දෛවයට ඔච්චම් කර ජීවිතය ජයගත් මිනිස්සු
කෙනෙකු ගේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ හැකියාව සහ දක්ෂතාව මත යැයි යමෙක් පවසන්නට පුළුවන්. නමුත් ඒ හා සමානව උනන්දුව සහ කැපවීම නැත්නම් සාර්ථකත්වයට ළඟා වන්නට බැහැ. ඒ සියල්ලක් එක්කම ශරීරාරංග හොඳින් ක්‍රියාකරන ඕනෑම වැඩක් පහසුවෙන් කර ගැනීමට හැකියාව ඇති අය බොහෝමයක් අප දැක ඇතත්, ඒ මිනිසුන් අතර ජීවිතයේ හරියාකාර අරමුණක් ඉලක්කයක් නැති මිනිසුන් ඕනෑ තරම් අපට මුණ ගැහෙනවා. අද කියන්න යන්නේ ගතින් අාබාධිත වුවත් - සෞඛ්‍යාබාධයන්ට අභියෝග කළ, අහිමිවීම් තමන්ගෙ ජීවිතයට ආශීර්වාදයක් කරගත් දියණියක් පිළිබඳවයි.කෑගල්ල බුලත්කොහුපිටියෙන් හමුවුණ ඇය නමින් කණිෂ්කා සෙව්වන්දි යි.
කෙනෙකුට දෙයක් ලැබෙද්දි තවකෙකුට දෙයක් අහිමි වෙනවා. එයයි ලෝක ස්වභාවය.* කණිෂ්කා කතාව අරම්භ කළේම හරි අපූරු වැකියකිනි.
කුඩා කාලයේ පටන් ස්නායු ආබාධයකින් පෙළුණු ඇය අනෙක් ළමුන් මෙන් නිසි ක්‍රියාකාරකම් නොකළ ළමයෙකි. පෑනක් පැන්සලක් වත් හරියාකාරව ඇල්ලීමට අපහසු ඇය අද වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියේ අවසන් වසර ශිෂ්‍යාවක් ලෙස කටයුතු කරන්නීය .
කුඩා කල සිටම ප්‍රතිකාර මධ්‍යයේ ජිවීකාව ගෙවූ ඇයගේ ශක්තිය වූයේ දෙමාපියන් ය. විශ්වවිද්‍යාල වරම් ලබන තුරු තමන්ට ශක්තියක් වූ තාත්තා ද ඇයට අහිමි වන්නේ මවගේ ශක්තිය පමණක් ඉතුරු කරමිනි. තමන්ගේ සිහින යථාර්ථයක් කරගන්නට තම ආබාධය පවා දිරිමත් කිරීමක් බව ඇය හරි අපූරුවට අපට මෙලෙස පැහැදිලි කළාය.
“මගේ පවුලේ අම්මායි තාත්තායි අක්කායි මමයි. ගෙදර ආර්ථික ශක්තිය වුණේ තාත්තා. මම උපතින්ම ස්නායු ආබාධයක් සහිත ළමයෙක්. පොඩි කාලෙ ඉඳන්ම සාමාන්‍ය ළමයෙක් විදියට නෙවෙයි හැසිරුණේ කියල අම්ම මට කියල තියෙනවා.මට අනික් ළමයින්ට වගේ වේගයෙන් ලියන්න බැහැ. හරියට ඇවිදගන්න වත් බැහැ. අම්මයි තාත්තයි තමයි බෙහෙත් කරන්න එක්කන් යන්නෙ.මාව මුලින්ම එක්කන් ගියේ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ පිසියො තෙරපි කරන්න. එදා ඉඳල අද වෙනකන් ම මම ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට යනවා. ගෙදර ඉඳලා පාරට මීටර් තුන්සියයක් විතර පයින් එන්න ඕන. රෝහලට යන දවසට පාන්දර තුනට විතර 4.30 බස් එක අල්ල ගන්න පාරට යන්න ඕන. අදටත් එහෙමයි . ඒ දවස් වලට තාත්ත මාව කරේ තියාගෙන තමයි පාරට එක්ක යන්නේ. උපන්දා සිට අද වෙනකන්ම මම ස්නායු රෝගයට බෙහෙත් බොනවා. මාව සනීප කරගන්න අම්මායි තාත්තායි නොවිඳිනා දුක් වින්දා අදටත් විඳිනවා.”
