ඒ.ටී.එම් කාඩ් උස්සා ලක්ෂ 50 කට විද්ද මිනිහෙක්


මුදල් කියන්නේ මිනිසුන්ට නැතුවම බැරි වස්තුවක් බවට පත්ව තිබේ. වර්තමානයේ පවතින ජීවන වියදමත් සමග එක රැකියාවකින් උපයන වැටුප ගෙදරදොරේ වියදම පියවා ගැනීමට ප්‍රමාණවත් නැති තරම්ය. ඒ නිසා මුදල් හොයන්නට මිනිස්සු විවිධ දේ කරති. අපේ මේ කතාවේ චරිතයද මුදල් හොයන්නට අපූරු ක්‍රමයක් සොයා ගත්තේය. ඔහු අනෙක් අය මෙන් දහවලේ එක රැකියාවක් කර රාත්‍රියේ තවත් රැකියාවක් කළේ නැත. ඔහුගේ ඒ ක්‍රමය කිසිම මහන්සියකින් තොරවම මුදල් උපයන ක්‍රමයකි.   

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ උපන් මොහුගේ දෙමාපියන් කුඩා කලදීම දෙපැත්තට වෙන්ව ගිය නිසා ඔහු හැදුණේ වැඩුණේ ඥාතීන් ළඟය. ඔවුන්ටද මේ දරුවා වෙනුවෙන් වියදම් කරන්නට තරම් මුදල් හදල් හෝ කාලයක් නොවුණි. ඒ නිසා ඔහු හරි හමන් ලෙස අධ්‍යාපනයක් ලැබුවේද නැත. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තද ඔහු විභාගයට පෙනී සිටියේ නැත. පාසල් අධ්‍යාපනය හමාර කළ පසු ඔහු පිටකොටුවේ පදික වෙළෙන්දෙකු යටතේ ඇපල් වික්කේය. මෙසේ රස්සාවක් කරන්නට ගත් ඔහු පරස්තාවක්ද සොයා ගත්තේය. අඩු වයසින්ම විවාහ වී ඇය සමග බදුල්ල ප්‍රදේශයේ පදිංචියට ගියේය. ඔවුන්ට එක් දරුවෙක්ද ලැබුණ පසු දෙදෙනා අතර නොයෙකුත් අඩදබර ඇති වන්නට විය. ඒ නිසා වැඩි කලක් ඒ විවාහය පැවතුණේ නැත. ඔහු යළිත් කොළඹට ආවේය.


කොළඹදී යළිත් විවිධ දේවල් කරමින් මුදල් හොයන්නට වූ ඔහු ග්‍රෑන්ඩ්පාස් කම්බිකොටුව ප්‍රදේශයේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තේය. ඇය හා ඇගේ පවුලේ අයත් සමග ඔහු බියගම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචියට ගියේය. තරුණියගේ මව විදේශගතව සිටි බැවින් පවුලේ වියදම් කෙරුණේ මව එවන ලද මුදල්වලිනි. මෙසේ ජීවත් වීම සුදුසු නොවන බව තේරුම් ගත් මේ තරුණයා තමන්ම මුදල් උපයන්නට ක්‍රමයක් සෙව්වේය.   


