ඔස්ට්‍රියාවේ ලොකුම පොහොසතාගේ ’’රෙඩ් බුල්’ සමාගම


ජීවත්වීම කලාවක් නම් ඒ කලාවට අනුව විඳවීමකින් තොරව ජීවත්වීම බොහෝ දෙනාගේ අපේක්ෂාවය. රටක ජනතාවට සැබෑ ලෙස සතුටින් ජීවත්වීමට පරිසරය තනා දීම ඒ රට පාලනය කරන බලධාරීන්ගේ වගකීම වෙයි. ලෝකයේ බොහෝ රටවල ආණ්ඩු කරන බලධාරීන් එසේ යහපත් වාතාවරණයක් ඔවුනගේ රටවල ජනතාවට ලබා දී තිබුණ ද වසර 75 ක් පුරාවට ශ්‍රී ලංකාව පාලනය කළ බලධාරීන් යනු සැමදා ජනතාවගේ හිස මත පීඩනය පටවා ඔවුන් පමණක් රිසිසේ සුවසේ ජීවත්වන පිරිසකි.

ජීවත්වීම කලාවක් නම් ඒ කලාවට අනුව විඳවීමකින් තොරව ජීවත්වීම බොහෝ දෙනාගේ අපේක්ෂාවය. රටක ජනතාවට සැබෑ ලෙස සතුටින් ජීවත්වීමට පරිසරය තනා දීම ඒ රට පාලනය කරන බලධාරීන්ගේ වගකීම වෙයි. ලෝකයේ බොහෝ රටවල ආණ්ඩු කරන බලධාරීන් එසේ යහපත් වාතාවරණයක් ඔවුනගේ රටවල ජනතාවට ලබා දී තිබුණ ද වසර 75 ක් පුරාවට ශ්‍රී ලංකාව පාලනය කළ බලධාරීන් යනු සැමදා ජනතාවගේ හිස මත පීඩනය පටවා ඔවුන් පමණක් රිසිසේ සුවසේ ජීවත්වන පිරිසකි. නමුදු යුරෝපීය රාජ්‍යයක් වන ඔස්ට්‍රියාවේ බලධාරීන් එසේ නොවූ නිසා, ඔස්ට්‍රියාව යනු අද ලෝකයේ ජීවත්වීමට වඩාත් සුදුසු සමාජියීය පරිසරයක් ඇති රටක් බවට පරිවර්තනය වී තිබේ. සතුටින් ජීවත්වන මිනිසුන් සිටින සමාජයක් ලෙස ඔස්ට්‍රියාව ශ්‍රේණිගත වී ඇත්තේ ඒ රටේ බලධාරීන්ගේ දුර දක්නා පරිපාලන ක්‍රමවේදයන් නිසාය. බ්‍රිතාන්‍යයේ ද ඉකොනොමිස්ට් පුවත්පත පසුගියදා ප්‍රකාශ කළේ ලෝකයේ ජීවත්වීමට වඩාත් යහපත් නගරය වන්නේ ‘වියානා’ යනුවෙනි. වියානා යනු ඔස්ට්‍රියාවේ අගනගරය වේ. ලෝකයේ නගර අතරින් ජීවත්වීමට වඩාත් යහපත් නගරය වූ ‘වියානා’ සහ ඔස්ට්‍රියාව ගැන කෙටියෙන් විස්තර දැන ගන්නා අතරේ ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ ඔස්ට්‍රියාවේ ප්‍රකට සමාගමක් වන ‘රෙඩ්බුල්’ ගැන විස්තර අද අපි දැනගනිමු.   
ඔස්ට්‍රියාවේ, රෙඩ්බුල් සමාගම ගැන කරුණු දැන ගැනීමට පෙර 2022 ජීවත්වීමට වඩා යහපත් නගරය ලෙස ශ්‍රේණිගත වූ ‘වියානා’ සහ ඔස්ට්‍රියාව මොන වගේ ද කියා අපි බලමු.   

