උපන් ලප හෙළිකරන පුනර්භව අභිරහස්


පෙර භවයේ ප්‍රබල සාක්කි 

මිනිස් සිරුරේ උපන් ලප පිහිටීම සාමාන්‍ය සිදුවීමක් ලෙස පිළිගැනේ. මේ අතර අසාමාන්‍ය ලෙස පිහිටන උපන් ලපද දක්නට ලැබේ. එවැනි උපන් ලප තම දරුවන්ගේ සිරුරුවල පිහිටා ඇත්තේ ඇයිද යන්න දෙමාපියන්ට ද ගැටලු මතුවන අවස්ථා තිබේ. ඇතැම් විට එවැනි උපන් ලප පෙර භවයට සම්බන්ධ බවට එම දරුවන් විසින් අනාවරණය කළ සිදුවීම් තිබේ. පුනර්භව පර්‌යේෂණවලදී දරුවන්ගේ දක්නට ලැබෙන උපන් ලප ප්‍රබල සාක්කි බවට ද පත්වේ.   

පෙර භවය හෙළිකළ ඇතැම් දරුවන් අනාවරණය කළ තොරතුරු අනුව ඔවුන්ගේ සිරුරුවල දක්නට ඇති උපන් ලප, පෙර භවයේ පුද්ගලයාට සිදුවූ මාරක අනතුරුවලදී ඇතිවූ තුවාල ලප කැළැල් ලෙස පිළිගැනීමට සිදුවේ. පුනර්භව පර්‌යේෂණවලදී දරුවන්ගේ සිරුරේ දක්නට ලැබෙන උපන් ලප පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ලැබේ. එම පර්‌යේෂණවලදී උපන් ලප Birth Marks පෙර භවයට සම්බන්ධ බව සනාථ කිරීමට හැකිවන වෛද්‍ය වාර්තාද වැදගත් වේ. (Birthmarks Corresponding to Wounds Verified by Medical Recors) යනුවෙන් ඒවා හඳුන්වනු ලැබේ. පෙර භවයට සම්බන්ධවූ දරුවන්ගේ උපන් ලප විමර්ශනය කරනු ලබන අවස්ථාවලදී උපන් ලප විශ්ලේෂණය වී ඇත්තේ මෙසේය.   


(1) පෙර භවයේදී මරණයට පත්වූ අවස්ථාවේ සිදුවූ අනතුරකදී ඇතිවූ තුවාල කැළැල් උපන් ලප ලෙස පිහිටීම.   


(2) පෙර භවයේ පුද්ගලයාගේ සිරුරේද පිහිටා තිබූ උපන් ලප ඒ අයුරින්ම පෙර භවය හෙළිකළ දරුවන්ගේද පිහිටීම.   


(3) පෙර භවයේ තැනැත්තා ජීවත්ව සිටියදී ඔහුට සිදුවූ තුවාල කැළලක් ඒ අයුරින්ම පෙර භවය හෙළිකළ දරුවාගේ සිරුරේද පිහිටීම.   


(4) මියගිය පුද්ගලයාගේ සිරුරේ තබන ලද සලකුණක් ඒ අයුරින්ම පෙර භවය හෙළි කළ දරුවන්ගේද උපතින් පිහිටීම   


(5) පෙර භවයේ දී සිරුරට සිදුකළ සැත්කමකදී ඇතිවූ තුවාල කැළළක් උපන් ලපයක් ලෙස පෙර භවය හෙළිකළ දරුවාගේ සිරුරේ ද පිහිටීම.   


පුනර්භව පර්‌යේෂණවලදී උපන් ලප පෙර භවය හා සම්බන්ධ බව සනාථ කිරීමට මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගෙන් ලැබෙන සාක්කි ද ඉතා වැදගත් වේ. (Birthmarks Corresponding to Wound Verified By Informant's Memories යනුවෙන් ඒවා හඳුන්වනු ලැබේ. මේ අතරින් අතිශය වැදගත් කරුණක් ලෙස සැත්කම්වලදී ඇතිවන ලප කැළල් පෙර භවය හෙළි කළ දරුවන්ගේ සිරුරුවල දක්නට ලැබීම සුවිශේෂී සිදුවීම් ලෙස පිළිගැනේ. (Birthmarks Corresponding to Surgical Wounds and Other Skin Lesions on Deceased Persons) යනුවෙන් එම පර්‌යේෂණවලදී හඳුන්වනු ලැබේ.   


