සුදු සීනි-පරිප්පු බදු අඩුකිරීමෙන් කෝටි 10,000ක් අහිමියි


මහින්ද නිශ්ශංක

සුදුසීනි හා පරිප්පු ආනයන බද්ද 2000 වසරේදී ශත 25 දක්වා අඩු කිරීම නිසා රජයට ලැබීමට තිබූ රුපියල් කෝටි 10000 ක පමණ ආදායමක් අහිමිකර ගෙන ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

කිසිදු සාධාරණ හේතුවක් නොමැති එවකට පැවැති රජයේ ප්‍රබලයෙකුගේ හිතුමනාපයට ගත් මෙම තීරණය නිසා සීනිවලින් පමණක් රුපියල් කෝටි 8500කද පරිප්පුවලින් රුපියල් කෝටි 1500කද ආදායමක් අහිමිව තිබේ.


සුදුසීනි කිලෝවක් සඳහා පැවැති රුපියල් 50ක ආනයන බද්ද සහ රුපියල් 10ක් ලෙස තිබූ පරිප්පු ආනයන බද්ද 2020 ඔක්තෝබර් මස 13 දා ශත 25 දක්වා අඩු කෙරිණ.
සීනි බදු අඩුකිරීමත් සමග 10 දෙනෙකුට පමණ සීමා වී තිබූ ආනයනකරුවන්ගේ සංඛ්‍යාව 100 දෙනෙකු දක්වා ඉහළ ගිය බවද ආනයනකරුවෝ පවසති.


ඊට අලුතින් එක්වූ ආනයනකරුවන් අතර ගොඩනැගිලි ද්‍රව්‍ය, රෙදිපිළි, ප්ලාස්ටික් භාණ්ඩ ප්‍රධාන විවිධ භාණ්ඩ ආනයනකරුවෝ ද වෙතැයි එම ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.
මෙරට සීනි මාසික අවශ්‍යතාව මෙ.ටො. 50000ක්  බවත් ඉන් මෙටො 25000ක් භාවිත වනුයේ රසකැවිලි බිස්කට් හා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා බවත් ඉතිරි මෙටො 25000 මිනිස් පරිභෝජනයට යොදා ගන්නා බවත් ඉන් පෙන්වා දෙයි.


මෙසේ බදු අඩුකර වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇති අතර මේ දක්වා සීමාවකින් තොරව රටට සීනි සහ පරිප්පු ආනයන කෙරෙන බව පවසන ආනයනකරුවෝ පිටකොටුව තොග වෙළෙඳපොළ සීනි හා පරිප්පුවලින් පිරිගොස් ඇතැයි ද කියති.