ගිය වසරේත් කෝටි හැත්තෑ අට දහසක රට කෑම ගෙනත්


සුජිත් හේවාජුලිගේ   

මෙරටින් සපයාගත හැකි එළවළු, පලතුරු, සීනි, රස කැවිලි, කුළුබඩු ඇතුළු පරිභෝජන භාණ්ඩ රැසක් විදේශයන්ගෙන් ගෙන්වීම සඳහා පසුගිය වසරේ මුල් මාස එකොළහේදී (ජනවාරි සිට නොවැම්බර් දක්වා) රජය රුපියල් කෝටි හැත්තෑ අට දහස් හාර සිය පනස් හතරක් (78,454) වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

මෙම භාණ්ඩ ආනයන වියදම ඊට කලින් වසරේ (2021) එම භාණ්ඩ ආනයනයට වැය වූ මුදලට සාපේක්ෂව සියයට 15.3 ක වැඩිවීමක් බව පැවසූ මහාචාර්යවරයා මෙරටින් සපයාගත හැකි එම පරිභෝජන භාණ්ඩ විදේශයෙන් ගෙන්වීමට මෙපමණ මුදලක් වැය කර ඇත්තේ රටේ විශාල මුදල් ප්‍රශ්නයක් පවතින අවස්ථාවක වීම විශේෂත්වයක් බවද පෙන්වා දුන්නේය.   


ආහාර සහ පාන වර්ග ආනයනය කිරීම සඳහා එම කාලසීමාවේදී රුපියල් කෝටි හතළිස් පන් දහස් පන් සිය දෙකක්ද අනෙකුත් පරිභෝජන භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි තිස් දෙදහස් නවසිය පනස් දෙකක්ද වැය කර ඇති බවත් ආහාර සහ පාන වර්ග පසුගිය වසරේ ආනයනය ඊට කලින් 2021 වර්ෂයට සාපේක්ෂව සියයට 54 කින් වැඩිවී ඇති බවත් ප්‍රකාශ කළේය.   


පසුගිය වසරේ මුල් මාස 11 දී එළවළු ආනයනය සඳහා රුපියල් කෝටි 9309 ක්ද සීනි සහ රසකැවිලි ආනයනය සඳහා රුපියල් කෝටි 7063 ක්ද ධාන්‍ය ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සඳහා රුපියල් කෝටි 12,475 ක්ද කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදන ආනයනය සඳහා රුපියල් කෝටි 6087 ක්ද පාන වර්ග ආනයනය සඳහා රුපියල් කෝටි 1304 ක්ද පලතුරු ආනයනය සඳහා රුපියල් කෝටි 1102ක්ද කුළු බඩු ආනයනය සඳහා රුපියල් කෝටි 3878ක්ද වැය කර ඇතැයි වසන්ත අතුකෝරළ මහතා කීවේය.   
එළවළු ආනයනය සඳහා පසුගිය වසරේ මුල් මාස එකොළහේදී වැය කර ඇති මුදල් ප්‍රමාණය ඊට කලින් වසරේ මුල් මාස එකොළහේදී එළවළු ආනයනය සඳහා වැය කළ මුදලට සාපේක්ෂව සියයට 34කින් පමණ වැඩි වීමක් බව ඔහු සඳහන් කළේය.   


මෙයට අමතරව සීනි සහ රසකැවිලි ආනයනය සඳහා පසුගිය වසරේ වැය වූ වියදම ඊට කලින් වසරේ එම ද්‍රව්‍ය ආනයනයට වැය වූ වියදමට සාපේක්ෂව සියයට 41කින් පමණ වැඩි වීමක් බවත් ධාන්‍ය ආශ්‍රිත නිෂ්පාදන සඳහා වැය වූ වියදම සියයට 1247ක වැඩිවීමක් බවත් මහාචාර්යවරයා පැවැසීය.