“ආරාධනා”
සවන් සිත් නිවා සනසාලන ස්වරයෙන් ගැයුණ මේ ගීතය අද සමාජ නාළිකාවලින් නිරතුරුවම විකාශය වන්නේ නැවුම්බර රිද්මයානුකූල කටහඬකින්. මීට 35 වසරකට පෙර ගුවන්විදුලි ශ්‍රාවකයන්ට මෙම නද අසා පුරුදු බවක් දැනෙන නමුත් නව පරපුරට නම් එය අලුත් අත්දැකීමක් වනු නොඅනුමානයි.
එය හදවතට කා වැදීමට එක් හේතුවක් නම් ගායන ශිල්පියාගේ අකාලයේ ගිලිහී ගිය සංගීත දිවියේ කිරුළත් ඔහුගේ ජීවන ගමනත් පිළිබඳ සංවේදී කතාන්දරය ‘%ආරාධනා’ ගීතය තුළින් පැවසෙන නිසාමය.
පසුගිය දෙසතිය තුළ සමාජ මාධ්‍යවලින් ඇරඹී ජාතික නාළිකා සියල්ල අතික්‍රමණය කළ ඔහු ගැන නොදත් නව පරපුර ‘%සිංදු කියන සීයා’ යන ආදර නාමයෙන් ඔහු හඳුන්වති. එදා ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ ගායකයකු වූ ඔහු නමින් ගාමිණී ජීවරත්නය. ඔහු උපන් කැලණියෙන්ම බිහි වූ විශාරද සුනිල් එදිරිසිංහයන් ගේ ඇසුරෙන් ප්‍රසංග වේදිකාවට පිවිස මඳ කාලයකින් රටම හඳුනා ගැනිණ.
කැලණිය, ගල්බොරැල්ල, පොල්හේන පාරේ තිස්ස මාවතේ දෙවන ගෙදර අසුනකට බර වී අපි කතාව ඇරඹුවෙමු.
එදා මෙදාතුර ඔහු පැමිණි සංගීත චාරිකාව ගැනත් ඔහු ඒ සඳහා දිවි පරදුවට තබා කටයුතු කළ අයුරුත් ඔහුගේ ජනප්‍රියත්වය නිසාම එල්ල වූ සෘණාත්මක බලපෑම් නිසා අන්ත අසරණ වූ වකවානුවත් ගාමිණී තම නිවහනේදී “ඉරිදා ලංකාදීපයට” විස්තර කළේ අතීතයට සාප නොකරමිනි. ‘“මේක මගේ දෛවයේ ලැබීම. ඒ දෛවයම 35 අවුරුද්දකට පස්සේ ආයෙත් මාව සමාජයට ගෙන්නුවා.” ඔහු පැවසුවේ සිනාසෙමිනි.
ගාමිණී ජීවරත්නට හරස් කැපූ පුද්ගලයන් ගැන හඳුන්වමින් සමාජමාධ්‍යවල සැරිසරන ප්‍රතිචාර ගැන ගාමිණී බලන්නේ සන්සුන් උපේක්ෂා සිතිවිල්ලෙනි.
ගාමිණී කලක් ‘අනුන්ගෙන් යැපෙන පුද්ගලයකුවසිටි බව ඇතැම් අය පළකර සිටිති. ඒ ඔහුගේ චාම් වස්ත්‍ර, නිරහංකාර සිනහව හා ආර්ථික ගැටලු නිසා විය හැකිය. ඒ ගැන ඔහු දරන්නේ මෙවන් අදහසකි.
‘“කලාවත් ආර්ථිකයත් සමතුලිතව යන්න ඕනෑ බව ඇත්ත. ඒත් අපේ පවුල් පසුබිම බැලුවොත් අපි ලද දෙයින් සතුටු වන නිර්ධන පන්තියේ පිරිසක්. තමන් ලැබුණු ප්‍රසිද්ධියෙන් උදම්වෙලා, අත දුන් එකා අමතක කරලා බණින එවුන්ට ද්වේශ කරලා, මං වැඩි වරප්‍රසාද හොයාගෙන යන්නේ නෑ. අපේ කුසලතාව අනුවත් ඉරණම අනුවත් රටට යම් යහපතක් වෙනවා නම් එච්චරයි.”
‘“මගේ නිර්මාණ ඇස් පනාපිටම මාධ්‍යවලින් මැකී යද්දී සමාජ ආර්ථික පෙරළිය තුළින් හා නව තාක්ෂණයෙන් අත්දැකීම් නොලද අයට ලැබෙද්දී නව නිර්මාණ සමග ජීවිතයේ තනිවෙද්දිත් අසරණ නොවන්නේ කොයි කලාකරුවාද?’ එවිට අප සිඟන්නන් වගේ පේනවත් ඇති.”
