සුජිත් හේවාජුලිගේ
ඒකාබද්ධ විපක්ෂය නුගේගොඩදී පැවැත්වීමට නියමිත මහජන රැලිය සඳහා සහභාගිවන්නැයි සමගි ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් ඔහු ඊට අනුකූලතාවක් දක්වා නැතැයි වාර්තා වේ.
පක්ෂයේ කළමනාකරණ කමිටුව ඇතුළු රැස්වීම් ගණනාවකදීම එසේ ඉල්ලීම් ඉදිරිපත්ව තිබිණ. අඩුතරමින් විපක්ෂ නායකවරයා නොයන්නේ නම් පක්ෂයේ නියෝජිතයකු හෝ ඊට සම්බන්ධ කරවන ලෙස නියෝජිතයන් දැඩිව ඉල්ලීම් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
විවිධ දූෂණ චෝදනා එල්ල වූ පිරිසක් සමඟ එකට ගමනක් නැතැයි මෙහිදී පක්ෂ නායකත්වයෙන් ප්‍රකාශවී ඇති බවත් පවුලේ සමහරුන්ට විවිධ චෝදනා එල්ල වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් උදව් ලබාගැනීමට හොඳ නම් ඔහු සමග එකට සිට ගැනීම වරදක් වන්නේ කෙසේ දැයි මෙහිදී සමහර නායකයන් සහ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර ඇති බවත් දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුගෙන් අප කළ විමසුමක දී ඔහු පැවසුවේ එම රැලියට සහභාගි වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම පක්ෂ නායකයාට භාරදී ඇති බවය.
එම තීරණය ඉදිරි දින කිහිපයේ දී දැනගැනීමට හැකි වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. එසේම මෙම මහජන රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සමගි ජන බලවේගයේ පලනි දිගම්බරම් ඇතුළු නායකයන් කිහිප දෙනකු ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නියෝජ්‍ය ලේකම් හරින් ප්‍රනාන්දු ද සහභාගිවීමට නියමිතය.
කෙසේ වෙතත් මෙම රැලියට මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් සහභාගි නොවන බව දැනගන්නට ඇත. ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැලිය ලබන 21 වැනිදා පැවැත්වේ. රැලියට උපරිම ආරක්ෂාව දෙන බව රජය පවසයි.

