බලය ඇති දා බලය අනිසි ලෙස යෙදවූ ඇමතිවරුන් - මේ දිනවල සිපිරි ගෙයෙහි දොරටු විවර වේ දෝ යන බියෙන් තැතිගැන්වී සිටිති. පසුගිය පාලන සමයන් හි බලය අනිසි ලෙස යෙදවූ හිටපු මැති ඇමතිවරුන් ගේ කල්ක්‍රියාවන් එළියට ඇදෙද් දී සමාජයේ වෙස් මුහුණු දරා සිටි බොහෝ පිරිසක ගේ සැබෑ ස්වරූපය පොදු ජනතාව හමුවේ දිගහැරෙමින් තිබේ. මහා පරිමාන සොරකම්වලට පොඩි මිනිහා සිරගෙදරට යවා සිරබත් කෑමට සැලසූ යුගයක අවසානය සනිටුහන් කරමින් මේ දිනවල හිටපු ඇමතිවරු බලය ඇති දා කළ වංචා, දූෂණවලට චෝදනා පිට චෝදනා ලබමින් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක සිර දඬුවමක් සහ හිටපු සතොස සභාපති හා හිටපු වෙෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු ට වසර 25ක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම කිරීම ළඟම සිද්ධියයි.
2015 ජනාධිපතිවරණ සමයේ දී පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස මගින් ආනයනය කළ ක්‍රීඩා උපකරණ වෙනත් කටයුතු සඳහා යොදාගැනීමේ චෝදනාවලට වරදකරු කරනු ලැබූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවමක් සහ සතොස සභාපති හා හිටපු වෙෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු ට වසර 25ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කළහ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට සහ හිටපු වෙෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු ට එරෙහිව 2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රීඩා සමාජ සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් ආනයනය කිරීමේ දී රජයට රුපියල් මිලියන 53.1ක පාඩුවක් සිදුකළ බවට අල්ලස් කොමිසම විසින් සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා 6ක් යටතේ මෙම නඩු ගොනු කර තිබිණ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වන වගන්තිය යටතේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණ.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම සිර දඬුවම නියම කෙරිණ. මහාධිකරණ විනිසුරුවරුන් වන මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර නලින් ප්‍රනාන්දුට රුපියල් ලක්ෂ හතරක දඩයක් සහ මහින්දානන්ද අලුත්ගමගේට රුපියල් ලක්ෂ දෙකක දඩයක් ද නියම කෙරිණි. නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල පවසා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවය.
මෙයට අමතරව විවිධ චෝදනා ලබමින් බන්ධනාගාරගත වූ හිටපු මැති ඇමතිවරුන් ගැන පුවත් නව පාලනයක ආරම්භයත් සමග අසන්නට, දකින්නට ලැබිණ.
දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තවත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පැවරූ පැමිණිලි තුනකට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන්නේය. 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලසීමාව තුළ මෙම සැකකරු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර තිබෙන බවත්, එම අවස්ථාවේ දී තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ දෙදෙනෙකුට පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කරන ලෙස මෙම සැකකරු විසින් උපදෙස් ලබාදී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ. පසුව පුද්ගලයින් පස් දෙනෙකුගේ නම් නාමිකව සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ඔවුන්ට ලැබෙන වැටුප්, දීමනා හා අතිකාල දීමනා මෙම සැකකරුගේ උපදෙස් මත පිළිමතලාව ප්‍රදේශයේ අදාළ පෞද්ගලික බැංකුවක විවෘත කරන ලද ගිණුමකට යොමුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත්, පසුව මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 15 දෙනෙකුගේ ගිණුම්වලට මුදල් බැර කරන ලෙස මෙම සැකකරුගේ උපදෙස් මත පිළිමතලාව බැංකු ශාඛාවට ස්ථාවර නියෝග ලබාදී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.