“මම ආබාධිත දරුවෙක් වුණත් තාත්ත නිතරම හීන දැක්කේ මාව කොහොම හරි විශ්වවිද්‍යාලයට යවන්න. මගේ දුබලතාවත් එක්ක එය බලාපොරොත්තු විරහිත වුණත් තාත්තා ඒ හීනය ඇතුළේ හැමදාම ජීවත් වුණා.”
දෙමාපිය පිළිසරණ පමණක් ම තිබුණු කණිෂ්කාට ජීවිතේ ගොඩ ගසාගත් සිහින බලාපොරොත්තු එකවරම කඩා වැටෙන්නේ 2019 දී ය. ඒ ඇයගේ ජීවිතයේ සුවිසල් ශක්තියත් ධෛර්යත් වූ පියා නොසිතූ මොහොතක ජීවිතය හැර ගිය මොහොතේය.
“තාත්ත වැඩ කළේ RDA එකේ. කොරෝන කාලෙදි හාට් ඇටෑක් එකකින් තාත්ත නැති වෙනවා. ඊට පස්සේ ජීවත් වෙන්න අම්මාට මාත් එක්ක ආර්ථික සටනට මුහුණ දෙන්න වුණා දරුණුවටම. අම්ම ඇඳුම් මහන්න ගත්තෙ ඊට පස්සෙ. මොන අඩුපාඩුව තිබුණත් අම්ම කොහොම හරි මගේ වැඩටික කරල දුන්නා. තාත්තගේ වියෝව මගේ ජීවිතේ දරුණු හිස්තැනක් වුණා. ඇත්තම කියනවා නම් මම මොකද්ද කරන්න ඕන කියලා කිසිම අදහසක් තිබුණ් නැහැ තාත්තාගේ මරණෙන් පස්සේ. තාත්තා මම වෙනුවෙන් නොසෑහෙන්න දුක් වින්දා. මම වගේ ළමයෙක් ලැබීම අපහසුතාවක් කියල කවදාකවත් අම්මාගෙයි තාත්තාගෙයි ඇස්වලින් මම දැක්කෙ නැහැ .ඒත් මම ජීවිතේ දිනන්න ඕන කියන හැඟීම ඒ දෙන්න ගෙ හිනාව ඇතුළෙ හැංඟිලා තිබුණා .ඒ හිනාව දකින හැම වෙලාවකම මම හිතනව කවදම හරි පියවි ලෝකයේ මාව බලන් ඉන්න අම්මගෙත්, මාව නොදකින තාත්ත ගෙත් සිහින යථාර්ථයක් කරන්න ඕනමයි කියල.”
අතපය වාරු නැති ඇය අද කැලණිය විශ්වවිද්‍යාල අවසන් වසරේ සිසුවියක්
උපතින්ම උරුමවූ ආබාධය ආශීර්වාදයක් කරගත් ඇය පියාගේ බලාපොරොත්තුව සිහිනය සැබෑ කළේ - 2020 වසරේ දී උසස් පෙළ විභාගයෙන් කෑගල්ලෙන්ම එකසිය පහළොස් වෙනියා ලෙස කිරුළ දරමින්ය. ග්‍රැෆික් ඩිසයිනින්ග් පිළිබඳවත් දස්කම් පානා ඇය අදවන විට කැලණිය විශ්වවිද්‍යාලය තුළ කාගේත් නොමද ආදරයට පාත්‍ර වූ ශිෂ්‍යාවක ලෙස කාගේත් කතාබහට ලක්වන බව නම් නොරහසකි. එවැනි සෞඛ්‍යාබාධ සහිත දරුවකු ගේ මානසික මට්ටම පිළිබඳව ද සලකා බැලීම ඉතා වැදගත් ය. මක් නිසාදයත් ශාරීරිකව මෙන්ම මානසිකවද ඇය බොහෝ දුශ්කරතා විඳින්නට ඇත. සාර්ථකත්වයට ළඟා වීමේ දී නොයෙකුත් තාඩන පීඩනවලට මුහුණ දීමට සිදුවීම නම් කොතෙකුත් අප අසා ඇත. දැක ඇත. එකී අඳුරු අතීතය ඇය සිහිපත් කළේ ඉතා සංවේගයෙනි.