 

ඔස්ට්‍රියාව යනු මධ්‍යම යුරෝපීය කලාපයේ පිහිටි රටකි. පොහොසත් ඉතිහාසයක් ඇති රටක් ලෙස හඳුන්වා දිය හැකියි. ලෝකයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම සංගීතඥයකු වන මෝසාද් (මෝසාට්) උපන්නේ ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් හිදිය. හබ්ස්බර්ග්හි පිහිටි රෝයල් ෆැමිලි හවුස් හෙවත් හවුස් ඔෆ් ඔස්ට්‍රියා ලෙස හැඳින්වෙන රාජකීය මාලිගය යුරෝපයේ වැදගත් ස්ථානයකි. පුරාණ හබ්ස්බර්ග් මන්දිරය දැක බලා ගැනීමට ලෝකයේ සංචාරකයන් බොහෝ දෙනා එන බව කිව හැකිය. ‘වියානා’ නුවර නත්තල් සමයේ දී වඩාත් සිත් ඇදගන්නා ස්ථානය වන්නේ ‘ක්‍රිස්මස් මාකට්’ ගොඩනැගිලි පරිශ්‍රයයි. කොහොමටත් නත්තල් සමයේ දී වියානා යනු අතිශය රමණීය ලෙස හැඩ වන නගරයකි. ජීවත් වීමට හොඳම පරිසරයක් තිබුණ ද ඔස්ට්‍රියාවට සමහරුන් නම් පට බැඳ ඇත්තේ යුරෝපයේ ‘සිගරට් අළු බඳුන’ ලෙසය. ර​ෙට් එතරම්ම පිරිසක් දුම්පානයට ඇබ්බැහිව සිටීම ඊට හේතුවය. දුම්පානයෙන් අනිසි ඵලයක් ලෙස මිය යන පිරිස ද සාපේක්ෂව ඉහළය. ලෝ ප්‍රකට ස්වොරොස්කි ස්වර්ණාභරණ නාමය රැගත් සමාගම අයත් වන්නේ ද ඔස්ට්‍රියාවටය.   


මැදපෙරදිග ප්‍රශ්නවලට මුහුණ දුන් රටවල ජනතාව සංක්‍රමණිකයන් ලෙස පැමිණෙන රටක් ලෙස ඔස්ට්‍රියාව නම් කළ හැකිය. එහෙත් එහිදී මුස්ලිම් කාන්තාවකට සම්පූර්ණයෙන්, මුහුණ ආවරණය වන සේ හිජාබය ඇඳීම නම් තහනම්ය. වියානාහි ඇති ටියර්ගාර්ට්න් සත්ව උද්‍යානය (ZOO) යනු ලෝකයේ පැරණිතම සත්ව උද්‍යානය වේ. වියානා ‘කෝපි’ කෝප්පයක රස බැලීමටම නම් වියානා වෙතම යා යුතුය. හේතුව වියානා කෝපි පානය ඔවුනටම විශේෂිත වූවක් වන බැවිනි. හිම මත ඇවිද යාම, හිම කඳු තරණය කිරීම් සහ ලිස්සා යාම එනම් ‘ස්කි’ ක්‍රීඩාව ඔස්ට්‍රියානුවන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වේ. ශීත කාලයේ දී කෙරෙන ක්‍රීඩා කිරීමට ලෝකයේ ඇති හොඳම තැනකි. ලෝකයේ විශාලතම ‘එමරල්ඩ්’ මැණික් වියානාහි ප්‍රදර්ශනයට තබා ඇත. දෙවන ලෝක යුද්ධයට මුල පිරූ නාසි ජර්මනියේ ආඥාද‌ායකයා වූ ඇඩෝල්ෆ් හිට්ලර් උපත ලැබුවේ ඔස්ට්‍රියාවේ Braunau am inn හිදීය. සංගීතයට ආදරය කරන බොහෝ දෙනාගේ හද බැඳි නගරය වන්නේ ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග්ය. වියානා සහ සල්ස්බර්ග් නගරවලට අමතරව ‘මොස්වියර්ටෙල්’ නගරය යනු අතිශය අමරණීය පළාතකි. බොහෝ දෙනා තමුන්ගේ නිවාඩුව ගත කිරීමට යන්නේ මොස්වියර්ටෙල් වෙතය. සලාම්සී, ග්‍රාස්, ජීමන්ඩන්, ඇල්ජ්බාච් සහ අනෙකුත් පළාත් ඔස්ට්‍රියාවේ සාඩම්බරය අපූරුවට මවා පාන රමණීය ප්‍රදේශ වේ.   


