එතෙරට විකිණෙන අපේ මනාලියෝ


 

  •  චීනයේ ගණිකා වෘත්තීය තහනම්ය. එහෙත් චීනයේ ඇතැම් ප්‍රදේශවල මෙය තදින්ම කරගෙන යනු ලැබේ. චීනයේ ඩොංගුවන් නගරය ඊට වඩාත් ප්‍රසිද්ධය. එය හඳුන්වනු ලබන්නේද ‘පවුකාරයන්ගේ නගරය’ ලෙසය. වරින් වර කරන ලද වැටලීම්වලදී එම නගරයේ ගණිකා වෘත්තියේ යෙදුණ කාන්තාවන් විශාල පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන්ට සහාය දුන් පොලිසියේ ඇතැම් නිලධාරීන් වැඩ තහනමට ද ලක් විය.

 

විදේශිකයෙකු සමග විවාහ වීමේ සිහිනයක් මෙරට ඇතැම් තරුණියන් දකින්නේ ආදරය පිළිබඳ බහ තෝරන වයසේ සිටමය. එවැනි සිහිනයක් දකින තරුණියන් තුළ එයට පදනම් වන විවිධ හේතු තිබේ. ඇතැමෙකුට තිබෙන්නේ ඒ රටවල් දැක ගැනීමේ , අන්තර්ජාලයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ දකින ඒ රටවල සුන්දරත්වය විඳගැනීමේ අහිංසක සිඟිති බලපොරොත්තුවකි. වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන, නිතර විදේශිකයන් ඇසුරු කරන්නට ලැබෙන තරුණ තරුණියන් තුළද එවැනි බලාපොරොත්තු තිබේ. ඒ නිසා සංචාරක කර්මාන්තයත් සමග වඩාත් සමීප ප්‍රදේශවල ජීවත් වන ඇතැම් තරුණියෝ මෙන්ම තරුණයෝද විදේශිකයන් සමග විවාහ වී තිබෙන බව ඒ ප්‍රදේශවල සැරි සැරුවහොත් දැක ගත හැකිය. 

 

 
 වෙරළබඩ කලාපයේ ජීවත්වන තරුණ තරුණියන් දුටු ඒ සිහිනය ඒතරම්ම රට මැද ජීවත් වෙන තරුණ තරුණියන් තුළ පැළ පදියම් වූයේ නැත. ඒ ඔවුන්ට විදේශිකයන් නිතර නොගැටුණ නිසාය. එහෙත් මේ වන විට අපේ රටේ විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වන බොහෝ ව්‍යාපෘතිවලට වැඩිම ශ්‍රම දායකත්වයක් සපයන්නේ විදේශිකයන්ය. ඒ අතර වැඩිම පිරිසක් සිටින්නේ ඉන්දියානුවන් හා චීන ජාතිකයන්ය. ඉන්දියානුවන්ට බොහෝ දුරට තිබෙන්නේ අපේ රටේ වැසියන්ට සමාන පෙනුමකි. එහෙත් චීන ජාතිකයන් ඊට වඩා බොහෝ සෙයින් වෙනස්ය. ඒ නිසා ඔවුන් සමග විවාහවීමේ සිහිනයක් අද ගම්බද ප්‍රදේශවල ජීවත්වන බොහෝ තරුණියන් තුළද පැළපදියම් වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස චීන ජාතිකයන් සමග විවාහ පත්වී චීනයේ ජීවත්වීමට පිටත් වූ තරුණියන් පිරිසක්ද වේ. ඔවුන්ගෙන් ඇතැමෙකුට මුහුණ දෙන්නට සිදුවූ අභාවාචක ඇත්දැකීම් පිළිබඳවද දැන් දැන් වාර්තා වේ.   


 චීනයේ ගණිකා වෘත්තීය තහනම්ය. එහෙත් චීනයේ ඇතැම් ප්‍රදේශවල මෙය තදින්ම කරගෙන යනු ලැබේ. චීනයේ ඩොංගුවන් නගරය ඊට වඩාත් ප්‍රසිද්ධය. එය හඳුන්වනු ලබන්නේද ‘පවුකාරයන්ගේ නගරය’ ලෙසය. වරින් වර කරන ලද වැටලීම්වලදී එම නගරයේ ගණිකා වෘත්තියේ යෙදුණ කාන්තාවන් විශාල පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන්ට සහාය දුන් පොලිසියේ ඇතැම් නිලධාරීන් වැඩ තහනමට ද ලක් විය.   
 කෙතරම් තහනමට ලක්වුවද සංචාරක කර්මාන්තය වඩාත් ඉහළින් පවතින චීනයේ ගණිකා වෘත්තිය වැළැක්වීම පහසු කාර්යයක් නොවේ. චීන ජාතික කාන්තාවන් මෙම කාර්යය සඳහා යොදා ගැනීම අපහසුවන විට ඒවා පවත්වාගෙන යනු ලබන්නෝ ඊට විකල්ප සොයති. ඒ අනුව ඔවුන් විදේශ රටවලින් රූමත් කාන්තාවන් තම රටට ගෙන්වා ගැනීමේ සැලසුම් ක්‍රියාත්මක කරති.   