ඔහු ඒ සඳහා තෝරා ගත්තේ සාමාන්‍යයෙන් කෙනෙක් තෝරාගන්නා තැනක් නම් නොවේ. ඒ ක්ෂණික මුදල් හවුමාරු කරන බැංකු කුටි නැතහොත් ඒටීඑම් යන්ත්‍ර අසලය. ඒවා අසල ඔහු දින ගණනාවක් රැඳී සිටිමින් අධ්‍යයනයක් කළේය. ඒ මෙම යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් පිළිබඳවය. ඔවුන් මුදල් ලබාගන්නා ආකාරය පිළිබඳවය. ඒටීඑම් කාඩ් පත් භාවිතා කරන්නන්ගේ එම කාඩ්පත්වලට අදාළ රහස් අංක පැත්තක සිට සොයා ගන්නේ කෙසේද යන්න පිළිබඳවය. ඔහු එය කළේ තමන්ද බැංකුවෙන් ගනුදෙනුවක් කරගන්නට පැමිණ ඇති බව අඟවමින් පසෙක සිට දුරකථන ඇමතුමක් ලබාගන්නා ආකාරයෙන් රැඳී සිටිමිනි.   
මෙසේ ඉතා කෙටි කාලයක් තුළ තමන්ගේ අධ්‍යයනය කළ ඔහු ක්‍රමය සොයා ගත්තේය. අලුත් රස්සාවට ඔහු හොඳින් හැඳ පැළඳ උදේම නිවසින් පිට වූයේය. එහෙත් දවස පුරා ඔහුට රස්සාව කරන්නට අවශ්‍ය වූයේ නැත. ඇතැම් දිනවලදී ඔහු පැයකදී නැත්නම් විනාඩි දහයක් පහළොවක් වැනි කාලයකදී ලක්ෂයක් දෙකක් ඉපයුවේය. ඇතැම් දිනවලදී එයට වරුවක් පමණ ගත විය. එක් දිනයකදී උපයන අාදායම රුපියල් ලක්ෂ දෙකක් පමණ වුවහොත් ඔහු පසුදින රැකියාවට ගියේ නැත. ඔහු උපයා ගත්තේ තමන්ට දවසේ වියදම සොයාගත හැකි පරිදි පමණි.   


කොහොමද ඔහු මේ පැය කීපයකින් ලක්ෂයක් දෙකක් උපයා ගත්තේ? ඔහු රස්සාව ලෙස කළේ ඒටීඑම් යන්ත්‍ර අසල රස්තියාදු ගැසීමය. එසේ රස්තියාදුවේ යෙදෙන අතර ඔහු තමන්ගේ බැංකු කාඩ්පත භාවිතා කරමින් විටින් විට මුදල් ලබාගැනීමත් මුදල් තැන්පත් කිරීමත් සිදුකළේය. අනෙක් සෑම අවස්ථාවකම දුරකථන ඇමතුමක් ලබාගත්තේය. එහෙත් කාට හෝ සැකයක් ඇති වන්නට ඉඩක් නොතැබූ ඔහු එක් ඒටීඑම් යන්ත්‍රයක් අසල රැඳුණේ කෙටි කාලයක් පමණි.   


මෙසේ ඒටීඑම් යන්ත්‍ර අසල රැඳුණු ඔහු ඒටීඑම් කාඩ් මගින් මුදල් ලබාගැනීමේදී උදව්වක් අවශ්‍ය අයට උදව් කිරීමට වහා ඉදිරිපත් විය. වහාම ඉදිරිපත්ව යන්ත්‍රයට කාඩ්පත ඇතුළත් කිරීමට එහි හිමිකරුටම ඉඩ ලබාදුන්නේය. ඉන්පසු රහස් අංකය ඇතුළත් කරන ලෙසද ඔවුන්ටම පැවසුවේය. එසේ යන්ත්‍රයට යෙදූ රහස් අංකය ඔහු මතක තබා ගත්තේය. එසේ මතක තබා ගන්නා ඔහු ටික වෙලාවක් යන්ත්‍රයේ නොයෙකුත් දේවල් කරමින් සිට කාඩ් පතේ ගැටලුවක් තිබෙනවා, බැංකුවේ නිලධාරියකු ගෙන් ඒ ගැන විමසා බල්ලන්නැයි පවසා කාඩ්පතේ හිමිකරු බැංකුව තුළට යවන්නේය. එසේ කරන්නේ එම තැනැත්තා හෝ තැනැත්තිය වෙත බැංකු කාඩ් පත ලබාදෙමිනි. එහෙත් ඔහු ලබාදෙන්නේ තමන් අතේ පවතින කිසිදු මුදලක් නැති වෙනත් අයෙකුගේ බැංකු කාඩ් පතකි.   


