ඉන්දියාවේ වඩාත්ම ආක්‍රමණශීලී නායකයාගේ නික්මයාම


 

ඉන්දියාවේ වඩාත් ම සාර්ථක ටෙස්ට් ක්‍රිකට් ත‍රග නායකයා තම තනතුරෙන් ඉවත් ව යාමට පසුගිය දා තීරණය කොට ඇත. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි සහ තේරීම් කමිටු ප්‍රධානි චේතන් ශර්මා පමණක් නොව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හෝ එහි පුහුණුකරු වන රාහුල් ද්‍රාවිඩ් හෝ ඔහුගේ ඉවත් ව යාම පිළිබඳ ව ඉඟියකින් හෝ දැනුම්වත් වී නොමැති බව වාර්තා වේ.   

දකුණු අප්‍රිකාවත් සමඟ පැවති ටෙස්ට් තරගාවලිය තරග වට 2-1 වශයෙන් පරාජයට පත් වීමෙන් පසු 2022 ජනවාරි මස 14 වන දින සවස විරාත් කෝලි විසින් තම කණ්ඩායමට පවසා තිබුණේ තමාට දැන් මේ තනතුරෙන් ඉවත් ව යාමට කාලය එළඹ ඇති බවයි. ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවට මේ පිළිබඳ ව කෝලි දැනුම් දුන් පසු ඔවුන්ට අවශ්‍ය වූයේ තවදුරටත් ඔහු එම තනතුරේ කටයුතු කරනු ලැබීමට වුවත්, තමා ඉවත් ව යාමට තීරණය කොට අවසන් බැව් ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ලේකම්වරයාට දැනුම් දී ඇත.   
නායකයකු වශයෙන් වසර හතක කාල සීමාව තුළ කෝලි සිය නායකත්වය යටතේ මුහුණ දුන් තරග 68න් 40ක් ජයග්‍රහණය කරවීමට සමත් ව ඇත. එසේ ම, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේ‍ණිගත කිරීම් තුළ ඉන්දියාව ඉහළට ම ගෙන ඒමට මෙන් ම, ආරම්භක ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය තෙක් තම කණ්ඩායම මෙහෙයවීමට ද කෝලි සමත් ව ඇත.   


”‍මම කරන සෑම දෙයක් ම මගේ උපරිමයෙන් සියයට එකසිය විස්සක් හොඳින් ඉටු කිරීමට මම උත්සාහ කරනවා. මට ඒ දෙය කරගන්න බැරි වුණොත් ඒක මට නොගැළපෙන දෙයක් කියලා මං තේරුම් ගන්නවා. මම මගේ හෘද සාක්ෂියට එකඟ ව වැඩ කරන ක්‍රීඩකයෙක්, මට බැහැ මගේ කණ්ඩායමට වංක වෙන්න”‍ ට්විටර් පණිවිඩයක් තබමින් ඔහු පවසා ඇත. ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට, තම කණ්ඩායම් සාමාජිකයන්ට, හිටපු පුහුණුකරු වන රවි ශාස්ත්‍රිට, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩලයට සහ හිටපු නායක එම්.එස්. දෝණිට ද ස්තූතිවන්ත වන බව පැවසුවේ ය.   


කෝලිගේ මෙම තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ මත පළ කර ඇත. හිටපු ඉන්දීය ක්‍රිකට් නායක කපිල් දේව් THE WEEK සඟරාව වෙත පවසා ඇත්තේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන කෝලිගේ තීරණයට සියලු‍ දෙනා ගරු කළ යුතු බවයි. එසේ ම හිටපු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරුවකු වන මදන් ලාල් ප්‍රකාශ කළේ නායකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණය කෝලිගේ පෞද්ගලික තීරණයක් බැවින් එය පිළිගැනීම සියලු‍ දෙනාගේ යුතුකම බවයි. කෙසේ වුවත්, කෝලි එම තීරණය තවත් වසරකට පසු ව ගත්තේ නම් වඩාත් යහපත් වනු ඇතැයි ද හෙතෙම තවදුරටත් පැවසුවේ ය.   


ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති කිරන් මෝරේ වඩාත් ප්‍රායෝගික අදහසක් THE WEEK වෙත ඉදිරිපත් කර ඇත. “මම හිතන්නේ සෑම ක්‍රීඩකයකු ම මේ හා සමාන අවස්ථාවන්ට මුහුණ දෙනවා. කෝලි වසර හතක් පුරාවට දක්ෂ නායකයකු වශයෙන් ඉන්දියාව වෙනුවෙන් කැප වී සේවය කළා. නායකයකු වශයෙන් කටයුතු කරන විට ඕනෑම තැනැත්තකු පීඩනයකට ලක් වෙනවා. මේ තීරණය කෝලිගේ පෞද්ගලික තීරණයක් මිස තේරීම් කමිටුවේ තීරණයක් නොවේ. රාහුල් ද්‍රාවිඩ් ද ඉන්දීය කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ කාලයේ මෙවැනි ම තිරණයක් ගෙන තිබෙනවා.” 

