ආහාර උද්ධමනයෙන් ලෝකෙන්ම පහ මන්දපෝෂණයෙන් ලෝකෙන්ම දෙක


හොඳට කළා කියමින් රටම වනසපු කෘෂි ඔස්තාර්ලා

  • රසායනික එපා කියලා මෙරට වගා කළ හැකි බෝග රටින් ගෙන්වලා
  • ලංකාවේ ජනගහනයෙන් සියයට 60ක් කන්නේ දෙවේලක් පමණයි
  • ජනාධිපතිගේ පිහිනුම් තටාකේ නාලා ලැජ්ජා වුණා කියපු අපි මේකෙන් විලි ලැජ්ජාවට පත් වුණා
  • සැලැසුමක්, ප්‍රතිපත්තියක් නැතිව 2021 පාලකයෝ කෘෂිකර්මාන්තයම විනාශ කළා
  • 2021 වසරේ විතරක් සහල්, අල, බී ලූනූ, රතු ලූනූ, වියළි මිරිස්, කව්පි, බඩඉරිඟු ගෙන්වන්න රුපියල් 64,938,605,196.00ක මුදලක් නාස්ති කරලා
  • මැයි මාසයේ ආහාර උද්ධමනය සියයට 75.8යි

ලෝක බැංකුව මගින් නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වෙන්නේ ආහාර උද්ධමනය පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව පස්වැනි තැනට පත්ව තිබෙන බවය. එසේම, යුනෙස්කෝ සංවිධානය විසින් පසුගියදා ප්‍රකාශ කළේ, ලෝකයේ සහ ආසියාවේ මන්දපෝෂණය ඇති රටවලින් ලංකාව දෙවැනි තැනට පත්ව ඇති බවය. ලංකාවේ ජනගහනයෙන් සියයට 60ක් ආහාර වේල තුනෙන් එකක් අත්හරින බව ඇ.එ.ජ. කොංග්‍රස් මණ්ඩලය ද පසුගියදා නිවේදනය කර තිබුණි. එසේම, ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 63ක් ආහාර ආරක්ෂිතභාවයට මුහුණ දී සිටිති. තවත් ලක්ෂ 67ක් ප්‍රමාණවත් ආහාර වේලක් අනුභව නොකරති. 

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 මැයි මාසයේ ආහාර උද්ධමනය සියයට 75.8කින් ඉහළ ගොස් ඇත. ලංකාවේ ගර්භණී කාන්තාවන් සඳහා ලබාදෙන වවුචර් නිරීක්ෂණය කළ ලෝක ආහාර වැඩසටහන තවත් ප්‍රකාශයක් නිකුත් කෙරුණි. ඒ, ආර්ථික අර්බුදය හේතුවෙන් ගර්භණී කාන්තාවන්ගෙන් සියයට 84කගේ මුළු ආදායමින් කොටසක් අහිමි වී ඇති බවය. ලංකාවේ පවුල් 10න් 9කටම මාසික ආදායම රුපියල් 50,000ට අඩුය. ප්‍රතිලාභීන් මතු කර තිබූ ගැටලු‍ සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ ඔවුන්ගෙන් සියයට 93කගේ ප්‍රධාන ගැටලු‍ව ආහාර මිල ඉහළ යාම බවය. 


කෘෂිකාර්මික රටක් වූ ලංකාවේ අද තත්ත්වය ඉතා ඛේදජනකය. අද ජනතාවට සිදුව ඇත්තේ ගොවිතැන් කරනවා වෙනුවට දරුවන් සමග පාරට බැස උද්ඝෝෂණය කිරීමය. ඒ වේලාවේදී ආණ්ඩුව කළේ ජනතා ප්‍රශ්නවලට පිළිතුරු සොයනවා වෙනුවට උද්ඝෝෂණය කළ අයව ත්‍රස්ත මර්දන පනත මගින් අත්අඩංගුවට ගැනීමය. මේ රටේ මුදල් කාබාසිනියා කළ නිලධාරීන් මෙන්ම දේශපාලකයින් ද තවමත් එළිපිට සිටින මොහොතක බඩගින්නට කන්න දෙයක් ඉල්ලූ ජනතාව සිරගත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව කේ.බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. ජනාධිපතිවරයාගේ නිල නිවසේ පිහිනුම් තටාකයෙන් සබන් ගා නාලා ලෝකය හමුවේ ලැජ්ජාවට පත් වූ බව ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කොට තිබුණි. එසේ නම්, දැන් මන්දපෝෂණයෙන් දෙක සහ ආහාර අහේනියෙන් ලෝකයෙන්ම පහ වූ එකට අපි විලිලැජ්ජා විය යුතු බව කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. 


