උපුල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ දුප්පත්කම තුරන්කිරීම යන අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා කෘෂි ව්‍යාපාර (Agribusiness) ඉතා වැදගත් බව ද එය ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීම සඳහා වන ලෝක බැංකු සමූහයේ නව උපායමාර්ගයේ එක් ප්‍රධාන ක්ෂේත්‍රයක් බව ද ලෝක බැංකුව පවසයි.
ශ්‍රී ලංකාව සම්බන්ධ නවතම සංවර්ධන යාවත්කාලීන වාර්තාව (Recovery to Transformation) නිකුත් කරමින් එම ආයතනය මේ බව පවසයි.
මෙරටේ භාණ්ඩ අපනයනයෙන් සියයට 30 ක් වෙනුවෙන් කෘෂි ව්‍යාපාර දායකත්වය දක්වන බව කියන මෙම වාර්තාව, ඒ අනුව කෘෂි ව්‍යාපාර විදේශ විනිමය ඉපැයීම්වල වැදගත් මූලාශ්‍රයක් බවට පත්ව ඇති බව ද ප්‍රකාශ කරයි. එසේම මේ කෘෂි ව්‍යාපාර ග්‍රාමීය ජීවිකා වෘත්තීන්හි ද වැදගත් මූලාශ්‍රයක් බව එහි දැක්වේ. තේ, පොල්, කුරුඳු, රබර් සහ මුහුදු ආහාර යනාදියේදී ගෝලීය වෙළෙඳපොළේ ශ්‍රී ලංකාව හොඳ තරගකරුවකු බව ද එම වාර්තාව කියයි.
“ශ්‍රී ලංකාව දැන් වර්ධනයේ නව අදියරකට පැමිණ සිටිනවා. මේ නව අදියර පෞද්ගලික ආයෝජන මගින් ඉදිරයට යා යුතු බව අපි විශ්වාස කරනවා. මේ අදියරේ අවසාන අරමුණ වෙන්නෙ රැකියා උත්පාදනය හා ආර්ථික වර්ධනය. තරුණ ප්‍රජාව, කාන්තාවන් හා ග්‍රාමීය ප්‍රදේශත් ඇතුළත් වෙන විදියට රට පුරාම නව රැකියා උත්පාදනය අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මේ නව අදියර කෘෂි ව්‍යාපාරවලට ඉතාම සමීප වෙන්නෙ. කෘෂි ව්‍යාපාර අංශය කියන්නෙ නව රැකියා උත්පාදනය කිරීමට ඉහළ හැකියාවක් තියෙන ලෝක බැංකුව ගෝලීය වශයෙන් හඳුනාගෙන තියෙන අංශ පහෙන් එකක්. ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීම සඳහා වන ලෝක බැංකු සමූහයේ නව උපායමාර්ගයේ එක් ප්‍රධාන ක්ෂේත්‍රයක් වෙන්නෙත් කෘෂි ව්‍යාපාර අංශය” ලෝක බැංකු සමූහයේ ශ්‍රී ලංකාව භාර වැඩබලන කළමනාකාර ස්ටීපන් මාසින්ග් එම වාර්තාව එළිදැක්වීමට සමගාමීව පසුගිය 6 වැනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී කීවේ ය.

