
- ඇමති ටී.බී. ඉලංගරත්නගේ අමාත්‍යාංශයට සහනාධාර දෙන්න තිබුණේ ලක්‍ෂ6ක් පමණයි
- වනඅලි ගංවතුරට ගසාගෙන යති
- ගංවතුරෙන් බේරෙන්න ගස් නගින්න බෑ - ඒවායේ නයි, පොළොන්ගු
- කැලණි පෙරහරත් අවලංගු කරයි
- ඇමති සී.පී. ද සිල්වා ඉල්ලූ හෙලිකොප්ටර් 5 ඉන්දියාවෙන්
“ඇන්ටන් ජෝන්ස්” මෙරට සිදුවූ ඇතැම් ප්‍රකට සත්‍ය සිදුවීම් අළලා රචනා කෙරුණු ගීත ගායනා කිරීමේ පුරෝගාමී ගායකයා වශයෙන් නම් කිරීමේ දොසක් කිසිවෙකුත් නොදකිනු ඇත.
කතරගම ප්‍රේමවතී මනම්පේරි ඝාතනය, මාතර නිල්වලා ගඟේ ආසයි - බයයි බෝට්ටුවේ ජීවිත හානිය, මතුගම සමන් කුමාර දිවිදුන් කප්පම් සිද්ධිය වැනි රටේ සිදුවූ ප්‍රකට සැබෑ සිදුවීම් ප්‍රස්තුත කර ගනිමින් ලියැවුණු ගීත ගැයූ එතුමා - ඉකුත්දා ලංකාව පුරා හමාගිය“දිට්වා” වැනි කුණාටුවක් ගැන ද එදා ලියැවුණු අපූර්ව ගීතයක් ගායනා කර තිබේ.
“සුලි සුළං හමලා - මහ මුහුද ගොඩ ගලා” යනුවෙන් එම ගීතය ආරම්භ වේ.
පසුගියදා ඇති වූ කාලගුණ විපර්යාසයේ දී බොහෝ දෙනාට තම නිවාස ද අහිමි වී - ඉතිරි වූයේ ඇඳිවත පමණි. සොබාදහමේ ඒ කුරිරු ප්‍රහාරය අප මතකයට ගෙන එන්නේ පරාක්‍රම කොඩිතුවක්කු ගේ කාව්‍ය පබැඳුමකි.
“කලින් නොදන්වා - ලියුමක් වත් නොඑවා
අප දැකගන්නට - කළු ගං කොමළී
රෙද්ද ලිහාගෙන - ගෙදරට රිංගුවා දවසක්
රෑ තුන්යම නිදිවැරුවා අපි - බාල්කයක් උඩ. . .”
ඒත් මේ සැරේ ‘“දිට්වා කුණාටුව” රෙදි ගැලවූයේ කළුගං කොමළියගේ පමණක් නොවේ. මුළු රටේම ය.
දැන් සිදුවී ඇත්තේ මහා විශ්වයේ බලපරාක්‍රමය හමුවේ, මිනිසා නමැති කුරා කුහුඹුවා - සොබාදහම පරාද කිරීමට ගොස්, අන්ත අසරණ භාවයට පත්වීම ය. තණ්හාව, වෛරය, ද්වේෂය වැපිරීමට උපකරණ හැදූ මිනිසා ස්වභාව ධර්මයේ කුරිරු බව හමුවේ අසරණ ව ඇත. අන්තිමට වූයේ මිනිසා යෝධයෙකු වී සොබාදහම කුරාකුහුඹුවා බවට පත් කළාට පසුව - දැන් සොබාදහමේ කුරිරු බව හමුවේ මිනිසා කුහුඹුවකු බවට පත්වීම නොවේ ද?