එවැනි හිස් කාඩ් පතක් ඔහුට ලැබෙන්නේ කොහෙන්ද? ඒ සඳහා ඔහු අනුගමනය කළේ වෙනම ක්‍රමයකි. ඒටීඑම් යන්ත්‍රය අසල රැඳෙමින් ඒ මේ අත කැරකෙන ඔහු තමන්ගේ කාඩ් පත හිරවී ඇති බවත් ඒ ගැන දැනුම් දීමට කාඩ් පතේ පවතින ක්ෂණික ඇමතුම් අංකය මතක නැහැ. ඒ නිසා ඔයා ගාව තිබෙන කාඩ් එක මට චුට්ටක් දෙනවාද ඒ අංකය බලා ගන්න යැයි පවසමින් එම කාඩ් පත තමන් වෙත ලබාගනියි. ඔහු ඉන්පසු ඒ ඒ අවස්ථාව අනුව කිසියම් කපටි මුලෝපායන් භාවිතා කරමින් එහි රහස් අංකයද ලබාගන්නේය. එය ලබාගත් පසු කිසියම් හේතුවක් දක්වා අදාළ පුද්ගලයා බැංකුව තුළට යවන ඔහු කාඩ් පත රැගෙන එම ස්ථානයෙන් මාරුවන්නේය. එසේ ඔහු මාරු වන්නේ ළඟම ඇති ඒටීඑම් යන්ත්‍රය වෙතය. එහිදී ඔහු එම කාඩ් පතේ ඇති සියලු මුදල් ලබාගන්නේය. ඇතැම් අවස්ථාවල ඔහු එකවර ලක්ෂ ගණනක මුදල් විනාඩි කීපයකින් උපයා ගත්තේය. මේ ආකාරයට බැංකු කීපයක කාඩ්පත් තමන් සතු කරගන්නා ඔහු අප කලින් සඳහන් කළ ක්‍රමය භාවිතා කර කාඩ් පත් මාරු කිරීමේදී මෙම කාඩ්පත් යොදාගත්තේය.   


එහිදී ඔහු සිදුකළේ ඒ.ටී.එම්. යන්ත්‍රය අසල රැඳී සිටින අතරතුර උදව් අවශ්‍ය පුද්ගලයින් ගැන අවධානය යොමු කර ඔවුන්ගේ බැංකුව කුමක්දැයි නිරීක්ෂණය කර එයට ගැළපෙන කාඩ් පත තම පසුම්බියෙන් එළියට ගෙන පසුම්බියට යටින් අත්ල මත කාටත් නොපෙනෙන පරිදි රඳවා ගැනීමය. ඉන්පසු උදව්ව අවශ්‍යයැයි හැඟෙන පුද්ගලයා සමග කතා කර ඔහුට උදව් කරන මුවාවෙන් කාඩ් පත රැගෙන ක්ෂණයෙන් තමන්ගේ අතේ තිබෙන මුදල් හිස්කළ අනෙකකුගේ කාඩ් පත සමග මාරු කරන්නේය. පසුව එහි රහස් අංකය වැඩකරන්නේ නැතැයි පවසමින් බැංකුවේ නිලධාරියෙකුගෙන් විමසා ලෙස පවසා ඔහු වහාම එම ස්ථානයෙන් මාරු වී පෙර පරිදිම වෙනත් ළඟම ඇති ඒ.ටී.එම් යන්ත්‍රයකින් එම කාඩ්පතේ සියලු මුදල් ලබාගන්නේය.   