ඒ අනුව ඔවුන් පාකිස්ථානය, ශ්‍රී ලංකාව, කාම්බෝජය වැනි රටවලින් කාන්තාවන් තම රටට ගෙන්වා ගැනීමට විවිධ උපක්‍රම යොදා ඇත. ඔවුන් යෙදු උපක්‍රම වලින් එකක් වූයේ කාන්තාවන් විවාහ කරගෙන තම රටට ගෙන ඒමය. එයට ඒ රටවල විවිධ ව්‍යාපෘතිවලට සේවකයන් ලෙස යොදවා ඇති චීන ජාතික තරුණයින් තමන්ගේ අරමුණ වෙනුවෙන් මුදල් ගෙවා ලබාගැනීම හෝ එම ව්‍යාපෘතිවලට තමන්ගේ අය රැකියාවක් සඳහා යොමු කිරීම පළමු පියවරය. ඉන්පසු ඔවුන්ට ලැබෙන උපදෙස වනුයේ තමන් වැඩකරන රටේ ආර්ථික වශයෙන් දුබල, එහෙත් රූමත් තරණියක සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇගේ හා පවුලේ අයගේ විශ්වාසය දිනා ගැනීමය. එහි අවසන් පියවර වන්නේ එම තරුණිය විවාහ කරගෙන චීනයට රැගෙන ඒමය. ඉන්පසු ඔවුන් ඇය තමන්ට අවශ්‍ය පරිදි ගණිකා වෘත්තියේ යොදවනු ඇත.   


මේ ආකාරයට මීට කලකට පෙර පාකිස්ථානයේ ෆයිසිලාබාද්හි තරුණියක හා චීන ජාතික තරුණයෙක් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති විය. ඇය දහනව වැනි වියේ පසු වූ තරුණියකි. චීන ජාතිකයා විසිඑක් වැනි වියේ පසු වූවෙකි. ඇය රූපලාවන්‍ය ශිල්පිනියක වූ අතර ඇගේ පවුල දුප්පත්ය. තරුණයා සුවඳ විලවුන් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිට ඇත. ඇය සමග ප්‍රේම සම්බන්ධය ඇති කරගත් මෙම තරුණයා ඇයගේ අදහස්වලට මුල් තැන දෙමින්, පාකිස්ථානු සම්ප්‍රදායන්ට, චාරිත්‍ර වාරිත්‍රවලට ගරු කරමින් පවුලේ අයගේ විශ්වාසය හා ආදරය දිනා ගත්තේය. ඔවුන්ගේ විවාහය සිදුකෙරුණේද පාකිස්ථාන සම්ප්‍රදායයන්ට අනුකූලවය. විවාහයෙන් පසු තරුණයා ඇය චීනයට කැඳවාගෙන ගියේය. චීනයට යන්නට ලැබීම ද ඇයට මහත් ආශ්වාදයක් විය.   
එහෙත් චීනයේ දී ඇයට මුහුණ දෙන්නට සිදු වූයේ ඇය කිසිසේත්ම නොසිතූ අත්දැකීමකටය. ඇගේ සැමියා ඇයව ගණිකා වෘත්තියේ යෙදවූයේය. මෙය ඉවසා සිටිය නොහැකි තැන ඇය රහසිගතව චීනයෙන් පළා ආවාය. ඒ සිය දෙමාපියන් වෙතටය.. මේ සම්බන්ධයෙන් පාකිස්ථානු පොලිසියට ඇය පැමිණල්ලක් ද ඉදිරිපත් කළාය. එහිදී අනාවරණය වූ කරුණු ඉතාමත් ඛේදනීය විය. මේ සම්බන්ධයෙන් චීනයේ ලිංගික ජාවාරම්කරුවන්ගේ ජාලයක් ක්‍රියාත්මක ​ෙවන බව ද එහිදී අනාවරණය විය.   


