හිරගෙදර තදබදය මට්ටු කරන්න අලු‍ත් නීති දහයක්


සුජිත් හේවාජුලිගේ

බන්ධනාගාරවල සිරකරු තදබදය වැළැක්වීමට අලු‍ත් නීති දහයක් පමණ හඳුන්වා දී ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර පැවසීය.

මේ යටතේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා (Government Analyst Reports)  මාස දෙකක් ඇතුළත ලබා දිය යුතු බවට පනවා ඇති නව  නීතිය විශේෂ එකක් බවද ඔහු ප්‍රකාශ කළේය. විෂ වර්ග අබිං  අන්තරායකර ඖෂධ පනතේ සංශෝධන මගින් මෙම නව නීති හඳුන්වා දී ඇත. මේ අතර රජය ක්‍රියාත්මක කරන නව යාන්ත්‍රණය යටතේ 2027 ජනවාරි 31 වන විට සියලු‍ම රස පරීක්ෂක වාර්තා මාස තුනක් (03) ඇතුළත ලබාදීමේ නිල ඉලක්කය සපුරා ගැනීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

මීට පෙර රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට වසරකට වැඩි කාලයක් ගතවී තිබිණ. නව ක්‍රමවේදය මගින් පසුගිය මාස කීපය ඇතුළත පමණක් වාර්තා 17,500කට අධික ප්‍රමාණයක් කඩිනමින් නිකුත් කර ඇත.
වාර්තා ප්‍රමාදය නිසා සැකකරුවන්ට ඇප ලබා ගැනීමට නොහැකිව බන්ධනාගාරගතව සිටීමට සිදු වූ කාලය මෙමගින් විශාල වශයෙන් අඩු කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා පැවසුවේ මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන බවයි. මීට අමතරව එම දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපකරණ ඇතුළු පහසුකම් ලබාදීමට ද කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීම නිසා මාස දෙකක දී  බන්ධනාගාරවල 5000ක පිරිසක් නිදහස්වී එළියට පැමිණ ඇතැයි වාර්තා වේ.