“ඉස්සර හැමදාම මාව ඉස්කෝලෙ එක්කන් ගියේ අම්ම හෝ තාත්ත. ඊටත් පස්සෙ අක්කත් එක්ක යන්න පටන් ගත්ත. මට හරියට ඇවිද ගන්න බැහැ. කවුරු හරි ඉන්නම ඕන.එහෙම නැත්නම් වැටෙන්න යනවා. ඉස්කෝලෙ දෙක වසරෙදි තුන වසරෙදි යාළුවො මාව සෙල්ලම් කරන්න වත් ගත්තෙ නැහැ. &බකලි බකලි* කියල විහිළු කරා.මම ඉතිං බලන් ඉන්නව එයාල සෙල්ලම් කරන දිහා. ඉස්කෝලෙට එක එක වැඩ කරල ගේන්න කියනව. වැඩපොත් ගේන්න කියනව. ඒ පොත බලලා ඇගයීමට බැජ් එකක් ලැබෙනවා. මම දවසක් ඒ වැඩ පොත ගොඩාක් ලස්සනට හදා ගෙන ගියා. ඒත් මට ඒ බැජ් එක ලැබුණෙ නැහැ. එදා මට මම ගැනම ලොකු දුකක් කලකිරීමක් දැනුණා. හැමදේම දරාගන්න මට පොඩි කාලේ ඉඳලා ශක්තිය ආවේ කොහෙන්ද කියන්න මම දන්නෙ නෑ .
ඒ වගේම හය වසරෙදි පරිසර නියමු භට කණ්ඩායමට ඇතුළත් වීමට ආසාවක් තිබුණත් මාව ගත්තෙ නැහැ. පොඩි කාලෙදි ගොඩාක් තැන්වලදි මාව කොන් වුණා. මම හැමදාම හිටියේ ලියන්න බැරි ළමයි ගොඩේ. සාමාන්‍ය පෙළ ලියන කාලෙදිත් එහෙමයි. සමහර යාළුවො හිටියා උදව් කරපු.ගොඩාක් හිටියේ මාව කොන් කරපු අය. ඉස්සර ගමේ යද්දි සමහර මිනිස්සු මාව දැකල අහක බලා ගන්නවා. දැක්කත් මූසලයි කියල. අදටත් ගමේ හැම ගෙදරකටම යන පාරවල් හදල දීලා තියෙනවා. අපේ පාර විතරයි හදල නොදුන්නෙ. මට වෙලාවකට හිතෙනවා අපි හැමෝම මැරෙන මිනිස්සු. ඇයි මේ මිනිස්සු අපිට මෙහෙම කරන්නෙ කියලා. මම මගේ ජීවිතේ තනියම අඬපු තැන් ගොඩාක් තිබුණා. මම කැමති නැහැ ඒ වේදනාවත් අම්මලාට දෙන්න. පොඩි කාලෙ නම් ඇඬුව, ජීවිතේම එපා වුණු තැන් තිබුණා. මේ ලෝකෙ කිසිම දරුවෙක් මොනම ආබාධයක් සහිතවත් උපදින්න හොඳ නෑ කියලයි මට නිතරම හිතුණේ. ඒත් ටිකක් දැනුම් තේරුම් ඇති වයසට එද්දි මම ඒ හැමදේම ශක්තියක් කරගන්නව කියල හිතාගත්තා.ඒ කඳුළු අද ආශීර්වාදයක් වෙලා මගේ ළඟට ඇවිල්ල තියෙනවා.”
