සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය
ඉන්දික හේවාවිතාරණ
ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත් සංශෝධනය පසුගිය මස 05 වැනි දින සිදුව තිබෙන නිසා දිවයිනටම බලපාන ලෙස මගී ත්‍රිරෝද රථ සඳහා ගාස්තුවක් ප්‍රකාශයට පත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
නිශ්චිත ගාස්තුවක් නොමැති වීමෙන් ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් මගීන්ගෙන් අසාධාරණ ලෙස ගාස්තු අයකරමින් තිබෙන නිසා ත්‍රිරෝද රථ කර්මාන්තය පිළිබඳව ජන සිත්හි වැරදි මතයන් ඇති වී තිබෙන බවද එම සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය වී තිබෙන නිසා බස් ගාස්තුවක් මෙන් ත්‍රිරෝද රථ සඳහා ගාස්තුවක් ප්‍රකාශයට පත් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බලය ලැබී තිබෙන බවද මේ අනුව දිවයිනටම බලපාන ලෙස පළමු කිලෝමීටරයට අය කළ හැකි ගාස්තුවක් හා දෙවැනි කිලෝමීටරයේ සිට අය කළ හැකි ගාස්තුවක් කඩිනමින් ප්‍රකාශයට පත් කළ යුතු බව ද හෙතෙම පැවසීය.
පළාත් වශයෙන් පවතින භු විෂමතා තත්වයන් සැලකිල්ලට ගෙන (කඳු ආශ්රිත ප්‍රදේශ) එම ප්‍රදේශවල දී අය කළ හැකි ගාස්තුවක් අවශ්‍ය නම් ප්‍රකාශයට පත් කළ හැකි බව ඔහු සඳහන් කළේය.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් පසුගිය වසරේ ජූලි 16 වැනි දින සිට එම පළාතෙහි ධාවනය වන මගී ත්‍රිරෝද රථ සඳහා ගාස්තුවක් ප්‍රකාශයට පත් කළත් එම පළාතෙහි ධාවනය වෙන ලක්ෂ තුනකට ආසන්න ත්‍රිරෝද රථවලින් සියයට දහයක්වත් ප්‍රකාශයට පත් කර තිබෙන ගාස්තුව අය නොකරන නිසා අදාළ කටයුත්තේදී මගී ජනතාවට සහන හිමි වී නොමැති බව ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිවරයා පැවසීය.
බස්නාහිර පළාතෙහි ධාවනය කෙරෙන ත්‍රිරෝද රථයක් පළමු කිලෝමීටරයට රුපියල් 100ක් හා දෙවැනි කිලෝ මීටරයට රුපියල් 85ක ගාස්තුවක් අයකර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
මේ නිසා පොදුවේ නිශ්චිත ගාස්තුවක් ප්‍රකාශයට පත් කර අදාළ ගාස්තුව අයකරනවාද යන්න සොයා බැලීමේ අඛණ්ඩ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් නීති උල්ලංඝනය කරන පිරිස්වලට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
අවධිමත් අකාරයට ත්‍රිරෝද රථ කර්මාන්තය ක්‍රියාත්මක වීම නිසා ඇතැම් ප්‍රදේශවල කිලෝමීටරයක දුරක් ත්‍රිරෝද රථයකින් ගමන් කිරීමට රුපියල් 160-200 අතර මුදලක් ගෙවීමට පවා ජනතාවට සිදුව තිබෙන බවත් මෙවැනි ගාස්තුවක් අයකර ගැනීම අසාධාරණ බවත් ඔහු පැවසීය. දිවයිනම ආවරණය වන පරිදි ත්‍රිරෝද රථ ලක්ෂ 09කට ආසන්න ප්‍රමාණයක් මගී සේවාවෙහි නිරත වේ.