කිසිදු පොහොරක් නොගෙන චීන නැවට ඩොලර් මිලියන 69ක් ගෙව්වේ රටේ ජනතාවගේ වරදින් නොවේ. එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ගැනීමට තවම නොහැකි වූයේ මිනිසුන්ගේ වරදින් නොවේ. ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගියේ රටේ ජනතාවගේ වරදින් නොවේ. මහ බැංකුව හොරා කෑවේ රටේ ජනතාව නොවේ. සීනි බදු වංචා කළේ රටේ ජනතාව නොවේ. සුදු ලූනූ වංචාව කළේ රටේ ජනතාව නොවේ. මේ පසුගිය කාලයේ අපේ රටට ඩොලර් ආදායම අහිමි කළ සිදුවීම් කිහිපයක් පමණි. මේවායින් සමහරු කොමිස් ගැහූහ. පගා ගත්හ. නමුත් කිසිදු වරදක් නොකළ ජනතාව ඉන් බැට කෑවෝය. අන්තිමට ජනතාවට කන්න බොන්න දෙයක් නැති තරමට අසරණ කිරීමට ඉන්න සහ හිටපු පාලකයෝ ක්‍රියා කළ බව කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. 

 


රටේ ප්‍රශ්න ඒ තරමට උග්‍ර වී තිබේ. මෙරට කෘෂිකර්මාන්තය කඩා වැටීම ආරම්භ වූයේ 2021 අප්‍රේල් 30 වැනිදා සිටය. ඒ, රජය හදිසියේ ගත් රසායනික පොහොර ආනයනය කිරීම තහනමේ තීන්දුවත් සමගය. මේ නිසා කෘෂිකර්ම නිෂ්පාදන පහත වැටුණි. 2021/22 මහ කන්නයේ වී අස්වැන්න සියයට 50කින් පහත වැටුණි. නිසි කෘෂිකර්ම සැලැස්මක් නොමැති නිසා කෘෂිකර්ම ක්ෂේත්‍රය අගාධයකට වැටුණි. මේ නිසා ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල විය. 2021 වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 3.6ක් පැවැතුණි. 2022 එය සියයට 2.6 දක්වා පහත වැටෙන බව අන්තර්ජාතික මූල්‍ය අර්බුදය අනාවැකි ද පළ කොට ඇති බව කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. 


ආර්ථික අගාධයේ සිටින අනෙක් රටවලට වඩා පහළ මට්ටමකට ලංකාව අද පත්ව ඇත. මෙයට රජය මෙන්ම ජනතාව ද වගකිව යුතු බව කේ.බී. ගුණරත්න මහතා පවසයි. රජයට හරි ප්‍රතිපත්තියක් නැත. දැක්මක් නැත. රට ගැන හැඟීමක් නැත. ලංකාවේ කෘෂිකර්ම නවෝදයක් අන්තිමට ඇති වූයේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදීය. එදා මහවැලි ව්‍යාපාරය පටන්ගෙන නොතිබුණා නම්, අද අපට කන්නවත් ලැබෙන්නේ නැත. විදුලිය නැත. එම නිසා මහජනතාවට වගකිව යුතු ඕනෑම රජයක මූලික අවශ්‍යතාව වන්නේ, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම බව කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. 
අද මෙරට ජනතාව සෑම දෙයක්ම නොමිලේ ලබා ගැනීමට පුරුදුව ඇත. නොමිලේ සහනාධාර දී රටක් ගොඩ ගැනීමට බැරිය. නොමිලේ සහල්, පොහොර ලබා දුන් පලවිපාක අද අපි අත්විඳ ඇත්තෙමු. පසුගිය කාලයේ නොමිලේ ලබා දුන් පොහොරවල ප්‍රතිඵලය අප තවම නෙළා ගෙන නැත. නමුත් අවසානයේ සිදු වූයේ පොහොර ගෙන්වීමට ඩොලර් මිලියන 8,000ක් සොයා ගැනීමට බැරි තැනට රටේ ආර්ථිකය පත්වීම බව කේ.බී. ගුණරත්න මහතා පවසයි. 