පෙර භවය හෙළිකළ දරුවන් රැසක් ඔවුන්ගේ සිරුරේ දක්නට ලැබූ උපන් ලප පෙර භවයට සම්බන්ධ බව අනාවරණය වූ සිදුවීම් රැසක් ඇත. ඉන්දියාව, බුරුමය, තායිලන්තය, ඇමරිකාව, ලෙබනනය, තුර්කිය, එංගලන්තය සහ ශ්‍රී ලංකාවේ පුනර්භව පර්‌යේෂණ අතර ද එවැනි දරුවෝ රැසක් සිටිති. ශ්‍රී ලංකාවේ දරුවන් සියයකට ආසන්න පිරිසකගේ උපන් ලප ඔවුන්ගේ පෙර භවයට සම්බන්ධ බවට ප්‍රබල සාක්කි ඉදිරිපත් විය. ඉන් වැඩි කොටසක් පෙර භවයේ දී සිදුවූ මාරාන්තික තුවාල කැළල් ලෙස පිළිගැනීමට සිදුවිය. ඒවා සනාථ කරන වෛද්‍ය වාර්තා ද අධීක්ෂණය කිරීමට අවස්ථාව ලැබිණි. ඒ අතර උපන් ලප වැඩි වශයෙන් දක්නට ලැබුණේ පෙර භවයේ දී වෙඩි පහර සහ පිහි ඇනුම් මගින් මියගිය බැව් හෙළි කළ දරුවන්වීම ද විශේෂත්වයකි.   


ගාල්ල ප්‍රදේශයේදී උපත ලද දරුවන් දෙදෙනෙක් සිය උපන් ලප පිහිටා ඇති ස්ථානයට වෙඩි පහරක් වැදුන බැව් කියා සිටියේය. වෙඩි පහර වැදුන බැව් පැවසූ දරුවාගේ පපුව ප්‍රදේශයේ ඉතා පැහැදිලි කළු පැහැති උපන් ලපයක් දක්නට ලැබිණි. අනෙක් දරුවා පැවසුවේ පිහිපහරක් එල්ල කළ බවකි. ඔහුගේ පපුවේද උපන් ලපයක් තිබූ ස්ථානය පිහි පහර වැදුන ස්ථානය ලෙස පෙන්වා දුන්නේය. එම දරුවාගේ පුනර්භව පර්‌යේෂණයේදී පෙර භවයේදී මරණයට පත්ව පුද්ගලයා පිහි පහරකින් මියගිය බැව් සනාථ විය. එම පර්‌යේෂණයේදී වෛද්‍ය වාර්තා ප්‍රබල සාක්කියක් බවට පත්විය. උපන් ලපය පිහිටි ස්ථානයට පිහි පහර එල්ල වී තිබිණි. 

 
වෙඩි පහරකින් මියගිය බැව් හෙළි කළ තවත් දරුවෙකුගේ පපුවේ සහ පිට පැත්තේද උපන් ලප දෙකක් පිහිටා තිබිණි. පපුවට වැදුණු වෙඩි උණ්ඩය පිට පැත්තෙන් පසාරුවී ගිය අයුරු දැක්වෙන වෙඩි උණ්ඩයේ ගමන් මග නිරූපණය කළේය. වෙඩි පහර ඇතුළවීම සහ පිටවීම Entry an Exit යනුවෙන් එම උපන් ලප පර්‌යේෂණවලදී හඳුන්වනු ලැබේ. එම උපන් ලප දෙක පිහිටා තිබූ දරුවා උපත ලැබුවේ මීට වසර ගණනකට උඩදී රඹුක්කන ප්‍රදේශයේදීය. වසන්ත නම් එම දරුවා එදා ප්‍රකාශ කළේ සිය පියාට තැබූ වෙඩි පහරක් තම පපුවට වැදුන බවය. ඔහුගේ පුනර්භව සාධකය සාර්ථකව ඔප්පුවූ පර්‌යේෂණයක් ලෙස පිළිගැනීමට සිදුවිය. 

 
වෙඩි උණ්ඩය ගමන් මග දැක්වෙන උපන් ලපයක් සහිත උපත ලැබුවේ තුර්කියේදීය. සෙමිල් නම් එම දරුවාගේ උපතින් දක්නට ලැබූ උපන් ලප දෙකක් විය. එක් උපන් ලපයක් ඔහුගේ ගෙලත් නිකටත් අතර වූ අතර අනෙක් උපන් ලපය පිහිටා තිබුණේ හිස් මුදුනේය. සෙමිල්ගේ පුනර්භව පර්‌යේෂණ මෙහෙයවූ මහාචාර්ය ස්ටීවන්සන් ඔහුගේ පර්‌යේෂණ  වාර්තාවකට ද එය ඇතුළත් කර ඇත.   


