ගාස්තු අඩු කිරීමෙන් බස් හබක් බස් හිමියන්ගෙන් චෝදනා - ​බස් හිමියන්ගෙන් චෝදනා


ඉන්දික හේවාවිතාරණ  

ඉන්ධන මිල ඉහළ ගොස් තිබිය දී  බස් ගාස්තුව සියයට බිංදුවයි දශම පහයි පහකින් (0.55) අඩුවීම බස් කර්මාන්තය අර්බුයකට ලක්වන ක්‍රියාවක් බව බස් හිමියෝ සඳහන් කරති.

පසුගිය 30 වැනි දිනට පෙර මාසික ඉන්ධන මිල අඩුවීම ගණනය කිරීමේදී  ඩීසල් ලීටරයක මිල රුපියල් නවයකින් අඩු වුවත් 30 වැනි දින ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ යාම නිසා බස් හිමියන්ට ඩීසල් ලීටරයක් වෙනුවෙන් වැඩිපුර රුපියල් 06ක මුදලක් දැරීමට සිදුවෙන බවත් ඔවුහු සඳහන් කරති.

කෙටි ගමන් සේවා බස් රථයකට දිනකට ඩීසල් ලීටර් 40-60 අතර ප්‍රමාණයක් අවශ්‍ය වන අතර දුර ගමන් සේවා බස් රථවල ලීටර් 140-220  අතර ප්‍රමාණයක් අවශ්‍ය  වන බව බස් හිමියෝ කියති.

වාර්ෂික බස් ගාස්තුව සිදුවන්නේ කරුණු 12ක් පදනම් කර ගෙන බවත් ඩීසල් මිල අඩු වීම එක් කරුණක් පමණක් බවත්  බස් රථ අමතර කොටස් මිල ඉහළ යාම, බස් රථයක මිල ඉහළ යාම, සේවක වැටුප් ඉහළ යාම හා අලුත්වැඩියා කටයුතු  සඳහා අයකරන මුදල ඉහළ යාම නිසා බස් හිමියන්ට  ඒ සඳහාද  විශාල පිරිවැයක් දැරීමට සිදුව තිබෙන බවත් මෙම කරුණු ගැන මෙවර ගාස්තු සංශෝධනයේ දී  විශේෂ සැලකිල්ලක් දක්වා නොමැති බවත් ඔවුන්ගේ චෝදනාවයි. 

බස් හිමියෝ වැඩි දුරටත් මෙසේ කියති.

“බස් ගාස්තුව සියයට බිංදුවයි දශම පහයි පහකින් (0.55) අඩුවීම නොසලකා හැර කටයුතු කිරීමට තිබූ දෙයක්.  රුපියලකින් දෙකකින් බස් ගාස්තුව අඩු වීමෙන් මගී ජනතාවට විශාල සහනයක් ලැබෙන්නෙ නෑ. දිවයිනම ආවරණය වන පරිදි දෛනිකව බස් රථ 18,000ක්  ධාවනය විය යුතු වුවත් මේ වන විට ධාවනය වන්නේ බස් රථ 13,000ක් පමණයි. බස් රථ 5000ක පමණ අඩුවක් පවතිනවා. 

බස් රථවලින් නිසි ලෙස ආදායම් නොලැබීම නිසා පොදු ප්‍රවාහන සේවාවෙහි තිබූ සැලකිය යුතු බස් රථ ප්‍රමාණයක් මේ වන විට කාර්යාල සේවා හා පාසල් ළමුන් ප්‍රවාහන සේවාවට යොමු වී තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙන අවස්ථාවෙහි දී බස් ගාස්තු අඩු කිරීමෙන් සිදුවන්නේ ඇතැම් බස් රථ පොදු මගී සේවාවෙන්  ඉවත්ව වෙනත් සේවා සඳහා යොමු වීමයි.”

මාසිකව ඉන්ධන මිල සංශෝධනයක් සිදුවන නිසා ඉදිරි මාසයේ දී ඉන්ධන මිල සැලකිය යුතු මුදලකින් ඉහළ ගිය හොත් බස් ගාස්තුව ඉහළ  දැමීමට සිදුවෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය  පෙන්වා දෙයි.