රුපියල් 18ට තිබූ බිත්තරය අද රුපියල් 62 සිට ඉහළ අගයක් ගනී. පාලන මිලක් දැම්මාට වෙළෙන්දන් පාලන මිලට බිත්තර විකිණීමට සූදානම් නැත. රුපියල් 500-600 සිට තිබූ කුකුළු මස් කිලෝව අද රුපියල් 1,500කි. රුපියල් 80ට තිබූ මඤ්ඤොක්කා කිලෝව අද රුපියල් 200කි. රුපියල් 70ට තිබූ සහල් කිලෝව රුපියල් 240කි. රුපියල් 87ට තිබූ භූමිතෙල් ලීටරය රුපියල් 340කි. පාන්පිටි කිලෝව රුපියල් 360කි. මේවායේ පාලනයක් කිරීමට රජයට කිසිදු වුවමනාවක් නැති බව කේ.බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. මේ නිසා වෙළෙන්දෝ හිතූ හිතූ මිලට භාණ්ඩ අලෙවි කරති. රජය හරි හැටි මිල පාලනයක් කරනවා නම් මේ භාණ්ඩවල මිල හරි අඩකින් අඩු කළ හැක. වී රුපියල් 90ට ගෙන සහල් රුපියල් 120ට දීමට පුළුවන. මීට රාජ්‍ය ප්‍රතිපත්ති, නීති රීති තදින් ක්‍රියාත්මක නොකළහොත් රට ගොඩගත නොහැකිය. එනිසා රජය කළ යුතු වන්නේ, ජනතාව ගැන සිතා නීති හා ප්‍රතිපත්ති සැකසීම බව කේ.බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. 


එලෙස ප්‍රතිපත්තියක් නොමැතිකම නිසා 2021 වසරේ කෘෂිකර්මාන්තය කඩා වැටුණි. 2020/2021 මහ කන්නයේ හෙක්ටයාර 770,240ක් වී වගා කොට ඇත. එයින් ලද අස්වැන්න මෙට්‍රික් ටොන් 3,061,394කි. යල කන්නය සඳහා හෙක්ටයාර 50,179ක් වගා කළ අතර, ඉන් ලද අස්වැන්න මෙට්‍රික් ටොන් 208,848කි. මේ කාලය තුළ ගොවීන් සතුව රසායනික පොහොර තිබූ අතර, යහමින් අස්වැන්නක් ලැබුණි. නමුත් 2021/2022 රසායනික පොහොර වගාවට ලැබුණේ නැත. මේ නිසා සහල් ආනයනය කිරීමට සිදු විය. 2021 වසරේ සහල් කිලෝ ග්‍රෑම් 147,011,347ක් ආනයනය කොට ඇති අතර, ඒ වෙනුවෙන් රුපියල් 14,680,281,196ක් වියදම් කොට ඇත. ආසන්න වශයෙන් ගත් කල 2021 වසර සඳහා පමණක් සහල් ගෙන්වීමට රුපියල් මිලියන 15,000ක් රජය වැය කර ඇත. මෙය කිසිසේත්ම සතුටු විය හැකි තත්ත්වයක් නොවන බව ද කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. රටේ කෘෂිකර්මාන්තය කඩා බිඳ හෙළා මුදල් නාස්ති කොට රසායනික යොදා වගා කළ සහල් ගෙන්වීම පැවැති රජයේ අනුවණකම මැනවින් ඔප්පු වන බව කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. 


රට සහලින් ස්වයංපෝෂිත කිරීමට හැකි වූයේ නම්, සහල් ගෙන්වීමට වියදම් කළ රුපියල් මිලියන 15,000 ඉතිරි කරගැනීමට හැකියාව තිබුණි. නමුත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව තිබුණේ නැත. 2022 මේ ඛේදජනක සිදුවීමට අපට මුහුණ දීමට සිදු වූයේ එහෙයිනි. අඩුම තරමේ 2022 යල හෝ යම් ප්‍රමාණයකට වගා කිරීමට රජයට සැලැසුමක් තිබුණේ නැත. ඉන්ධන ප්‍රශ්නය, පොහොර නොමැතිකම, බීජ නැතිකම, පලිබෝධ නාශක නැතිකම නිසා ගොවීහු වගා කිරීමට මැළි වූහ. මේ නිසා මෙවර යල අස්වැන්න සියයට 40කින් අඩු වී ඇත. 


අද ඉන්ධන ප්‍රමුඛතාව ගොවිතැනට නැත. ගොයම් කැපීමට අවශ්‍ය ඉන්ධන නොදීමෙන් මේ ගැටලු‍ව තවත් වර්ධනය වී ඇත. කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා තෙල් සංස්ථාව ඉදිරිපිට වාඩි වන බව කීවේ, එහි භයානකකම දැකීමෙනි. එනිසා පැවැති රජයට මෙන්ම මේ රජයට ද නිසි දැක්මක් කෘෂිකර්මාන්තය කෙරෙහි තිබේ දැයි සැක සහිත බව කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. 