සෙමිල්ගේ පෙර භවයේ මරණය සිදුවී තිබුණේ ඔහු විසින් තම තුවක්කුව ගෙලට තබා තුවක්කුව පාදයේ ඇඟිල්ලකින් ක්‍රියාත්මක කිරීමෙනි. වෙඩි උණ්ඩය නිකට හරහා ගමන් කර හිස්මුදුනින් පිටවී තිබූ බැව් පර්‌යේෂණයේදී  සනාථ වීය. The Prediction of Birth Marks යනුවෙන් එම දරුවාගේ පුනර්භව සාධකය වාර්තා කර තිබේ.  


පෙර භවයේදී කන්පෙති විදීම නිසා පැවති කැළැල් උපන් ලප ලෙස ලබා ඇති බව සනාථ වූ දැරියක්ද මීට වසර ගණනකට උඩදී කුලියාපිටිය ප්‍රදේශයේදී උපත ලැබීය. ඇගේ නලළ තලය මැද තවත් උපන් ලපයක් පිහිටා තිබිණි. එම දැරිය ප්‍රකාශ කළේ පෙර භවයට ද්‍රවිඩ සබඳතාවයක් තිබූ බවය. එම දැරිය ඉතා කුඩා අවදියේ සිට ද්‍රවිඩ ජාතිකයන්ගේ ආහාර පාන ඉල්ලා සිටීම විශේෂත්වයක් විය. ඇය පිළිබඳව සිදුකළ පුනර්භව පර්‌යේෂණයේදී ඇගේ කන්පෙතිවල දක්නට තිබූ උපන් ලප ද්‍රවිඩ කාන්තාවන් විසින් කරාබු පැළඳීමට කන් පෙති සිදුරු කරන අයුරු පිළිබිඹු විය. නල​ෙළ පිහිටි උපන් ලපය ද්‍රවිඩ ජාතිකයන් නලළෙ තබන තිලකය විය.   
කොළඹදී උපත ලද පිරිමි දරුවකුගේ ලිංගික ප්‍රදේශයේ අස්වාභාවික උපන් ලපයක් පිහිටා තිබිණි. එම දරුවා සිය පෙර භවය අනාවරණය කිරීම ආරම්භ වූයේ වයස අවුරුදු තුනේ පමණ සිටය. ඔහු හෙළිකළ පෙර භව තොරතුරු විමර්ශනය කිරීමේදී අනාවරණය වූ ප්‍රබල සාක්කියක් වූයේ පෙර භවයේ මරණයට පත්වූ පුද්ගලයාගේද උපතින් සිරුරේ එම ස්ථානයේම ඒ අයුරින් උපන් ලපයක් දක්නට ලැබුණු බවය.  
පෙර බවය හා සම්බන්ධ උපන් ලප පිහිටා තිබූ තවත් දරුවන් මගින් හෙළිවූයේ සත්ත්වයන්ගේ පහරදීම් නිසා ඇතිවූ තුවාල කැළැල්ද උපන් ලප ලෙස ලබා තිබීමය. වැඩි වශයෙන්ම එවැනි උපන් ලප දක්නට ලැබුණේ සර්පයින් දෂ්ඨ කිරීමේදී ඇතිවූ තුවාල කැළල් උපන් ලප ලෙස පිහිටා තිබීමය. පොළඟුන් සහ නාගයින් දෂ්ඨ කළ පෙර භවයේ තුවාල කැළල උපන් ලප ලෙස පිහිටා තිබිණි. එවැනි උපන් ලප පිහිටා තිබූ දරුවෝ සිව් දෙනෙක් පමණ ශ්‍රී ලංකාවේ පුනර්භව පර්‌යේෂණ අතර ද සිටිති.  


පෙර බවය අනාවරණය කළ එංගලන්තයේ දී උපත ලද දරුවෙකුගේ උපතින් මුහුණේ පැහැදිලි උපන් ලපයක් දක්නට ලැබිණි. ඇය අනාවරණය කළේ එම මවගේම කුසෙන් යළි උපත ලැබූ බවය. හදිසි මෝටර් රථ අනතුරකින් මියගිය දැරිය ඉතා කුඩා කාලයේ දී වැටීමකට ලක්වීම නිසා මුහුණේ තුවාල කැළලක් නොමැකී තිබිණි. පෙර භවය අනාවරණය කළ දැරිය එම අනතුර පිළිබඳව නිවැරැදිව තොරතුරු හෙළිකළාය. ඇගේ පුනර්භව පර්‌යේෂණයේදී  සනාථ වූයේ මියගිය දැරියගේ මුහුණේ දක්නට තිබූ තුවාල කැළල ​ඒ අයුරින්ම පෙර භවය හෙළිකළ දැරියගේද පිහිටා ඇති බවය. මියගිය දැරියගේ ඡායාරූපවල ද එම තුවාල කැළල නිවැරැදිව දක්නට ලැබුණු අතර එය ප්‍රබල සාක්කියක්ද විය.  