මොහු මුදල් ලබාගත්තේ ඒටීඑම් යන්ත්‍රවලින් පමණක් නොවේ. මුදල් තැන්පත් කරන සීඩීඑම් යන්ත්‍රවලින් ද මුදල් සොරාගත්තේය. එහිදී ඔහු කළේ මුදල් තැන්පත් කරන්නට එන අයගෙන් ගොනාට ඇන්දවිය හැකි අය තෝරාගෙන ඒ අය දැනුවත් කිරීමය. ඒ මෙම යන්ත්‍රයේ මුදල් තැන්පත් කරන්න පුළුවන් ඒත් බිලක් නම් ලැබෙන්නේ නැතැයි කීමය. ඉන්පසු එම මුදල් තැන්පත් කිරීමේ වගකීම භාර ගන්නේය. සාමාන්‍යයෙන් මෙවැනි යන්ත්‍රයකින් මුදලක් තැන්පත් කරන විට තවත් මුදලක් තැන්පත් කරන්නට තිබේදැයි යන්න මෙන්ම යන්ත්‍රයේ සඳහන් කළ අංක හා තමන් තැන්පත් කරන්නට බලාපොරොත්තු වෙන වටිනාකම නිවැරදි දැයි විමසන අවස්ථාවක් පැමිණේ. මේ කුමන හෝ එක් අවස්ථාවක එම මුදල තැන්පත් කිරීමට අදාළ විධාන ලබානොදී ටික වේලාවක් එම මුදල රඳවා ගන්නා ඔහු අදාළ පුද්ගලයා පිටත් කර හරින්නේය. ඒ මුදල තැන්පත් කළා, ඒත් බිලක් ලැබෙන්නේ නැහැනේ. පස්සේ බැංකුවෙන් පණිවුඩය ලැබෙයි දැන් යන්න යනුවෙන් ඔහු දැනුවත් කරමිනි. එම පුද්ගලයාට යන්නට ඉඩ හැර ගනුදෙනුව අවලංගු කරන ඔහු එම මුදල රැගෙන එම ස්ථානයෙන් මාරු වන්නේය.   


මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී තමන් රැවටුණු බව වටහා ගත් පුද්ගයන් විශාල පිරිසක් කොළඹ අවට පොලිස් ස්ථාන රැසකට විශේෂයෙන්ම කඩුවෙල, මාළඹේ, බියගම, වත්තල ප්‍රදේශවල පොලිස් ස්ථානවලට මෙන්ම මිරිහාන පොලිසියටද පැමිණිලි කර තිබේ. 

 
කඩුවෙල පොලිසියට පමණක් ලැබුණු පැමිණිලි අනුව ඔහු සොරකම් කර ඇති මුදල රුපියල් ලක්ෂ පනහකට ආසන්න වේ. ඔහු වැඩිපුරම ගැවසුණේ වෙළෙඳ කලාපවලය. මෙලෙස උපයා ගන්නා මුදල් ඔහු ගෙදර දොරේ වියදමට ඇති හැටියට යෙදෙව්වේය. බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනා සමග ඉහළ පෙළේ හෝටල්වලට ගොස් දිවා හෝ රාත්‍රී ආහාර ලබාගත්තේය. ඇඳුම් පැලඳුම් ලබාගත්තේය.   


ඒ විතරක් නොවේ. ඔහු බරපතළ ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටියේය. ඔහු කෙතරම් මත්ද්‍රව්‍ය භාවිතා කළේද යත් සමහර දිනක රුපියල් දහදාහක පමණ මත්කුඩු භාවිත කළේය.   


කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා විමර්ශනයක් ආරම්භ කළේය. ඒ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ජී.එස්. ජයමහ සහ සහකාර පොලිස් අධිකාරි ඒකනායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදිය. ඔහුට සහය වූ කණ්ඩායම වූයේ උප පොලිස් පරීක්ෂක වීරසිංහ, පොලිස් සැරයන් 52493 රත්නායක, පොලිස් කොස්තාපල්වරුන් වන 85131 දර්ශන, 93839 සමිත, 93373 කොඩිතුවක්කු, 72619 කුමාර, කාන්තා පොලිස් කොස්තාපල් 92127 තිළිණි ඇතුලු කණ්ඩායමකි.   
මොවුන් බැංකු කීපයකින් අදාළ අවස්ථාවලට ගැලපෙන ආරක්ෂක කැමරා දර්ශන ලබාගත්තේය. ඒවා යොදාගෙන අදාළ සැකකරු හඳුනා ගත්තේය. සැකකරු හඳුනාගත් පොලිස් කණ්ඩායම අදාළ බැංකුවල නිතර සැරි සැරුවේය. එහිදී සැකකටයුතු පුද්ගලයා හඳුනා ගන්නට ඔවුන්ට හැකි විය. සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරද්දී ඔහු සතුව අන් අයගෙන් ලබාගත් විවිධ බැංකු අටක කාඩ් තිහක් හමුවිය.    

 

 

 සටහන : මුදිතා දයානන්ද සහ
බණ්ඩාරගම 
බිමල් ශ්‍යාමන් ජයසිංහ