2021 වසර සඳහා වියළි මිරිස් ටොන් 50,139ක් ආනයනය කොට ඇත. ඒ සඳහා රුපියල් 18,403,181,000ක් වැය කොට ඇත. රටේ වියළි මිරිස් අවශ්‍යතාව බොහෝ දුරට පසුගිය කාලයේ සම්පූර්ණ කොට තිබුණි. විශේෂයෙන්ම අපි වවමු රට නගමු වැඩසටහන ක්‍රියාත්මක වූ 2007-2013 කාලයේ රටේ කෘෂිකර්ම නිෂ්පාදනය ඉහළ අගයක් ගැනුණි. එම නිසා ආනයන සීමා විය. රට සහලින් ස්වයංපෝෂිත මට්ටමේ වසර කිහිපයක් පවත්වාගෙන යාමට ද හැකි වූ බව කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. 
බී ලූනූ වගාවට ද මෙරට ප්‍රමුඛතාවක් තිබුණි. නමුත් 2021 වසරේ බී ලූනු මෙට්‍රික් ටොන් 257,421ක් ආනයනය කර තිබුණි. ඒ සඳහා රුපියල් 19,723,307,000ක් වැය කොට ඇත. රටේ වගාව අතහැර ඊට වඩා වැඩි වියදමක් දරා බී ලූනූ ගෙන්වා ඇත. එසේ ගෙන්වා ඩොලර් නෑ කියා ලෝකෙ වටේ ණය වෙමින් යාමට මෙරට පාලකයන් කටයුතු කොට ඇත. මෙය කෘෂිකාර්මාන්තයේ කඩාවැටීමේ සලකුණක් බව කේ.බී. ගුණරත්න මහතා පවසයි. එසේම, රතු ලූනු වගාව ද විනාශ කොට දමා ඇත. 2021 වසරේ රතු ලූනු මෙට්‍රික් ටොන් 12,799ක් ආනයනය කර ඇති අතර, ඒ සඳහා රුපියල් 2,288,162,000ක් වැය කොට ඇත. එසේම, 2021 වසරේ බීජ අර්තාපල් ටොන් 1,863ක් ගෙන්වීමට රුපියල් 396,004,000ක මුදලක් වැය කොට ඇත. කෑමට ගන්නා අර්තාපල් ටොන් 116,716ක් ගෙන්වීමට රුපියල් 7,384,896,000ක මුදලක් වැය කොට ඇත. බඩඉරිඟු වෙනත් කටයුතු සඳහා ටොන් 6,792ක් ගෙන්වා ඇති අතර, ඒ සඳහා රුපියල් 502,010,000ක් වැය කොට ඇත. කව්පි ටොන් 54ක් ගෙන්වා ඇති අතර, ඒ සඳහා රුපියල් 9,102,000ක් වැය කොට ඇත. සෝයා ටොන් 2,140ක් ආනයනය කොට ඇති අතර, ඒ සඳහා රුපියල් 318,084,000ක් වැය කොට ඇති බව කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. 


මේ ආකාරයට ඩොලර් නාස්ති කොට ගෙන්වා ඇත්තේ මෙරට වගා කිරීමට හැකි බෝගය. කොමිස් මුදල රස වැටී සැලැසුමක් නැතිව විශාල මුදලක් නාස්ති කොට මෙම බෝග ගෙන්වීම කනගාටුදායකය. මෙම බෝග රටේ වගා කළ හැකිය. එසේම, මේ සා වියදමක් දරාගෙන ආ බෝග 2021 වසරේ යම් ප්‍රමාණයක් මෙරට වගා කර තිබුණි. හෙක්ටයාර 11,970ක මිරිස් වගා කොට මෙට්‍රික් ටොන් 67,149ක් නිෂ්පාදනය කර ඇත. රතු ලූනු හෙක්ටයාර 3,522ක වගා කොට මෙට්‍රික් ටොන් 42,903ක් නිපදවා ඇත. බී ලූනු හෙක්ටයාර 33,686ක වගා කොට මෙට්‍රික් ටොන් 62,604ක් නිෂ්පාදනය කොට ඇත. අර්තාපල් හෙක්ටයාර 4,623ක වගා කොට මෙට්‍රික් ටොන් 75,911ක් නිෂ්පාදනය කොට ඇත. මේ නිපදවෙන ප්‍රමාණ දේශීය අවශ්‍යතාවට සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් නැත. නමුත්, එසේ කියා ඉහත ආනයනය කළ ප්‍රමාණ ගෙන්වීමට අවශ්‍ය නැති බව කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. ආනයන සඳහා වැය කළ මුදලින් ගොවියන්ට අවශ්‍ය බීජ, කෘමි නාශක, පොහොර ලබා දුන්නේ නම්, දේශීය අවශ්‍යතාවට සරිලන නිෂ්පාදනය කිරීමට හැකියාව තිබුණි. නමුත්, එසේ නොකර පාලකයන් කළේ මෙරට කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම බව කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. 