ලිඛිත ඉතිහාසයේ මිනිස් වර්ගයා විනාශ කිරීමට ගැලූ මහා ජලගැලීම් පිළිබඳ පුදුමසහගත පුරාවෘත්ත ජනගතව ඇත. ජනකතා පර්‌යේෂකයෙකු වූ ජෙ.ජී. ෆරේසර් (J.G. Frazer) ලෝකය පුරා ජනකතා විශ්ලේෂණය කර ප්‍රකාශ කර ඇත්තේ, මධ්‍යම හා උතුරු ආසියාවේ සහ අප්‍රිකානු මහද්වීපයේ හැර ලෝකයේ සෑම තැනම පාහේ මහා ජලගැල්මක් ගැන එකී පුරාවෘත්ත ජනගත වී ඇති බවය.
ලොව සලිත කළ මහා ජලගැල්මේ පුරාවෘත්ත වලින් පැරණිම පුරාවෘත්තය සුමේරියානු ශිෂ්ටාචාරයට අයත් ක්‍රි.පූ.2100 තරම් පැරණි පුරාවෘත්තයයි. එක් එක් පුරාවෘත්ත කියවා ඒවායේ පොදු සමානකම් ඇසුරින් අපට නිගමනයකට එළඹිය හැක්කේ ඒවා පොදු සමානතාවයෙන් යුතු බවය.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ගංවතුර සහ සුළිකුණාටු දක්නට ලැබුණේ ප්‍රාදේශීය වශයෙනි. එහෙත් ‘දිට්වා මෙරට සමස්ත රටම එක මිටකට ගෙන රටම ව්‍යසනයකට ලක්කර තිබීම විශේෂත්වයකි.
යටත් විජිත යුගයේ පවා “නියඟය හමාර කරන්නට දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම” චිරාගත සම්ප්‍රදායක් විය. දළදා ප්‍රදර්ශනය අවසානයේ මහා වැසි ඇද වැටේ. අපේ පැරැන්නෝ ඊට පටබැඳි නාමය වූයේ “දළදා වතුර”ය. කෝපි කාලේ සුද්දන් කෝපි වගා කිරීමට මධ්‍යම කඳුකරය එළිපෙහෙළි කළ විට ඒ බිම් ගංවතුරෙන් යටවිය. එම ගංවතුර බොර පැහැයෙන් යුතු වීම නිසා අපේ පැරැන්නෝ හැඳින්වූයේ ‘“ගුරු වතුර” ලෙසය.
සුනිල් ලීලානන්ද පෙරේරා අටසිය, නවසිය ගණන්වල ගංවතුර ගැන - මින් දශක එකහමාරකට පමණ පෙර සටහනක් තබා ඇත්තේ මෙසේය .

“සිංහල අලුත් අවුරුද්ද නිමාවී දින 45 ක් ගිය තැන රත්නපුරය සුළු හෝ ගංවතුරකට ගොදුරුවන බවට අනාදිමත් කලක පටන් රත්නපුර වාසීහු අත්දැකීමෙන්ම දනිති. ඔවුන් එය හඳුන්වන්නේ, හතළිස් පස් දවසේ ගංවතුර ලෙසය. රත්නපුරයේ ගංවතුර පිළිබඳ අපේ ඇත්තන් මෙන්ම යටත් විජිත යුගයේ රත්නපුර දිසාව කර වූ සුදු ජාතික ආණ්ඩුවේ මහ ඒජන්තවරු සිය දිනපොත්වල අපූරු සටහන් තැබූහ.”
“1938 තරම් අතීතයේ පවා රත්නපුරය කරවූ සුදු දිසාපතිවරු ගංවතුර පිළිබඳ ලියූ සටහන් හමු වේ. 1857එච්. මුයාට් (H.Mooyart), 1982ඊ.එන්.එන ඊතටන් (E.N. Etherton), 1893ඒ.එම්. ඇස්මෝ (A.M. Ashmore) යන ආණ්ඩුවේ ඒජන්තවරු සිය දිනපොත්වල තැබූ සටහන්වලට අමතරව - රත්නපුරයේ ගංවතුර පිළිබඳ සවිස්තරාත්මක වූත්, අපූර්වතම වූත්, දිගු සටහනක් 1913 රත්නපුර ආණ්ඩු ඒජන්ත වශයෙන් කටයුතු කළ ආර්.එන්. තේන් (R.N. Thaine) තබා ඇත.”
