ඉන්දික හේවාවිතාරණ
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (30දා) සිට ලබන මස 05 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙන බවද ඇතැම් ප්‍රදේශවල නිවාස සියයක් පරීක්ෂා කිරීමේදී නිවාස 10-20 අතර ප්‍රමාණයක මදුරුවන් බෝවන ස්ථාන හමු වී තිබෙන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සතිය තුළ කොළඹ මහ නගර සභාව ඇතුළු හඳුනාගත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කොට්ඨාස සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 111 ක් මුල් කරගෙන එනම් වැඩි අවදානම් සහිත ප්‍රදේශ ඉලක්ක කරගෙන මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක බව සඳහන් කළේය.
මෙම අගය ආසන්න වශයෙන් නිවාස දෙකත් නිවාස තුනත් අතර මට්ටමක පැවතිය යුතු බවත් අඩුම තරමින් නිවාස 05 කට අඩු මට්ටමක පැවතිය යුතු බවත් එම සංගමයේ සභාපති නජිත් සුමනසේන සඳහන් කළේය.
මෙම අගය බ්‍රිටෝ දර්ශකය ලෙස හඳුන්වන බවත් මේ අනුව බ්‍රිටෝ දර්ශකය 5ට අඩු අගයක පවත්වාගත යුතු බවත් බ්‍රිටෝ දර්ශකය යනු ඩෙංගු මදුරු කීටයන්ගේ ඝනත්වය මනින ජාත්‍යන්තර ඒකකයක් බවත් .එහිදී සලකා බැලෙන්නේ ඩෙංගු වෛරසය වැඩියෙන්ම ව්‍යාප්ත කරන ඊඩිස් ඊජිප්ටයි මදුරු ගහනය කෙතරම් ප්‍රමාණයක් සිටිනවාද යන්න බවත් ඔහු පැවසීය.
මෙම සතිය තුළදී ජනතාව දැනුම්වත් කිරීම, මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කිරීම හා පසුගිය කාලයේදී මදුරුවන් බෝවෙන ස්ථාන හමු වී ඒවා නිවැරදි කර ගන්නා ලෙස දැනුම් දී තිබෙන ස්ථාන පරීක්ෂා කිරීමද සිදුවෙන බවත් මෙහිදී අදාළ නිවැරදි කිරීම් සිදුකර නොමැති වුව හොත් එම පිරිස්වලට නීතිය ක්‍රියාත්මක විය හැකි බවත් හෙතෙම පැවසීය.
එබැවින් සියලු දෙනා එක්ව මදුරුවන් බෝවෙන ස්ථාන හැකි තාක් දුරට අඩු කර ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවත් , කසළ බැහැර කිරීම ක්‍රමවත්ව සිදු කළ යුතු බවත් ජලය රැඳෙන ස්ථාන විනාශ කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
මෙම වර්ෂයේ ගෙවීගිය කාලයෙහිදී ඩෙංගු රෝගීන් 27,932 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
පසුගිය අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 5166 ක් සහ මැයි මස ඩෙංගු රෝගීන් 6034 ක් හා මේ මාසයේ ගෙවීගිය කාලයෙහිදී ඩෙංගු රෝගීන් 4372 ක් වාර්තා වී ඇති බව සඳහන් කරයි. ජනවාරි මස සිට ජුනි මස වන විට ඩෙංගු රෝගය නිසා මරණ 16 ක් වාර්තා වී තිබේ.
ජනවාරි මස සිට ජුනි මස දක්වා මදුරුවන් බෝවිය හැකි යැයි අනුමාන කරන ස්ථාන 179,026ක් නිරීක්ෂණය කර ඇත. නේවාසික ස්ථාන 167,081 ක්, පාසල් 317 ක්, අනෙකුත් අධ්‍යාපන ආයතන 386 ක්, රජයේ ආයතන 927 ක්, පෞද්ගලික ආයතන 6935 ක්, කර්මාන්ත ශාලා පරිශ්‍ර 231 ක්, ඉදිකිරීම් පරිශ්‍ර 930 ක්, පූජනීය ස්ථාන 657 ක්, පොදු ස්ථාන 320 ක් මීට අයත් බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි
ඉදිකිරීම් සහ කර්මාන්ත ශාලා පරීක්ෂා කළ ප්‍රමාණය තුළ සියයට 50 ක මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඇත.