ඕස්ට්‍රේලියාවේ මන්ත්‍රී පුටුවට ගිය ලාංකික දියණිය


 

ඕස්​ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණය පසුගිය 21 වැනිදා පැවැත්විණි. වසර නවයකට පසු පාලක ලිබරල් නැෂනල් සන්ධාන රජය පරාජය කරමින්, විපක්ෂය වූ කම්කරු පක්ෂය බලයට පත් විය. ඒ අනුව, විපක්ෂ නායක ලෙස කටයුතු කළ ඇන්තනී ඇල්බනීස් ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. මැතිවරණය පැවැත් වූයේ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 151 සඳහාත්, සෙනෙට් මණ්ඩලයේ ආසන 76 සඳහාත් නියෝජිතයන් තෝරා ගැනීමටය. මෙය ඕස්ට්‍රේලියාවේ 41 වැනි පාර්ලිමේන්තු මැතිවරණය විය.   

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ඇන්තනි ඇල්බනීස්ගේ කම්කරු පක්ෂය ආසන 72 කට වඩා දිනා ගැනීමට සමත් වූ අතර, අග්‍රාමාත්‍ය ධුරයේ සිටි ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට හිමි කර ගැනීමට හැකිවූයේ ආසන 51 ක් පමණි. මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ අපට වැදගත් වෙයි. ඒ ශ්‍රී ලංකික ඕස්ට්‍රේලියානුවන් ද මැතිවරණයට ඉදිරිපත් වුණු බැවිනි. ඒ අතරින් කැපී පෙනෙන්නේ කැසැන්ඩ්‍රාරා ප්‍රනාන්දුය. 
කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු මැතිවරණයට ඉදිරිපත් වූයේ හෝල්ට් ආසනය වෙනුවෙන් තරග කරමිණි. ඇය නියෝජනය කරන්නේ කම්කරු පක්ෂයයි. කැසැන්ඩ්‍රාය, ඇය තරග කළ අසුන ජය ගැනීමට සමත් වූවාය. ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට පත් වුණු පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන්නේ කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු වීම සුවිශේෂී සිදුවීමකි. 


ඕස්ටේලියානු පුරවැසියකු වන කැසැන්ඩ්‍රා උපත ලබා ඇත්තේ ශ්‍රී ලංකාවේය. ඇය උපත ලැබුවේ 1988 දීය. වයස අවුරුදු 11 දී ඇය ඇගේ පවුලේ අය සමඟ ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය අතර, එතැන් සිට ඇයගේ නිවහන වූයේ ගිනිකොණදිග මෙල්බර්න් නගරය යැයි පැවැසෙයි. ‘‘දුක සතුට ජීවිතයේ කොටසක්. සියල්ල දරා ගන්න. කිසිවක් සුළුකොට නොතකන්න’ මේ කැසැන්ඩ්‍රාට ඇගේ මා පියන්ගෙන් ලැබුණු උපදෙස්ය. කැසැන්ඩ්‍රා ජීවිතය ජය ගත්තේ ඒ අනුවය. අදටත් ඇය කැප වී මහන්සියෙන් වැඩ කරයි. සැමගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍රා වෙමින්, අවසානයේ මහජන නියෝජිතවරියක ලෙස පාර්ලිමේන්තුවට යෑමට කැසැන්ඩ්‍රා සමත් වූයේ ද ඒ අනුවය. 


නව යොවුන් වියේ දී කැසැන්ඩ්‍රා, වූලීස් ඩැංඩෙනොන්ග් ප්ලාසා සුපිරි වෙළෙඳ සංකීර්ණයේ සේවිකාවක ලෙස කටයුතු කළාය. අවුරුදු 15 කට ආසන්න කාලයක් ඇය ආහාර පිසීමේ කටයුතුවල නියැලු‍ණාය. ඇය දක්ෂ සූපවේදිනියකි. සේවිකාවක ලෙස කටයුතු කරද්දී ඇයට නොයෙක් නොයෙක් විදියේ පිරිස් හමුවීමට අවස්ථාව උදා විය. ඒ, අවුරුදු 15 කාලයේ ඇය එක් රැස් කරගත් වටිනාම දේ වන්නේ මිතුරන්ය. 
කැසැන්ඩ්‍රා, කාටත් විශ්වාසවන්ත මිතුරියක වූවාය. ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඉංග්‍රීසි කතා නොකරන සංක්‍රමණිකයන්ට සහ සරණාගතයන්ට පිහිට වෙමින්, ඔවුන්ට ඉගැන්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවාය. කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු කම්කරු පක්ෂය නියෝජනය කරමින්, හෝල්ට් ආසනය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වූයේ ඕස්ට්‍රේලියානුවන්ට වඩා හොඳ අනාගතයක් ලබා දිය හැක්කේ කම්කරු පක්ෂ රජයකට පමණක් යැයි තදින් විශ්වාස කළ බැවිනි. සාධාරණ වැටුපක් සහ රැකියාවේ නිරත වීම සඳහා සාධාරණ කොන්දේසි ඉල්ලා ඒ වෙනුවෙන් සටන් කළ ක්‍ෂණික ආහාර (ෆාස්ට් ෆූඩ්) වෙළෙඳ ක්ෂේත්‍රයේ කර්මාන්තවල සේවකයන් වෙනුවෙන් කැසැන්ඩ්‍රා පෙනී සිටියාය. 


කැසන්ඩ්‍රා ප්‍රනාන්දු, හෝල්ට් අසුන වෙනුවෙන් තරග කරද්දී ඇයට අභියෝගයක් වූ ලිබරල් පක්ෂ අපේක්ෂක ද ශ්‍රී ලාංකිකයකු වීම තවත් සුවිශේෂී සිදුවීමකි. එම අපේක්ෂකයා රන්ජ් පෙරේරා ය. ප්‍රතිඵල නිකුත් වෙද්දී කැසන්ඩ්‍රා ඡන්ද 39,185 ක් ලබාගත් ගත්තාය. ප්‍රතිශතයක් ලෙස එය සියයට 57 කි. රන්ජ් පෙරේරා ට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 28,777 ක් පමණි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 42 කි. 

 


ඊට අමතරව, වික්ටෝරියා ප්‍රාන්තයේ ස්කොලින් අසුන වෙනුවෙන්, ලිබරල් පක්ෂය නියෝජනය කරමින් තවත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණයකු තරග වැදුණේය. ඔහු විරෝෂ් පෙරේරා ය. විරෝෂ් ඡන්ද 12,543 ක් ලබා ගැනීමට සමත් වූ බව පැවැසෙයි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 34 කි. ඔහුගේ ප්‍රතිවාදියා වූ ඇන්ඩෘ ජයිල්ස් ඡන්ද 26,252 ලබා ගත් අතර ප්‍රතිශතයක් ලෙස එය සියයට 65 කි. ඒ අනුව, විරෝෂ් පෙරේරා ට ඔහු නියෝජනය කළ අසුන දිනා ගැනීමට නොහැකි විය. 

 

ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඇසුරිනි.

 

ලු‍සිත ජයමාන්න