සිංහල ඉතිහාස පොතෙහි රන් අකුරින් ලියැවුණු එක නමැති පාලකයන් කිහිප දෙනකු ගැන මතකයට නැගෙයි. අනුරාධපුර යුගයේ රජ කළ ගෝඨාභය, නිදහස් ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ හා සේනානායක පෙළපතේ පෙරළිකාර දේශපාලනඥයකු වූ රිචඩ්ස් ගෝඨාභය සේනානායකයන් ය.
‘‘ආර්.ජී.’’ යන කෙටි නමින් ජනප්‍රිය වූ ස්වාධීන දේශපාලනඥයකු වූ ඔහු 1948දී නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ධුරය ඉසිලූ ඩී. ඇස්. සේනානායකයන්ගේ වැඩිමල් සොහොයුරු එෆ්.ආර්. සේනානායකගේ පුත්‍රයාය.
එෆ්.ආර්. සේනානායක හෙවත් ෆෙඩ්රික් රිචර්ඩ් සේනානායක නිදහස සටනේ කරට කර සටන් වැදුණු ප්‍රභූවරයෙකි. පියාගේ ස්වාධීන අදහස් හා ක්‍රියාකාරකම් ආර්. ජී. සතු වූ අතර, ජනතා ප්‍රශ්න පිළිබඳ දේශපාලන පාට කණ්ණාඩියෙන් නොබලා තේරුම්ගෙන විසඳුම් සෙවීම එම පරපුරේ සිරිත විය.
නමුත් එෆ්. ආර්, ආර්. ජී. යන නම්වලට මෙන්ම ‘‘රිචර්ඩ්’’ නාමය යෙදුණු තවත් පරපුරක් ද විය. එනම් ජූලියස් රිචර්ඩ් ජයවර්ධන නම් වූ ජේ. ආර්. ජයවර්ධන අයත් පරපුරය. සමකාලීන දේශපාලනඥයන් දෙදෙනකු වූ ආර්. ජී. හා ජේ. ආර්. එක්සත් ජාතික පක්ෂය තුළින් රාජ්‍ය බලයට පැමිණි නමුත්, ප්‍රතිපත්තීන් අතින් පසමිතුරු වූහ.
1944 දෙසැම්බරයේ නාරම්මල ආසනයට තරග වැදී ඡන්ද 11,661ක් ලබා රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසි ආර්. ජී. නොකඩවා වසර 40ක් මන්ත්‍රී පදවිය දැරූ අතර, ඔහුගේ අව්‍යාජ ගති පැවතුම්වලට පැහැදුණු ජනතාව ඔහු හැඳින්වූයේ ‘‘සිංහලේ සිංහයා’’ යන නමිනි. ඒ ඔහුගේ මහත්මා දේශපාලනය නිසාය.
ආර්. ජී. උපන්නේ 1911 නොවැම්බර් 04 වැනිදාය. අද සිටියා නම් වයස 105කි. මේ කාලයේ සිදුවූ විවිධ දේශපාලන පෙරළි කණපිට පෙරළන්නට ඔහුට එදා ශක්තිය තිබිණ. එහෙත් අවාසනාවකට මෙන් 1970 දෙසැම්බර් 22දා කලුරිය කළේ 58 වියේදීය.
1947දී එනම් ඩී. එස්. යුගයේදී ආර්. ජීට පැවරුණේ රාජ්‍යාරක්ෂක හා විදේශ කටයුතු උපඇමැති තනතුරය. ඒ විශ්වාසවන්තභාවය නිසාය. 1952 මාර්තු 26 වනදා ඩී. ඇස්. ගේ පුත් අගමැති ඩඩ්ලි සේනානායක යටතේ ඔහුට පැවරුණේ වෙළෙඳ අමාත්‍ය ධුරය ය. එම ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය දැරූ පසමිතුරු ජේ. ආර්. සමග තිබූ නායකත්වය පිළිබඳ කඹඇදිල්ල රාජ්‍ය රහසක් නොවීය.
ජේ. ආර්. යනු මෙරට හිටපු විනිසුරුවරයකු වූ විල්ෆ්‍රඩ් ජයවර්ධනගේ පුත්‍රයා වූ අතර, ජේ.ආර්. සහ ආර්. ජී. ගේ ගුරුකුලය වූයේ රාජකීය විද්‍යාලයයි. එහි ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඔවුහු නීති විශාරදයන් ලෙස උපාධි ලදහ.
