ආයෝජකයෙකුට දෙන්න කලින් ප්රශ්නය නිරවුල් කරන බව නිවාස ඇමති කියයි
අයිතිකරුවෝ 8 ක් එති
සුජිත් හේවාජුලිගේ
යාපනය ජනාධිපති මන්දිරය ඉදිකර ඇත්තේ යාපනයේ ජනතාවගේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමෙන් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළිවී ඇත. ජනාධිපති මන්දිරයේ ඉඩමට අයිතිකරුවන් අට දෙනකු ඉදිරිපත්වීම හේතුවෙන් එම මන්දිරය ආයෝජකයකුට ලබාදීමේ ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇතැයි වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලකගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම මන්දිරය ආයෝජකයෙකුට ලබාදීමට පෙර ඉඩමේ අවුල් සියල්ල නිරවුල් කරගත යුතු බවයි.
ඉඩමේ අවුල් නිරවුල් කරගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය. යාපනයේ ජනාධිපති මන්දිරය විවිධ ආයෝජන සඳහා ලබා ගැනීමට කැනඩාවේ ආයෝජකයෙකු ඇතුළු පිරිසක් දැනටමත් ඉදිරිපත්ව සිටිති.
2010- 2015 අතර කාල සීමාවේදී ඉදිකර ඇති යාපනය ජනාධිපති මන්දිරය පිහිටා ඇත්තේ කන්කසන්තුරේ ප්‍රදේශයේ අක්කර තිහක පමණ භූමිභාගයකය.එම ඉඩමේ අක්කර පහළොවක් පුරා ගොඩනැගිලි ඉදිකර ඇත.මෙම ඉදිකිරීම්වලට කාලයකට පෙර දෙමළ ඩයස්පෝරාවෙන්ද විරෝධතා එල්ල විය.