොව දසදෙසින් විවිධ රටවලින් කටාර් රාජ්‍යයට එන මිලියන ගණනක් වන පාපන්දු ලෝලීන්ට නවාතැන් සැපයීම සඳහා හෝටලවලට අමතරව සුඛෝපභෝගී මගී නෞකා 9ක් ද එහි ගෙන්වා ඇත. 


2022 ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ දී සුවිශේෂ සිදුවීම් රැසක් දැනටමත් වාර්තා වී ඇත. දකුණු කො‍රියාව පරදවා ඝානා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය මොහොමඩ් කුද්දුස් ගෝල දෙකක් ලබාගැනීම ඉන් එකකි. බෲනෝ ෆර්නෑන්ඩස් පෘතුගාලය වෙනුවෙන් ගෝල දෙකක් ලබා ගනිමින් උරුගුවේ පිල පරාජය කිරීම තවත් එකකි. මෙවර තරගාවලියේ තරගයකදී පළමු වතාවට ආජන්ටිනාව පැරදවූ සෞදි පිලේ ක්‍රීඩකයන්ට රොල්ස් රොයිස් රථය බැගින් තෑගි කිරීමටද සෞදි රජකුමරු තීරණය කර ඇත. මෙවර තරග සඳහා ලොව පුරා ඉන්නා සුපිරි පාපන්දු ක්‍රීඩකයන් රැසක් සහභාගි ​ෙවන බව වාර්තා වී ඇත. ලෝක කුසලාන තරගාවලියකට සහභාගිවීම ලෝකයේ ඕනෑම පාපන්දු ක්‍රීඩකයකුගේ සිහිනයකි. ලොව සිටින සුපිරිම ක්‍රීඩකයන් අතරින් ආබාධ නිසා මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට නොහැකි වූ අය ද කීපදෙනෙකි. මෙහි දැක්වෙන්නේ මෙවර පිටියේ දී දැක ගත හැකි සුපිරිම ක්‍රීඩකයන් කීපදෙනකු පිළිබඳ විස්තරය. එයින් රොනාල්ඩෝ, මෙසී වැනි ක්‍රීඩකයන් පාපන්දු පිටියේදී අප දකින්නේ අවසාන වතාවටය. 


රොබට් ලෙවන්ඩොව්ස්කි වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකි. මෙවර 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී පෝලන්තයේ ජාතික කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියා කරයි. ඔහු සැලකෙන්නේ ලොව අංක එකේ ප්‍රහාරකයකු ලෙසය. පාපන්දුව ස්ථානගත කිරීමේ දී විශේෂ දක්ෂතා පෙන්නුම් කර තිබේ. පන්දුව හැසිරවීමේ තාක්ෂණයෙන් පරිපූර්ණ ඔහු අවසානයේ දී එය ගෝලය වෙත එල්ල කිරීම සාර්ථකව ඉටු කිරීමට හැකියාව ඇත්තෙකි. ඔහු වෘත්තීය වශයෙන් බැඳී ක්‍රියා කරන්නේ ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයටය. ලොව එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිම ප්‍රහාරකයා ලෙස හැඳින්වෙන ඔහු ජර්මනියේ බන්ඩෙස්ලීජියා ක්‍රීඩා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයායි. ජර්මනියේ මියුනිච්හි ක්‍රීඩා කරද්දී බන්ඩෙස්ලීජියා සම්මානය අට වතාවක් පිට පිටම දිනා ඇත. රට වෙනුවෙන් හා ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලබාගෙන ඇති ගෝල ගණන 600කට අධිකය. 2020 වසරේ ලෝක පාපන්දු කිරුළත්, යුරෝපා පාපන්දු කිරුළත් එක විට හිමි කර ගැනීමට සමත් විය. 


ලයනල් මෙසී ලොව පතළ සුපිරි පාපන්දු තරුවකි. ලෝක ප්‍රකට දියේගෝ මැරඩෝනාගෙන් පසුව ආජන්ටිනාවේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයා ඔහුයි. ‘ලා පුල්ගා’ (මැක්කා) යන අන්වර්ථ නාමයකින් හඳුන්වනු ලබන ඔහු ලෝක පාපන්දු සම්මේලනයෙන් ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන වාර්ෂික සම්මාන පිට පිට හත් වතාවක් දිනා ඇත. එසේම යුරෝපා පාපන්දු සංගමය හොඳම ක්‍රීඩකයාට පිරිනමන ‘රන් සපත්තුව’ හය වතාවක් දිනා ඇත. වෘත්තීය ක්‍රීඩකයකු වශයෙන් එක දිගට ම ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයට පමණක් ක්‍රීඩා කළ මෙසී ඔහුගේ ක්‍රීඩා සමාජය හා සිය මව්රට වූ ආජන්ටිනාව වෙනුවෙන් ලබා ඇති ගෝල සංඛ්‍යාව 786කි. වැඩිම අන්තර්ජාතික ගෝල සංඛ්‍යාවක් (90) ලද එකම දකුණු ඇමෙරිකානු ක්‍රීඩකයා ද ඔහුයි. ඔහු මෙවර ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ දී මෙක්සිකෝ පිලට එරෙහිව ලබාගත් ගෝලයෙන් ලෝක පාපන්දු කුසලාන තරගවල දී වැඩිම ගෝල ගණනක් (8) ලබාගෙන මැරඩෝනා තබා තිබූ වාර්තාව සම කිරීමට මෙසී සමත් විය. මෙවර ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ දී ​ෙමක්සිකෝවට එරෙහිව ගෝලයක් ලබා ගනිමින් ලයනල් මෙසී ආජන්ටිනාව ඉදිරියට ගෙන ගියේය. 

