1817 - 18 උඩරට විමුක්ති සටනේ නිර්මාතෘ ඉහගම රතනපාල හිමි


බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව ඔවුන්ගේ පාලනයට ගත් පසුව එම පාලනයට විරුද්ධව කළ ප්‍රථම විමුක්ති සටන වන 1817-18 මහ කැරැල්ල කෲර ලෙස මැඩපවත්වා එහි නායකයන් ඝාතනය කළ 1818 නොවැම්බර් 26 වන දින සිට අද වන විට  වසර 207 ක් සම්පූර්ණ වේ. මෙම විමුක්ති සටනේ නායකත්වය ගත්තේ වීර කැප්පෙටිපොල නිලමෙ තුමාය. එහි ආරම්භක නායකයා වූයේ කිවුලේගෙදර මොහොට්ටාල ය. මෙම විමුක්ති සටනේ නිර්මාත්‍යවරයා ලෙස පිළිගන්නේ ඉහගම රතනපාල හිමියන්ය. ඉහගම උන්නාන්සේ ඉහගම බාබාසා ආදි වශයෙන් ලංකා ඉතිහාසයේ සඳහන් වන එම පුද්ගලයා පිළිබඳව පොදු ජනතාවට දැනගැනීමට ඇත්තේ තොරතුරු ස්වල්පයකි.

ආර්.එල්. බ්‍රෝහියර් විසින් ලියා ඇති ‘The Golden Age of military Adventure in Ceylon’ නමැති 1817-18 ඌව කැරැල්ල ආශ්‍රිත සිදුවීම් පිළිබඳ තොරතුරු සඳහන් කෘතියේ ඉහගම රතනපාල හිමියන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ඇත. එම කෘතිය දැනට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති වන නිමල් බණ්ඩාර විසින් ‘ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාන්විතයන්හි ස්වර්ණමය යුගය’ නමින් සිංහලට නගා තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවේ ඉහගම දී 1793 දී උපත ලද ‘බබාසා’ නම් වූ දරුවා වයස අවුරුදු හතේදී මල්වතු විහාරයෙන් ‘ඉහගම රතනපාල’ නමින් පැවිදි දිවියට ඇතුළත් කරන ලදී. ඉගෙනීමේ දක්ෂයෙකු වූ හෙතෙම වයස අවුරුදු 20 දී උපසම්පදා ලැබීය. ඔහුගේ දක්ෂතා නිසා වයස අවු. 21 දී චාරිත්‍රානුකූලව උඩරට රාජධානියේ විවිධ ප්‍රදේශවල ආගමික කටයුතු සඳහා පිටත්කර හරින ලදී. මෙය නිරායාසයෙන්ම ඔහුට උඩරට ප්‍රධානීන් කීප දෙනකුම සමග සම්බන්ධතා ඇතිකර ගැනීමට ලැබුණ අවස්ථාවක් විය.

ඉංග්‍රීසීන් නෙරපා හැර යළි සිංහල රාජධානියක් ඇතිකර ගැනීමට අපේක්ෂාවෙන් සිටි සමහර උඩරට නායකයන්ට ඔහු ඒ කාර්ය සඳහා සුදුසුම පුද්ගලයකු ලෙස වැටහී තිබුණි. ඔවුන්ගේ අදහස වූයේ බුරුම රටින් රාජකුමාරයකු ගෙන්වා උඩරට රජ බවට පත්කර ගැනීමටයි. ඒ අනුව උඩරට නායකයන් කීප දෙනකුම අදහස් කළේ එවැනි කාර්යක් කිරීමට සුදුසුම පුද්ගලයා ඉහගම රතනපාල හිමියන් බවය. එම දුෂ්කරම කාර්ය කිරීම ඉහගම රතනපාල හිමියන්ට භාරකෙරිණ. ඒ අනුව රතනපාල හිමි සිය ආගමික අධ්‍යාපනය වැඩිදියුණු කර ගැනීමට බුරුම රටට යාමට අවශ්‍ය යැයි කියා ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ගෙන් ඒ සඳහා අවසර ඉල්ලීය. ආණ්ඩුකාරයාගේ අවසරය ලැබෙන තුරු කොළඹ ම රැදී සිටීමට ඔහු තීරණය කළේය.

මේ අතර 1811 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඝාතනය කිරීමට අසාර්ථක උත්සාහයක් දැරූ ‘මැලේ මුහන්දිරම්’ නම් අයකු ඔහුට හමුවිය. ඔහු සමග කරන ලද කතාබහේදී සිර කඳවුරක සිරකර සිටින රාජ උරුමය සහිත කුමාරවරු දෙදෙනකු පිළිබඳව ඉහගම හිමියන්ට දැනගැනීමට ලැබුණි. මේ වඩුග කුමාරවරු දෙදෙනා පිළිබඳ තොරතුරු සැලවීමත් සමග බුරුම ගමන අතහැර දැමූ ඉහගම හිමි සිරගෙදර සිටින කුමාරවරු නිදහස් කරගෙනන රජ කරවීමට සැලැස්මක් දියත් කළේය.