සියල්ලක්ම ඉවසා ගෙන තමන්ගෙ ගමන හරි අපූරුවට නිශ්ශබ්දව යනවා කියන්නෙ හිතේ පවතින්නා වූ ශක්තියේ ප්‍රමාණය යැයි කිවහොත් එය සත්‍යතාවයකි. එයට හොඳම උදාහරණය නම් කණිෂ්කාය. කුමන තාඩන පීඩන මධ්‍යයේ වුව ද ඇගේ සාර්ථකත්වයට ඇය ළංවෙමින් හිඳින්නේ ගල් මුල් රළු බොරලු තිබුණත් අතරමග - යායුතු තැනට යනවාමයි ගලන ගඟ යන වැකිය ද පාඨකයාට පසක් කරවමිනි.
පාදවල මෙන්ම ස්නායු ආබාධ සහිතවත් ඇය අද වනතුරු තම අධ්‍යාපනික කටයුතු කිසිදු අවහිරතාවකින් තොරව හරි අපූරුවට සමබර කරගත් ආකාරය ගැන මෙසේ පැහැදිළි කළාය.
“උසස් පෙළ ලියන කාලෙදි මම අමතර පන්ති ගියේ නැහැ.මාස තුනක් වගේ තමයි භූගෝල විද්‍යාවට පන්ති ගියෙත්. ඉස්කෝලෙ ධම්මිකා ,අමිත, ශ්‍යාමලී කියල මිස්ල සර්ල තුන් දෙනා තමයි මාව ගොඩ දැම්මෙ. ඒ මගපෙන්වීම යටතේ තමයි උසස් පෙළ එකපාරින්ම සමත් වෙන්න හැකියාව ලැබුණෙ. නමුත් දිසාපති කෙනෙක් වීමේ සිහිනයක් මුලින්ම මට දුන්නෙ රුවන් අසංක ද අල්විස් සර්.මට ඉස්සර ගණිතය විෂය බැහැ. අක්ක තමයි මාව මුලින්ම අසංක සර් ළඟට එක්ක ගියේ. සර් මාව භාරගත්ත මන් මෙයාව කොහොම හරි ගොඩදාල දෙන්නම් කියලා.ඊට පසුව මට සාමාන්‍ය පෙළ විභාගයේ ගණන් විෂයට බී සාමාර්ථයක් ලැබුණා. ඔය ඉන්න අතර වාරයේ තමයි දිසාපති කෙනෙකු වීමේ සිහිනයට සර් මාව යොමුකළේ. එදා ඉඳන් අද වෙනකන් රැයක් දවාලක් නැතුව මම ඒ හීනය පස්සෙ දුවනව. උසස් පෙළ කාලෙදිත් ඉස්සර වගේමයි මට අකුරක්වත් ලියාගන්න බැහැ වෙලාවට. මම කළේ ඉස්කෝලෙ ගියපු එක විතරමයි. ඉස්කෝලෙදි කියන ඒවා පැන්සලෙන් වෙනම කොළයක ලියා ගෙන ඇවිල්ල ගෙදරදි හෙමිහිට ලස්සනට පොතේ ලියා ගන්නව. සාමාන්‍ය පෙළ විභාගයට වගේම උසස් පෙළ විභාගෙදිත් පැයට විනාඩි දහය ගානෙ අමතර වේලාවක් මට ලැබුණා.වාර පරීක්ෂණවලට නම් එහෙම අමතර වෙලාවල් ලැබුණෙම නෑ. කැම්පස් එකේදි මෙඩිකල් රිපෝට්ස් පෙන්නල රයිටර් කෙනෙක්ව ගත්තා.”
“ඒත් මගේ උත්සාහය මම අත් හැරියෙ නැහැ. රැයක් දවාලක් නොබලාම පාඩම් කරා. පාඩම් කරල ඉවර වෙනකන් අම්මයි අක්කයි තමයි ඇහැරගෙන ඉන්නෙ. කවුරුහරි කියනවා නම් අපි වගේ අාබාධිත ළමයින්ට ඉස්සරහට එන්න බැහැ කියලා, ඒක මුසාවක්. හැකියාව වගේම අධිෂ්‍ඨානය කැපවීම උනන්දුව තියෙනව නම් ඕනෑම කෙනෙකුට අභියෝග කියන දේ ලේසියෙන්ම ජයගන්න පුළුවන්. මට ඕන කවදම හරි පෑන පැන්සලක්වත් හරියට අල්ලගන්න බැරුව තිබුණ මගේ ජීවිතේ පෑන පැන්සලෙන් ම ජයගන්න. අනික් ළමයි වගේම ලෝකය දිනල පෙන්වන්න.ඉගෙනීම කියන්නෙ අපි වගේ ළමයින්ට අත්තටු කියල කවදහරි දවසක මේ ලෝකෙටම ඇහෙන්න කෑගහල කියන්න.”