උපන් ලප පිළිබඳව සිදු කරන පුනර්භව පර්‌යේෂණවලදී අනාවරණය වන තවත් ඉතා වැදගත් කරුණක් වන්නේ පෙර භවයේ දී එල්ල වූ වෙඩි පහර හෝ පිහි ඇනුම අයුරින්ම උපන් ලප පිහිටා තිබීමය. තනි වෙඩි උණ්ඩයක් වැදීමෙන් මරණයට පත්වූ පුද්ගලයන්ගේ එක් කැළලක් ලෙසත් මූනිස්සන් රැසක් වැදී සිදුවූ තුවාල ලෙස උපන් ලප පොකුරක් පිහිටා තිබීමය. ඇතැම් විට පිහි තලයේ හැඩය අනුව උපන් ලප පිහිටි දරුවෝද සිටිති. ඔවුන් විසින් ප්‍රකාශ කළ පිහි ඇනුමට යොදාගත් පිහිය නිරීක්ෂණය කිරීමේදී පිහිතලයට සමානව උපන් ලපය දක්නට ලැබීමද සුවිශේෂී සිදුවීම් ලෙස සැලකේ.   


ඇතැම් දරුවන්ගේ පුනර්භව සාධකවලදී දක්නට ලැබුණු පෙර භවය හා සම්බන්ධ උපන් ලප පිහිටි හිසේ ස්ථානවල කෙස් නොවැඩීමද විශේෂ සාධක ලෙස පිළිගැනීමට සිදුවේ. තවත් විටෙක ඇතැම් උපන් ලප පිහිටි ස්ථානවල ඉතා ඝන ලෙස රෝම වැඩී තිබෙන බවද දක්නට ඇත. පෙර භවයට සම්බන්ධ දරුවන්ගේ සිරුරුවල දක්නට ලැබෙන උපන් ලප නිසා අස්වභාවික උපන් ලප ලබා උපත ලබන දරුවන් පිළිබඳ විමර්ශන කිරීමට පුනර්භ පර්‌යේෂකයෝ  දැඩි උනන්දුවක් දක්වති. එයට හේතුව වී ඇත්තේ ඇතැම් දරුවෝ පෙර භව තොරතුරු හෙළි කිරීමේ දී ඔවුන්ගේ සිරුරුවල දක්නට ඇති උපන් ලප පිළිබඳව කරන ඇතැම් ප්‍රකාශ නිසාය. 

 
පුනර්භවය පිළිබඳව ලොව ප්‍රකට මනෝ විද්‍යාඥයකුවූ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවලදී උපන් ලප ඇති දරුවන් පිළිබඳව විමර්ශනයක් කරමින් ප්‍රකාශයක්ද කළේය. වෛද්‍යවරුන්, හෙදියන් සහ දරු උපතක දී ප්‍රථම වරට දරුවන් දකින අය එම දරුවන්ගේ සිරුරුවල දක්නට ඇති ලප කැළල් පිළිබඳව නිරීක්ෂණය කරන ලෙස එමගින් ඉල්ලා සිටියේය. සමහරවිට එම දරුවෝ එවැනි උපන් ලප හෝ සිරුරේ ආබාධිත තත්ත්වන් හෝ පිළිබඳව කිසියම් අනාවරණයක් සිදු කරන්නේද යන්න විමසිල්ලෙන් පරීක්‍ෂා කරන ලෙසද මහාචාර්ය ස්ටීවන්සන් දෙමාපියන්ගෙන්ද ඉල්ලීමක් කළේය. 

 
මේ අයුරින් දරුවන්ගේ සිරුරුවල උපතින් දක්නට ලැබෙන ඇතැම් උපන් ලප පෙර භවයට දැඩි සබඳතාවක් ඇති බැව් පුනර්භව පර්‌යේෂණයේදී දක්නට ලැබෙන අතර පෙර භවය සනාථ කරනු ලබන ප්‍රබල සාක්කි බවට ද පත්වී තිබේ.  

 

 සටහන : 
තිස්ස ජයවර්ධන