1913 ඔක්තෝබර් මස 04 වැනිදා පටන් 10 වැනිදා දක්වා ඔහුගේ දින සටහන් පොත් පිරී ඇත්තේ රත්නපුරය ගිලගත් රුදුරු ගංවතුරක නපුරු අත්දැකීම් වලිනි. 1913 ඔක්තෝබර් 04 වැනි දින තේන් සිය දින සටහන අරඹන්නේ පෙර දින රාත්‍රියේ පටන් ඇදහැළුණු වර්ෂාව පසුදා සවස හතර දක්වා අඛණ්ඩව පැවති බව පවසමිනි.
මොන ගංවතුර ආවත් ලංකාවේ ගංවතුර කියූ සැණින් අපේ මතකයට එන්නේ 1957 මහා ගංවතුරය. මෙය සැලකෙන්නේ 1907 න් පසු මෙරට ඇති වූ විශාලම ගංවතුර ලෙසය. 2011 ගංවතුර සහ 2016 ගංවතුර ගැන විවිධ අය අතීතය ස්මරණය කරමින් විවිධ සංසන්දන කරන්න ගියත් මෙරට ඉතිහාසයේ මෙතෙක් කල් නම් දරාපු ගංවතුර වන්නේ 1957 ගංවතුරය.
මෙම ගංවතුර ගැන එවක ගල්ඔය ව්‍යාපාරයේ සේවය කළ පුවත්පත් කලාවේදී ගුණදාස ලියනගේ සිය“ගුවනින් ගිය ගොඩයා” කෘතියේ විස්තර කොට ඇති අතර, එම පරිච්ඡේදය පාසල්වල සිංහල පෙළපොතෙහි පරිච්ඡේදයක් ලෙස එක්කොට ඇත්තේ, එහි ඓතිහාසික බව සලකා විය යුතුය.
1957 මහා ගංවතුර ගැන පරිච්ඡේදය ඔහු ආරම්භ කරන්නේ මෙසේය.
ආණ්ඩුව මුහුණ දුන්බරපතළම ප්‍රශ්නය ගැන එකල අගමැති බණ්ඩාරනායක කියයි
“1957 දෙසැම්බර් මාසයේ දී සිදු වූ, ජීවිතයේ දී අමතක නොවන ත්‍රාසජනක සිද්ධිය කුමක්දැයි ප්‍රශ්න කළහොත් “මහා ගංවතුර”යි ඔබ පිළිතුරු දෙනු ඇත. එහෙත් මගෙන් එම ප්‍රශ්නය ඇසුවොත් වචන දෙකකින් පිළිතුරු දී නිශ්ශබ්ද වීමට මට බැරිය. ඊට හේතුව මට අමතක නොවන සිද්ධිය වශයෙන් කීමට දිග කතන්දරයක් තිබීමය. 1958 වර්ෂය සඳහා මුද්‍රණය කරන ලද ‘ගල්ඔය පින්තූර දිනපොත් හාර දහසක් පටවන ලද වෑන් රථයක් භාරව දෙසැම්බර් 21 වෙනිදා කොළඹින් පිටත්ව ගල්ඔය ගිය මා අම්පාරට ළඟා වූයේ ද සෑහෙන පමණ දුක් විඳගෙනය. මුලදී පොළොන්නරුව පාරෙන් යාමට අදහස් කරගෙන ගමන් ගත් නමුත්, මනම්පිටියේ පාර ගංවතුරෙන් යට වී ඇති බව පොතුහැර දී දැනගන්නට ලැබුණෙන් අප රථය ආපසු හරවා ගෙන නුවර-ගම්පොළ පාරේ ගමන් කර රාත්‍රි 2ට පමණ බදුල්ලට ළඟාවූ හැටිත්, බදුල්ල පොලිසියේ රාත්‍රිය ගත කර පසුදා උදේ බිබිල - මහඔය පාරේ මඩකලපුවට