මෙරට කෘෂිකර්මාන්තය විනාශ කිරීමේ වගකීම අද බාර ගැනීමට කෙනකු නැත. රසායනික පොහොර වෙනුවට සහමුලින්ම කාබනික පොහොර හඳුන්වා දීමේ තකතීරු තීන්දුව මත මෙම ක්ෂේත්‍රයම විනාශ වූ බව කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. මීට අමතරව වී, තේ, රබර්, එළවළු, පලතුරු, සුළු අපනයන බෝග, මල් වර්ග ඒ නිෂ්පාදනය සහමුලින්ම විනාශ කර ඇති බව කේ.බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. රුපියල බාල්දු කොට ඩොලරය පා කිරීම කෘෂිකර්ම ක්ෂේත්‍රයට තදින්ම බලපෑ බව කේ.බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. මේ හෙතුවෙන් කෘෂි අමුද්‍රව්‍යවල මිල ඉහළ ගියේය. අන්තිමට එම බර දරා ගැනීමට වූයේ ගොවියාට බව කේ.බී. ගුණරත්න මහතා පවසයි. රසායනික පොහොර තහනම ඉවත් කර නැවත පොහොර ගෙන්වීමට පුද්ගලික සමාගම්වලට අවසර ලබා දී ඇත. නමුත්, එම පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 20,000කි. සමහර තැනක රුපියල් 30,000-42,000ක මිලකට පොහොර මිටියක් අලෙවි වූ බව කේ.බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. මේ මිලට පොහොර ගෙන වගා කළ පසු ගොවියෝ වියදම සොයා ගැනීමට නිෂ්පාදනවලට වැඩි මිලක් ඉල්ලති. එය ඔවුන්ගේ වරදක් නොවේ. නමුත් මින් අසරණ වෙන්නේ පාරිභෝගික ජනතාව බව කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. 


එම නිසා මේ තත්ත්වයෙන් බේරීමට නම්, මෙවර මහ කන්නය සැලැසුම් සහගතව වගා කිරීමට ආණ්ඩුවට සැලැසුමක් තිබිය යුතුය. නමුත් එවැනි සැලැසුමක් තිබෙන බව නම් තවමත් පෙනෙන තෙක් මානයේ නැති බව කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි. 


ඇමැති නිහඬයි, දුරකතනයට එන්නෙත් නෑ. 


අපි මේ සියලු‍ කාරණා ගැන දැන ගැනීමට මෙන්ම, මෙවර මහ කන්නයෙන් පසු ආහාර හිඟයට පිළියම් යෙදිය හැකි ද යන්න දැන ගැනීමට කෘෂිකාර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ද කතා කළෙමු. නමුත් ඇමැතිවරයාගේ දුරකතනයෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. නමුත් ඇමැතිවරයා පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියේ, යල කන්නයේ ගොයම් කැපීමට අවශ්‍ය ඉන්ධන ලබා නොදෙන්නේ නම්, ඛනිජ තෙල් අමාත්‍යාංශය වෙත ගොස් තෙල් ලබාදෙන තුරු පදිංචි වී සිටින බවය.

 


මේ අතර මහින්ද අමරවීර මහතා පවසා සිටියේ චීන පෝර නැවට දුන්න සල්ලි මෙන්ම පොහොරද නොලැබෙන තත්ත්වයක් මතු වී ඇති බවය.එම පොහොර අපේ ප්‍රමිතියට ලබාදීමට යම් ගැටලුවක් පැන නැගී ඇති බවත් ශ්‍රිලංකා ප්‍රමිති ආයතනයට එහි වගකීම පැවරෙන බවද ඇමැතිවරයා කියා සිටියේය.එසේම ඉදිරි කන්න සදහා පෝර ලබා දෙන බවත් බඩ ඉරිගු වගාවද වැඩි කිරීමට පියවර ගෙනඇති බව ඇමතිවරයා කියා සිටියේය.මෙවර යල කන්නයේ අස්වනු නෙළීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට බනිජ තෙල් ඇමැතිවරයා සමග ද සාකච්ඡා කළ බව ඇමැතිවරයා කියා සිටියේය.

 

 

 සටහන : 
ප්‍රගීත් සම්පත් කරුණාතිලක