 ඔස්ට්‍රියාවේ ධනවත්ම මිනිසා   
 රෙඩ්බුල් සම නිර්මාතෘ ඩයට්‍රිච් මේට්ස්චිට්ස්   


ඩයට්‍රිච් මේට්ස්චිට්ස්, යනු ලෝකයේ ජීවත්වීමට වඩාත් යහපත් නගරය ලෙස නම් වූ වියානා පිහිටි ඔස්ට්‍රියාවේ ධනවත්ම චරිතය වෙයි. ‘ඩයට්‍රිච්’ එලෙසින් ඔස්ට්‍රියාවේ ධනවත්ම චරිතය බවට පත්වූයේ ‘රෙඩ්බුල්’ නිසාය. ලෝකයේ ක්‍රීඩාශීලි බොහෝ දෙනා පානය කරන ශක්ති ජනක පානයක් යැයි හැඳින්වෙන ‘රෙඩ්බුල්’ සමාගම ස්ථාපිත කර ඇත්තේ ඔස්ට්‍රියාවේය.  


1976 දී තායිලන්තයේ ව්‍යවසායකු වූ චාලියෝ යෝවිධ්‍යා, අපූරු බීමක් නිෂ්පාදනය කළ අතර එය නම් කළේ ක්‍රාටින් ඩැංග් නමිනි. එහි තේරුම නම් ‘රතු කුළුහරකා’ යන්නයි. බොහෝ වෙහෙස මහන්සි වී සිටි මොහොතක මේ බීම පානය කිරීමෙන් පසුව ලැබුණේ ප්‍රාණවත් බවකි. කිලෝ මීටර් දහස් ගණන් දුර ට්‍රක් රථ, ලොරි රථ පදවාගෙන යන රියැදුරන් අතර එකළ තායිලන්තයේ දී මෙය ඉතා ප්‍රචලිත විය. ‘ෂාහ් මරු ඩ්‍රින්ක් එකක් ඇවිල්ලා. බිව්වාම ආයේ දෙකක් නැහැ. පුදුම ගතියක් දැනෙන්නෙ’ එදා තායිලන්ත රියැදුරන් අතර රෙඩ්බුල් හෙවත් ‘ක්‍රාටින් ඩැංග්’ ගැන කතා වූයේ එලෙසිනි. එවකට ඩයට්‍රිච් මේට්ස්චිට්ස් සේවය කරමින් සිටියේ තායිලන්තයේ ජර්මානු සමාගමකය. ඔස්ට්‍රියාවේ සිට දීර්ඝ ගුවන් ගමනකින් පසු තායිලන්තයට පැමිණ සිටි ‘ඩයටිච්’ ඇගේ පතේ අමාරුවට (දීර්ඝ ගුවන් ගමනක දී බොහෝ විට පාද ඉදිමී අපහසුතා ඇතිවේ) ක්‍රාටින් ඩැංග් පානය කළේය. ඉන්පසු ඔහුට ගෙන දුන්නේ නව ප්‍රබෝධයකි. ‘මේක මරුනෙ’ යනුවෙන් ඔහුට ඉබේටම කියැවිනි. මෙම බීම වර්ගය ජාත්‍යන්තරයට ගෙන ගිය යුතු යැයි ඔහුට පසුව අදහසක් ආයේය. ඖෂධ සමාගමක හිමිකරුවකුව සිටි චාලියෝ යෝවිධ්‍යා හමුවීම වඩා හොඳ යැයි සිතූ ඔහු දිනෙක ඔහු හමුවීමට ගියේය.  


