ජාතික වේලි ආරක්ෂාවට නව පනතක් එයි


උපුල් වික්‍රමසිංහ

දිවයින පුරා පිහිටි ප්‍රධාන වේලිවල ආරක්ෂාව තහවුරු කිරීම සහ වේලි පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ආපදා අවදානම අවම කිරීමේ ජාතික වැඩසටහන යටතේ වේලි ආරක්ෂණ පනතක් සකස් කිරීම කඩිනම් ජාතික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් එම ජාතික වැඩසටහන සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවක දී මේ බව සාකච්ඡා වූ බව පසුගිය 23 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය වාර්තාවක සඳහන් වේ. 

වේලි ආරක්ෂණ පාලනය ශක්තිමත් කිරීම, වගකීම් පැහැදිලි කිරීම සහ සම්බන්ධීකරණ අවදානම් කළමනාකරණය කිරීම, හදිසි ආපදා සූදානම තහවුරු කිරීම වෙනුවෙන් පැහැදිලි මෙන් ම කාර්යක්ෂම නෛතික හා ආයතනික රාමුවක් සකස් කිරීමේ වැදගත්කමත් එහිදී සාකච්ඡා වූ බව එම නිවේදනයේ දැක්වේ.

එම සාකච්ඡාවේදී වේලි පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව සඳහා කාර්යක්ෂම පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපිත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වූ බව ද එම නිවේදනය කියයි.