දිය මත පාවෙමින් ලෝකයක් දිනූ අනෝමා



සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම ගැහැනියක් සිටිනවා සේම, සෑම සාර්ථක බිරිඳක් පිටුපසම ඇයව විශ්වාස කරන සැමියෙක් සිටීම කොතරම් අගනේ ද යන්න ලොවට පැවසීමට පසුගියදා පැය 12ක කාලයක් දිය මත පාවෙමින් ලෝක වාර්තාවක් තැබූ පනස් පස් හැවිරිදි අනෝමා දිසානායකට හැකි විය. 

විල්සන් දිසානායක විදුහල්පතිවරයාගේත්, සෝමා පතිරණ නම් ඉංග්‍රීසි ගුරුවරියගේත් දියණිය වූ ඇය, තම මාපිය දෙපළ ගිය මගෙහිම යමින්, විසිහත් වසරක් පුරාවට ගුරු වෘත්තියේ යෙදෙමින්, සුවහසක් දූ දරුවන්ගේ නැණ නුවණ ඔපමට්ටම් කිරීමේ උත්තරීතර සේවයේ නිරත වෙන්නීය. ගාල්ලේ යක්කටුව කනිෂ්ඨ විද්‍යාලයෙන් ඇය තම ප්‍රාථමික අධ්‍යාපනය අරඹා කරන්දෙණිය විද්‍යාලයීය ප්‍රාථමික අංශයෙන් එය හමාර කරනු ලැබුවාය. කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් හා ඇල්පිටිය ආනන්ද විද්‍යාලයෙන් ද්වීතීයික අධ්‍යාපනය ලැබ, සරසවි වරම් හිමිකරගත් ඈ, ඉනික්බිති සබරගමුව විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවාය. පසුව ගුරුවෘත්තියට ඇතුළත් වූ ඇය, විවෘත විශ්වවිද්‍යාලයෙන් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපනය ද ලැබුවාය. වර්තමානයේ පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක වන ඈ, තිදරු මවක් ද වේ. එහෙත් ඒ කිසිවක් ඇගේ ගමනට බාධාවක් නොවීය. මේ ඇගේ කතාවයි.

“මගේ දෙමාපියන් ගුරු වෘත්තිකයන්. අපේ අම්මට දරුවෝ තුන්දෙනයි. මම පවුලේ දෙවැනියා. කොල්ලො දෙන්නෙක් මැද්දට ආපු නිසාද මන්දා මමත් පුංචි කාලේ ඉඳන්ම කළේ කොලු‍ වැඩ. මම පුංචි කාලේ ඉඳලාම පීනන්න හරිම ආසයි. ගොඩක් වෙලාවට මල්ලියි, අයියයි එක්ක අම්මට හොරෙන් පීනන්න යනවා. අයියගෙයි, මල්ලිගෙයි යාළුවොත් එක්ක මහඒදණඩ ගඟේ අපි නාන්න යනවා. ඒකෙ තියෙනවා පාලමක්. පාලමේ උඩ ඉඳලා අපි ගඟට පනිනවා. මල්ලිගේ යාළුවෝ පනින්න එන්නේ නැහැ. අයියගේ යාළුවො එහෙම මට වඩා ගොඩක් ලොකුයි. ඒ වුණත් මම එයාලත් එක්ක පාලමේ උඩ ඉඳන් ගඟට පනිනවා. මම තමයි වැඩියෙන්ම පනින්නේ. සමහර දවස්වලට අම්මා අපි තුන්දෙනා හොයන්න කෝටුවක් අරන් එද්දි අයියයි, මල්ලියි කැලේ පනිනවා. මට දුවාගන්න බැරි නිසා, අහුවෙන්නැතිවෙන්න වතුර යටට වෙලා ඉන්නවා. සමහර දවස්වලට රෑට නිදා ගන්නකොට අයියා කෙඳිරිගානවා. වතුරට පැනලා අයියට කනේ කැක්කුම හැදුණාම තමයි හොරාට ගිය ගමන අම්මට අහුවෙන්නේ. එහෙම නැතුව මම අහුවෙන් නැහැ. මේ දඟ වැඩ නිසා අම්මගෙන් බැනුම් අහපු අවස්ථා එමටයි.’’ 