‘මොකද කියන්නෙ මිත්‍රයා.... අපි මේක ජාත්‍යන්තරයට ගෙනයමු.  


ඩයට්‍රිච්, චාලියෝ හට යෝජනා කර සිටියේය. චාලියෝ ද ඊට එකපයින් කැමැති විය. යෝවිධ්‍යා සහ මේට්ස්චිට්ස් ඩොලර් ලක්ෂ පහ බැගින් ඒ වෙනුවෙන් සම ආයෝජනයක් කළහ. එක් අයෙකුට සියයට 49 බැගින් සමාගමේ කොටස් (ප්‍රතිශත) බෙදා ගත් අතර ඉතිරි 2 ක යෝවිධ්‍යාගේ පුතු හට දීමට දෙදෙනා තීරණය කළහ. නමුත් ඔස්ට්‍රියාවේ දී සමාගම පවත්වාගෙන යන්නේ ඩයට්‍රිච් මේට්ස්චිට්ස් යැයි එකඟතාවයකට එළැඹ තිබිණි. ඒ අනුව රෙඩ්බුල් ඔස්ට්‍රියාවේ දී හඳුන්වාදීම සිදු කළේ 1987 අප්‍රේල් 1 වැනිදා නොහොත් මෝඩයාගේ දවස ලෙස හැඳින්වෙන දිනයේදීය. මෝඩයාගේ දිනය යැයි කිය කියා විහිළු තහළු කරමින් වැදගැම්මකට නැති දේ කරන මිනිසුන් හට මේ ‘තායි - ඔස්ට්‍රියා’ ව්‍යවසායකයන් දෙදෙනා අරුත්බර කතාවක් කියා දුන්නේ එලෙසිනි. තායිලන්තයේ දී නිල් කරපටි බැඳි කම්කරුවන් අතර මෙම පානය බෙහෙවින් ජනප්‍රිය වී තිබීම නිසා ‘ඩයට්‍රිච්’ මෙම පානය ඔස්ට්‍රියාවේ දී මුලින්ම හඳුන්වා දුන්නේ හිම ක්‍රීඩාවල යෙදෙන ක්‍රීඩකයන් සඳහාය.  
‘රෙඩ්බුල්’ ප්‍රධාන කාර්යාලය ඔස්ට්‍රියාවේ සුන්දර ගම්මානයක් වන 'Fuschi am saa හිදී ස්ථාපිත විය. ඒ සුන්දර සැල්ස්බර්ග් නගරයට ආසන්නයෙනි. කෙසේ වෙතත් රෙඩ්බුල් වෙළඳ නාමයේ හිමිකාරිත්වය වෙනුවෙන් යුරෝපය සහ ඇමෙරිකාවේදී 51% ක (සියයට පනස් එකක) හිමිකාරිත්වය තාක්ෂණික කාරණයක් පදනම් කරගෙන දරන්නේ සෝවිධ්‍යා පවුලේ අයයි.  

 

ගුවන් යානයෙහි යන විට පැය ගණනාවක් එකම ඉරියව්වෙන් ගමන් ගැනීමට සිදුවේ. ඒ නිසා සමහර අයගේ පාද ඉදිමීම සිදුවේ. එය යළි යථා තත්ත්වයට පත්වීමට දවස් දෙක තුනක් ගත වේ. එදා මේ ඩයට්‍රීච් තායිලන්තයේ තමා මහන්සියට බීමට පුරුදුව සිටි සුපුරුදු ක්‍රාටීන්ඩැංග් බීම පානය කළ පසු ඇඟේ පතේ රුදාව සැණෙන් පහව ගිය නිසා මේ බීම ගැන දිගින් දිගටම ඔහු විමසිලිවත් වූ බව සඳහන් කරයි.