ඇත්තෙන්ම ගාමිණිගේ සැබෑ ජීවිත කතාව කොයි වගේද? කළ විමසුමට සහාය වූයේ ඔහුගේ ගමනට අත්වැල, සෙවණ හා රැකවරණය නිරතුරු සලසන ආදරණීය බිරිඳ කුසුම් ලියනගේය. ගුවන් විදුලි ශ්‍රාවකයන්ට මතක ඇති නිතර අදහස් පළකළ ‘කළුතර උතුර කුසුම් ලියනගේ නම. ගාමිණීගේ ගීතය ‘පිබිදෙන ගායක පරපුර’ ප්‍රසංගයෙන් අහලා ඇය එවූ ප්‍රතිචාර මතයි මේ සබඳතාව ඇරඹී ඇත්තේ.
ගාමිණ් යළි කතාව ඇරඹීය.“මේ මගේ ගම. මං උපන්නේ 1955 පෙබරවාරි 24 වෙනිදා. මගේ තාත්තා හොඳ ගීත රසිකයෙක්. ඔහු සේවය කළේ මට්ටක්කුලිය ඩී අයි පාවහන් ආයතනයේ. ඔහුගේ යාළුවකු හිටියා සංගීත ශිල්පියෙක්. ගම මතුරට. ගෙවල් යටවන නිසා ඔහු සතු පෙරදිග සංගීත භාණ්ඩ අපේ ගෙදර පරිස්සමට තිබ්බා. එයා ආව දවසට තාත්ත එක්ක සින්දු කියනවා. මං අහගෙන ඉතින් මමත් Fogy bellow සර්පිනාව හොරෙන් ගහලා තනියම උත්සාහ කරල සංගීතයේ අත්පොත කියෙව්වා.
මම මුලින් දළුගම රාමසිංහ විද්‍යාලයේත් පසුව කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙත් ඉගෙන ගත්තා. ඉස්කෝලෙ සංගීත වැඩසටහන්වලින් මගේ ගායන හැකියාව උරගා බැලුවා. සංගීතයට තිබුණු ආසාව නිසා ඉස්කෝලෙන් ඉවත් වෙලා නිදහසේ ගී කිව්වා. අපේ ඉස්කෝලෙ ඉගෙනගත්ත ආදි සිසුවකු වූ සුනිල් එදිරිසිංහ මහත්තයාගේ ගෙදරට මාව කැඳවුවෙ සංගීතයට තිබෙන මගේ උනන්දුව දැකපු නිසයි. එතුමාගෙ මෑණියන් තමයි මාව එයාට හඳුන්වලා දුන්නෙ. එතුමියට පින්.”
එතැන් පටන් සුනිලුන් ඇසුරෙන් ප්‍රසංග වේදිකාව හා ගුවන් විදුලියට පිවිසීමට ගාමිණීට හැකි විය.
සුනිල් මහත්තයාගෙ ‘%සඳකඩපහණ’ වැනි ප්‍රසංගවලදී එම ගීතවලට සමූහ (Corres) ගායනා සඳහා යොදා ගත්තේ මා ඇතුළු නවක පිරිසක්. එම සබැඳියාව නිසා මමත් ගායන ශිල්පියකු බවට පත්වන්න ලැබුණා. ඊට ලැබුණ රසික ප්‍රතිචාර ඉහළයි.
සංවිධායකවරු මගේ සේවයද බලාපොරොත්තු වුණා. මට සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ශෛලිය හුරු නිසා ප්‍රසංගවලට ඇරයුම් ලැබුණා.”
80 දශකයේ සංගීත ප්‍රසංග සඳහා ගායකයන් කැඳවූයේ නොම්මර පිළිවෙළටය. මුලදි ගාමිණීට ලැබුණේ අවසාන නොම්මරයන්ය. ඒ නිසා නිදි වරාගෙන රැය පහන් කර ගී ගයා පාන්දර නිවසට එන්නට ඔහුට සිදුවිණ.
‘“මට අවස්ථාව ලැබුණේ කලාතුරකින්. ඒත් සංගීතයට තියෙන ආශාවට දුක දරාගත්තා. බොහෝ විට ගී ගැයුවත් අතට මුදලක් ලැබුණේ නෑ. සමහර සංවිධායකයෝ ‘“එන්න ගාමිණී අයියේ” කියා ආදරෙන් අඬ ගහල ප්‍රවීණයන් සිටියදීම මාව ස්ටේජ් එකට දාලා, මුදලකුත් දීලා ගෙදරටම ට්‍රාන්ස්පෝට් දෙනවා. ඇතැමුන් මාව සැලකුවේ ආභරණයක් විදියට විතරයි.”
ඉතින් ගෙදරින් කැමැති වුණා ද?