“අම්මගෙයි, තාත්තගෙයි රැකියා ස්ථාන මාරුවීම් එක්ක අපට ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා. එක අවස්ථාවක අම්මලගේ ස්ථාන මාරුවීමක් එක්ක අපිට බදුල්ලට යන්න වුණා. මම ආසම කාලේ, ගෙවුනෙ බදුල්ලෙ. බදුල්ලෙ ජීවත් වෙන දවස්වල බදුලු‍ ඔයේදී, මහ ඒ දණ්ඩ ගඟේත් නානවා. මම ඔයේ නාන්න හරිම ආසයි. අපි ඒ හැම තැනකදිම පීනන්න ගියා. සමහර වෙලාවට අයියගෙයි, මල්ලිගෙයි යාළු‍වොත් එකතු වුණාම එයාලා එක්කත් මම පීනනවා. පාසල් ජීවිතයේ ගෙවුණෙ එහෙමයි.”

“උසස් අධ්‍යාපනයෙන් පස්සෙ සබරගමු විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් කරන්න අවස්ථාව ලැබුණා. කැම්පස් යද්දි මම පිහිනුම් කටයුතුවල නිරත නොවුණත්, ඉන්පසුත් මට අවස්ථාව ලැබෙන හැමවිටකම බදුලු‍ ඔයට එහෙම යනවා. මම හරි ආසයි වතුරෙ ඉන්න. 1997 අවුරුද්දෙදි මම විවාහ වුණා. අපි බැඳලා හිටියෙත් බණ්ඩාරවෙල. එතකොටත් මම මහත්තයට හැම වෙලාවෙම කියන්නේ බදුලු‍ඔයට යමු කියලා. මගේ සැමියත් මගේ පිහිනුම් කටයුතු වෙනුවෙන්, මගේ ආසාවන් වෙනුවෙන් ලොකු සහයෝගයක් දැක්වූවා. මම මට පුළුවන් හැම වෙලාවකම පීනන්න යනවා. මම ඉස්කෝලේ කාලේදිත් ක්‍රීඩා කළා. පීනන්න වුණත් ඉගෙන ගත්තෙ පොඩි කාලේ අයියයි, මල්ලියි එක්ක නාන්න ගිහින් තනියමමයි. එහෙම පුරුදු වෙලා අනිත් අයත් එක්ක පීනද්දි මට හිතුණා, මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න. බැන්දට පස්සෙත් දරුවෝ තුන්දෙනයි, මහත්තයයි එක්ක, අපි එක එක තැන්වලට ගියාමත් පීනනවා. මෙහෙම ලෝක වාර්තාවක් තියන්න ඕනේ කියලා මම මුලින්ම හීන දැක්කෙ 2014 අවුරුද්දේ. අවුරුදු දහයකට විතර කලින් මට මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා කිව්වම, ළමයි පොඩි නිසා පොඩ්ඩක් නතර කරමු කියලා මගෙ මහත්තයා කිව්වා. ඊට පස්සේ 2023 අවුරුද්දේ මහත්තයා විශ්‍රාම ගියා. ඒ වෙනකොට දරුවෝ තුන්දෙනත් ලොකු නිසා මේක කරමු කියලා මහත්තයා තමයි නැවත මාව දිරිමත් කළේ.’’

ඕනෑම දෙයක් ගැන සිහින දැකීම කාහට වුවත් කළ හැක. එහෙත් එය යථාර්ථයක් බවට පත් කරගැනීමට නොපසුබට උත්සාහය මෙන්ම නිම නොවන ධෛර්යයක්ද අවශ්‍ය වේ. ඈ දුටු ඉලක්කය සැබෑවක් කර ගැනීමට පෙර ඇය මුහුණ දුන් අභියෝගද රැසකි. වසර ගණනාවක සිට තමන්ගේ පිහිනීමේ හැකියාවෙන් ලෝක වාර්තාවක් තැබීමට සිහින දුටු ඇය පළමුවෙන් මේ වාර්තාව තැබීම සඳහා තෝරා ගත්තේ කල්පිටිය මුහුදු තීරයයි.

