

චාරිකාවක් යන්න කඳු තරණයක් කරන්න සූදානම් වෙද්දි අපි ගොඩාක් වෙලාවට කරන්නේ - අතට අහුවෙන දෙයක් බෑග් එකක ඔබාගෙන දුවන එක. ඒකෙන් වෙන්නේ අනවශ්‍ය දේවල්වලින් අපේ බෑග් එක පිරෙන එක. ඒ නිසාම කඳු නගින්නෙකු හරියට බැක් පැක් එකක් සූදානම් කරගන්නේ කොහොමද කියලා අද කතා කරන්න සිතුවා.

Backpack එක
කඳු තරණයක දී හෝ කඳවුරු බැඳීමකට සම්බන්ධවීමේ දී රැගෙන යන ගමන්මලු බැක් පැක් නමින් හඳුන්වයි. ඒ අනුව මේ සෑම අවස්ථාවකදීම මුලින්ම පහසු බැක් පැක් එකක් තෝරාගැනීම වැදගත් වන අතර එය තෝරාගැනීමේදී සලකා බැලිය යුතු වැදගත් කරුණු කිහිපයක්ම පවතී. ඒ අතරින් ප්‍රධානතම අංගය කල්පැවැත්මයි. එනම් ගමන දින එකක් වුවත් සති මාස ගණනක් දිග එකක් වුවත් ඊට ඔරොත්තු දෙන අන්දමේ බෑගයක් තිබිය යුතුය. මෙම කඳු තරණවලදී පවතින පාරිසරික ස්වරූපය, දේශගුණය ආදී කරුණු අනුවත් මෙම කල්පැවැත්ම යන සාධකය වැදගත් වේ. ඒ නිසා විවිධ මූලද්‍රව්‍යවලට සහ රළු හැසිරීම් වලට ඔරොත්තු දිය හැකි උසස් තත්ත්වයේ ද්‍රව්‍යවලින් නිපද වූ බැක් පැක් එකක් තෝරා ගැනීම සුදුසු වේ.

ජලය සහ ආහාර
මෙම අංග දෙකම ඕනෑම ජීවියකුට අත්‍යවශ්‍යම සාධක වන්නේ ජලය හෝ ආහාරවලින් තොරව ජීවිතය රැකගැනීම අපහසු බැවිනි. කඳු තරණයක දී ජලය සහ ආහාර රැගෙන යාමේදී තමා ගත කරන දින ගණන හා තම කණ්ඩායමේ පිරිස මත එම ප්‍රමාණය තීරණය කළ යුතුය. නමුත් ජලය රැගෙන යාමේදී අනිවාර්‌යයෙන්ම ලීටර් දෙකක් පමණවත් එක් අයෙකු ළඟ තිබීම වැදගත්ය.
එමෙන්ම ආහාර රැගෙන යාමේදී රසයට වඩා පෝෂ්‍යදායී බව සහ ශක්තිය ලබාගැනීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. දින කිහිපයක් සිටින්නේ නම් නූඩ්ලස්, පාන්, ධාන්‍ය වර්ග ආදියට මූලිකත්වය දිය යුතු අතරම ඊට අමතරව කුඩා බිස්කට් පැකට්, චොකලට්, ප්‍රෝටීන් බාර් භාර් ආදී සුළු කෑම වර්ග ද ආහාර ලෙස එක් කර ගත හැකිය.