ගිය හැටිත්, එතැනින් පිටත්ව ගමන් ගනිද් දී කල්ලාර් හි පාර හරහා ගලා ගිය ගංවතුරෙන් අමාරුවෙන් තල්ලුකර රථය එතෙර කරගත් හැටිත්, මගේ සිහියට නංවන්නේ ඇඟේ මවිල් කෙළින් කරවන හැඟීම්ය. එහෙත් ගල්ඔය ගිය ගමනට වඩා ආපසු ඒම පිළිබඳ කතාව ත්‍රාසයෙන් වැඩි නිසා මම දැන් ඒ විස්තරය පමණක් කියමි. ගල්ඔය මිටියාවත හතර වටින් ගංවතුරෙන් යටවී යද්දී ඒ ඇතුළට රිංගාගත් මට පිටතට පැනගැනීමට තිබූ එකම මග ගුවන් මග පමණකි. එහෙත් ඉතාමත් අයහපත් කාලගුණය නිසා දින කීපයක්ම අම්පාරට ගුවන් යානා නොබැස්සවීම නිසා මගේ බලාපොරොත්තු සුන් වී ගියේය.”
ලිඛිත ඉතිහාසයේ සඳහන් පරිදි 1957 දෙසැම්බර් 23 සඳුදා උතුරු මැද පළාතෙහි නාච්චදුව වැව උතුරා යෑම නිසා, අනුරාධපුර නගරය බලවත් අවදානමකට මුහුණ පා ඇත. මේ අතර මල්වතු ඔය පාලම ගංවතුරෙන් යටව ගිය හෙයින් ලොරි ආදී බර වාහන යෑම තහනම් කරන ලදී. 1957 දෙසැම්බර් 23 වැනිදා වන විට මල්වතුඔයටත් නව නගරයටත් අතර ගෙවල් දෙසිය පනහක් පමණ ගංවතුරෙන් යට වී තිබිණි. ඒ මෙන්ම නාච්චදූව වැවේ වතුර මට්ටම පිටාර බැම්මෙන් උඩ අඩි 4යි. අඟල් 4ක් පමණ වී ක්‍රමයෙන් වැඩි වන්නට විය.

වසර 68 කට පෙර එනම් 1957දෙසැම්බර් මස 25 වැනිදා මෙම මහ ගංවතුර හටගෙන තිබුණේ දින කීපයක් තිස්සේ නොකඩවා රජරටට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසාය. නාච්චදූව වැව කැඩීයාම ඊට හේතු විය. කැඩුණු නාච්චදූව වැවේ ජලකඳ ගෙවල් දොරවල්, කෙත්වතු පමණක් නොව, මහ කැලය ද යටකර ගෙන ගලාගෙන විත් මල්වතු ඔයට එක්වීමත් සමග ඔය දෙගොඩතළා යාමෙන් මේ මහ ගංවතුරට පළාතම පවුල් පිටින් යට විය.
1957ගංවතුරෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩවසන උඩමළුව ඇතුළු උසින් පිහිටි බිම් හැරුණු විට අනෙක් හැම ප්‍රදේශයක්ම ගංවතුරට යට විය. අනුරාධපුර නව නගරය ලෙස සැලකෙන ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථානය ද, පොදු වෙළෙඳසළ ප්‍රදේශය ද, මධ්‍ය මහා විද්‍යාලය පිහිටි ප්‍රදේශය ද, එදා ඒ ගංවතුරට අඩි 6කට වඩා යට විය.
