තේ අපනයනයේ අලුත් බද්ද ප්‍රශ්නයක්


- වැවිලිකරුවන්ගේ සංගමය

 ඉන්දික හේවාවිතාරණ

තේ අපනයනයේදී තේ කිලෝවකට රුපියල් තුනක බද්දක් අයකර ගැනීමට සැලසුම් කර ඇති බවත් මෙවැනි ක්‍රියා හරහා කුඩා තේවතු කර්මාන්තයට දැඩි බලපෑම් සිදුවන බවත් ජාතික වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

තේ වෙන්දෙසියේදී තේ කිලෝවක් සඳහා සාධාරණ මිලක් හිමි නොවීම නිසා අමු තේ දලු කිලෝවකට ලැබෙන මුදල දිගින් දිගටම පහළ යමින් තිබෙන බව ද එම සංගමයේ ලේකම් වසන්ත අල්විස් මහතා සඳහන් කළේය.


පොහොර මිල ඉහළ යාම හා සමහර පොහොර වර්ගවල නියමිත ප්‍රමිතිය නොමැතිවීම නිසා වැඩි වාර ගණනක් පොහොර යෙදීමට සිදුවීම නිසා හා දලු නෙලීමට අදාලව ගෙවන මුදල ඉහළ අගයක් ගැනීම නිසා තේ දළු කිලෝවක නිෂ්පාදන වියදම මේවන විට රුපියල් එකසිය තිහත් රුපියල් එකසිය පනහත් අතර  මුදලක් ගෙන තිබෙන බව ද පවසා සිටියේය.
එහෙත් මේ වන විට අමු තේ දලු කිලෝවකට ලැබෙන්නේ රුපියල් එකසිය තිහත් රුපියල් එකසිය හැත්තෑවත් අතර මුදලක් බවත් අමු තේ දලු කිලෝවක මිල තීරණය වන්නේ තේ වෙන්දෙසියෙ දී තේ කිලෝවකට ලැබෙන මුදල ගණනය කිරීමෙන් බව ද ලේකම්වරයා සඳහන් කළේය. දලු සඳහා සාධාරණ මුදලක් නොලැබීම නිසා කුඩා තේවතු හිමියන් ලක්ෂ පහකට (05)  ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවත් තේ වගාවට යොදන පොහොර කිලෝ 50 ක් රුපියල් නවදහස් පන්සියත් රුපියල් දහතුන් දහස් පන්සියත් (9500-13500) අතර මුදලක් ගෙන තිබෙන බව ද පවසා සිටියේය. නියමිත ප්‍රමිතියෙන් යුත් පොහොර මාස තුනකට වරක් යෙදීම ප්‍රමාණවත් බවත් එහෙත් මේ වන විට ඇතැම් පොහොරවල නිසි ප්‍රමිතියක් නොමැතිවීම නිසා මාසයකට වරක්වත් පොහොර යෙදීමට සිදුව තිබෙන බවත් එසේ නොමැති වුවහොත් දලු අස්වැන්න විශාල ලෙස අඩු වන බවත් සඳහන් කළේය.


ඩොලරයේ අගය රුපියල් 350 ක්  ගන්නා විට තේ දලු කිලෝවක් සඳහා රුපියල් දෙසිය අසුවත් රුපියල් තුන්සිය විස්සත් (280-320) අතර මුදලක් ලැබුණු බවත්  මේ වන විට ඩොලරයේ අගය රුපියල් තුන්සිය විස්සක් බවත් එහෙත් තේ දලු කිලෝවක මිල රුපියල් 130 ත් රුපියල් 170 ත් අතර මුදලක් බව ද පවසා සිටියේය. මේ නිසා පොහොර මිල අඩු කිරීමට හා ප්‍රමිතියෙන් යුත් පොහොර ලබා දීමට ආණ්ඩුව වහාම වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් පවතින තත්වය තුළ වතු නඩත්තු කර ගැනීමට නොහැකිවීම නිසා තේ වගාවෙන් ගොවින් ඉවත් වෙමින් තිබෙන බවත් සඳහන් කළේය. විදේශ රටවලින් ගෙන්වන තේ සමග මෙරට තේ කවලම් කර අලෙවි කිරීම නිසා තේ මිල අඩු වෙමින් තිබෙන බවත් අපනයන කිරීමේ දී කිලෝවකට රුපියල් තුනක බදු මුදලක් අයකර ගැනීමට කටයුතු කළහොත් තේ වෙන්දේසියෙ දී අඩු මුදලකට තේ මිලදී ගැනීම් සිදුවිය හැකි බවත් මෙවැනි ක්‍රියාවක් සිදුවුහොත් එය දලු මිලට බලපාන බව ද පවසා සිටියේය 


තේ දලු කිලෝවක් නෙලා ගැනීම වෙනුවෙන් ශ්‍රම කුලිය ලෙස රුපියල් පනහත් හැටත් (50-60) අතර මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත් පවතින ආර්ථික අර්බුදය නිසා මීට වඩා අඩු මුදලක් ශ්‍රමිකයන්ට ලබා දීමට නොහැකි බවත් මේ නිසා කුඩා තේ වතු කර්මාන්තය දියුණු කළ හැක්කේ යෙදවුම්වල මිල අඩු කිරීමට කටයුතු කිරීමෙන් හා තේ දලු සඳහා සාධාරණ මුදලක් ලබාදීම තුළින් බව ද කියා සිටියේය.