 
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කෝලීගේ තීරණයට මනා සං‍යමයකින් යුතු ව ප්‍රතිචාර දක්වා එය පිළිගෙන ඇත. එහි සභාපති ගංගුලි අවධාරණය කරන ලද්දේ එය කෝලිගේ පෞද්ගලික තීරණයක් ම වන බවයි. “කෝලි තවදුරටත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරිපෙළ සාමාජිකයකු වශයෙන් ක්‍රීඩා කරනු ඇත. නව නායකත්වයක් යටතේ පිත්තෙන් තමන්ට ලබාදෙන්න පුළුවන් උපරිම දායකත්වය ඔහු අනිවාර්යෙන් ම ලබා දෙනු ඇත.” ඔහු පැවසුවේ ය.     


නායකත්වයෙන් ඉවත් ව යාමට කෝලි ගත් තීරණය පිළිබඳ ශාස්ත්‍රී දැක්වූ අදහස මගින් නොකියූ බොහෝමයක් දෑ ගම්‍ය වේ. “විරාත්, ඔබට ඔබේ හිස කෙළින් තබාගෙන බිය සැක නොමැති ව ඉවත් ව යාමට පුළුවන්.” ට්විටර් පණිවිඩයක් මගින් ඔහු ප්‍රකාශ කොට ඇත, “කිහිප දෙනෙකු ඔබ නායකයකු වශයෙන් කළ කී දෑ සඟවා ඇත. නිසැකව ම ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ වඩාත් අක්‍රමණශීලී පමණක් නොව වඩාත් සාර්ථක නායකයා ඔබයි. අප එක් ව ගොඩනැගූ කණ්ඩායම මෙය නිසා මට අද පෞද්ගලිකව අතිශයින් කනගාටු දිනයකි.” ශාස්ත්‍රී, කෝලි විසින් පසුගිය සැප්තැම්බර් මස අතහරින ලද විස්සයි විස්ස කණ්ඩායම් නායකත්වය පිළිබඳව ද මේ ආකාරයෙන් ම අතෘප්තියට පත් වූ බව ද වාර්තා විය. 

 
මේ අතර, කෝලිගේ සිත් වේදනාවට හේතු වන පරිදි ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එක්දින තරග නායකත්වයෙන් ද කෝලි ඉවත් කොට රෝහිත් ශර්මා නව එක්දින තරග නායකයා වශයෙන් පත් කර ඇත.   
සෑම දෙයක් පිළිබඳව ම සලකා බැලීමේ දී ඉන්දියාවේ වඩාත් සාර්ථක ම ටෙස්ට් ක්‍රිකට් නායක කෝලිට නික්ම යාමට නිවැරදි ම කාලය මෙය බව පෙනී යයි. ඔහුගේ කෝණයෙන් බැලූ විට, නායකයකු වශයෙන් ඔප්පු කිරීමට කිසිවක් නොමැති බවට තර්ක කිරීමට හැකියාව ඇත. ඔහු පැවසුවේ තමන්ට ඉන්දියාව ටෙස්ට් තරග අතර ප්‍රමුඛයා කිරීමට අවශ්‍ය වූ බවත්, තම කණ්ඩායම ලෝකයේ දක්ෂ ම කණ්ඩායමක් බවට පත් කිරීමට තමා ගත් උත්සාහය සාර්ථක වූ බවත් ය.   


තිස්තුන් හැවිරිදි කෝලී නායකත්වයෙන් ඉවත් ව යන විටත්, දකුණු අප්‍රිකා තරගය අහිමි වුව ද, ඉන්දියාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතර ඉහළින් ම සිටී.   


කෝලිගේ නොනවතින කුසලතාවේ රහස වන්නේ ඉහළ ආත්ම විශ්වාසය, ආක්‍රමණශීලීත්වය, කණ්ඩායම අතර කණ්ඩායම් හැඟීම ඇති කරවීමයි.   


හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවකු වන වසීම් ජැෆර් ජනවාරි 15 වන දින ඔහු විසින් පළ කරන ලද ට්විටර් පණිවිඩයේ කෝලිගේ බලපෑම පිළිබඳ අපූරුවට ඉදිරිපත් කර තිබිණ. “විරාත් ඉන්දීය කණ්ඩායමේ නායකයා වශයෙන් පත් වූ කාලයේ විදෙස් තරගයක් ජයග්‍රහණය කිරීම ඉන්දිය කණ්ඩායමේ කැපී පෙනෙන ජයක් විය. අද වන විට ඉන්දීය කණ්ඩායම විදෙස් තරගයක් පරාජයට පත්වීම සැවොම කනස්සල්ලට පත් කරන කරුණක් බවට පත් ව ඇත. එතරම් දුරකට ඔහු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඉදිරියට රැගෙනවිත් ඇත.”

 

 

(ද වීක් ඇසුරිනි)   
ඉෂානි උපේක්ෂා ධර්මපාල