මේ වකවානුව වන විට බණ්ඩාරනායක ආණ්ඩුවේ කම්කරු හා සමාජසේවා අමාත්‍යවරයා වූයේ. ටී.බී. ඉලංගරත්න ය. ඔය කියන සංදියේ මේ නස්පැත්තියට ප්‍රතිකර්ම කිරීමට සමාජසේවා දෙපාර්තමේන්තුව සතුව තිබී ඇති සබ්බ සේසත වී ඇත්තේ රුපියල් ලක්‍ෂ හයක් පමණි.
එවකට කම්කරු හා සමාජ සේවා අමාත්‍ය ටි.බී. ඉලංගරත්නයන් පවසා තිබුණේ ජල ගැල්මෙන් අනාථ වූ සියලු දෙනාටම ආධාර දීම සඳහා තමා කටයුතු කරන බව ය.
දෙසැම්බර් 23 වන විට රුපියල් ලක්ෂ හයක මුදලක් සමාජ සේවා දෙපාර්තමේන්තුව සතුව ඇති බවත්, එම මුදල් ප්‍රමාණය මදි වුවහොත් තවත් මුදල් ලබාදෙන මෙන් අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට යෝජනා කරන බවත්, හෙතෙම කීවේය.
මෙම ගංවතුරෙන් මල්වතුඔය පිටාර ගැලීම නිසා වේගයෙන් උතුරට ගලාගෙන ගිය ජල පහරට හසුවූ වන අලි පවා ගසාගෙන ගොස් ඇත. එම ජල පහරට හසුවී ගසාගෙන ගිය සමහර ගවයින් ගේ කඹ පැටලී මරණයට පත් වී උන්ගේ සිරුරු උස් ගස්වල අතු අතර රැඳී තිබුණ බව දක්නට ලැබුණේ ගංවතුර බැස යාමෙන් පසුවය. එහෙත් ඒ උස් ගස්වල රැඳුණු ගවයින් ගේ සිරුරු කුණුවී ඕජස් ගලන තත්ත්වයේ පැවතුණි.
දෙසැම්බර් 25 වැනි බදාදා වන විට අනාථ වූ පිරිස ලක්ෂ දෙක දක්වා වැඩි වී තිබුණ අතර, අනුරාධපුර හුරුළුවැව පිටාර යමින් තිබූ ඒ දිනවල මිනිසුන්ට ගංවතුරෙන් ගැලවීම සඳහා ගස් උඩට නගින්නට පවා නොහැකි වූයේ පිඹුරන්, නයින්, පොළඟුන් වැනි විෂකුරු සතුන් එම ගස්වලට නැඟ තිබීම හේතුවෙනි. අනුරාධපුර මහමෙව්නා උයන සහ අභයගිරි ස්තූපය ආශ්‍රිත පෙදෙස් ගං වතුරෙන් යට වී එකම ජලාශයක් වී තිබුණි.
මෙම ගංවතුර තත්ත්වය හඳුන්වන ලද්දේ 1907 න් පසු ඇති වූ විශාලතම ගං වතුර ලෙසය. ගංවතුරට මඩකලපුව උතුරා මුළු ප්‍රදේශයම යට වී යෑම නිසා මඩකලපු දුම්රිය ධාවනය දින නියමයක් නොමැතිව අත්හිටුවන ලදී. පොළොන්නරුව, මනම්පිටිය දුම්රිය මාර්ගය ජලයෙන් යටවීමෙන් දුම්රිය ගමනාගමනයේ යෙදුණු මගීහු විශාල පිරිසක් අතරමග අතරමං වූහ. මේ අතර තුන්දාහකට වැඩි නිවාස ප්‍රමාණයක් ජලයෙන් යට වී, මහවැලි ගඟ පිටාර යෑමත් සමග මහවැලි ගඟේ ගමන් මාර්ගය වෙනස් මගක් ඔස්සේ ගලන්නට වීමෙන් තවත් මිනිස් ජීවිත ගණනාවක් බිලිගන්නා ලදී. 1957 ගංවතුර එකල කෙතරම් තීරණාත්මක සාධකයක් වූයේද යත් - ඒ හේතුවෙන් එම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ කැලණි පෙරහර ද අවලංගු කොට දමන ලදී.