“මම මේ ලෝක වාර්තාව තිබ්බේ 2024-12-12 වැනි දින. මම මේකට අවුරුද්දයි මාස හයක් විතර පුරුදු වුණා. මගෙ පුහුණුවීම් කටයුතුවලට සම්පූර්ණයෙන්ම උදව් කළේ මගේ මහත්තයා. පුහුණුවීම් කරලා අවසාන මාසයේදී මට සිල්වර් ක්ලබ් එකේ ඉසුරු කියල මහත්තයෙක් උදව් කළා. කලින් ලෝක වාර්තාව තියලා තිබ්බේ ඉන්දියාවේ කෙනෙක්, 2014 වසරෙදි. ඒ පැය දෙකයි විනාඩි 47ක කාලයක්. මම තිබ්බෙ පැය දොළහක වාර්තාවක්. ඒක තිබ්බෙ පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ අඩි දාහතරක් ගැඹුරු පිහිනුම් තටාකයක.”

“මේ සඳහා අවශ්‍ය ඇඳුම් කට්ටලයම හැත්ත පන්දාහක් විතර වුණා. මහත්තයා තමයි ඒ හැමදේටම උදව් කළේ. මම හෝමාගම හිටපු නිසා පුහුණු වෙන්න කල්පිටිය මුහුදට යන්න ලොකු දුරක් වගේම, ලොකු මුදලකුත් වැය වුණා. මහත්තයත් එක්ක සිකුරාදා හවසට ඉස්කෝලේ ඇරිලා ඇවිත් කල්පිටියට ගිහින්, සෙනසුරාදා ඉරිදා පුහුණු වෙලා ඉරිදා රෑ වෙනකොට ගෙදර එනවා. ඒ ඇවිත් ආයෙත් සඳුදා මම ඉස්කෝලෙට යනවා. ඒ හැම දේම මැද පුහුණුවීම් කටයුතුවල නිරත වුණත්, කල් යද්දි මුහුද රළු වුණ නිසා අවසාන මොහොතෙ අපි ඒක නතර කරලා දැම්මා. ඊට පස්සේ මම දැන් ඉන්න හෝමාගම තියෙන හෝටල් දෙකක පිහිනුම් තටාකවල තමයි පුරුදු පුහුණු වුණේ. සෙනසුරාදා ඉරිදා මම මුළු දවසම පූල් එකේ තමයි හිටියේ. සඳුඳා ඉස්කෝලේ ගිහින් දවසක් ඇර දවසක් මම කෙළින්ම යන්නෙ පූල් එකට. මේකෙදි පූල් එක මට තනිවම අවශ්‍ය වෙනවා. මොකද තව කෙනෙක් බැස්සම වතුර මූණට උඩින් යන නිසා. ඒ නිසා මට සම්පූර්ණ පූල් එකම එදාට වෙන් කර ගන්න වෙනවා. ඒකට විශාල මුදලක් වැය වුණා. ඒ වගේ බාධක තමයි තිබුණේ. පූල් එකට යද්දිත් මහත්තයා උදේ තුනහමාරට විතර නැගිටලා ප්‍රෝටීන් වැඩිපුර තියෙන කෑම කන්න ඕනේ කියලා මට උයලා මට කන්න දෙනවා. නැත්තං පූල් එකට බහින්න බැහැ. පහයි හතළිස් පහට විතර ලෑස්ති වෙලා හය වෙනකොට මම පූල් එකට බහිනවා. හැමදාම පැය දොළහක් ඉන්නෙ නැහැ. පැය දහයෙන්, අටෙන්, හයෙන් ඉඳලා එනවා. ඒ විදිහට තමයි පුහුණුවීම් කටයුතුවල යෙදුනෙ. ඊට අමතරව මම මනස සැහැල්ලු‍ කර ගන්න රෑට අනිවාරෙන් විනාඩි 45ක් විතර මෛත්‍රී භාවනාව කරනවා. ලෝක වාර්තාව තියන්න අන්තිම මාසෙදි විතර යාළුවෙක් මාර්ගයෙන් ඉසුරු ගමගේ කියලා පුහුණුකරුවෙක් මුණ ගැහුණා. දවස් දෙකක් ඔහු සමගත් පුහුණුවීම් කටයුතුවල යෙදෙන්න අවස්ථාව ලැබුණා.” 