“මං හැදුණේ වැඩුණේ සීයා සහ ආච්චි ගාව. ඔවුන් මගේ හැකියාවන්ට ආශීර්වාද කළා. ඔවුන් මට ඉඩමක් පරිත්‍යාග කළා. ඒත් මං කැසට් එකක් කරන්න ආශාවට ඒ ඉඩම හොරෙන් විකුණලා ර. 25000 ක් අරගත්තා. කෙළින්ම ගියේ සුනිල් මහත්තයගෙ ගෙදරට.”
‘“මොකද ගාමිණී හදිසියෙන් වගේ” එතුමා ඇහුවා.
‘“මට ගී හතරක් කරගන්න ඕනෙ.” ගාමිණී එකවරම පැවසීය. විමතියට පත් සුනිලුන් තම මවට අඬගැසීය.
12 වැනි පිටුවට...
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
‘“මෙන්න මෙයාට ගීත හතරක් කරගන්න ඕනෑලු.’ මව ද විමතියට පත් වූවාය. ‘කොහෙන්ද ඔයාට සල්ලි.’? ඔවුහු ගාමිණීගෙන් විමසූහ. බොහෝ පෙරැත්ත කිරීමෙන් පසු ඔහු ඇත්තම” කීවේය.
ගාමිණී වගේ කෙනෙකුගෙන් මුදල් ගැනීම ඔවුන් අදිමදි කළ බැවින් යළි පාරට බට ඔහු ගියේ ප්‍රවීණ ගීත රචකයකු මෙන් නවකයන්ට අත දෙන්නකු ලෙස ප්‍රකට බැංකු කළමනාකරුවකු වූ බණ්ඩාර ඇහැලියගොඩ සොයාය. ඔහුගේ අනුදැනුමත් එවකට සිංග්ලංකා ආයතනයේ කළමනාකාර පදවිය දැරූ ගීත රචක කුලරත්න ආරියවංශයන්ගේ අනුග්‍රහයෙන් ‘දොරට වැඩුම’ නමින් යුත් කැසට් පටයක් බිහිවිය. එහිදී ඒ සඳහා ගී ගැයීමට ගාමිණී ජීවරත්නයන්ට ඇරයුම් ලැබිණ.
‘මා එක්ක එහි ගී ගැයූ නවකයන් අතර දීපිකා ප්‍රියදර්ශනී, වසන්තා තිලකාංගනී, සුජීවා ප්‍රියන්ති, අනුර රාජපක්ෂ හා බණ්ඩාර හෙට්ටිආරච්චි වැනි අය හිටියා. ඒ ගී ඉතා ජනප්‍රිය වුණා.”
අනුකරණ ගී වලින් නිදහස් වෙන්න හිතුවෙ කවදද?
‘“මම සංගීත උපක්‍රම සියුම්ව හදාරලා තමයි සුනිල් එදිරිසිංහ, මිල්ටන් මල්ලවාරච්චි, අමරදේවයන් වැනි ප්‍රවීණයන්ගෙ ගීත ගැයුවෙ. රැල්ලට නොවෙයි. ඒ ගීත හරියට, සරසවියක් වගෙයි. පස්සෙ මට හිතුණා මගේම ගී කැසට් පටයක් නිකුත් කරන්න. ඒකත් ලෙහෙසි වුණේ නැහැ. අතහිත ලැබුණේ නැත්නම්.
විශාරද ප්‍රේමදාස අතුකෝරලගේ ‘කුරුල්ලෝ’ සඳහා මා අලුත් ගීත 2 ක් ගැයුවා. ‘%සිහින් කැකුළ’ ගීතය එතුමා සංගීතවත් කළා. ලිව්වේ ඩී.ඇම්.වී. පාලිත ‘අපට %එරෙහි වී’ ගීතය ලිව්වේ ඇන්ටන් නානායක්කාර. ‘%ගීත ගඟුල’ මට හමුවුණේ මේ කාලෙ.
කවුද ගීත ගඟුල කියන්නෙ?’ මම විමසීමි.
‘ඒ තමයි විශාරද රෝහණ වීරසිංහයන්. එතුමා මට බොහොම අතහිත දීල ‘%පාළොස්වක’ සහ ‘%සිහිල් සඳුන්’ යන ගීතවලට සංගීතය හදලා දුන්නා. ඒව වසන්ත කුමාර කොබවක හා කුලරත්න ආරියවංශගේ නිර්මාණ ඔවුන් ඒ සඳහා මගෙන් මුදල් ගත්තේ නෑ.’
විශාරද රෝහණ වීරසිංහයන් ගාමිණී ගැන මෙසේ පවසා තිබේ.