ගංවතුරෙන් පස්වැනි දිනය වනවිට කුරුණෑගල ඇතුගලකන්දෙන් කොටසක් කඩා බිම හෙලෙන ලදී. රටේ නන්දෙසින් මිනිස් මරණ විශාල වශයෙන් වාර්තා විය. කල්මුණේ, අම්පාර, අනුරාධපුර, මඩකලපුව, පොළොන්නරුව, පුත්තලම, බදුල්ල, වව්නියාව, හම්බන්තොට ආදී ප්‍රදේශ මෙම ව්‍යවසනයේ අවාසනාවන්ත ගොදුරු බවට පත්වූයේ කනගාටුදායක ලෙසය.
එවකට ඉඩම් අමාත්‍යවරයා වූයේ සී.පී. ද සිල්වා ය. පරක්‍රම සමුද්‍රය පුපුරා ඇති බව දත් ඉඩම් අමාත්‍යවරයා ටැලිග්‍රෑම් එකක් අගමැති කාර්යාලයට එවන ලදී.“පරාක්‍රම සමුද්‍ර බැම්ම පුපුරා ඇත. හෙලිකොප්ටර් 5ක් වහාම එවනු මැනවි.”එම ටැලිග්‍රෑම් එකේ සටහන් විය. එහෙත් සියලු සන්නිවේදන ටෙලිෆෝන් කණු පවා විනාශ වී පැවති නිසා එම පණිවුඩය සුවිශේෂ වූ රේඩියෝ මැසේජ් ක්‍රමයක් මගින් කොළඹ අගමැති කාර්යාලයට යැවූ බව එකල පුවත්පත් වාර්තා කොට තිබුණි.
මෙවර ‘දිට්වා හතුරා ගෙන් රට බේරා ගැනීමට අසල්වැසි ඉන්දියාව පෙරමුණ ගත් අයුරුම, එදා 1957 දී ද ඉන්දියාව සිය ගුවන් හමුදාව සතුව ඇති හෙලිකොප්ටර් 5ක් ලංකාවට ලබාදෙන ලදී.
එකල වරායේ වෘත්තීය සමිති බලය හිමි වූයේ එන්.එම්. පෙරේරාටය. නමුත් වරායේ සේවය කළ කම්කරුවෝ පාලනාධිකාරයට දන්වා සිටියේ - ආධාර වශයෙන් ලංකාවට පැමිණි ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නැව් වලින් ගොඩ බෑමේ කටයුතු වැටුප් රහිතව සිදු කරන හෙයින්, තමුන්ට කෙරෙන සියලු ගෙවීම් ගංවතුරෙන් අනාථවූවන්ට ආහාරපානාදිය වෙනුවෙන් වියදම් කරන ලෙසය.
මෙම ගංවතුර ව්‍යසනය හමුවේ මහර සිරගෙදර විසූ සිරකරුවන් සහ විදුලිබල මණ්ඩල සේවකයින් දිනකට තමන්ට ලැබෙන පාන් දීමනාව මාසයක් පුරා ගංවතුරෙන් අනාථවූවන්ට පිරිනැමීමට කැමැත්ත පළකොට තිබුණු අතර, ගංවතුරින් අසරණ වූවන්ට ආධාර සැලසීම උදෙසා කම්කරු සමිති සම්මේලනය තීරණය කර තිබුණේ - සෑම කම්කරුවකුටම තමන්ගේ දිනෙක වැටුප විපතට පත් වූවන් සඳහා පරිත්‍යාග කළ යුතු බවටය.