මින් නොනැවතෙන බව පැවසූ ඇය, ඉදිරියේ දී පිහිනුම් තටාකයේ පද්මාසනයෙන් සිට තවත් ලෝක වාර්තාවක් තැබීමට බලපොරොත්තුවෙන් සිටින බව පැවසූ අතර, ගුරුවරියක් ලෙස ඇය මෙසේ ද පැවසුවාය. 



“මම හැම වෙලාවෙම උගන්වන්නේ මගේ මට්ටමේ ගුරුවරියක් වෙන්න කියල නෙමෙයි. මට වඩා ඉහළ මට්ටමකට ගිහිල්ලා ඉහළ රැකියාවක් කරන්න. ඒ වගේම තමයි මම දැන් කියනවා මගෙ වාර්තාව ඇත්තටම කඩන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ඒක මැරිච්ච දෙයක් වගේ. එහෙම වෙන්න එපා. විශේෂයෙන්ම මගේ වයසේ කෙනෙක් එනවා නම් මම තවත් කැමතියි. මම මේක නැවත කරන්න දැනට කිසිම අදහසක් නෑ. මට ඕන වෙන වර්තාවක් තියන්න. මේ වාර්තාව තව කෙනෙකුට කඩන්න පුළුවන් වෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නෙ.’’ 

පැය දොළහක් සාර්ථකව දිය මත පාවෙමින් මෙසේ ඇය තැබූ ලෝක වාර්තාව පිටුපස ඇයට ශක්තියක් වූ යෝධ හස්තයන් රැසකි. ඒ සියලු‍ දෙනාටම ඇය තම හදවතින්ම මෙසේ ස්තූතිය පුද කළාය.

 “මගේ පවුලේ අය, විශේෂයෙන්ම මගේ මහත්තයයි (කේ. තිලකසිරි තාබ්‍රෙව්), මගේ ලොකු පුතා (අවිෂ්ක තාබ්‍රෙව්), දුව (අංජනා තාබ්‍රෙව්) පොඩි පුතායි (අභිෂේක තාබ්‍රෙව්), මගෙ අයියයි (ආනන්ද දිසානායක), මල්ලියි (මහින්ද දිසානායක) තමයි මට මේ වාර්තාව තියන්න ශක්තියක් වෙලා හැම වෙලාවෙම ළඟ හිටියෙ. ඒ වගේම පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ මහේෂ් රත්නායක විදුහල්පතිතුමා තමයි මට ගොඩක් උදව් කළේ.

ඒ පාසලේ පිහිනුම් තටාකය අරගෙන වැඩ ටික කරගන්න. ඒ වගේම මගේ පාසලේ විදුහල්පති (මංජුල කරුණාරත්න), නියෝජ්‍ය විදුහල්පති, ඉංග්‍රීසි අංශයේ අපේ උපදේශකතුමිය, රේණුකා මහත්මිය, ගුරු මණ්ඩලය, ළමුන්ගේ දෙමාපියන්, ත්‍රීවිල් පාක් එකේ අය. ඒ හැමෝම මට ලොකු සහයෝගයක් දැක්වූවා. විශ්‍රාම ගියපු කිහිප දෙනෙකුත් ඇවිල්ල මට ලොකු සහයෝගයක් දැක්වුවා. රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදක හා නිවේදක කමල් කාරියවසම් මහත්මාත් මට උදව් කළා. ඒ වගේම මට උපහාර උළෙලක් පැවැත් වූ සියලු‍දෙනාට, ඒ හැම කෙනෙකුටම මම ස්තූතිවන්ත වෙනවා.’’


කෞශල්‍යා ලක්ෂානි