මෙසේ මුදල් ලබාගත් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සැකකරුගේ ආධාරකරුවන් මෙන්ම හිතවතුන් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන්, මේ ආකාරයෙන් අදාළ ගිණුමේ මුදල් ලබා ගෙන මෙම සැකකරු සිය ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවා ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද සඳහන් කර සිටියේ ය.
මෙසේ හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයට නාමිකව ඇතුළත් කරන ලද පුද්ගලයින් පස්දෙනා කැඳවා ප්‍රශ්න කළ බවත් තමන් සැකකරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එවැනි රැකියාවක් කර නොමැති බව ප්‍රකාශ කළ අතර එවැන්නක් තමන් දැනගනු ලැබූවේ අල්ලස් කොමිසම විසින් කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේ දී බව එම පුද්ගලයින් විසින් ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කළ බවද එම නිලධාරීහු සඳහන් කරති.
මෙම ක්‍රියාව තුළින් සැකකාර හිටපු අමාත්‍යවරයා රජයට රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් පාඩුකර ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන්, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලීමක් කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර එදින විමර්ශන අවසන් කර කරුණු ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කළාය.
මෙම නඩුවට ජුනි 03 වන දා නැවත කැඳවූ අවස්ථාවේ ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයින් 15 දෙනකු නාමිකව පත්කර රජයට රුපියල් ලක්ෂ 80කට අධික පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්ව සිටි ඔහුගේ පුත් රමිත් ලක්සෙන් බණ්ඩාර රඹුක්වැල්ල සහ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ නිශාන්ත බණ්ඩාර බස්නායක යන සැකකරුවන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඇප නියම කළාය.
හිටපු අමාත්‍යවරයාට හා පුත්‍රයාට නඩු තුනක් පවරා තිබූ අතර එකී නඩුවලට රුපියල් පනස්දහස බැගින් මුදල් ඇප හයක් හා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දොළහක් මත සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කළාය. නඩු ද්විත්වයක තෙවන සැකකරු ලෙස නම් කර තිබූ බස්නායක යන අයට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප දෙකක් හා මිලියනය බැගින් වූ ශරීර ඇප හතරක් නියම කරමින් විදෙස් ගමන් ද තහනම් කළාය.
හිටපු ඌව පළාත් මහඇමති චාමර සම්පත් දසනායක 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එකී පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවකින් මුදල් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනාව යටතේ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
මීට අමතරව රජයට පවරාගෙන තිබූ කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් හතර දෙනාගෙන් දෙවන සැකකරුවන හිටපු ඇමති ආචාර්ය මර්වින් සිල්වාට ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ දිවුරුම් සහතිකය සමග ඉදිරිපත් කළ වෛද්‍ය සහතිකය ප්‍රතික්ෂේප කරමින් එම සැකකරුවන් හතරදෙනා අප්‍රේල් 21 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා නියෝග කළාය. මෙම සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැයි 07 වන දින පෙරවරුවේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට වෙත භාර වූ අතර හිටපු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර, එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ කරුණු මත හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගැනිණ. හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මේ සම්බන්ධයෙන් වන නඩුව මැයි 29 වැනිදා යළි කැඳවූ අවස්ථාවේ දී දුමින්ද දිසානායක ජුනි 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මේ ආකාරයට නව පාලන තන්ත්‍රයක ආරම්භයත් සමග යටගිය වංචා, දූෂණ ඉස්මතු වීමෙන් හිටපු ඇමතිවරුන්ට සිපිරිගෙය කරා පියනැගීමට සිදුව තිබෙන බව පසක් වේ. පසුගිය දිනක පාර්ලිමේන්තු විවාදයක දී වෙෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ විපක්ෂයේ සමහරු වැලිකඩ බන්ධනාගාරයේ බලය අල්ලමින් සිටින බවය. එම ප්‍රකාශය එක්තරා ආකාරයකින් හිටපු තවත් දූෂිත මැති ඇමතිවරුන් සඳහා නිකුත් කරන ලද රතු නිවේදනයකි.
මනීෂා වීරසිංහ