මෙවර ‘“දිට්වා” නිසා ලුණු ලේවායන්හි ලුණු විනාශ වූවා මෙන්ම, 1957දී ගංවතුර නිසා හම්බන්තොට ලුණු ලේවාය ද විනාශයට පත් වී තිබේ .
මෙයින් වසර 14 කට පෙර, එනම් 2011 ගංවතුර උවදුරු අවස්ථාවේ අනුරාධපුර නව නගරයේ වෙද මහතෙකු වූ ඩැනිස්ටර් මදනායක 1957 ගංවතුර උවදුර ගැන සටහනක් තබා ඇත්තේ මෙසේය. හෙතෙම ජීවතුන් අතර සිටියා නම් අද වයස අවුරුදු 106 කි.
“මම බිරිඳ සහ දරුවන් සමග ඒ දවස්වල පදිංචි වෙලා සිටියේ දැන් පැරණි නගරය ලෙස හඳුන්වන ප්‍රදේශයේ. සතියකට වඩා එක දිගටම රෑ දවල් නැතිව වැස්සා. බසවක්කුළම වැව පිටාර ගැලුවා. දිනය මට මතක හැටියට 1957 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 25 වැනිදා. නාච්චදූව වැව කැඩුණා කියලා අපට ආරංචි වුණා. ඒ එක්කම මල්වතු ඔයේ වතුර වැඩි වෙලා පිටාර ගැලුවා. අපේ ගෙවල් අවට තිබුණු ගෙවල් ඔක්කොම ජලයෙන් යටවුණා.”
“සිරිමහා බෝධිය පැත්තට කොටු වෙලා හිටපු අපි මල්වතු ඔය පිටාර ගලන හැටි බලන්න ගියා. ඒ දිහා බලාගෙන ඉද්දී අපි දැක්කා මල්වතු ඔයේ සත්තු ගහගෙන යන හැටි. වල් අලි දෙතුන් දෙනෙකුත් ගහගෙන යනවා අප දැක්කා. පුත්තලමේ ඉඳලා ත්‍රිකුණාමලයට යන ප්‍රධාන පාර වැටිලා තිබුණේ සිරි මහ බෝධිය ළඟින්, යාපනය හන්දියට නුදුරින් තිබෙන මල්වතු ඔය පාලම උඩින් තමයි ඒ පාරෙ තිබුණේ. මල්වතු ඔයේ හැඩ පාරට එදා තිබුණු ඒ පාළමේ කොටසක් කැඩුණා.”
1957ගංවතුර මට්ටම අනුරාධපුර දුම්රිය නිවාස දෙමහල් ගොඩනැගිල්ලක ලකුණු කරන ලදී. එමෙන්ම පුල්ලියාර් හංදියත්, මාතලේ හන්දියත් අතර මිහින්තලේ පාර මුළුමනින්ම යටවීම නිසා මිනිසුන් එගොඩ මෙගොඩ කිරීමට පෙරට ඇවිත් ඇත්තේ ප්‍රදේශයේ තරුණයින් පිරිසකි. එකී පුද්ගලයෙකු ගොඩකරන්නට එම තරුණයින් අයකොට ඇති මුදල සත විසිපහක් වන අතර, පුශ් බයිසිකලයක් මෙගොඩට ගෙන යන්නට අයකර ඇත්තේ ශත තිහකි.
1957ගංවතුරෙන් පසු එවක අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක හොරණ රජමහා විහාරයේ පැවති උත්සවයක දී එම ගංවතුර ගැන අපූරු ප්‍රකාශයක් සිදු කළේ මෙපරිද්දෙනි.
“මේ ගංවතුර 1907න් පස්සේ ආපු විනාශකාරීම ගංවතුර. මගේ පාලන කාලයේ දී මට මුහුණපාන්නට සිදු වූ බරපතළම ප්‍රශ්නය මේ ගංවතුරයි.”
එකී ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ - සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචමහා බලවේගයට වඩා “ජල බලවේගය” බලගතු බව නොවේ ද?

