ප්‍රමිතියෙන් තොර ටයර් නිසා අනතුරු අවදානමක්


 ඉන්දික හේවාවිතාරණ  

ප්‍රමිතියෙන් තොර බ්‍රේක්ලයිනර් යෙදීම නිසා හා බර වාහන සඳහා යොදන ටයර් යෙදීම නිසා බස් රථ අනතුරු වැඩි වී තිබෙන බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

බස් රථවලට යෙදිය යුත්තේ 900/20 වර්ගයේ ටයර් බවත්, සමහර බස් හිමියන් විසින් බරවාහන සඳහා භාවිත කරන 10/20 වර්ගයේ ටයර් යොදන බවත්, මේ නිසා බස් රථය අඟල් හතරකින් උස්වන බවත් එම සංගමයේ ලේකම් කුමාරදාස කුලියාපිටිය මහතා සඳහන් කළේය.


මේ ආකාරයේ ටයර් යොදා තිබෙන බස් රථවල පාපුවරුව සාමාන්‍ය බස් රථයක පාපුවරුවකට වඩා අඟල් 4 කින් උස්වීම නිසා මගී ජනතාව  දුෂ්කරතාවන්ට පත්වන බවත්, මෙවැනි ටයර් යෙදීම සිදුකරනු ලබන්නේ වියදම් අඩු කර ගැනීමට බවත් හෙතෙම පවසා සිටියේ ය.


සාමාන්‍ය ටයර්යකට වඩා වැඩි කාලයක් 10/20 ටයරයක් භාවිත කළ හැකි වුව ද මෙවැනි ටයර් නිසා විවිධ අනතුරු සිදුවන බවත්, මේ නිසා බස් රථ සේවකයන් දැඩි දුෂ්කරතාවන්ට පත්වන බවත්  කුමාරදාස කුලියාපිටිය මහතා සඳහන් කළේය.


මීට අමතරව බස් රථවලට හරක් කටු හා තඹ වර්ගයක් මිශ්‍ර බ්‍රේක් ලයිනර් යෙදිය යුතු වුවත් දීර්ඝ කාලයක් භාවිත කිරීම සඳහා පොල් කටු අඟුරු මිශ්‍ර බ්‍රේක් ලයිනර් යෙදීමට සමහර බස් හිමියන් කටයුතු කරන බවත්, මේ නිසා තිරිංග තද කිරීමෙහිදී බස් රථය ඉදිරියට ළිස්සා යන බවත් හෙතෙම පවසා සිටියේය.


මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා බොහෝ මාර්ග දැඩි ‍ලෙස අබලන් වී තිබෙන බවත්, මේ නිසා අනතුරු සිදුවෙමින් තිබෙන බවත්, මීට අමතරව බස් රථ අබලන් වීමත් වේගවත් වී තිබෙන බවත්  සඳහන් කළේ ය.


මේ වන විට පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරි යටතේ ධාවනය වන කෙටි ගමන් සේවා බස් රථවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් අබලන් තත්ත්වයේ පසුවන බවද හෙතෙම පවසා සිටියේය 


බස් රථවල යොදා තිබෙන අමතර උපාංග ඉවත් කිරීමට පොලීසිය  හා මෝටර් රථ ප්‍රවාහන බලධාරීන් කටයුතු කරමින් තිබෙන බවත්, මේ නිසා මගී ප්‍රවාහන සේවාවල නිරත වන බස් රථවල ටයර් හා බ්‍රේක්ලයිනර් පිළිබඳවද  සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගත යුතු බවත් සඳහන් කළේය.