‘රෙඩ්බුල්’ යුරෝපයට ගෙනා ඩයට්‍රිච් මේට්ස්චිට්ස් කවු ද?  


වත්මනෙහි සුන්දර ඔස්ට්‍රියාවේ ධනවත්ම මිනිසා වන ඩයට්‍රීච් මේට්ස්චිට්ස් සතු සමස්ත ධනයෙහි වටිනාකම 2021 දී දළ වශයෙන් සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 26 කට ආසන්න වශයෙනි. ඔස්ට්‍රියාවේ මේ මහා ධනවතා උපත ලැබුවේ 1944 මැයි 20 වැනිදා නාසි ජර්මනියේදීය. එනම්. එවකට ඔස්ට්‍රියාව හැඳින්වූයේ නාසි ජර්මනියේ කොටසක් ලෙස වූ බැවිනි. ඔස්ට්‍රියාවේ දෙවැනියට විශාලතම පරිපාලන කලාපය වන ස්ටයිරියා යනු ඔහු උපන් පළාත වේ. ඔහුගේ මව්පිය දෙදෙන ඔස්ට්‍රියා සහ ස්ලොවේනියා සම්භවය ඇති අය වූ අතර ඩයට්‍රීච්ගේ කුඩා අවදියේදීම ගුරුවරු දෙපොළක්ව කටයුතු කළ මව පියා දික්කසා ද විය. ඉනික්බිතිව ඔහු හැදී වැඩුණේ මව යටතේය. 1972 දී අලෙවිකරණය පිළිබඳව වූ උපාධිය ඔහු හැදෑරුවේ වියානා ආර්ථික හා ව්‍යාපාරික සරසවියෙනි. ඉන්පසුව ඔහු මුල්වරට සේවය කළේ ‘යුනිලීවර්’ සමාගමේය. පසුව බ්ලෙත්ඩැක්ස් සමාගමේ සේවය කළේය. එම සමාගම පසු කලෙක පෝස්ටර් ඇන්ඩ් ගැම්බල් සමාගම මිලදී ගෙන ඇත. මෙලෙසින් සේවය කරමින් ලද අත්දැකීම් සමග ඩයට්‍රීච් තමාගේ ව්‍යවසායකත්වයේ ගමන ගිය බව සඳහන් කළ හැකිය.  


එකතකට ගුවන් ගමනක යෙදීමේ දී ජීවිතයේ බොහෝ දේ ගැන ඔබට කල්පනාවේ නිමග්න විය හැකිය. බලන්න, මේ ඩයට්‍රීච් හට මේ අදහස ඇති වූයේ ගුවන් චාරිකාවෙන් පසුව ඇති වූ නව අදහසක් නිසා නොවේ ද? ගුවන් යානයෙහි යන විට පැය ගණනාවක් එකම ඉරියව්වෙන් ගමන් ගැනීමට සිදුවේ. ඒ නිසා සමහර අයගේ පාද ඉදිමීම සිදුවේ. එය යළි යථා තත්වයට පත්වීමට දවස් දෙක තුනක් ගත වේ. එදා මේ ඩයට්‍රීච් තායිලන්තයේ තමා මහන්සියට බීමට පුරුදුව සිටි සුපුරුදු ක්‍රාටීන්ඩැංග් බීම පානය කළ පසු ඇගේ පතේ රුදාව සැණෙන් පහව ගිය නිසා මේ බීම ගැන දිගින් දිගටම ඔහු විමසිලිවත් වූ බව සඳහන් කරයි.  