අවශ්‍ය කටයුතු සූදානම් කළ ඉහගම හිමියෝ සබරගමුවේ දිසාව වූ එක්නැලිගොඩ හමුවී තම සැලැස්මට සහාය ලබාගැනීමට කටයුතු කළහ. එක්නැලිගොඩ යනු ලංකා ඉතිහාසයේ හමුවන මහාම පාවා දෙන්නා ලෙස කියැවේ. අදහස් කළ පරිදි 1816 ජූලි 16 දින ඉහගම හිමි කපුලියද්දේ හිමි සහ පොද්දල්ගොඩ හිමි සමග එක්නැලිගොඩ සාකච්ඡා කළේය. එක්නැලිගොඩ සිය ජම්ම ගතිය අනුව මෙම කතා බහේ සියලු තොරතුරු ජෝන් ඩොයිලිට හෙළි කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස වහාම ක්‍රියාත්මකවීමෙන් භික්ෂුන් වහන්සේලා තෙනම අත්අඩංගුවට ගැනිණ. නුවරදී අත්අඩංගුවට ගත් උන්වහන්සේලා කොළඹට එවීමට කටයුතු කෙරිණ. කොළඹට එන අතරමගදී සොල්දාදුවන්ගේ ප්‍රමාදයකින් භික්ෂුන් වහන්සේලා පලාගියහ. පොද්දල්ගොඩ සහ කපුලියද්දේ හිමිවරු නැවත අත්අඩංගුවට ගැනීමට හැකි වුවත් ඉහගම හිමි සොයා ගැනීමට ඉංග්‍රීසීන්ට නොහැකි විය.

සිවුර අතහැර දමා සත් කෝරලයට පලාගිය ඉහගම හිමියෝ ගැමියකු ලෙස අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළහ. 1817 උඩරට කැරැල්ල ඇතිවූ පසු එයට එකතු වී එහි මාර්ගෝපදේශකයා බවට පත් විය. අලුතෙන් පත්කරගත් දොරේසාමි රජු යටතේ ‘පට්ටිපොළ දිසාව’ ලෙස පත්වීම් ලද ඔහු කලින් පැවිදිව සිටි නිසා කැරැල්ලේ නායකයකු ලෙස ගෞරවයක් ලැබී තිබුණි.

සිවුර අතහැර දමා සත් කෝරලයට පලාගිය ඉහගම හිමියෝ ගැමියකු ලෙස අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළහ. 1817 උඩරට කැරැල්ල ඇතිවූ පසු එයට එකතු වී එහි මාර්ගෝපදේශකයා බවට පත් විය. අලුතෙන් පත්කරගත් දොරේසාමි රජු යටතේ ‘පට්ටිපොළ දිසාව’ ලෙස පත්වීම් ලද ඔහු කලින් පැවිදිව සිටි නිසා කැරැල්ලේ නායකයකු ලෙස ගෞරවයක් ලැබී තිබුණි.

බ්‍රිතාන්‍යයන් විසින් කැරැල්ල මැඩපැවැත්වූ විට ඉහගම ද අත්අඩංගුවට පත් විය. මුලින් ඔහුට මරණ දඬුවම නියම වූ නමුත් පසුව බ්‍රිතාන්‍යයන් විසින් මුරිසි දිවයිනට පිටුවහල් කරන ලදී. යළිත් 1832 දී එයින් නිදහස්ව ලංකාවට පැමිණියේය. එසේ ලංකාවට පැමිණි ඔහු ශ්‍රී ලංකාවේදී මියගියේ 1833 දී ය.

1817 ආරම්භ වූ ලංකාවේ නිදහස් අරගලයට පණපෙවූ වීර චරිතයක් ලෙස ඉහගම පිළිබඳව වඩාත් විස්තර විවරණයක් අයත් වන්නේ අන්ධ සංචාරකයකු වූ ජේමිස් හොල්මන් විසින් ලියා ඇති සංචාරක සටහන්වලය. ඒ අනුව ඔහු ඉතාමත් ප්‍රියජනක සිරකරුවන් අතර සිටි බුද්ධිමත්ම පුද්ගලයා බව දැක්වේ. ඉහගම ජ්‍යොතිෂය ද වෙදකම ද දැනගෙන සිටි බව කියැවේ. ඔහුගේ ඇස්දෙක පරික්ෂා කළ ඉහගම කියා ඇත්තේ ඇස්වල පෙනීම යථා තත්වයට පත්කළ හැකි අයෙකු ලංකාවේ සිටින නමුත් ඔහුට සමීප පුද්ගලයන් සමග සන්නිවේදන කටයුතු කළ නොහැකි නිසා ඒ පිළිබඳව කිසිවක් කළ නොහැකි බවයි. ඒ වන විට ඉහගමගේ වයස අවුරුදු තිස්හයක් පමණ වන බව හොල්මන්ස් විසින් සඳහන් කර ඇත.

ඉහගම හිමි ජෝන් ඩොයිලි නිතර ඇසුරු කළ බවත් ඔහුගේ ගුරුවරයකු ලෙස කටයුතු කර ඇති බවත් සමහර වාර්තාවල දැක්වේ. ඇහැලේපොළ අන්තිම කැමැති පත්‍රය මුරිසියේ දී ලියූ අතර ඔහුගේ සාක්ෂි කරු ලෙස අත්සන් කොට ඇත්තේ ‘බබාසා’ යන ඉහගමගේ ගිහි නමින් බවද දැක්වේ. බ්‍රිතාන්‍යයේ යටත් විජිත බාර ලේකම් වූ ‘ශ්‍රීමත් අර්ල් බැතර්ස්ට්’ වෙත රොබට් බ්‍රවුන්රිග් යවන ලද රහස් වාර්තාවකින් ඉහගම තෙරුන් විසින් කරන ලද ක්‍රියා පිළිබඳ වැදගත් තොරතුරු දක්වා ඇත.

විජේරත්න අතුරුපාන