“ඉස්කෝලෙ දෙක වසරෙ දි තුන වසරෙ දි යාළුවො මාව සෙල්ලම් කරන්න වත් ගත්තෙ නැහැ. බකලි බකලි කියල විහිළු කරා. ඒ වගේම හය වසරෙදි පරිසර නියමු භට කණ්ඩායමට ඇතුළත් වීමට ආසාවක් තිබුණත්, මාව ගත්තෙ නැහැ. පොඩි කාලෙදි ගොඩාක් තැන්වල දි මාව කොන් වුණා. මම හැමදාම හිටියේ ලියන්න බැරි ළමයි ගොඩේ . සාමාන්‍ය පෙළ ලියන කාලෙදිත් එහෙමයි. සමහර යාළුවො හිටියා උදව් කරපු.ගොඩාක් හිටියේ මාව කොන් කරපු අය.”
ඇඳුම් මසා හම්බ කරන මුදලින් තමන්ගෙ විශ්වවිද්‍යාල කටයුතු කිසිදු අඟ හිඟකමකින් තොරව ඉටුකර දෙන්නට කණිෂ්කාගේ මව වෙහෙසෙයි. අක්කාත් ඇගේ සැමියාත් ලබාදෙන සහය ඊට නොදෙවෙනිය. ඒ සියලු රැකවල් යටතේ ඇය අද වන විට විශ්වවිද්‍යාලය තුළ කැපී පෙනෙන චරිතයක් වී හමාරය. ලොවක් දිනන්නට වෙර දරනා ළමුන් අතර කණිෂ්කා සුවිශේෂීය. කුඩාකල සිටම හරියාකාරව ඇවිද ගන්නටවත් අකුරක් ලියා ගන්නටවත් හැකියාවක් නො ලද ඈ විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමනාකරණ ශිෂ්‍ය සංගමය පිළිබඳ කර්තෘවරිය ලෙසත් , ග්‍රීන්ස්පයර් සමාජයේ මහජන සම්බන්ධතා සහ ලකුණු කිරීමේ අධ්‍යක්ෂවරිය ලෙසත් එමෙන්ම, සීරෝ ප්ලාස්ටික් සමාජයේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂවරිය ලෙසත් දැනට කටයුතු කරමින් සිටින්නීය.
නොයෙකූත් සැප සම්පත් ලැබූවත් තම හැකියාවෙන් ඵල නෙළා නොගන්නා බොහෝමයක් අතරේ , තම අරමුණු අතරමග අත් හරිනවුන් අතරේ කණිෂ්කා කියන්නෙ මේ සමාජයට මහත් වූ ආදර්ශයක් සපයන ශිෂ්‍යාවකි. ඇවිද ගන්න බැරුව,පෑනක් පැන්සලක් නිසියාකාරව අල්ලා ගැනීමටවත් නොහැකි වුණු ඇයට, තමන්ගේ පවුලෙන් එවැනි ශක්තියක් නොලැබුණා නම්, උසස් පෙළ කාලේදී ඉගැන්වීම් කටයුතු සිදුකළ පාසලේ ගුරුවරුන් ගෙන් මෙන්ම අසංක සර් වැනි ගුරු දෙවිවරුන් නොසිටින්නට ඇගේ ජීවිතය ඇයගේ හැකියාව අඳුරේම මිලින වන්නට ඉඩ තිබුණි. කුඩා කල එල්ල වූ තාඩන පීඩන හමුවේ ඇගේ ගමන නතර කරන්නට ඇයට තිබුණි. කිසිදු බාහිර බලවේගයක් හමුවේ ඇය නොසැලී ඉන්ද්‍රඛීලයක් ලෙස අනෙක් සාමාන්‍ය ළමුන් මෙන් ජීවිත රේස් එක දුවමින් සිටින්නීය.