 ‘රෙඩ්බුල්’ යනු අද ශක්තිජනක පානයක් ලෙස මුළු ලෝකයම ආක්‍රමණය කළ බීම නිෂ්පාදනයකි. ලෝකයේ විවිධ ක්‍රීඩා ඉසව් වෙනුවෙන්. ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන්නේ මෙම ‘රෙඩ්බුල්’ GMBH සමාගමය. ලෝකයේ ක්‍රීඩාශීලි ඉසව් බොහෝමයකට අනුග්‍රාහක දායකත්වය නිරන්තරයෙන් සපයන රෙඩ්බුල් වතාවක වා බැලුනයක කෙනෙකු අභ්‍යවකාශයට යැවූ බවට පුවත් පළවිණි. සමහර විට එය ප්‍රචාරණ කටයුතුවලට වාසියක් වෙනුවෙන් කළ දෙයක් වෙන්නත් පුළුවනි.  


රෙඩ්බුල් ලාංඡනයට යොදාගෙන ඇත්තේ කුළු මී හරක්, හෝ ගවයින් නොවන අතර ගව පවුලේ විශාලතම සත්වයා ලෙස හඳුන්වයි. ශක්තිමත් බව සහ විශාලත්වයෙන් ඒ සතා සිටින්නේ පස්වැනි ස්ථානයේය. අලියා, රයිනෝ, හිපෝ සහ ජිරාෆ්ට පසුව ශක්තිවන්තම සහ විශාල සත්වයා ලෙස හඳුන්වයි. 2021 ගෝලීය වෙළඳ නාම 1000 ලැයිස්තුවට අනුව රෙඩ්බුල් පසුවන්නේ 226 වැනි ස්ථානයේය. සමහරු රෙඩ්බුල් පානය මධ්‍යසර සමග ගැනීමට පෙළැඹ සිටින වග වාර්තාවේ. එය නම් හිතකර දෙයක් නොවන වග සඳහන් කළ හැකිය. මත්පැන් බහුලව පානය කරන්නන් රෙඩ්බුල් පානය කිරීම නිසා, හෘද ස්පන්දන වේගය ඉහළ යාම, ක්ලාන්තය, නින්ද නොයාම, හුස්ම ගැනීමේ අපහසුතා, ආදිය ඇතිවිය හැකි බව සඳහන් වෙයි. එමෙන්ම දිනක දී රෙඩ්බුල් පමණට වඩා පානය කිරීම ද ඉතා අනිසි ඵල විපාක ගෙන දෙන බව වාර්තාවල සඳහන් වේ. ඒ නිසා ශක්ති ජනක පානයක් වුවද, තමුන්ගේ ප්‍රමාණය දැනගෙන භාවිතය ඉතා හොඳය. ක්‍රීඩාශීලි අයට මෙය ප්‍රශ්නයක් නොවන්නේ ඔවුන්ගේ වැයවන ශක්තියට උත්තේජනයක් වන බැවිනි. රෙඩ්බුල්වල ඇති කැෆේන් ප්‍රමාණය කෝපි කෝප්පයක ප්‍රමාණයට සමාන බව සඳහන් වේ.  