1952-53 වසරවල අයවැය යෝජනා ගෙන ආවේ මුදල් ඇමැති ජේ. ආර්. ය. හාල් මිල ශත 25 සිට ශත 75 දක්වා වැඩි කිරීම, බස් ගාස්තු, දුම්රිය ගාස්තු, මුද්දර ගාස්තු ආදී සහන සේවා ගාස්තු වැඩිකිරීම සහ සහල් සහනාධාරය ඉවත් කිරීම ජේ. ආර්. ගේ අයවැය යෝජනා අතර විය.
රජයට ආදායම් පතා තමන්ව බලයට පත් කළ අහිංසක ජනතාවගේ බඩගෝස්තරයට පහර දෙන මෙවැනි යෝජනා පරාජය කළ යුතු යයි දැඩි ලෙසම පැවසූ ආර්. ජී. සමග අමාත්‍ය ඇම්.ඩී. බණ්ඩාර, ජේ. ආර්. තදින් පතුරු ගැසීය. ඒ 1953 ජූලි මස 03දා කැබිනට් රැස්වීමේ දී ය.
මෙම වෙඩිමුරය නිසා වඩාත් උද්වේගකාරී ලෙස විශේෂාංග කතුවැකි පළ කරමින් එකල පුවත්පත් මාධ්‍යය ද කටයුතු කරන්නට වූයේ ජන අරගලයක් කරා උසිගන්වමිනි. ඩඩ්ලිගෙන් පසු නායකත්වය ගැනීමේ පොරය මෙලෙස ඇරඹුණු අතර, ආර්.ජී.ගේ ඊළඟ තීරණය වූයේ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමය. මෙම විරසකය පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර, ආර්. ජී. 1953 ජූලි 06දා එංගලන්තය බලා පිටත් විය.
එම තීරණය නොගන්නා ලෙස ඩඩ්ලිත්, සර්. ඔලිවර් ගුණතිලක, ඒ. රත්නායක, සී. ඩබ්. ඩබ්. කන්නංගර වැනි හිතෛෂීන් ආර්. ජී. ගෙන් දිගින් දිගටම ඉල්ලා සිට නමුත් තම ඉල්ලා අස්වීම් ලිපිය අගමැතිට දී ඔහු රට හැර ගියේය. යළි ආර්. ජී. මවුබිමට ආවේ පෙරළිකාර තීරණයක්ද සමගිනි.
1952 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගෙන පංච මහා බලවේගයේ සහයෝගය මත ජනතා ප්‍රසාදය දිනූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ඇතුළු මහජන එක්සත් පෙරමුණේ ආශීර්වාදය මත එක්සත් ජාතික පක්ෂ විරෝධී ස්වාධීන අපේක්ෂකයකු ලෙස 1956 මහා මැතිවරණයට ඉදිරිපත් වීමටය.
පාරම්පරික ධනවාදී ප්‍රතිමල්ලවයකු මෙසේ තම පාර්ශ්වය කෙරෙහි විශ්වාසය තබා ගැනීම තරම් ප්‍රාතිහාර්යයක් සමාජවාදීන්ට නොවීය. එසේම ආර්.ජී.ට පවුල් බලය වඩා ජනතා බලය ඇති බව සක්සුදක් සේ පෙනී ගිය බැවින් මහජන එක්සත් පෙරමුණ ඔහුට එක් අසුනක් නොව අසුන් ද්විත්වයක්ම පිරිනැමීය.
ඉතිහාසයේ ප්‍රථම වරට මැතිවරණ කොට්ඨාස දෙකක් එකම අපේක්ෂකයකුට පැවරූ හා ජයග්‍රහණය කළ අවස්ථාව එය වන්නට ඇත. නාරම්මලින්, ත්‍රිකුණාමලයට පැමිණි ආර්.ජී.ට මෙවර ත්‍රිකුණාමලයට අමතරව කැලණිය අසුනට ද තරග කිරීමට වරම් ලැබිණ.
දෛවෝපගත සිදුවීම නම් රදල පවුල් දෙකක ඥාති සොහොයුරන් දෙදෙනකුට සංවිධායකවරුන් වශයෙන් කැලණි අසුනට තරග කිරීමට සිදුවීමය. ජේ. ආර්. ගේ ප්‍රතිවාදියා ලෙස සීතල යුද්ධයක් ගෙන ගිය ආර්. ජී. ට ප්‍රසිද්ධියේ ඔහු හා තරග වැදීමට කැලණියේ දී සිදුවිය.