කෙසේ වෙතත් ව්‍යාජ විවාහ සිදුකළ බවට සැකපිට පසුගිය කාලය තුළ විදේශීය රටකින් පැමිණි පූජකයෙකු සහ පාකිස්ථානු තැරැව්කරුවන් විසිදෙනෙකු පමණ පාකිස්ථානයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.   
ලාංකික තරුණියන් ද විදෙස් රටවල තරුණයන් විසින් විවාහ කරගෙන තමන්ගේ රටවලට කැඳවාගෙන ගොස් විවිධ අකටයුතුකම්වල යොදවන බවට වාර්තා වී ඇතැයි ආරක්ෂක අංශ පවසයි. එසේම පසුගිය කාලය තුළ ලාංකික තරුණියන් ගණනාවක් විවාහ මගින් පිරටට රැගෙන ගොස් රාත්‍රි සමාජ ශාලාවල හෝ සම්භාහන මධ්‍යස්ථානවල යොදවන බවට තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක අංශ තොරතුරුවල සඳහන් වේ.   
පසුගිය දිනවල පොලිසියට මේ පිළිබඳ අපූරු කතාවක් දැන ගන්නට ලැබිණ.   


චීන ජාතික තරුණයෙකු හොරණ ප්‍රදේශයේ තරුණියක සමග ඇති කරගත් ඇගෑලුම්කම පසුව ප්‍රේම සම්බන්ධයක් බවට පත්විය. ඇය වත් පොහොසත්කම් අතින් ගත්කල සාමාන්‍ය පවුලක තැනැත්තියකි. ඇගේ ප්‍රේම සම්බන්ධය පිළිබඳව ගෙදර අයට ද දැනගන්නට ලැබුණ අතර පළමුව ඊට විරුද්ධ වුව ද පසුව කැමැත්ත දුන්නේ විවාහ වූ පසු ඇයව චීනයට රැගෙන යන බව ද ඇයට හොඳ ජීවිතයක් එහි ලැබෙනු ඇති බවට ද තරුණයා දැක්වූ අදහස් අනුවය. එහෙත් පසුව මේ පිළිබඳ යම් සැකයක් ඇතිව තිබේ.   


විදේශිකයන් මෙරට අයෙකු සමග විවාහ වීමේ දී අනුගමනය කරන ක්‍රියාපටිපාටිය අනුව මෙම තරුණයා ඉදිරිපත් කරන ලද තොරතුරු ඔස්සේ ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබේ. එහිදී අනාවරණය වී තිබෙන්නේ ඔහු ඇයට චිනයට රැගෙන යාමට උත්සාහ කර තිබෙන්නේ කිසියම් ජාවාරමක යෙදවීමේ වුවමනාවෙන් බවය.​ මේ එක් සිදුවීමකි.   


මෙලෙස ජාවාරම්වල යෙදවීම සඳහා පමණක් නොව අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරින් ලංකාවට පැමිණ තමන්ගේ කටයුතු කරගෙන යාමට පහසුවක් වන පරිදි මෙරට කාන්තාවන් විවාහ කර ගන්නා බව ද පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් සමග අනාවරණය විය. එසේම ඇතැම් මූල්‍ය අපරාධවලට සම්බන්ධ වූවන් ද සැඟවී සිටිමේ එක් උපක්‍රමයක් ලෙස මෙරට කාන්තාවන් විවාහ කරගෙන මෙරටම රැඳී සිටින බව ද අනාවරණය වී තිබේ.   


මෙවැනි සිදුවීම් තවදුරටත් ඉදිරියට ද සිදුවිය හැකිය. විවාහ ලියාපදිංචිය සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා විසින් පසුගිය දා නිකුත් කළ නව චක්‍රලේඛයට පසුබිම් වී තිබෙන්නේ ද මෙවැනි කාරණා බව ද ආරක්ෂක අංශ ප්‍රකාශකයෙකු පැවසීය. 

 
එම චක්‍රලේඛය අනුව මෙරට තරුණියක විදේශිකයෙකු හා විවාහ වන්නේ නම් ලාංකික පුරවැසියා ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයෙන් ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබාගත යුතුය. එහිදී විදේශිකයාගේ වීසා බලපත්‍රයේ හා විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්, විදේශිකයාගේ රටේ බලයලත් ආයතනයකින් නිකුත් කරන ලද ඔහුගේ සිවිල් තොරතුරු සනාථ කරන ලියැවිල්ලක්, උප්පැන්න සහතිකය, විදේශිකයාගේ සෞඛ්‍ය තත්ත්වය ආදි තොරතුරු අයදුම්පත සමග ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදිය යුතුය.   


මෙම හොරණ තරුණිය මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.   

 

 

 

මුදිතා දයානන්ද