ඩයට්‍රීච් මේට්ස්චිට්ස්ගේ පෞද්ගලික ජීවිතය  


ඔස්ට්‍රියාවේ වෙසෙන ධනවත්ම මිනිසා වන රෙඩ්බුල්හි සම නිර්මාතෘ ඩයට්‍රීච් කිසිදා විවාහ වූ අයෙකු නොවන වග සඳහන්ය. එහෙත් ඔහුට පුතෙකු සිටින වග ද සඳහන් වේ. ඩයට්‍රීච් හට ගුවන් නියමු බලපත්‍රය හිමිය. ‘ෆැල්කන් - 900 ගුවන්යානය සහ ‘පයිපර් සුපර් කබ්’ යානා පැදවීමට ඔහු වඩා රිසිය. ඔස්ට්‍රියාවේ ‘ෆුෂිල්අම්සි’ සුන්දර නගරයේ වෙසෙන ඩයට්‍රීච් හට ෆීජි දූපත්හි ලවුචලා දූපත ද අයත්ය. එය ඔහු මිලදී ගෙන ඇත්තේ පවුම් මිලියන 7 කට ෆෝබ්ස් පවුලෙන්ය. ඩයට්‍රීච් සමාජය වෙනුවෙන් උදවු කිරීමට ද හිත් ඇත්තෙකි. සුසුම්නාවේ හට ගන්නා ආබාධ පර්​ෙ‌ය්ෂණ සඳහා වින්ග්ස් ෆෝර් ලයිෆ් පදනම බිහිකිරීමට සම දායකත්වය සපයා ඇත. එහි ආධාර අරමුදල් තරකර ගැනීම උදෙසා වින්ග්ස් ෆෝර් ලයිෆ් ලෝක ධාවන තරගය සංවිධානය කිරීමට ද පුරෝගාමී විය. ‘රෙඩ්බුල්’ ඇමෙරිකාවේ අලෙවි ප්‍රචාරක පාඨය වනුයේ ‘ඔබට පියාපත් ලබා දෙන්නේ රෙඩ්බුල්’ යනුවෙනි. රෙඩ්බුල් නිසා ලෝක ධනවතකු වූ ඩයට්‍රිච් ගැන කී කරුණුවලට අමතරව මේ සටහන නිමා කිරීමට පෙර ‘ඔස්ට්‍රියාව’ සංචාරක පාරාදීසයක් වූයේ කුමක් නිසා ද කියා අපි විපරම් කර බලමු.  
සුන්දර ස්ථාන නැරඹීමට යෑම වෙනුවෙන් සංචාරකයන් සඳහා විශේෂිත බස් ටුවර්ස් ලබා දේ.  
ඓතිහාසික ස්ථාන දැක බලා ගැනීමට වෙනමම සංචාර සංවිධානය කර ඇත.  
පූජනීය සහ ආගමික ස්ථාන නැරඹීමට සංචාර සංවිධානය වේ.  


පා ගමනින් ගොස් සංචාරකයන් හට විවිධ දේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ.  
සොබා සෞන්දර්යය මෙන්ම වනගත චාරිකා සංවිධානය වේ.  
දිනකට අදාළ සංචාර, නගර සංචාර, ගෘහ නිර්මාණශිල්පීය විස්කම් සහිත ස්ථාන නැරඹීමට සහ දවස් භාගයක සංචාර පවා සංවිධානය වේ. කලා කෘති නැරඹීම සඳහා, ෆිල්ම් නැරඹීම සඳහා දේවස්ථාන නැරඹීම සඳහා, කඳු තරණයට පාපැදි, වයින් රස බැලීම ඇතුළු තවත් බොහෝ දේ සංචාරකයන්ගේ මනදොළ සපුරාලීමට ඇති නිසා ඔස්ට්‍රියාව යනු ලෝක සංචාරකයන් හට අමතක නොවනා මතක ගෙනෙන සංචාරක පාරාදීසයකි.  


 ඔවුන් එසේ සංචාරක පාරාදිසයක් මවා ඇත්තේ සංචාරක කර්මාන්තය උඩින් පහළින් අතපත ගා නොවේ. සංචාරකයා හට ඔහු වැය කරන මුදලට උපරිම ආස්වාදයක් ලබාදෙන පරිදිය.  
 එහෙව් වූ ඔස්ට්‍රියානු ජනතාව. ලංකාවට පැමිණීමට වඩාත් ප්‍රිය කරයි. ලංකාවේ පරිසරය, සත්කාර සේවා එතරම්ම පොහොසත් වීම ඊට හේතුවය. නමුත් අපේ සංචාරක කර්මාන්තයට ඔස්ට්‍රියාවෙන් ගත හැකි ආදර්ශ නම් බොහෝමය.  

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ  
[email protected]