 


ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලොව වඩාත් ජනප්‍රිය මෙන්ම වටිනාම පාපන්දු ක්‍රීඩකයායි. පෘතුගාලයේ ජාතික පිලට ක්‍රීඩා කරන රොනාල්ඩෝ සිය වෘත්තීය පාපන්දු ජීවිතය දැනට ගත කරන්නේ එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙනි. පෘතුගාලයේ ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහු මේ ​ෙවන තෙක් ලබා ඇති ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාව 100කට අධිකය. මෙවර ලෝක පාපන්දු කුසලාන තරගාවලි‍යේ දී ඝානා රාජ්‍ය පිලට එරෙහිව රොනාල්ඩෝ වාර්තා කළ ගෝලයත් සමඟ ඔහු ලෝක වාර්තාවක් පිහිටුවීය. ඒ ලෝක කුසලාන තරගාවලීන් 5කට නොකඩවා සහභාගිවෙමින් ගෝල 8ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා වෙමිනි. 2006 දී ලෝක පාපන්දු කුසලාන තරගාවලියකට සහභාගිවෙමින් ඉරානයට එරෙහිව පළමු ගෝලය වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 21 කි. එදා සිට මේ දක්වා වසර හතරකට වරක් පැවැත් වූ සෑම තරගාවලියකට ම සහභාගි වී ගෝල ලබාගෙන ඇත. මේ ඔහුගේ දස්කම් දැක ගත හැකි අවසාන තරගාවලිය වනු ඇත. පාපන්දු ක්‍රීඩාවෙන් වැඩිම සම්මාන ගණනක් දිනාගත් ක්‍රීඩකයායි. වෘත්තීය පාපන්දුකරුවකු‍ ලෙස ලොව වැඩිම තරග ගණනාවකට, එනම් තරග 1,100කට අධික ප්‍රමාණයකට සහභාගි වූ ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්ව සිටියි. ලොව ප්‍රධාන පෙළේ තරගවලින් ගෝල් 800කට අධික ගණනක් ලබාගෙන ඇත. පාපන්දු ක්‍රීඩකයන් ලොව පුරා ක්‍රීඩා සමාජ අතර මිල දී ගැනීම් සිදුවන අතර රොනාල්ඩෝගේ 2009 දී වටිනාකම පවුම් මිලියන අසූවක් විය. 
කිලියන් එම්බප්පි මෙවර ප්‍රංශයේ ජාතික කණ්ඩායමට ඉදිරිපෙළ ක්‍රීඩකයකු වශයෙන් ක්‍රීඩා කරන ලෝකයේ ඉන්නා අතිදක්ෂ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු වෘත්තීය වශයෙන් ක්‍රීඩා කරන්නේ පී එස් ජී හෙවත් පැරිස් සේන්ට් ජර්මේන් ක්‍රීඩා ඇකඩමියට අයත් ‘ලීගා 1’ පාපන්දු සමාජයටය. ඉතා අඩු වයසෙන්, එනම් 16 වැනි වියේ දී බ්‍රසීල කණ්ඩායමට එක් වූ පේලේගෙන් පසු ලෝක පාපන්දු තරගාවලියකට එක් වූ දෙවැනි ලා බාල ම ක්‍රීඩකයා මොහුය. එහිදී ඔහු ඒ අවසාන තරගයේ දී ගෝලයක් වාර්තා කළේය. එදා ඔහු සහභාගි වූ ප්‍රංශ ජාතික පිල 2018 ලෝක ශුරයෝ වූහ. 2017 ගෝල්ඩන් බෝයි සම්මානයෙන් පසු ඔහු ලෝක පාපන්දු සම්මේලනයෙන් වසරේ හොඳම යෞවන ක්‍රීඩකයා ලෙස සම්මානය දිනාගත්තේය. 2021 දී දක්ෂතම ග්ලෝබ් පාපන්දු ක්‍රීඩකයා විය. ඔහු 2022 දී ලොව වැඩිම ගෙවීමක් ලබන පාපන්දු ක්‍රීඩකයා ලෙස ෆෝබ්ස් විසින් නම් කරන ලද්දේ රොනාල්ඩෝ හා මෙසී දෙවැනි හා තුන්වැනි තැන්වලට පත් කරමිනි. 
දැනට 82 හැවිරිදි පේලේ 27දා අඟහරුවාදා අසනීප තත්ත්වයෙන් බ්‍රසීලයේ සාවො පාලෝ අගනුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලට ඇතුළත් කළ බව වාර්තා විය. දැනට ඔහුට වැඩි අවදානමක් නැති බව පෙලේගේ දියණිය කෙලී නැසිමෙන්ටො සඳහන් කර ඇත.


කෙවින් ද බෘයින් මෙවර බෙල්ජියම් ජාතික පිලට ක්‍රීඩා කරන මැදපෙළ ක්‍රීඩකයෙකි. ඒ අතර ඔහු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු ලෙස එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරයි. ඔහු පරිපූර්ණ ක්‍රීඩකයකු ලෙස හැඳින්වෙන අතර මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය ඔහු ලබාගත්තේ පවුම් මිලියන 54කටය. 


වර්ජිල් වැන් ඩ්ජික් නෙදර්ලන්ත ජාතික පිලේ නායකත්වය උසුලයි. මැදපෙළ ක්‍රීඩකයකු වන ඔහු වෘත්තීය වශ‍යෙන් බැඳී සිටින්නේ ලිවර්පූල් කණ්ඩායමටය. පන්දුව ඉහළින් එල්ලයකට යැවීමට විශේෂත්වයක් දක්වයි. ලොව අංක එකේ මැදපෙළ රැකවලකු ලෙස සැලකේ. යුරෝපා පාපන්දු සම්මේලනයේ වසරේ හොඳම ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තෙකි. 

 

 

සටහන
ලුසිත ජයමාන්න