- සේවකයන්ටත් නීතියට පිටින් කෝටි දෙකක දීමනා
සුජිත් හේවාජුලිගේ
ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයේ කොඩ්බේ යාත්රාංගණයේ කෝටියකට වැඩි ටග් යාත්රා තුනක් සහ බත්තල් හයක් ද පුල්මුඩේ යන්ත්රාගාර පරිශ්රයේ වීල් ලෝඩර් හතරක් සහ වටිනා ලොරි රථයක්ද කෝකිලායි යන්ත්රාගාරයේ රුපියල් කෝටි හතරක් පමණ වටිනා සර්පිලාකාර යන්ත්රයක් ද කාලයක් තිස්සේ දිරාපත් වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
ටග් යාත්රා තුන සහ බත්තල් හය වසර 26ක් තිස්සේ දිරාපත් වෙමින් තිබූ බවද එහි දැක්වේ. මේවායේ ආරක්ෂාව සඳහා ඉකුත් 2022 වසරේදී පමණක් ලක්ෂ විසි හයක පමණ මුදලක් වැය කර ඇතැයි එම වාර්තාව සඳහන් කරයි.
මේ අතර සමාගමේ සේවකයන්ට ආහාර දීමනාව සහ පැමිණීමේ දීමනාව ලෙස රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
සමාගම සැපයුම්කාර ආයතන විසි අටක් සඳහා 2019 සිට 2021 දක්වා ලක්ෂ විසිපහක මිලදී ගැනීමේ අත්තිකාරම් ගෙවා තිබූ අතර මිලදී ගැනීමේ කාර්යයන් නිමකර එම අත්තිකාරම් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණු බව වාර්තාව සඳහන් කරයි.
යන්ත්රාගාරයේ කටයුතු 2022 වර්ෂයේ දී ආරම්භ කර නොතිබුණද සේවකයන් 117 දෙනෙකු බඳවාගෙන ඔවුනට වැටුප් සඳහා රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් වැයකර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.