සෞඛ්‍යයේ දත්ත පද්ධතිය සුදු අලියෙක් වෙලා


ඉන්දික හේවාවිතාරණ

සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන දත්ත පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ඖෂධ සම්බන්ධයෙන් ගැටලු රැසක් නිර්මාණය වී තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

මෙම දත්ත පද්ධතිය මීට මාස 04 ක පෙර ස්ථාපිත කළ බවත්, මේ සඳහා රුපියල් මිලියන ගණනක් වියදම් කර තිබෙන බවත්,  මීට පෙර රුපියල් මිලියන හැත්තෑවක් (70) වියදම් කර සකස් කළ දත්ත පද්ධතියේ පැවැති දෝෂ නිසා නව පද්ධතිය සකස් කළ බවද පවසා සිටියේය.


මෙම දත්ත පද්ධතිය තුළින් රෝහල්වල තිබෙන ඖෂධ තොග පිළිබඳව නිසි ලෙස දත්ත නොපෙන්වීම නිසා ජාතික මට්ටමේ හදිසි මිලදී ගැනීම් හා ප්‍රාදේශීය මට්ටමේ හදිසි මිලදී ගැනීම් සිදුකරන බවත්, එහෙත් පසුව සමහර රොහල්වල අදාළ ඖෂධ තොග තිබෙන බවට හෙළිවෙන බවද  සඳහන් කළේය.
පසුගිය කාලයේදී අක්ෂි කාච මිලදී ගැනීමට යාමේදීත් මේ අනුව ගැටලු නිරිමාණය වූ බවත්, එක් කණ්ඩායමක් මාස 06 කට ප්‍රමාණවත් අක්ෂි කාච තිබෙන බවට ප්‍රකාශ කරන විට දත්ත පද්ධතියේ එක් අක්ෂි කාචයක්වත් නොමැති බවට පෙන්නුම් කළ බවද පවසා සිටියේය.


වසර තුනකට ආසන්න කාලයකට ප්‍රමාණවත් තරම් ප්‍රතිජීවක ඖෂධයක් තිබියදී එම  ප්‍රතිජීවක ඖෂධය හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට සැලසුම් කරමින් තිබෙන බවත්, මෙම ඖෂධය ආසන්න වශයෙන් මාසයකට අවශ්‍ය වෙන්නේ පනස් දහසත් හැට දහසත් අතර ප්‍රමාණයක් බවද සඳහන් කළේය.
දත්ත පද්ධතියට අනුව මේ වෙන විට මෙම ඖෂධයේ  ඒකක ලක්ෂ 11 ක් තිබෙන බවට පෙන්නුම් කරන බවත්, එහෙත් නිලධාරින් විසින් අදාළ ඖෂධය නොමැති බවට ප්‍රකාශ කරන බවත්, ඉදිරි කාලයේදී මෙම ඖෂධයේ ඒකක ලක්ෂ හතර හමාරක් පැමිණීමට නියමිතව තිබෙන බවද පවසා සිටියේය.
සමහර ඖෂධ හිඟවීම නිසා අදාළ ඖෂධය රෝගින්ට මිලදී ගෙන දෙන ලෙසට දැනුම් දෙන බවත්, එහෙත් පසුව සොයා බැලීමේදී එම ඖෂධ වර්ගය වෙනත් රෝහල්වල තිබෙන බවට හෙළිවන   බවද සඳහන් කළේය.


ආසියානු සංවර්ධන බැංකුවේ  රුපියල් මිලියන හත්සීයක(700) ව්‍යාපෘතියක් යටතේ දත්ත පද්ධතිය සකස් කර තිබෙන බවත්, එහෙත් මෙම දත්ත පද්ධතියට වියදම් කළ මුදල හෙළි වී නොමැති බවද පවසා සිටියේය 


ඖෂධ හිඟය පෙන්නුම් නොකරන බව සඳහන් කර රුපියල් මිලියන 70 ක වියදම් සකස්කළ දත්ත පද්ධතිය ඉවත් කර මෙම දත්ත පද්ධතිය සකස්කළ බවත්,  එහෙත් එම පද්ධතිය පවා නිසිලෙස ක්‍රියාත්මක නොවන බවත් නිවැරදි ලෙස දත්ත පද්ධතිය ක්‍රියාත්මක කළහොත් ලංකාවේ ඕනැම රෝහලක පවතින ඖෂධ තොග ප්‍රමාණය බලා ගත හැකි බවද සඳහන් කළේය.


දත්ත පද්ධතියේ ඖෂධ තොග නොපෙන්වීම නිසා ප්‍රාදේශීය මට්ටමින් හදිසි මිලදී ගැනීම් සිදුවෙන  බවත්, මේ නිසා කඩිනමින් මෙම දත්ත පද්ධතිය  නිවැරදි ලෙස සකස් කළ යුතු බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ සංචාරය නිමවා මෙරටට පැමිණි වහාම මේ පිළිබඳව පැමිණිලි කරන බවද පවසා සිටියේය.