කෑම්පින් ටෙන්ට්
මෙය වැදගත් වන්නේ රාත්‍රියේ එම ස්ථානවල නවාතැන්ගැනීමට බලාපොරොත්තුවෙන් යන ගමන්වලදී සහ කඳවුර බැඳීම්වලදීය. එලෙස ටෙන්ට් තෝරා ගැනීමේදීත් විශේෂ කරුණු කීපයක් පිළිබඳ අවධානය යොමු කළ යුතුය. ඉන් ප්‍රධානතම කරුණ වන්නේ අදාළ ප්‍රදේශයේ පාරිසරික තත්ත්වය හා දේශගුණික ස්වභාවයයි.
ගමන සංවිධානය කිරීමේදී මෙම තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙමින් අදාළ කූඩාරම් වර්ග තෝරා ගැනීම කළ යුතුය. සංචාරය පවතින්නේ වර්ෂා සහිත කාලයක හෝ ජල පද්ධතීන් ආශ්‍රිත ප්‍රදේශයක නම් ඩබල් ලේයර් ටෙන්ට් එකක් රැගෙන යා යුතු අතර ටෙන්ට් එක ඉහළින් ආවරණය කරන රේන්කෝට් එක අනිවාර්යයෙන් රැගෙන යා යුතුය.

Dome Tents
මෙම කූඩාරම් වර්ගය ගෝලාකාර හැඩයෙන් යුතු එකකි. මෙහි හැඩය නිසාම සුළඟට පහසුවෙන් කූඩාරම හරහා ගමන් කළ හැකි අතරම වර්ෂා තත්ත්වයකදී වුවත් ටෙන්ට් එක උඩට වැටෙන වතුර හොඳින් ගලා බැසීම සිදුවේ. සැකසීමේ පහසු බවත්, රැගෙන යාමේ පහසුවත් නිසා මෙය බහුල වශයෙන් භාවිත කරන්නේ යැයි පැවසිය හැක.
Adventure Tents
මෙයත් සති අන්ත කඳවුරු සඳහා සුදුසු අතර කුඩා ඇසුරුම් ප්‍රමාණයක් ගනී. එමෙන්ම රැගෙනයාම පහසුය. නමුත් දේශගුණික විපර්යාස තුළ පැවැත්මක් නොමැති වීම හා ස්ථාවර උසක් නොමැති වීම නිසා තරමක අපහසුතාවක් ගෙන දෙයි.
Tipi Tents

මීට අමතරව Tunnel Tents, Cabin Tents, Geodesic Tents, Popup Tents ආදී විවිධ කූඩාරම් වර්ග කඳු තරණවල දී සහ කඳවුරු බැඳීම්වල දී භාවිත කරනු දැකගත හැකියි.
කෑම්පින් ස්ට්‍රෝ /
Camping Stove
කඳවුරු බැඳීමේ දී මුලදී ගල් යොදාගෙන ළිප් සකස් කළත් එය ප්‍රායෝගික නොවන අවස්ථා තිබෙන නිසා දැන් කෑම්පින් සඳහා ම සකස් කළ ලිප් වෙළඳපොළහි මිලදී ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව ගෑස් හෝ ද්‍රව ඉන්ධන හරහා දැල්විය හැකි උදුනක් රැගෙන යාමෙන් රාත්‍රී නවාතැන් ගන්නා අවස්ථාවේදී ආහාර පිසගැනීම සඳහා යොදාගත හැකියි. ඒට අමතරව පිහියක්, හැන්දක්, තැටි කිහිපයක් (බොහෝ දුරට නන්ස්ටික් තැටි) ආදියත් රැගෙන යා යුතුයි. දැනට ලෝකයේ කෑම්පින් උදුන් අතර හොඳම ශ්‍රේණිගත කිරීම් තුළ ඇති උදුන් වර්ග කිීපයක් මෙසේය;
1. Jetboil Flash Cooking System
2. Mas Pocket Rocket 2
3. Coleman Classic Propane Stove
4. Primus Primetech Stove Set
5. Snow peak Giga Power Stove
සිතියම් මාලිමා
යන්ත්‍ර හා GPS යන්ත්‍ර
පුද්ගලයෙකු මෙවැනි ගමන්වලදී කැලය තුළ අතරමංවීමට ඇති අවකාශය වැඩිය. එම නිසා මංමාවත් තෝරා ගැනීමට, ප්‍රදේශ හඳුනා ගැනීමට මේ උපකරණ වැදගත්. GPS යන්ත්‍රය තාක්ෂණික අතින් මේ කාර්යයට පහසු වුවද චන්ද්‍රිකා තාක්ෂණයට බාධා ඇති වූ විට එහි ක්‍රියාකාරිත්වයට ද යම් යම් ආකාරයේ බාධාවන් ඇති විය හැකිය. මේ නිසාම මාලිමා යන්ත්‍රයක් මෙන්ම සිතියමක් රැගෙන යාමත් වැදගත්ය.
ප්‍රථමාධාර
ගමනේ පවතින අවදානම් සහගත බව හා රළු බව නිසාම විවිධ ශාරීරික අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවන නිසා තම ගමන් මලු තුළ ප්‍රථමාධාර ද්‍රව්‍ය ඇතුළත් පෙට්ටියක් හෝ කුඩා බෑගයක් තිබීම අත්‍යවශ්‍යය. ඒ අනුව එම බහාලුම තුළ ඖෂධීය ප්ලාස්ටර්, ගෝස්, පුළුන්, කතුරක්, ඇන්ටිබැයොටික් ක්‍රීම්, විසබීජනාශක, පැනඩෝල්, ගැස්ට්‍රයිටිස් සඳහා ඖෂධ, ජීවනි, අසමෝදගම් ග්ලුකෝස් වැනි මූලික ඖෂධ වර්ග සහ තමන් යම්කිසි රෝගයක් සඳහා ප්‍රතිකාර ගන්නේ නම් ඒ අදාළ බෙහෙත් ද්‍රව්‍යය ද හුළං නොවදින සේ අසුරා තම බැක්පැක් එකට දමා රැගෙන යා යුතුය.
ඇඳුම් සහ සපත්තු

විශේෂයෙන් අත් සහ කකුල් වැසෙන ඇඳුම් තෝරාගත යුතු අතර තද වර්ෂාවකදී සීතලෙන් ආරක්ෂා වීම සඳහා රේන්කෝට්, රාත්‍රියේ පොරවා ගැනීමට බ්ලැන්කට් හා ජැකට් ආදියත් රැගෙන යා යුතුය. එමෙන්ම කටු සහිත ප්‍රදේශවල ගමන් කිරීමට සිදුවන බැවින් සහ සතුන්ගෙන් ආරක්ෂා වීමට හොඳින් කකුල ආවරණය වන සපත්තු පැලඳීම ද කළ යුතුය.
සනීපාරක්ෂාව කාන්තා - පුරුෂ දෙපාර්ශ්වයටම වැදගත් බැවින් ඊට අදාළ භාණ්ඩ ඇතුළත් කුඩා බෑගයක් තම බැක් පැක් එක තුළ තිබිය යුතුයි. කාන්තාවක් නම් මූලික සනීපාරක්ෂක ද්‍රව්‍ය, කොලෝන් එකක්, සන් ක්‍රීම් එකක්, සබන් කැටයක්, දත් මදින බුරුසු, ටූත්පේස්ට් අනිවාර්ය ආයිත්තම් කිහිපයකි.
පවර් බෑන්ක් / Power Bank
හුදෙකලා කඳු තරණයකදී නම් මෙය ඉතා වැදගත් වන්නේ පුද්ගලයෙකුගේ සන්නිවේදන සබඳතා බිඳවැටීම එවැනි අවස්ථාවක ඉතා භයානක හෙයිනි. එම නිසා තමා රැගෙන යන ජංගම දුරකථන, කැමරා උපකරණය ආදිය චාර්ජ් කර ගැනීම සඳහා පවර් බෑන්ක් එකක් රැගෙන යා යුතුය.
කෑම්ප් ලයිට් /
විදුලිපන්දම්
මෙය රාත්‍රී කාලයට පමණක් නොව කඳු තරණය ආශ්‍රිතව මීදුම් සහගත තත්ත්වවලදී පවා ප්‍රයෝජනයට ගත හැකිය. එම නිසා හොඳ බැටරි බලය සහිත විදුලි පන්දමක් රැගෙන යාම කළ යුතුයි.
දුලක්ෂි ලියනගේ