ශිරන්තිට සිංගප්පූරුවේ දී ඇසක ශල්‍යකර්මයක්


ලංකාවට ආපු ගමන් පෙනී සිටින බව නීතිඥ පොලිස් අපරාධ කොට්ඨාසයට දන්වයි

සුජිත් හේවාජුලිගේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අක්ෂි ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටින හෙයින් එම කටයුතු නිමවා ලංකාවට පැමිණි වහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින බව ඇයගේ නීතිඥවරයකු එම කොට්ඨාසයට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක් කර ඇතත් ඇය සිටින තත්ත්වය අනුව පැමිණිය නොහැකි බවද නීතිඥවරයා වැඩිදුරටත් දන්වා ඇත.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය සිරිලිය සවිය සංවිධානයේ ගනුදෙනුවලට අදාළව පැවැත්වෙන විමර්ශනයකට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය  16 වැනිදා ඇයට දැනුම් දී තිබිණ.

ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණේද 16 වැනිදාය.

මේ සම්බන්ධයෙන් අප හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ශිරන්ති රාජපක්ෂ අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බවයි.

ඇය ලංකාවට පැමිණි වහා එම කොට්ඨාසයට ඉදිරිපත් වන බව ද හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිසියේ ප්‍රකාශකයකු පැවසුවේ ඇයගේ රෝගී තත්ත්වය ගැන අවධානයෙන් පසුවන බවයි.