‘ගාමිණී ජීවරත්න කියන්නේ 80 දශකයේ නව පරපුර අතර ජනප්‍රියව සිටි තරුවක්. සිංග්ලංකා ආයතනය මගින් නිකුත් කළ කැසට් නිර්මාණ තුළින් අපි ඔහු ඔසවා තැබුවේ ඔහු සතුව පැවැති මහාර්ඝ ගැයුම් කුසලතාව නිසයි. වසර 35 කට පස්සෙ හිටිහැටියේම ඔහු සමාජ මාධ්‍ය හරහා සහ 60 +(sixty pulse) තරගාවලිය තුළින් ඉස්මතු වීම මහත් ආශ්චර්යයක්.
සින්දු කියන සීයා’ Tik Tok එකෙන් මතු වුණා. ඔහුගේ ගීතාවලිය මගේ චැනලයට යොමුකළා. ඉන් ලැබෙන ආදායම ඔහුට පිරිනැමීම මගේ පැතුමයි.
‘නව යුගයට අනුව ඇඳුම් පැලඳුම් වෙනස් කරන්න ජීවා හිතුවෙ නැද්ද?’ මම විමසීමි.
‘මං 35 වසරක් පුරා මගේ පිළිවෙත්, ආකල්ප, විලාසය වෙනස් කළේ නැහැ. අද හැමෝගෙම අවධානය මට යොමුවෙලා තියෙන්නෙත් ඒ පැරණි ස්වභාවය නිසයි. ඒත් පරම්පරාගත ගීත වගේම වේග රිද්ම. නව නිර්මාණ ගීත වැනි නව තාක්ෂණය එක්ක මුසු වූ නිර්මාණ ගයන්න මට පුළුවන්. කාලයක් මගේ ජීවිතය හබල ගිලිහුණු ඔරුවක් වගේ, සමාජ රැලිවලට අහුවෙලා පරවෙලා ගියා. ඒ දවස්වල මට මා ගැන තියෙන ආදරයත් නැතිවෙලා තිබුණේ.
මාව නැවත සමාජයට හඳුන්වා දීමේ පුණ්‍යකර්මය සිදුකළේ ‘සමාජ මාධ්‍යවල’ ඉන්න සමන්ත ජයවර්ධන ප්‍රධාන නව පරපුරේම දරුවෝයි.
‘ඔවුන් කොතරම් බුද්ධිමත්ද සංවේදී අයද කිව්වොත් මගේ මහලු ස්වරූපය බිඳුවක්වත් වෙනස් කරන්න කැමති වුණේ නෑ. අන්කල්මංගේ පරිණත බව පෙනෙන්නෙ එතකොටයි ඔවුන් කිව්වා. ඒ ගැන ඔවුන්ට හිස නමා ආචාර කරනවා. ඒ වගේම නව පරපුරේ ගීත රචකයන් සංගීත අධ්‍යක්ෂවරුන්, සංවිධායකයන්, නාළිකා සහෘදයන් විචාරකයන් රැසක් අද මට සුහදව අතහිත දෙනවා.
ගාමිණී ජීවරත්නයන්ගේ මුල් ගීත සහ අද ඉතා ජනප්‍රිය වී ඇත. ‘%මේ සඳ සෙවණේ නැගී’, %‘සිහිල් සඳුන් පවන් ගැලී’, ‘%පාළොස්වක පුරා සඳට’, ‘%සිහිනයේ ඇයි ගැලී’, ‘ %රැඳෙන්න සිතින් ඇලෙන්න නෙතේ.’
අලුත්ම ගීත දහර අතරේ ‘“සංසාර ඕසය” කැපී පෙනෙයි.
‘“සංසාර” ඕසයේ ගලා යන ජීවිතේ
නිමාවෙන නුදුරේම අවසාන චිතකයේ’
ජීවාගේ බිරිඳ කුසුම් ලියනගේට ද අපි සවන් දුනිමු.
එයාව සමාජ මාධ්‍යයන්ට හඳුන්වා දීම මුලින්ම සිදුකරපු කෙනා තමයි සමන්ත ජයවර්ධන. පැය විසිහතරක් තුළ ලක්ෂ ගණනින් ප්‍රතිචාරය ඒ සඳහා ලැබී තිබුණා. ඒ වගේම විවිධාකාරයෙන් අපට අතහිත දුන්, අපේ දුක සැප විමසූ, නම් සඳහන් කිරීමටත් අපහසු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. හැබැයි, ඉස්සර වගේ නොවෙයි මෙයාගේ ඉදිරි ගමනට රැකවරණය සැලසීමත් අප හැමෝගෙම යුතුකම හා වගකීමයි. මම නම් ඒ ගැන තදින්ම ඉන්නවා.
ගාමිණී ජීවරත්නට දියණියෝම සිව් දෙනෙක් සිටිති. බාල දියණිය විශාරද මට්ටමට සංගීත හදාරා ඇති බව දැනගතිමු. ඇයද පියාත් සමග නව යුගයට පා තබනු ඇත.