කැලණිය යනු ජේ. ආර්. ගේ බිරිඳ වූ එලිනා විජයවර්ධන පෙළපතේ භුක්තියට සවි වූ ප්‍රදේශයක් ලෙස හැඳින්වීම නිවැරැදිය. එසේම කැලණිය පිළිබඳ ජේ.ආර්. සතුව පැවැති අචල විශ්වාසය ගලේ කෙටූ ඉර හා සමාන විය. අලුත් පක්ෂයේ පරාජය පතමින් සුපුරුදු මැරවර ක්‍රියාවල යෙදීමට පාරම්පරික එජාපය උත්සාහ කළත් 1956 මහ මැතිවරණ සමයේ රැය පහන් වන විට ආර්.ජී. ද්විත්ව ජයග්‍රාහකයකු ලෙසින් මඑපෙ ආණ්ඩුව වාර්තාගත පාලනයක් ලෙසත් ජය ලබා තිබිණ.
එවකට කැලණියේ ඡන්ද දායකයන් ගණන 66,665කි.
ආර්. ජී. සේනානායක (ස්වාධීන) - 37,023
ජේ. ආර්. ජයවර්ධන (එජා ප) - 14,187
දෙදෙනකුගේ ඇප රාජසන්තක විය.
ත්‍රිකුණාමලයේ ඡන්දදායකයන් ගණන 44,770කි
ආර්. ජී. සේනානායක (ස්වාධීන) - 30,414
ඒ. පී. පියදාස (එජාප) 1507 (ඇප රාජසන්තකයි)
ජේ. ආර්.ගේ අන්ත පරාජයෙන් උද්දාමනයට පත් ජනතාව ප්‍රීතිඝෝෂා පැවැත්වීමෙන් නතර නොවී ඔහුගේ ප්‍රතිරූපය සමච්චලයට පත් කරමින් හැසුරුණු බව පැරැන්නෝ අදත් පවසති. ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ම.එ.පෙ. ආණ්ඩුවේ වෙළෙඳ හා වාණිජ කැබිනට් අමාත්‍ය ධුර පිරිනැමුණේ ආර්.ජී.ට ය.
එවකට සිරිලක පැවැති ආර්ථික අර්බුදයට දිගුකාලීන විසඳුම ලෙස ලංකා - චීන සහල් රබර් ගිවිසුම අත්සන් කළ අමාත්‍ය ආර්. ජී. රටට මහත් ප්‍රතිලාභයක් ලබා දුන්නේය. සිංහල බෞද්ධ සමාජයක් හා සංස්කෘතියක් ස්ථාපිත කිරීම සඳහා දිවියම කැප කළ ආර්. ජී. දේශපාලන බලය අයුතු ලෙස භාවිත නොකළ ආදර්ශවත් චරිතයක් ලෙස සැලකේ. තම අගනා කාලය, ස්වශක්තියෙන් උපයාගත් ධනය හා ජනතා සේවය සඳහා කැප කළ ශ්‍රමයට උපහාරයක් වශයෙන් කොළඹ 07, මෙට්ලන්ඩ් ක්‍රෙසන්ට් මංසන්ධියේ පිහිටි ග්‍රෙගරි මාවත ආර්. ජී. සේනානායක නමින් 2013 ජූලි 16දා ජනපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කෙරිණි.
ආර්. ජී. මුලින්ම දේශපාලනයට කැන්දන් ආ නාරම්මල අසුනේ නාරම්මල විදුහල අද ආර්.ජී. සේනානායක ජාතික විද්‍යාලය ලෙස නම් කර ඇත.
“දසත සුවඳ දුන් වර්ණවත් පුෂ්පයෝ ඉක්මනින් වියැකී ලොවෙන් සමුගැනීම වන්නේ යම් සේද ආර්. ජී. වැනි දේශපාලන තලයේ ගුණ නැණ සුවඳ පැතිරවූ වටිනා පුෂ්පයක් වසර 58ක් වැනි පරිණත කාලයක දී මෙලොවින් යමුගැනීම ඛේදාන්තයක් නොවන්නේද?”
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි